Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වඩාත් ප්‍රසිද්ධියට පත් වටිනා සිතුවම් නවයක්

චිත්‍ර, නැටුම් සහ සංගීතය වැනි කලාංග අතරින් සුවිශේෂී තැනක් හිමි කර ගන්නා චිත්‍ර නිර්මාණවලට බොහෝ දෙනෙක් ඇලුම් කරති. සමහර සිතුවම් ඇදහිය නොහැකි මිල ගණන්වලට අලෙවි වන්නේ එබැවිනි. එවැනි සුවිශේෂී වටිනාකමක් සහිත, ලොව පුරා කතාබහට ලක් වන සිතුවම් විශාල ප්‍රමාණයක් තිබේ. බොහෝ විට යුරෝපීය චිත්‍ර ශිල්පීන් අතින් නිමැවුණු එවැනි සිතුවම් කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

1. ‘මොනාලිසා’ (Mona Lisa)

ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි ක්‍රිස්තු වර්ෂ 1503-1519 අතර ඇඳ ඇති ‘මොනාලිසා’ මේ වන විට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත. අසාමාන්‍ය සිනහවක් සහිත අද්භූත පෙනුමක් ඇති කාන්තාවක් දැක්වෙන මෙය ලොව වඩාත් ප්‍රසිද්ධ චිත්‍රය ලෙස සැලැකේ. මෙහි නිරූපණය කර ඇති කාන්තාව ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ ජීවත් වූ වෙළෙන්දෙක් වූ ෆ්‍රැන්සිස්කෝ ඩෙල් ජියෝකොන්ඩෝ ගේ බිරිය වූ ලීසා ජෙරාඩිනි බව බොහෝ දෙනකුගේ විශ්වාසය යි.

මොනාලිසා/ www.wikipedia.org

සිතුවමක් සඳහා පෙනී සිටින තැනැත්තා පිළිබඳ ව වඩාත් සමීප ලෙස අවධානය යොමු කර නිර්මාණය කළ පළමු ඉතාලි නිර්මාණය මොනාලිසා බව ලූවර් කෞතුකාගාරයේ විශේෂඥයෝ පවසති. 20 වැනි සියවසට පෙර මෙම චිත්‍රය විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත් වූවක් නොවී ය. 1911 දී ලූවර් කෞතුකාගාරයේ සේවකයෙක් එය සොරකම් කර වසර දෙකක කාලයක් ඔහු ළඟ තබා ගැනීමත් සමඟ මොනාලිසා ලොව පුරා ප්‍රසිද්ධ විය.

2. ‘අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය’ (The Last Supper)

ලියනාඩෝ ඩාවින්චිගේ විශිෂ්ට චිත්‍ර නිර්මාණ අතරින් එකක් වන අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය ක්‍රිස්තු වර්ෂ 1495-1498 අතර ඇඳ ඇති බව ඉතිහාසඥයන්ගේ මතය යි. ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි දේවස්ථානයක මෙම චිත්‍රය දැකිය හැකි ය. ආගම පදනම් කර ගත් සංකල්ප අනුව චිත්‍ර ඇඳීම ජනප්‍රිය ව තිබූ යුගයකට අයත් මෙහි ජේසුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසීමට පෙර උන්වහන්සේ සිය හිතවතුන් පිරිසක් සමඟ ආහාර ගත් අවසන් අවස්ථාව නිරූපණය වේ. සමකාලීන චිත්‍ර නිර්මාණ සමඟ සැසඳීමේ දී විශාල ප්‍රමාණයේ එකක් වන මෙහි උස මීටර් 4.6 ක් වන අතර පළල මීටර් 8.8 කි.

අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය – www.britannica.com

මෙම චිත්‍රය යුදමය තත්ත්වයන් දෙකක් අතරතුර ඇති වූ තර්ජනවල දී පවා විනාශ නොවීම බොහෝ දෙනකු මවිතයට පත් වන කරුණකි. නැපෝලියන් බොනපාට්ගේ හමුදා භටයන් වෙඩි තැබීම සඳහා ඉලක්කය ගැනීම පුහුණු වීමට මෙම සිතුවම ඇඳ ඇති බිත්තිය භාවිත කර ඇත. දෙවැනි ලෝක යුද්ධය අතරතුර එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් දේවස්ථානයේ වහලය විනාශ වීම හේතුවෙන් මෙය වසර දෙකකට වැඩි කාලයක් සුළඟට නිරාවරණය වූ බව ද කියැවේ. (එය වැස්සෙන් ආරක්ෂා වීම සඳහා තාවකාලික වහලයක් සකස් කර ඇත).

3. ‘තරු සහිත රාත්‍රිය’ (The Starry Night)

වින්සන්ට් වැන් ගොග් නම් ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ බොහොමයක් ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුගේ මරණයෙන් පසු ය. ‘තරු සහිත රාත්‍රිය’ එසේ ප්‍රසිද්ධියට පත් වූ ඔහුගේ චිත්‍ර නිර්මාණවලින් එකකි. මිය යාමට වසරකට පෙර, 1889 දී ඔහු මෙය ඇඳ ඇත. තරමක් ඝණ පින්සල් සහ තද වර්ණ භාවිතයෙන් ඇඳ ඇති මෙම චිත්‍රය මේ වන විට එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටි කෞතුකාගාරයක තබා ඇත.

තරු සහිත රාත්‍රිය – www.owlcation.com

ගොග් මෙය ඇඳ ඇත්තේ මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටියදී වීම සුවිශේෂී කරුණකි. 1880 දශකයේ අගභාගයේ ඔහු ප්‍රංශයේ සරණාගත කඳවුරක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙය ඇඳ තිබේ. එම කඳවුරේ ඔහු රඳවා සිටි කාමරයේ ජනේලයෙන් අහස දිස් වූ අයුරු ඒ සඳහා පාදක වී ඇත. ඔහු ඇඳ ඇති තෙල් සායම් භාවිත කළ චිත්‍ර 850කට වැඩි ප්‍රමාණය සහ වෙනත් චිත්‍ර 2,000කට වැඩි ප්‍රමාණය අතරින් වැඩි ප්‍රමාණයක් එම කඳවුරේ සිටියදී ඇඳ ඇත.

4. ‘විලාපය’ (The Scream)

ලොව වඩාත් ම කතාබහට ලක් වන චිත්‍ර අතරින් එකක් වන මෙය නෝර්වේ ජාතික චිත්‍ර ශිල්පියෙක් වූ එඩ්වඩ් මන්ච් 1893 දී කළ නිර්මාණයකි. මෙම චිත්‍රය මේ වන විට නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර පිහිටි ජාතික ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

බ්‍රිතාන්‍ය කෞතුකරාගය පළ කළ සඟරාවක සඳහන් වන්නේ පැස්ටල් භාවිතයෙන් ඇඳ ඇති ‘විලාපය’ චිත්‍රයේ පැස්ටල් භාවිතයෙන් ඇඳි පිටපත් දෙකක් සහ තවත් පිටපත් ගණනාවක් තිබෙන බව යි.

විලාපය – www.bbc.com

මොනාලිසා මෙන් විලාපය චිත්‍රය ද අවස්ථා දෙකක දී, එනම් පිළිවෙලින් 1994 දී සහ 2004 දී සොරා ගෙන තිබේ (කෙටි කාලයක දී ඒවා සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට හැකි විය). සොරා ගැනීම්වලින් අනතුරු ව සිදු කළ විමර්ශන කටයුතු සමඟ ඒවාට විශාල ප්‍රසිද්ධියක් ද හිමි විය. ඒ සමඟ ඒවායේ වටිනාකම ද සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර චිත්‍රයේ එක් පිටපතක් 2012 දී අමෙරිකානු ඩොලර් මිලියන 120කට අලෙවි විය.

5. ‘ගුවෙර්නිකා’ (Guernica)

මෙය ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ ගේ නිර්මාණයකි. 1937 දී ඇඳ ඇති ‘ගුවෙර්නිකා’ (Guernica) ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පිහිටි කෞතුකාගාරයක මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත. මෑතකාලීන සම්භාව්‍ය චිත්‍රයක් ලෙස සැලකෙන මෙහි ජර්මානු හමුදා ස්පාඤ්ඤයේ ගුවර්නිකා නගරයට බෝම්බ හෙළන අයුරු නිරූපණය කර ඇත.

ගුවෙර්නිකා – www.barrons.com

දෙවැනි ලෝක යුද සමයේ දී ආරක්ෂාව සඳහා මෙම චිත්‍රය නිව්යෝර්ක් නගරයේ පිහිටි කෞතුකාගාරයකට රැගෙන ගොස් ඇත. ඒ වන විට ස්පාඤ්ඤයේ ඒකාධිපති පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වූ බැවින් එය තවදුරටත් කෞතුකාගාරයේ තබා ගන්නා ලෙස පිකාසෝ ඉල්ලීමක් කළේ ය. මෙය 1981 දී ස්පාඤ්ඤයට නැවත භාර දී තිබේ.

6. ‘හාදුව’ (The Kiss)

1907-1908 කාලය තුළ ඇඳ ඇති බවට සැලකෙන මෙම චිත්‍රය ඕස්ට්‍රියානු ජාතික ගුස්ටාව් ක්ලිම්ට් ගේ නිර්මාණයකි. මෙය ඕස්ට්‍රියාවේ වියානා නුවර පිහිටි බෙල්වඩෙර් නම් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත. එකිනෙකා සිප ගන්නා ජීවමාන ප්‍රමාණයේ යුවළක් නිරූපණය වන මෙහි බයිසැන්තියානු කලා ශිල්පීය ලක්ෂණ බහුල බව බොහෝ විචාරකයන්ගේ මතය යි.

හාදුව – www.bbc.com

ක්ලිම්ට්ගේ නිර්මාණ 100කට වැඩි සංඛ්‍යාවක් අතරින් මිනිස් හැඟීම් ගැඹුරින් නිරූපණය වන නිර්මාණයක් ලෙස මෙය සැලැකේ. මූලාශ්‍රයන්ට අනුව මෙම චිත්‍රය කිසි දිනෙක අලෙවි වීමක් සිදු වී නැත. එසේ වුවත් ක්ලිම්ට්ගේ වෙනත් නිර්මාණ ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි වී තිබේ. අමෙරිකානු නිවේදිකා Oprah Winfrey 2016 දී ඩොලර් මිලියන 150ක් ගෙවා ඔහුගේ සිතුවමක් මිල දී ගත්තා ය.

7. ‘මුතු කරාබුවක් පැළඳි යුවතිය’ (Girl With a Pearl Earring)

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි මොරිට්ෂුයිස් කෞතුකාගාරයේ තබා ඇති මෙම චිත්‍රය නෙදර්ලන්ත ජාතික චිත්‍ර ශිල්පී ජොහැන්නස් වර්මීර් ගේ නිර්මාණයකි. කල්පිත චරිතයක් නිරූපණය කරන මෙය 1665 දී ඇඳ අවසන් කරන්නට ඇති බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. තෙල් සායම් භාවිතයෙන් කැන්වසයක් මත ඇඳ ඇති මෙහි ඉතා සරල ශිල්පීය ක්‍රම දැකිය හැක.

මුතු කරාබුවක් පැළඳි යුවතිය – www.medium.com

නිල් සහ රන්වන් පැහැති හිස් රෙදි කැබැල්ලක් හිස වටා බැඳ ගත්, ප්‍රමාණයෙන් විශාල මුතු කරාබුවක් පැළඳි නව යොවුන් වියේ පසු වන තරුණියක් මෙහි නිරූපණය වේ. 2012 සිට 2014 දක්වා මොරිට්ෂුයිස් කෞතුකාගාරය නවීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූ කාලයේ මෙම චිත්‍රය එක්සත් ජනපදය සහ ජපානය වැනි රටවල් කිහිපයක ප්‍රදර්ශනය සඳහා රැගෙන ගියේ ය. ඒ සෑම අවස්ථාවක දී ම ඊට විශාල මහජන අවධානයක් හිමි විය.

8. ‘වීනස් ගේ උපත’ (The Birth of Venus)

ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙක් වන සැන්ඩ්රෝ බොටිසෙලි ගේ නිර්මාණයක් වන ‘වීනස් ගේ උපත’ ක්‍රිස්තු වර්ෂ 1485 දී ඇඳ අවසන් කරන්නට ඇතැයි සැලැකේ. මෙය මේ වන විට ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ පිහිටි කෞතුකාගාරයක තබා ඇත. ෆ්ලෝරන්ස් නගරය සහ ඒ අවට ප්‍රදේශ ගණනාවක් සියවස් කිහිපයක් තිස්සේ පාලනය කළ මෙඩිසි නම් ප්‍රභූ පවුල මෙම සිතුවම නිර්මාණය කරවන්නට ඇති බව බොහෝ දෙනා පිළිගත් මතයකි.

වීනස් ගේ උපත/ www.pixels.com

මෙහි බොටිසෙලිගේ අනිකුත් සිතුවම්වල දැකිය නොහැකි විශේෂාංග කිහිපයක් තිබේ. ඉන් එකක් වන්නේ ඔහු මෙම චිත්‍රය එවකට වඩාත් ජනප්‍රිය මාධ්‍ය බවට පත්ව තිබූ දැව වෙනුවට කැන්වස් මත ඇඳ තිබීම යි. දෙවනුව, නිරුවත එතරම් ජනප්‍රිය නොවූ අවදියක වීනස් දෙවඟන එක් අතකින් සහ දිගු කොණ්ඩයේ කොටසකින් සිය ශරීරයේ අතිශයින් ම වැදගත් කොටස් පමණක් ආවරණය කර ගෙන සිටින සේ චිත්‍රය ඇඳ තිබීම යි.

9. ‘ආදම්ගේ නිර්මාණය’ (Creation of Adam)

ක්‍රිස්තු වර්ෂ 1508-1512 කාලයට අයත් බවට සැලකෙන මෙය ඉතාලි ජාතික චිත්‍ර සහ මූර්ති ශිල්පී මයිකල් ඇන්ජලෝගේ නිර්මාණයකි. වතිකානුවේ පිහිටි සිස්ටයින් නම් දේවස්ථානයේ සිවිලිමක් මත මෙම චිත්‍රය දැකගත හැක. මෙහි දෙවියන් සහ ආදම් එකිනෙකාගේ ඇඟිලි ස්පර්ශ කිරීමට ඉතා ආසන්න ව සිටින අයුරු දැක්වේ.

ආදම්ගේ නිර්මාණය – news.artnet.com

දේවස්ථානයේ සිවිලිම මත දීර්ඝ කාලයක් තිස්සේ ඉටිපන්දම්වලින් විහිදෙන දුම තැම්පත් වීම නිසා මෙය චිත්‍රය දුර්වර්ණ ව පැවතිණි. 1989 දී සිවිලිම පූර්ණ වශයෙන් පිරිසුදු කළ අතර ඉන් අනතුරුව චිත්‍රයේ සැබෑ වර්ණ ඉස්මතු විය. ඒවායේ දීප්තිමත් බව දුටු බොහෝ දෙනා පුදුමයට පත් වූ බව කියැවේ.

කවරයේ ඡායාරූපය - 'වීනස් ගේ උපත' ක්‍රිස්තු වර්ෂ 1485 දී ඇඳ අවසන් කරන්නට ඇතැයි සැලැකේ - www.widewalls.com
මූලාශ්‍ර :
www.cnn.com
www.history.com
www.britannica.com
news.artnet.com

Related Articles