Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අර්බුදකාරී වාතාවරණය නිසා උදේ වේලත් අර්බුදයක ද?

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදකාරී වාතාවරණය නිසා තමන්ගේත්, තම සමීපතමයන්ගේත් ජීවිතය ගැට ගසා ගෙන ඉදිරියට ගෙනයනු වස් බොහෝ දෙනා සිය සැප පහසු සීමාවෙන් ඔබ්බට පැමිණ කටයුතු කරන බව අපට පෙනී යනවා. දින ගණන තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල ඔවුන් ගත කරන අතර, මේ නිසා ඔවුන් ඉන් පෙර සිදු කළ සමහර කටයුතු නිසියාකාර ව සිදු නොකර මඟහැර ගැනීම සිදුකරනවා. 

විශේෂයෙන් ආහාර පානවල මිලගණන් වෙනස් වීම නිසා තවත් සමහරෙක් ආහාර වේල් මඟහැර ගැනීමට හුරු වී සිටිද්දී තවත් සමහරෙක් මේ පෝලිම්වල කාලය ගත කිරීම හේතුවෙන් ඔවුනට නිතැතින්ම ආහාර වේල් මඟහැරෙනවා. මේවා මෙලෙස සිදුවෙද්දී ලාංකීය ප්‍රජාවේ බොහෝ දෙනාට උදෑසන ආහාර වේල මඟහැරෙන බව පෙනී ගොස් තිබෙනවා. 

මෙය දීර්ඝකාලීනව ඉතා දරුණු සෞඛ්‍ය ගැටලු ඉස්මතු කළ හැකි බැව් විද්වත් මතය යි. උදෑසන ආහාරය නිසියාකාරව ගැනීමෙන් සිදුවන වාසි මොනවාද? උදෑසන ආහාර වේල දිගින් දිගට ම මඟහැරගතහොත් සිදුවන්නේ කුමක්ද? යන කරුණු මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

 උදෑසන ආහාරය ගැනීම අතිශය වැදගත් වෙනවා – lancastergeneralhealth.org

 

වැඩිපුර කැලරි දහනය කර ගැනීමට

උදෑසන ආහාරය නිසියාකාර ව ගැනීම දිනය පුරා කැලරි වැඩිපුර දහනය කර ගැනීමට ඉවහල් වෙනවා. මෙයට හේතු වන්නේ උදෑසන ම නිසියාකාරව උදෑසන ආහාරය ගැනීමන් යමෙකුගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් නිසියාකාරව සිදුවීම සඳහා අවශ්‍ය පෝෂණය සැපයෙන අතර, පරිවෘත්තීය වේගය ද වැඩි වෙනවා. මේ නිසා ශරීර ශක්තිය වැඩි වී ප්‍රබෝධමත් ගතියක් ඇති වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාශීලීභාවය ද වැඩි වන අතර, වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වෙනවා. තරමක් බර උදෑසන ආහරයක් ගැනීමෙන් දිනයේ බොහෝ වේලාවක් නැවත කුසගින්න ඇති වීම අවම කරන අතර, ප්‍රධාන වේල් අතර අනවශ්‍ය ලෙස කෙටි ආහාර ගැනීමත් අවම වෙනවා. 

මතකය වැඩිදියුණු කර ගැනීමට

නිසි ලෙස උදෑසන ආහාරය ගැනීමෙන් පුද්ගලයකුගේ මතක ශක්තිය වැඩිදියුණු වෙනවා. විශේෂයෙන් උදෑසන රැකියාවට යන සමහරක් දෙනා දීර්ඝ කාලීන ව නිසි ලෙස උදෑසන ආහාරය නොගෙන, එය මඟහැරීමට පුරුදු වී තිබෙනවා. මෙලෙස කිරීම නිසා රැකියාවට ගිය පසු මොළය වෙහෙසවන විට, එය නිසියාකාර ව ක්‍රියාත්මක නොවීමෙන් මතක ශක්තිය වැනි දේ හීන වී අපහසුතා ඇතිවිය හැකි යි.  දීර්ඝකාලීනව මෙය සිදුවීමන් මොළයේ පටක වලට පවා හානි සිදුවිය හැකියි.

නිසි පෝෂණයෙන් යුක්ත, සමබල උදෑසන ආහාරයකින් නිතිපතා සප්පායම් වූ විට මොළයට අවශ්‍ය පෝෂණය නිතැතින් ලැබෙන නිසා මතක ශක්තිය මෙන්ම, යමකට අවධානය ලබා දීමේ හැකියාවත් වර්ධනය වනවා. එහි ප්‍රතිඵලය වන්නේ එදිනෙදා වැඩකටයුතුවල දියුණුවක් ඇතිවීම යි. විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන් විෂයෙහි හොඳ උදෑසන ආහාරයක් නිතිපතා ගැනීම ඉතා වැදගත් සාධකයක් වන අතර, ඉන් ඔවුන්ගේ ශාරීරික මෙන් ම මානසික සෞඛ්‍යය ද වර්ධනය වී, පාසල් වැඩකටයුතු හොඳින් කරගෙන යාමට ඉවහල් වෙනවා.

 උදෑසන ආහාර වේල නිසියාකාරව ගැනීමෙන් සතුට වැඩෙනවා- Shutterstock

 

හොඳ හැඟීම් පවත්වාගැනීමට

තමා ප්‍රිය කරන ආහාර, ප්‍රශස්ත මට්ටමකින් ලැබුණු විට ඕනෑම සත්ත්වයකුගේ සිතෙහි ප්‍රීතිමත් භාවයක් ඇති වෙනවා. අධ්‍යයනයන්ගෙන් තහවුරු වී ඇති අන්දමට නිසියාකාරයෙන් නිතිපතා උදෑසන ආහාර ලබාගන්නා අය, එසේ නොකරන අයට සාපේක්ෂ ව සතුටින් සිටිනවා. උදෑසන ම සිය ආහාර අවශ්‍යතා සපුරාගන්නා අයකුට ඇති වන ප්‍රීතිමත් හැඟීම් දිනය පුරාවට ම ඔහු හෝ ඇය ප්‍රබෝධමත් ව තැබීමට ඉවහල් වෙනවා. සිතේ සන්සුන් භාවය ඇතිවන නිසා, යම් කටයුත්තක් කිරීමේ ධාරිතාවත්, නිරෝගීමත් භාවයත් ඇති වෙනවා. උදෑසන ආහාර නිතර ම මඟහැරීමෙන් තරහව වැනි හැඟීම් වැඩිපුර ඉස්මතු වන අතර, දීර්ඝකාලීන ව එය විවිධ රෝගාබාධ සෑදවීමට ද හේතු වෙනවා.

වැඩිපුර පෝෂක ශරීර ගත කර ගැනීමට

උදෑසන, නිසි වේලාවට සමබල උදේ ආහාරයක් ලබාගැනීමෙන් ශරීරයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය පෝෂක රාශියක් නිසි ප්‍රමාණවලින් ශරීරගත වීම සිදුවෙනවා. විශේෂයෙන් නිසියාකාරයෙන් උදෑසන ආහාර සමඟ කැල්සියම්, තන්තු සහ ප්‍රෝටීන ශරීරගත කරගතහොත් දීර්ඝ කාලීන ව ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු අවම වෙනවා. උදෑසන ආහාරය නිසියාකාරව, සමබල ලෙස ලබා නොගතහොත් ශරීරය වැහැරී යන අතර, නිදන්ගත රෝගාබාධවල මතුවීම ද පහසුවෙන් සිදුවිය හැකි යි. විශේෂයෙන් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගාබාධ හරියාකාර කැල්සියම් ශරීරගත නොවීම නිසා ඇතිවන්නට පිළිවන්. අඩු ප්‍රෝටීන ප්‍රමාණයක් ශරීරගත වීමෙන් මාංශපේෂිවල දුර්වල වීම වැනි දෑ ද සිදුවිය හැකි අතර, විටමින වැනි දේ ශරීරගත නොවීමෙනුත් රෝගබාධ රාශියක් ඇතිවෙනවා.

උදෑසන පහසුවෙන් ශරීරයේ දාහ ගති මතුවනවා – unsplash.com/Adrian Swancar 

 

ශරීරයේ දාහ ගති අවම කර ගැනීමට

උදෑසන යමෙක් අවදිවන විට පැය ගණනාවක් නිරාහාර ව සිට තිබෙන අතර, නින්දේ දී ශරීරයේ සිදුවන යම් පරිවෘත්තීය ක්‍රියාවන්ට පෝෂක සහ ශක්තිය යොදවා ගෙන තිබීම නිසා, ශරීරය පවතින්නේ යම් ආතතියකට පත් වී යි. මේ නිසා උදෑසන අවදි වී, නිසියාකාර උදෑසන ආහාරයක් නොගෙන බර වැඩ සිදු කිරීමට යාමේ දී පහසුවෙන් ශරීරයේ දාහ ගති මතුවනවා. යමෙක් තුවාලයක් හෝ වෙනත් රෝගාබාධයක් සමග ගනුදෙනු කරමින් සිටින විට දාහ ගති ඇතිවීම සාමාන්‍ය මුත්, දීර්ඝකාලීනව, නිතිපතා ශරීරයේ දාහ ගති ඇතිවීම සන්ධි ප්‍රාදාහය, ශක්තිය හීන වීම වැනි රෝගාබාධවලට හේතු වෙනවා.

උදෑසන ආහාරයට බිත්තර, පලතුරු, තක්කාලි, යෝගට් වැනි ආහාර එක්කාසු කිරීමෙන් දාහ ගති ඇතිවීම මඟහරවාගත හැකි වෙනවා.

 උදෑසන ආහාර වේල මගහැරීම හෘද රෝගවලට හේතු විය හැකියි- columbiaasia.com

 

හෘද රෝග වැලඳීම අවම කර ගැනීමට

නිසියාකාරව උදෑසන ආහාර ලබා ගැනීම නිසා හෘද රෝග වැලඳීමේ අවදානම අඩුවෙනවා. විද්‍යාත්මකව ඔප්පු වී ඇති පරිදි දිගින් දිගට ම උදෑසන ආහාරය ලබා නො ගැනීම නිසා ස්ථුලතාව, අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වැලඳීමේ අවදානම විශාල ලෙස වැඩි වෙනවා. ලිපියේ පෙර දක්වා ඇති පරිදි නිසි පරිදි, සමබල උදේ ආහාරයක් ගැනීම නිසා ශරීරයට නිසියාකාර පෝෂණ සැපයුමක් ලැබෙන අතර, අවසන මේ රෝගාබාධවලින් මිදී දීර්ඝායුෂ විඳීමේ හැකියාව ද ලැබෙනවා.

කවරයේ ඡායාරූපය - Healthline.com 

මූලාශ්‍ර:

Timesofindia.indiatimes.com

Cupitol.com

thenationonlineng.net

Related Articles