Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආයුර්වේදය අනුව ඔබේ ප්‍රකෘතිය හඳුනා ගන්න

ආයුර්වේද මූලධර්මවලට අනුව සතුන්, මිනිසුන්, ගස්වැල් ආදී මේ හැමදේ ම නිර්මාණය වෙලා තිබෙනේ පංච භූත සංකල්පය මත යි. මේ පංචභූතවලින් තමයි ශරීරය ගොඩ නැගෙන වාත, පිත, කඵ යන ත්‍රිධාතූන් නිර්මාණය වෙලා තිබෙන්නේ. දරුවකු පිළිසිඳ ගනිද්දී දරුවාගේ ශරීරය ගොඩ නැගීමේදී එනම්, මූලික යුක්තානුව හැදෙද්දී ම මේ ඇති වාත, පිත, කඵ යන ත්‍රිධාතුවල සංකලනය වෙන ප්‍රමාණ/අනුපාත/ප්‍රතිශත මත යම් කෙනකුගේ ප්‍රකෘතිය නිර්ණය වෙනවා.

‘ප්‍රකෘතිය’ ගැන අපි, කොළඹ විශ්වවිද්‍යාලයේ BAMS ගෞරව උපාධිධාරී වෛද්‍ය ෂදිකා පල්ලියගුරු වික්‍රමසිංහ (ලියාපදිංචි අංක: 14316) සමඟ සාකච්ඡා කළා. අප සමඟ කළ කතාබහේ දී ඇය පැවසුවේ “ගොඩක් අය ක්‍රීම් වගේ දේවල් අරගත්තත්, ඒක පාවිච්චි කරලා ඉවර වුණු ගමන් ආයෙත් ගැටලුව එන්නේ එයාලා තමන්ගේ ශරීරයේ ගැටලුවට ගැළපෙන ඖෂධයක් තෝරා නොගන්නා නිසා,” බවයි. ශරීර ස්වභාවය නොහොත් ප්‍රකෘතිය අනුව විසඳුම් සැපයීමත්, ආලේපනවලට සමගාමී ව ආයුර්වේද වෛද්‍ය උපදෙස් අනුව ආහාර රටා, අනෙකුත් පුරුදු යනාදිය පවා සකස් කරගතහොත් රෝගය නිට්ටාවට සුව කර ගත හැකි වෙනවා.

වාත, පිත, සහ කඵ යන ත්‍රිදෝෂ (ayurvedayogajourney.com)

“ප්‍රකෘතිය මඟින් පුද්ගලයාගේ ශරීර ස්වභාවය, මානසික තත්ත්වය, මානසික ස්වභාවය, සමාජයේ පැවැත්ම, කැමැති අකැමැති දේවල්, චර්යා රටා මෙන්ම විලාසිතා, නිර්මාණ හැකියාව ආදී සෑම දෙයක් ගැනම අපිට සාමාන්‍ය දැනුමක් ගන්න පුළුවන් වෙනවා. තමන්ගේ සමේ තත්ත්වය, දත්වල ප්‍රශ්න, කෙස්වල ප්‍රමාණය සහ පැහැය ආදී මේ හැම දෙයක් ගැනම එක් එක් පුද්ගලයාගේ ශාරීරික මානසික සාමාජීය ස්වභාවය ගැන අපිට අවබෝධයක් ගන්න පුළුවන්කම ලැබෙනවා,” වෛද්‍යතුමිය පවසයි.

ඔබ අයත් වන ආයුර්වේද ප්‍රකෘතිය දැනගැනීම සඳහා https://ayush.lk/sinhala/webapp/ යන වෙබ් ලිපිනයෙන් Lever Ayush ප්‍රකෘති සත්කාර app එකට පිවිසෙන්න. ඉන්පසුව පහත දැක්වෙන ප්‍රකෘතිවලින් ඔබේ ප්‍රකෘතියට අදාළ විස්තර දැනගත හැකියි.

වාත පිත ප්‍රකෘතිය 

මෙහි ප්‍රතිශතයෙන් වැඩි ම ධාතුව ‘වාත’ ද දෙවනුව වැඩි ම ධාතුව ‘පිත’ ද වෙනවා. සමේ වර්ණය කහ පැහැයට හුරු අතර, දිදුළන බවින් අඩු ය. අත්පාවල වියළි සම, මුහුණේ කම්මුල් ආශ්‍රිත ව තෙල් සහිත බව දැකිය හැකියි. තෙතමනය අඩු සමක් බැවින් වයස්ගත වීමේදී මුහුණේ රැළිවැටීම ඉක්මනින් ආරම්භ විය හැකියි.

කෙස් ගස් සිහින් වන අතර ම ප්‍රමාණයෙන් අඩුයි. වාත ප්‍රමුඛ වීම නිසා පහසුවෙන් කැඩී යන අපිළිවෙළ සහිත මෙන්ම අවුල්වන වියළි කෙස් කලඹක් හිමිවේ. පිත ලක්ෂණ නිසා කෙස් ගැලවී යාම ද දැකිය හැකි ය. දත් කුඩා වන අතර දන්ත සංවේදීතාව වැඩි ය. නිය පෙළ ද ඉක්මනින් කැඩී යන ස්වභාවයක් ගනියි.

සමේ මෙන් ම සිරුරේ වියළි බව මඟහරවා ගැනීමට නිරතුරු ව වතුර පානය කිරීමත්, නැතිනම් දිනකට වරක් විනාඩි 10/15 වතුරේ බැස ගෙන සිටීමත් යෝග්‍ය යි.

වාත කඵ ප්‍රකෘතිය 

වාත  ප්‍රමුඛව සහ දෙවනු ව කඵ ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රකෘති ගණය වාත කඵ ලෙස හැඳින්වෙනවා. වාත ප්‍රමුඛත්වය නිසා වියළි සමක් ප්‍රධාන වශයෙන් තිබුණ ද, කඵ සමඟ  තිබීම නිසා තෙත් බව, තෙල් සහිත සමක් දැකිය හැකියි.

හිසකෙස් ප්‍රමාණය අඩු නමුත් කෙස් ගස් තරමක් ඝනකම් විය හැක. හිස් කබලේ වියළි බව නිසා ඇතිවෙන ඉස්සොරි හිසකෙස්වල රැඳී තිබෙන ස්වභාවයක් දැකිය හැකියි. දත් කුඩා වුවත් පිරිපුන් ස්වභාවයක් පෙන්වයි. දන්ත සංවේදීතාව අඩු ය. නිය පිරිපුන් ය.

සමේ පෝෂණයට අලිගැටපේර ආලේප කිරීම කිරීම ද, බීමට හෝ ආහාරයට ගැනීම ද යෝග්‍ය යි. වට්ටක්කා, කැරට් වැනි එළවළු වැඩිපුර ආහාරයට ගැනීම සුදුසු යි. හිස් කබලේ පෝෂණයට හා වියළීම වලක්වා හිස්සොරි පාලනයට නිරතුරු ව තෙල් සත්කාර මෙන් ම දිනක් හැර දිනක් වත් ස්ථානය වැදගත් ය.

පිත වාත ප්‍රකෘතිය 

පිත ප්‍රමුඛ බව නිසා ම ඔවුන්ගේ සම වාත හේතුවෙන් වන අඳුරු පැහැය මගහරවමින් දීප්තිමත් ව බබළ යි. තෙල් සහිත බවක් වියළි බවත් මිශ්‍ර සමක් පවතී. තෙල් සහිත බව නිසා සමෙහි සංවේදීතාව වැඩිවී අසාත්මිකතා ඇතිවීමේ සම්භාවිතාව වැඩිවන අතර කුරුලෑ ඇතිවීමේ හැකියාව ද වැඩි ය.

කෙස් කලඹ තඹවන් ය. කෙස් ගැලවී යාම වැඩි විය හැක. කෙස් ප්‍රමාණයෙන් සාමාන්‍ය‍ය හෝ අඩු විය හැකි ය. දත්වල හා නියවල කහ පැහැයක් දැකිය හැකි ය. දන්ත සංවේදිතාව පැවතිය හැකි ය.

සමේ නිරෝගී පැවැත්මට මෙන් ම තෙල් සහිත බව අවම කර, කුරුලෑ ඇතිවීම වලක්වා ගැනීම සඳහා කෝමාරිකා අඩංගු ආලේපන සුදුසු ය. ආහාර ආසාත්මිකතා ඇතිවීමට ඉඩකඩ පවතින බැවින් ආහාර පිළිබඳ ව සැලකිලිමත් වන්න.

ඖෂධ නිර්දේශ කරන්නේ ප්‍රකෘතිය අනුවයි (kwina.in)

පිත කඵ ප්‍රකෘතිය

මෙයට අයත් වන අයට සමේ දිදුළන පැහැපත් වර්ණයක් තිබෙයි. සම තෙල් සහිත වන අතර blackheads, whiteheads වැඩි විය හැකියි. මොවුන්ට දීප්තිමත්, සිත් ඇදගන්නාසුලු ඇස් ඇත. කෙස් කලඹ තඹවන් විය හැකි අතර, කෙස් ඝනකම් හා ඉතා අලංකාර කෙස් කලඹක් මොවුන් සතු යි.

සෙම් රෝග, පීනස් තත්ත්වයන් ඇතිවිය හැකි බැවින්, සෙම කෝප නොවන අයුරින් පිත පාලනය කිරීම මගින් ඉතා නිරෝගී ව සිටීමට අවකාශය ලැබේ. සමේ වර්ණය වැඩි කරගැනීම අවශ්‍ය නොවන අතර කුරුලෑ පාලනය සහ තෙල් පාලනය අවශ්‍ය වේ. මේකප් රඳවා තබා ගැනීමට ද අපහසු වන අතර ඒ සඳහා මේකප් කිරීමට ප්‍රථම කෝමාරිකා මද ආලේප කර අනතුරු ව මේකප් භාවිත කිරීම කළ හැකි ය.

උදය හෝ දහවල් කාලය තුළ ස්නානය කිරීම ශරීරයේ උෂ්ණත්වය පාලනයටත්, කෙස් කලඹ නිසි ලෙස පවත්වා ගෙන යාමටත් වැදගත් වෙනවා. සතියට වරක් හෝ දෙවරක් හිසේ තෙල් ගැල්වීමෙන් හිසකෙස් පෝෂණයටත්, කෙස් වඩවා ගැනීමටත් උපකාරී වෙනවා. නිසි වෙලාවට ආහාර ගැනීමෙන් අම්ලපිත්තය (ගැස්ට්‍රයිටිස්) වැනි රෝගවලින් වැළකීමටද හැකි ය.

කඵ වාත ප්‍රකෘතිය 

කඵ ප්‍රධාන බව නිසා ඔබගේ සම පැහැපත් වන අතර තෙතමනය සහිත බවක් දැකිය හැකියි. සුළු තෙල් සහිත බවක් මිශ්‍ර වීම නිසා ඇති වුව ද රළු හෝ වියළි බවක් අත් පාවල දැකිය හැකි ය.

හිසකෙස් ඝනකම් වන අතර කළුවන් කෙස් කලඹක් පිහිටයි. හිසකෙස් කැඩී යාම, අගිස් පැලීම වැනි ලක්ෂණ ද, කෙස් ප්‍රමාණයෙන් අඩු විය හැකි බව දැකිය හැකි ය. පිරිපුන් දත් පිහිටන අතර දන්ත සංවේදීතාව ද තිබිය හැකි ය.

සමේ ගැටලු අවම කිරීමට සම ආරක්ෂා කර ගැනීමට කෝමාරිකා අඩංගු නිෂ්පාදන සුදුසු ය. දීප්තිමත් බව ඇතිකර ගැනීම සඳහාත් තෙල් සහිත බව පාලනය කිරීම සඳහාත් කෝමාරිකා මද ආලේප කිරීම වැදගත් ය. සතියට දෙවරක් තුන්වරක් වත් උදෑසන ස්නානය වැදගත් වන අතර ම නිසි ලෙස හිසකෙස් වියළා ගැනීම ද වැදගත් ය. පිළිවෙළට ආහාර ගැනීම මෙන් ම නිසි පරිදි නින්දක් ලබා ගැනීම නිරෝගීතාවට මෙන් ම සමේ පෙනුම රැක ගැනීමට ද උපකාරී වෙයි.

කඵ පිත ප්‍රකෘතිය 

සමේ තෙල් සහිත බව නිසා කුරුලෑ ඇති සමක් හිමි වන අතර, ඒ නිසා ම සමෙහි අවපැහැ ගැන්වීම් හා කුරුලෑ ලප තිබිය හැකි ය. නමුත් මොවුන් ඉතා පැහැපත් හා දීප්තිමත් සමකට උරුමකම් කියයි. තෙතමනය සහ තෙල් සහිත බව නිසා සම රැලි වැටීමට ප්‍රමාද වීම විශේෂත්වයකි.

ගැටලු අවම කෙස් කලඹක් ඇති අතර, කෙස් ඝනකම් ව හා පිරිපුන් ව පවතී. කෙස් කළඹෙහි ද තෙල් සහිත බව නිසා කෙස් වියළී යාමක් නොපෙන්වන අතර, රැලි සහිත ලස්සන කෙස් කළඹක් හිමි වේ. 

සමේ තෙල් සහිත බව පාලනය කළ යුතු අතර ම, ඒ නිසා ඇති වූ කුරුලෑ ලප කැළැල් ඉවත්කර ගැනීමට කෝමාරිකා සහ කහ මිශ්‍ර නිෂ්පාදන සුදුසු ය. කෙස්වල නිරෝගී පැවැත්ම සඳහා දිනක් හැර දිනක් උදෑසන ස්නානය සුදුසු වන අතර වැඩිපුර සිසිල් පාන ගැනීමද නුසුදුසු ය.

මේ ආකාරයට ඔබේ ප්‍රකෘතිය සොයා ගැනීම මඟින් ඔබේ දේහයේ පවතින ගැටලුවලට හේතුව සොයා ගෙන, ඒවා නිරාකරණය කරගැනීමටත්, මැඬපවත්වා ගැනීමටත් හැකිවන අතර, සුදුසු රූපලාවන්‍ය ක්‍රම හා ආලේපන භාවිත කිරීමට අවශ්‍ය දැනුම්වත්භාවයත් ලැබෙයි.

කවරයේ ඡායාරූපය: naturaltherapypages.com.au

Related Articles