ප්‍රතිජීවක ප්‍රතිරෝධය

ප්‍රතිජීවක සොයා ගැනීම ලෝක වෛද්‍යවිද්‍යා ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. එම සොයාගැනීම හේතුවෙන් එතෙක් කලක් ලොව පුරා සුව කළ හැකි රෝගයන්ගෙන් මියගිය සංඛ්‍යාවේ ශීඝ‍්‍ර පහළ යෑමක් ඇතිවුණා.

ප්‍රතිජීවක, එහෙම නැත්නම් Antibiotics, ලෙස හඳුන්වන්නේ රෝගකාරක බැක්ටීරියා වර්ග සමග සටන් කර රෝගය සුව වීමට සහාය දෙන ‍‍‍ඖෂධ වර්ගයන්. ප්‍රතිජීවක භාවිතයට ගැනීම අත්‍යවශ්‍යයෙන්ම වෛද්‍ය උපදෙස් මත කළ යුතු දෙයක්. තම හිතුමතේට ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම මිනිස් වර්ගයාගේ අවසානයට අතවැනීමක් ලෙස යි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. 

වර්ෂ 2050 වන විට නියමිත ප්‍රතිජීවක ඖෂධ නොමැතිවීම හේතුවෙන් ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් මිලියන 10ක සංඛ්‍යාවක් මියයන බවත්, ඉන් අනතුරුව එළඹෙන වසර 10ක් තුළ එම සංඛ්‍යාව ඊට වඩා බොහෝ ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ප්‍රතිජීවක සොයා ගැනීම

පෙනිසිලින් (aarp)

1928 වර්ෂයේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් පෙනිසිලින් නම් ප්‍රතිජීවකය සොයා ගැනීම නූතන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයේ ආරම්භය ලෙස හැඳින්විය හැකි යි. පෙනිසිලින් සොයා ගැනීමෙන් පසුව ඇති වූ බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග තවත් බොහෝ ප‍්‍රතිජීවක ඖෂධ සොයාගන්නවා. අද වන විට පෙනිසිලින්, ඇමයිනෝග්ලයිකෝසයිඩ, ටෙට්‍රාසයික්ලින, සෙෆලෝස්පොරින් වැනි විවිධ ප්‍රතිජීවක කාණ්ඩයන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබනවා. 

මෙම ප්‍රතිජීවක ඖෂධයන් සොයා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බැක්ටීරියා ආසාදනයන් බොහොමයකට ප්‍රතිකාර කිරීමට හැකිවෙනවා. ඒ අනුව බැක්ටීරියා රෝග වැළඳීමෙන් මරණයට පත්වීමේ අවදානම පහළ අගයක් ගනු ලබනවා. 

ප්‍රතිජීවක ප්‍රතිරෝධය බරපතල ගැටලුවක් බවට පත්වීම 

ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය වර්තමානය වන විට උග්‍ර ගැටළුවක් බවට පත් වී තිබෙනවා.(theconversation)

ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් මේ වන විට ලෝකය පුරා කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. එහි මාතෘකාව වන්නේ “ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය” යි. 

ප්‍රතිජීවක ප්‍රතිරෝධය යනු ප‍්‍රතිජීවක ඖෂධවලට ඔරොත්තු දීමේ හැකියාවක්, එසේත් නැතිනම් ප‍්‍රතිරෝධයක්, බැක්ටීරියාව විසින් වර්ධනය කර ගැනීම යි. මෙය මේ වන විට ලොව පුරා දැකගත හැකි තත්ත්වයක් බව යි ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝ වන රෝග අංශය පෙන්වා දෙන්නේ. 

ජනතාව පාලනයකින් තොරව ප්‍රතිජීවක භාවිත කිරීම, වෛද්‍යවරුන් විසින් අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ නියම කිරීම, හා සෞඛ්‍ය උපදෙස් පිළිනොපදිමින් ප්‍රතිජීවක භාවිතය වැනි කරුණු හේතුවෙන් “ප්‍රතිජීවක ප්‍රතිරෝධය” බරපතල ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බව මේ වන විට පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. 

ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇතිවන්නේ රෝගකාරක බැක්ටීරියා වෙනස්වීම්වලට භාජනය වීමෙන්, ඒ ඒ රෝගකාරකයට එරෙහිව ලබා දෙන ප්‍රතිජීවක ඖෂධයට තවදුරටත් බැක්ටීරියාව විසින් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

එකම ප්‍රතිජීවකය නිතර ගැනීම හෝ, ප්‍රතිජීවක ගන්නා විට යම් බැක්ටීරියා ප්‍රමාණයක් නොමැරී ශරීරයේ ඉතිරිවීම නිසා හෝ, ප්‍රතිජීවක ඖෂධ නියම කරන දින ගණන නොගැනීම නිසා ද මේ තත්ත්වය ඇති විය හැකි යි.

මරණයට අත වැනීමක් 

රෝග මර්දනය සහ පාලනය පිණිස ඇති ප‍්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිත කිරීම මරණයට අත වනන කාරණයක් බවට පත් වී තිබෙනවා. ඒ සඳහා තුඩුදුන් මූලික හේතූන් අතර සුදුසුකම් නොලත් වෛද්‍යවරුන්ගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීම, නිසි වේලාව හා මාත‍්‍රාව නොසලකා හරිමින් ප‍්‍රතිජීවක ශරීරගත කිරීම, වෛද්‍ය උපදෙස් නොතකමින් ප‍්‍රතිජීවක ඖෂධ ලබාගැනීම, ඖෂධ පිළිබඳ රෝගීන් තුළ වන අනවබෝධය ආදී කරුණු මූලික තැනක් ගෙන ඇති අතර සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටින්නේ ප‍්‍රතිජීවක සඳහා ප‍්‍රතිරෝධ ඇතිවීමට ද එවැනි කරුණු හේතුවන බව යි. 

ශ්‍රී ලංකාවේ තත්ත්වය 

ශ්‍රී ලංකාවේ ද ප්‍රතිජීවක ප්‍රතිරෝධය උත්සන්න වෙමින් පවති (newscientist)

ශ්‍රී ලංකාවේ ප්‍රතිජීවක භාවිතය පිළිබඳව මහා පරිමාණ විද්‍යානුකූල සමීක්ෂණයක් මේ වන තුරු සිදු කර නෑ. නමුත් ශ්‍රී ලංකාවේ ද ප්‍රතිජීවක ප්‍රතිරෝධය උත්සන්න වෙමින් පවතින බව පැහැදිලිවම දක්නට ලැබෙන බව මෙරට විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. 

විශේෂයෙන්ම බටහිර රටවල දී මෙන් නොව ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳසල්වලින් ප්‍රතිජීවක පහසුවෙන් ලබාගත හැකි වීම ගැටළුවක්. බොහෝ අවස්ථාවල රෝගීන් සෑම රෝගයකටම, හෙම්බිරිස්සාව වැනි වෛරස ආසාදනයන්ට පවා, ප්‍රතිජීවක බලාපොරොත්තු වීම එයට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් කළ හැකි යි. .

ප්‍රතිජීවක භාවිතය සීමා කිරීම පිණිස නීතිමය විධිවිධාන පැනවීමට සිදු කර තිබුණත් ඒවා එතරම් සාර්ථකව ක්‍රියාත්මක වන බවක් දක්නට නැහැ. ප්‍රතිජීවක අවශ්‍ය වන්නේ කවර අවස්ථාවන්වල ද යන්න පිළිබඳව සමාජය දැනුවත් කිරීම මීට විසඳුම් ලෙස ඉදිරිපත් කළ හැකි යි. ඒ ඔස්සේ ප්‍රතිජීවක පිළිබඳව ඉතා නිවැරදි දැනුමක් මහජනතාවට ලබාගත හැකි වෙනවා.

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව අඩු කිරීමට කළ හැකි දේ

වෛද්‍ය උපදෙස් රහිතව කිසිම අවස්ථාවක ප්‍රතිජීවක ඖෂධ නොගත යුතු යි (jakpost)

*වෛද්‍ය උපදෙස් ප්‍රවේශමෙන් අනුගමනය කිරීම ප්‍රතිජීවක ඖෂධ පාවිච්චියට සිදුවන අවස්ථා අවම කරගැනීම සඳහා කටයුතු කිරීම

*වෛද්‍යවරයා විසින් නියම කරන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගැනීම (රෝගය සුව වූවායැ යි ඔබට හැඟුණු විට ප්‍රතිජීවක භාවිතය නතර කිරීම නොකළ යුතු යි. ලබාදුන් ප්‍රතිජීවක අවසන් වනතුරුම භාවිතා කළ යුතු යි.)

*පසු අවස්ථාවක රෝගී වූ විට පාවිච්චි කිරීමට ඖෂධ ඉතුරැ කිරීම හෝ ඒවා භාවිතයට නොගැනීම 

*වෛද්‍ය උපදෙස් රහිතව කිසිම අවස්ථාවක ප්‍රතිජීවක ඖෂධ නොගැනීම 

යන පියවර, ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව අඩු කිරීමට ඔබට කළ හැකි දේ ලෙස නම් කළ හැකි යි.

කවරයේ පින්තූරය -naturesway

මූලාශ්‍රයයන් -

BBC.com

Wijeya.lk

WHO

NHS - UK

Related Articles