Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙහෙමත් රැකියා තිබෙන බව හිතන්නවත් පුළුවන්ද?

අද එදා කියා වෙනසක් නැහැ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ කුඩා ළමයෙකුගෙන් ‘ඔයා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති?’ වැනි ප්‍රශ්නයක් ඇසුවොත් බොහෝ විට ලැබෙන පිළිතුර තමයි වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ නීතීඥයෙක් කියන එක. ඔය අතර අමුතුම පිළිතුරු දෙන අයත් නැත්තේ ම නැහැ. කුඩා කාලයේ දරුවන් පිළිතුරු දෙන්නේ තමන්ගේ දෙමව්පියන්ගෙන් හා සමාජයෙන් අසන්නට දකින්නට ඇති දේ අනුවයි. නමුත් වයසෙන් වැඩෙද්දී මේ අයට තමන් පිළිබඳ වැඩි අවබෝධයක් ලැබෙනවා. ඒ නිසා මේ පැනයට පිළිතුර නව යොවුන් වියේ කෙනෙක්ගෙන් ඇසුවොත් ලැබෙන පිළිතුර පෙරට වඩා වෙනස් වෙනවා.

ඒ කොහොම වෙතත් ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකයේ අනෙක් රටක පුද්ගලයෙක්ට වුණත් තමන් ආසා කරන රැකියාව ලැබෙන්නේ කලාතුරකින්. එහෙම නොලැබෙන අයට ලැබෙන රැකියාවෙන් තෘප්තිමත් වෙන්න වෙනවා. සමහරු තමන්ට ලැබුණු රැකියාවට, හිතේ තිබුණු එකට වඩා කැමති වෙන අවස්ථාත් තිබෙනවා. මේ අතර සමහරුන්ට ලැබෙන රැකියා නම් ලෝකයේ ඇත්තෙන්ම පවතිනවද කියලත් හිතාගන්න අමාරුයි. බලන්න මේ පහත දැක්වෙන අමුතු රැකියාවක් ටික දවසකට හරි කරලා බලන්න ඔබත් කැමතිද කියලා?

වෘත්තීය පෝලිම් කරුවන්

(player.hu)

මෙවැනි රැකියාවක් ලෝකයේ සැබෑවටම තියෙනවා කියලා ඔබ කවදාවත් හිතුවාද? ඔව්, එහෙම රැකියාවක් තිබෙනවා. ඔවුන්ගේ වෘත්තිය තුළ කරන්න්ට තිබෙන්නේ යම් කිසි මුදලකට අනෙකෙකු වෙනුවෙන් කුමක් හෝ පෝලිමක රැඳී සිටීමයි. එය කෑම පෝලිමක සිට වරුවක් පමණ සිටිය යුතු දීර්ඝ පෝලිමක් වෙන්න පුළුවන්. ඇත්තෙන්ම මේ රැකියාව පිටරටවලට වඩා ලංකාවේ රජයේ කාර්යාල ආශ්‍රිතව තිබුණා නම් හොඳ ගණනක් හොයාගන්නට තිබුණා නේද? බොහෝ දෙනා මේ රැකියාවක් කරන්නේ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා. යෙදෙන අය නම් කියන්නේ ඉවසීම තිබෙනවා නම් සෑහෙන මුදලක් උපයාගත හැකි බවයි.

වෘත්තීය නිදාගන්නන්

(womansday.com)

මේක නම් කියලාවත් කරගන්න බැරි වැඩක්. ලෝකයේ සැප පහසුම හා වාසනාවන්තම රැකියාවක් හැටියට බොහෝ දෙනා හඳුන්වනවාටත් සැක නැහැ. මේ වෘත්තිකයන්ට කරන්න තිබෙන්නේ විද්‍යාඥයින් නින්ද නොයෑමේ රෝග සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට සම්බන්ධ වී එ්වායේ නිදර්ශක වශයෙන් නිදා ගැනීමයි.

මේ වෘත්තියට පෙම් කරන, කරන්නට උත්සාහ කරන මහත්ම මහත්මීන් ලංකාවේ වෙනත් රැකියා ස්ථානවලදීත් අපට හමු වන නිසා මේ රැකියාව කරන්නට සුදුසුකම් ඇති අය ලංකාවේත් නැතැයි කියන්නට කාටවත් බැහැ.

විවාහ උත්සවවල අමුත්තන්

(barryforshawphotography.com)

මේකත් තවත් අමුතුම රැකියාවක් තමයි. ලංකාවේ නම් ඉතින් විවාහ උත්සවයක් පවත්වන්න ගියාම තමන්ට තියන මුදලත් එක්ක අමුත්තන් සීමා කර ගැනීමේ මහා සටනක බොහෝ ජෝඩු යෙදෙනවා. නමුත් ජපානයේ සමහරකගේ තත්වය වෙනස්. ඔවුන් විවාහ උත්සවවලට මුදල් ගෙවා අමුත්තන් හැටියට පුද්ගලයින් ගෙන්වා ගන්නවා. ඒ සඳහා වෘත්තීය මට්ටමේ අයත් ඉන්නවා. මේ රැකියාවෙන් කිසිම පාඩුවක් නෑ; මුදල් විතරක් නෙවෙයි, කෑම බීමත් ලැබෙනවා. ලංකාවෙ නම් උත්සාහ කරන්න ටිකක් අමාරු වේවි. අැයි ඉතින් නැකත් දවස්වලට විතරයි වැඩ ලැබෙන්නේ.

සුවඳ විලවුන් අත් හදා බලන්නන්

(naijatechnation.com)

මේ රැකියාවට නම් බොහෝ දෙනා කැමති වෙන එකක් නැහැ. නමුත් මේ දේ කරන්නත් ඉතින් හැමෝටම බැහැ. ඒ නිසා ගෙවීම් හොඳයි. කරන්නට තියෙන්නේ සුවඳ විලවුන්වල තත්වය පරීක්ෂා කිරීම. නිකන් නෙවෙයි, ස්වාභාවික හා එදිනෙදා තත්වයන් යටතේ. ඒ කියන්නේ සරලවම මේවා දහඩියත් සමඟ මුසු වුණාම එන ගන්ධය සැනසිලිදායක එකක්ද කියලා බලන්නත් වෙනවා. ඒ සඳහා එක් එක් පුද්ගලයන්ගේ කිහිලි ඉඹ බලන්නත් වෙන අවස්ථා තියෙනවා. ඒ තරම් ප්‍රිය මනාප දෙයක් නෙවෙයි නේද? ඒත් පුදුමය කිය්න්නේ සතුටින් ඒ දේ කරන මිනිස්සු මේ ලෝකයේ ඉන්නවා.

වෘත්තීය ‘හුරතල් කරන්නන්’

(barcroft.tv)

ජපානයේ මෙවැනි රැකියාවකුත් තිබෙනවා. දැන් ඔබ හිතාවි මේ සාමාන්‍ය රැකියාවක් වෙන ‘අායා’ කෙනෙක් ගැනයි කියන්නට යන්නේ කියලා. හැබැයි මේ රැකියාවෙදි නම් නලවන්නට තියෙන්නෙ ‘අලි බබ්බුන්ව’ තමයි. ජපානයේ කෙනෙක්ට තම පෙම්වතා හෝ පෙම්වතිය අහිමි වූ විට අනෙක් පාර්ශවයට සිය තනිය මකා ගන්නට, සුරතල් කරන්නට මේ වෘත්තීය කරන කෙනෙක් ගෙන්වා ගත හැකියි. ඔහු හෝ ඇය ඔබේ තනියට ළඟ හිඳ ඔබව සනසාවි, ආදර කතා කියාවි, හිස අතගාවි, නිදි කරාවි. හැබැයි එපමණයි, එතනින් එහාට මොකුත් බැහැ.

කුකුළන්ගේ ලිංගය තීරණය කරන්නන්

(inquisitr.com)

පහසුයි වගේ පෙණුනාට ඉතාම හොඳ සංයමයක් හා ඇස් පෙනීමක් අවශ්‍ය රැකියාවක් තමයි මේ. කරන්නට තියෙන්නේ අළුත උපන් කුකුළු පැටවුන් ගැහැණුද පිරිමිද කිය නිශ්චිතවම නිර්ණය කර වර්ගීකරණය කිරීමයි. ලෝකයේ බොහෝ රටවල විශාල කුකුළු ගොවිපල වල මෙවැන්නන් ඉන්නවා.

වාහන අංක පුවරු මුවා කරන්නන්

(viralcocktail.com)

මුළු ලෝකයෙන් ම ඉරානයේ පමණක් දක්නට ලැබෙන විකාර රූපී වෘත්තියක් තමයි මේ. ඉරානයේ වාහන තදබදය නිසා රජය විසින් අමුතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එනම් සතියේ යම් යම් දිනවල එක්කෝ ලියාපදිංචි අංකවල අවසන් අංකය ඔත්තේ වන වාහන පමණක් පාරට ඇතුල් කළ යුතුයි, අනෙක් දිනවල ඉරට්ටේ ඒවා පමණක් ඇතුල් කළ යුතුයි කියා.

බොහෝ මිනිසුන්ට මෙය කරදරයක්. ඒ නිසා ඔවුන් සිය අංක තහඩු පාරේ සවි කර ඇති කැමරාවලට නොපෙනෙන්න අමුතුම ක්‍රමයක් යොදා ගන්නවා. එනම් මුදල් ගෙවා සිය අංක තහඩුව වැසෙන පරිදි පසු පසින් ඇවිදීමට යමෙකුට බාර දීමයි. පිටුපසින් අැවිදගෙන යන්නත් පුළුවන් නම් ඉරාන මාර්ගවල වාහන තදබදයේ තරම හිතාගන්න පුළුවන් නේද? ලංකාවේ නම් මෙවැනි මෙවැන්නක් කරන්න උත්සාහ ගන්න එපා. අපේ අය ඉතාම හොඳින් වාහන නීති පිළි පදින නිසා පසුපසින් එන්නා ගේ ජීවිතය පිළිබඳ වගකීමත් ඔබට ගන්නට වේවි.

සර්ප විෂ දොවන්නන්

(flitto.com)

සර්පයින්ට කිරි පෙව්වොත් දිනක වැඩ වරදින බව උපමා කත වල පවා තියෙනවා. ඒත් ඇත්තටම සිය වෘත්තිය වශයෙන් අධික විෂ සහිත සර්පයින්ගෙන් එදිනෙදා ‘විෂ දොවන්නන්’ සිටින බව ඔබ දන්නවාද? ඔවුන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ ‘Snake Milkers ’ කියලයි.ලෝකයේ විවිධ සත්ත්ව විද්‍යාගාරවල ප්‍රතිවිෂ රසායනික නිපදවීම සඳහා ඇති කරනු ලබන විවිධ සර්පයින්ගෙන් නිරතුරුව විෂ ලබා ගත යුතු වෙනවා. එය ක්‍රියාත්මක කිරීම තමයි මේ වෘත්තිකයන්ගේ කාර්යභාරය. මේක නම් ටිකක් අවදානම් වැඩක්.

සත්ත්ව ආහාර රස බලන්නන්

(thinglink.com)

‘කන්නේ පුන්නක්කුද?’ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ට අපහාස කරන්න භාවිත වෙන වදනක්. නමුත් පුන්නක්කුම නොවුණත් සිය වෘත්තිය වශයෙන් ‘සත්ත්ව’ ආහාරවල රහ බලන පිරිසකුත් ලෝකයේ ඉන්නවා. විවිධ සත්ත්ව ගොවිපළවල හා සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගම්වල මෙවැන්නන් සිටිනවා. රස බැලීමෙන් අනතුරුව ඔවුන් ඒවායේ තත්වය ගැන විස්තර නිෂ්පාදකයාට ලබා දෙනවා. සතුන්ට පහසුවෙන් කවන්න පුළුවන් අාහාර නිෂ්පාදන හදන්න මේ අය ගොඩාක් උදව් වෙනවා.

වෘත්තීය වැලපෙන්නන්

(afronews.de)

මේ රැකියාව නම් ලංකාවේ අයට ඒ තරම් අරුම පුදුම එකක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ යම් යම් ප්‍රදේශවලත් මෙවැන්නන් සිටින් බව ප්‍රකාශ වෙනවා. කරන්නට තියෙන්නේ අවමංගල්‍යයක් වැනි දුක්ඛ දායක අවස්ථාවක වැළපෙන එකයි. මේ වෘත්තිය සඳහා නම් රඟපෑමේ හැකියාව හොඳින් තිබිය යුතුයි. සමහර ඉන්දියානු නාට්‍යවල ඉන්න චරිත නම් මේ රැකියාවට හොඳට ගැළපෙන බව පෙනෙනවා.

ඔබ සතුව මේ වගේ අමුතු රැකියාවල විස්තර තිබේ නම් අපට පවසන්න අමතක කරන්න එපා.

මූලාශ්‍ර:

  1. scoopwhoop.com
  2. businessinsider.com

1 කවරයේ පින්තූරය (youtube.com)

Related Articles