Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොළඹ වරායේ ඉතිහාසයෙන් තොරතුරු බිඳක්

පසුගිය දිනවල මතුවුණු කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ ප්‍රශ්නය නිසා රට තුළ උණුසුම් වාතාවරණයක් නිර්මාණය වීමත් සමග කොළඹ වරායේ වැදගත්කම පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ඇති වුණා. අප ඒ පිළිබඳව ලිපියක් ද ගෙන ආවා

කොළඹ වරාය දීර්ඝ ඉතිහාසයක් ඇති ස්ථානයක්. ඈත අතීතයේ දී කුඩා වක්කලමක් ලෙසින් පැවති මෙම ප්‍රදේශය වරායක් බවට පත්වුණේ බටහිර ජාතීන්ගේ පැමිණීමත් සමග යි.  

පුරාණ ලංකාවේ පැවති වරායන් 

ඈත අතීතයේ සිටම අභ්‍යන්තර වෙළඳාම සහ විදේශීය වෙළඳාම අප රට තුළ පැවතුණා. ලංකාව ඉන්දියන් සාගරය තුළ මධ්‍යගතව පිහිටා තිබීම නිසා පෙරදිග ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබුණා. එම නිසා විදේශීය වෙළෙන්දන් නිතරම ලංකාවට පැමිණියා. ඇතැම් විදෙස් වෙළඳුන් නිසා අපේ රට පරිහානියට පවා පත්වූ අවස්ථාවන් අප අසා තිබෙනවා. සූරතිස්ස රාජ්‍ය සමයේ අශ්ව වෙළඳුන් ලෙස ලංකාවට පැමිණි සේන සහ ගුත්තික ඊට උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්. එසේම 5 වන මිහිඳු රාජ්‍ය සමයේ දී අනුරාධපුර රාජධානිය අස්ථාවර තත්ත්වයකට පත්ව තිබුණු බව ඔබ අසා ඇති. එකල රාජ රාජ නම් සොළී රජතුමාට අනුරාධපුරය ආක්‍රමණය කිරීම සඳහා උදව් ලෙස, මෙරට සමග සම්බන්ධකම් පැවැත්වූ විදෙස් වෙළෙන්දෙකු තොරතුරු ලබාදුන් බව ඉතිහාසය අපට කියනවා.

 රාජ රාජ නම් චෝළ අධිරාජ්‍යයාගේ පිළිරුවක් (Opindia)

කොස්මස්ගේ වාර්තා, මෙගස්තනීස්ගේ වාර්තා, ටොලමිගේ වාර්තා, ෆාහියන් හිමිගේ දේශාටන වාර්තා, රාජතරංගණී ග්‍රන්ථය, පරාක්‍රමබාහු රජුගේ නයිනතිව් සෙල්ලිපිය, ගජබා රජුගේ ගොඩවාය සෙල්ලිපිය, ලීලාවතී රැජිණගේ පුලියන්කුලම පුවරු ලිපිය වැනි මූලාශ්‍රවල සඳහන් වන්නේ එකල ලංකාවවේ වරායන්හි විශාල නැව් මඟින් වෙළඳ කටයුතු සිදුවුණු බව යි. මාෂියන් නැමැති රෝම යාත්‍රිකයා සඳහන් කර තිබුණේ තැප්‍රොබේන්වල වෙළඳ මධ්‍යස්ථාන 22ක් පමණ තිබුණු බව යි. 

පුරාණ ලංකාවේ ප්‍රධානතම වරාය බවට පත්ව තිබුණේ මාන්තොට හෙවත් මහාතිත්ථ වරාය යි. එසේම ගෝකණ්ණ, ගොඩවාය, ඌරාතොට, දඹකොළපටුන, තිරියාය, දෙවිනුවර වැනි වරායන් ද විදෙස් වෙළඳාම සම්බන්ධව ප්‍රසිද්ධියට පත්ව තිබුණා. 

පෘතුගීසීන් ලංකාවට පැමිණීම 

16 වන සියවසේ ආරම්භය පමණ වන විට ඉන්දියන් සාගරය අවට ප්‍රදේශයේ සරුසාර දූපත් තිබෙන බව පෘතුගීසීන් දැනගෙන සිටියා. ඔවුන්ගේ අභිප්‍රාය වුණේ එවැනි දූපත් සොයාගැනීම යි. එම කාර්යය සඳහා පත්කර සිටියේ ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන සිටි ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා නම් සෙන්පතියා යි. ෆ්‍රැන්සිස්කෝ අල්මේදා ඔහුගේ පුත් ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වය යටතේ සේනාවක් ඒ සඳහා පිටත්කර හැරියා. නව දූපත් සොයාගෙන යාත්‍රා කළ ලොරෙන්සෝ ඇතුළු සේනාව ප්‍රචණ්ඩ කුණාටුවකට හසුවී ගාලු වරායට සේන්දු වුණා.

ෆ්රැන්සිස්කෝ ද අල්මේදා (pinterest)

කාම්බෝජයට අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබුණු කුරුඳු සහ ඇත් පැටවු අඩංගු වුණු නැව් කිහිපයක් ඒ වන විට වරායේ නැංගුරම් දමා තිබුණා. ලොරෙන්සෝ ඇතුළු පිරිස එහි සිටි මුස්ලිම් වෙළෙන්ඳන් පළවා හැර වරාය අවට සිටි ස්වදේශිකයන් කිහිපදෙනෙකු කැඳවා ඔවුන්ගේ ද සහාය ඇතිව එහි තිබුණු ගල් පර්වතයක පෘතුගාල රජුගේ ලාංඡනය සටහන් කළා. එම කාර්යය සිදුකරන ලද ගොන්සාල් ගොන්සාලවේස් නම් පෘතුගීසි භටයා ඔහුගේ නම ද එයට ඇතුළත් කරනු ලැබුවා.

එවකට ලංකාව පාලනය කරන රජතුමා කෝට්ටේ සිටින බව දැනගත් පෘතුගීසීන් පසුව කෝට්ටේ බලා ගියේ රජතුමාව හමුවීම සඳහා යි. පෘතුගීසීන් පිරිස දුටු රාජ පුරුෂයන් කිහිපදෙනෙකු 8 වන වීර පරාක්‍රමබාහු ජතුමාට ඒ බව සැලකර සිටියේ පහත දක්වා තිබෙන ආකාරයට යි.

“රජතුමනි, කොළොම්තොටට අමුතුම මිනිසුන් පිරිසක් ගොඩබැස සිටිනවා. යකඩ තොප්පි දාගෙන යකඩ හැට්ට ඇදගෙන ඉන්න ඒ පිරිස තිරිවානා ගල් කැට කමින් ලේ බොන ආකාරය අපිට දකින්නට ලැබුණා”.

රජතුමාගේ නියමය පරිදි පෘතුගීසි පිරිස රජ වාසලට ගෙන්වා ගත්තා. සිංහලයන් ඔවුන්ව දුර පාරකින් රජ වාසල වෙත කැඳවාගෙන ඒම නිසා “පරංගියා කෝට්ටේ ගියා” යන පිරුළ නිර්මාණය වුණා. එලෙස රජ වාසලට පැමිණි පෘතුගීසීන් සහ රජතුමා අතර පසුකලෙක ගිවිසුමක් ඇති වුණා. ඒ අනුව රජතුමා වාර්ෂිකව කුරුඳු බහාර් 400ක් පෘතුගීසීන්ට ලබාදෙන විට ඔවුන් අරාබි ජාතිකයන්ගෙන් ලංකාවේ නැව් තොටුපොළවල් ආරක්ෂා කරදීමට පොරොන්දු වුණා.

කොළඹ නගරය ආශ්‍රිතව වරායක් බිහිවීම 

ලංකාවේ තිබෙන නැව් තොටුපොළවල් ආරක්ෂා කරදීම පෘතුගීසීන්ට භාර වුණු නිසා ඔවුන් තම නැව් නවතා කොළඹ නගරය ආශ්‍රිතව ස්ථානගත කර තැබීමට කල්පනා කළා. ඒ අනුව පෘතුගීසීන් කොළඹ නගරයේ වෙරළ ආශ්‍රිතව තිබුණු කුඩා වක්කලමක් නැව් නවත්වා තැබීම සඳහා භාවිතා කළා. වර්තමානයේ දී කොළඹ වරාය ලෙස වැඩි දියුණු වී ඇත්තේ එම ස්ථානය යි. 16 වන සියවසේ දී පෘතුගීසි කතුවරයෙකු කොළඹ නගරය අසල පිහිටා තිබුණු වරාය පිළිබඳව මෙසේ සඳහන් කර තිබෙනවා.

“වරායට ඇතුළුවීම සඳහා විශාල දොරටුවක් තිබෙනවා. එම ප්‍රදේශය ආසන්නයෙන් ඇළ මාර්ගයක් ද ගලා යනවා. වරාය තුළ පිහිටා තිබෙන තුඩුව බිලී කටුවෙහි තුඩ මෙන් උල් ස්වභායක් ගන්නවා. එය ගොඩබිමට ඉතාමත් ආසන්නයෙන් පිහිටා තිබෙනවා. එය එක් පසෙක සිට අනිත් පසට ගලක් විසි කරන්නට හැකි තරම් කුඩා දුර ප්‍රමාණයක්. පෘතුගීසි වෙළෙන්ඳන් සහ නැවියන් එම ස්ථානය පවුරකින් වටකර ඔවුන්ගේ වෙළඳාම පිළිබඳ ප්‍රධාන ස්ථානය බවට පත්කරගනු ලැබුවා”. 

පෘතුගීසි ජාතිකයින් 1517 වසරේ දී මෙම වරායේ වෙළඳාම් කටයුතු ආරම්භ කළා. ඉන් අනතුරුව වසර 139ක් පමණ මෙහි පාලනය පැවතියේ පෘතුගීසි ජාතිකයන් යටතේ යි. නමුත් 17 වන සියවසේ දී දෙවන රාජසිංහ රජතුමාගේ සහාය ඇතිව මෙහි පැමිණි ලන්දේසි ජාතිකයන් පෘතුගීසීන්ගේ පාලන ප්‍රදේශ අල්ලා ගත්තා. ඒ අනුව 1656 වසරේ දී කොළඹ වරාය ලන්දේසීන්ගේ යටතට පත්වුණා. 

බ්‍රිතාන්‍ය යුගයේ දී කොළඹ වරාය දියුණු වුණු හැටි 

පෘතුගීසින් ආරම්භ කළ කොළඹ වරාය ලන්දේසි යුගයේ දී තවදුරටත් දියුණු වුණා. නමුත් කොළඹ වරායට හොඳ කලක් උදාවුණේ 1796 වසරේ දී බ්‍රිතාන්‍ය ජාතිකයන් එය යටත් කරගැනීමත් සමග යි. බ්‍රිතාන්‍ය පාලන සමයේ දී මෙරට වෙළඳ කටයුතු ක්‍රමයෙන් දියුණු වුණා. එම නිසා වරාය පුළුල් කිරීමේ අවශ්‍යතාවය මතු වුණා. ඒ අනුව බ්‍රිතාන්‍යයන් විසින් කොළඹ වරාය එකවර නැව් 40ක් පමණ නවතා තැබිය හැකි කෘතිම වරායක් බවට පත්කළා. එසේම නිරිතදිග මෝසම් සුළඟින් කොළඹ වරාය ආරක්ෂා කිරීම දියකඩන බැම්මක් සඳහා මුල්ගල තැබීම සිදුවුණේ 1875 වසරේ දී යි. ඒ 7 වන එඩ්වඩ් කුමරු ලංකාවට පැමිණි අවස්ථාවක දී යි.

ක්‍රමයෙන් ගොඩනැගුණු කොළඹ වරාය තුළ අඩි 200ක පමණ දිගකින් යුත් අඟුරු ජැටි 10ක් පිහිටා තිබුණා. එකල බඩු පැටවීම සහ ගොඩබෑම සඳහා බත්තල් භාවිතා කළා. එලෙස ගොඩබාන ලද බඩු තැන්පත් කිරීම සඳහා ඉදිවුණු ගබඩාවන් නැගෙනහිර දියකඩන බැම්මේ සිට කොච්චිකඩේ අඟුරු බිම් දක්වා විහිදී තිබුණා. එසේම ඇළ දොරටුව සහ බ්ලොක් ජැටිය අතර පිහිටා තිබුණු කොටසේ පිටරට යැවීමට නියමිතව තිබුණු බඩු තැන්පත් කළ ගබඩාවන් පිහිටා තිබුණා. කොළඹ වරාය සංවර්ධනය කිරීමේ ප්‍රතිඵල 19 වන සියවස අවසානය වන විට ලැබී තිබුණා. එකල යුරෝපාකරයේ සිට ඕස්ට්‍රේලියාව බලා ගිය සෑම නැවක්ම වාගේ කොළඹ වරායේ නතර කරනු ලැබුවා. ඉන් සැලකිය යුතු තරම් ආදායමක් ලබාගැනීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට හැකිවුණා.

කොළඹ වරායේ ආරක්ෂාව පිළිබඳව තවදුරටත් කල්පනා කළ බ්‍රිතාන්‍යයන් 1906 සහ 1912 යන වසරවල දී තවත් අතිරේක බැමි දෙකක් ඉදිකළා. ඉන්පසුව අබලන් නැව් අලුත්වැඩියා කරන තටාක, තෙල්, අඟුරු වැනි ඉන්ධන සපයන ජැටි කොළඹ වරාය භූමිය තුළ පිහිටවනු ලැබුවා. එම නිසා බ්‍රිතාන්‍ය පාලන යුගයේ අවසන්භාගය එළඹෙන විට කොළඹ වරාය ලොව තිබෙන ප්‍රසිද්ධම වරායක් බවට පත්ව තිබුණා. 

බ්‍රිතාන්‍ය යුගයේදී කොළඹ වරාය (Lankapura)

 නිදහසෙන් පසුව අද දක්වා පැමිණි ගමන්මඟ 

1948 වසරේ පෙබරවාරි 4 වැනිදා ලංකාව නිදහස ලබාගත්තා. ඉන් වසර 8ක් ගෙවීයද්දී  බණ්ඩාරනායක රජය බලයට පත්වුණා. ඔවුන් පොදු ජනයාට හිතවත් රජයක් ලෙසින් පෙනී සිටි නිසා ජනසතු ව්‍යාපාරය ආරම්භ කළා. ඒ අනුව 1958 වසරේ දී කොළඹ වරාය රජයට පවරාගත්තා. නමුත් 1960 දශකයේ මැද භාගය පමණ වන විට කොළඹ වරාය තුළ සිදුවුණු වැඩවර්ජන මාලාව නිසා එහි සංවර්ධනය අඩාල වුණා. ඒ අතරතුර සිංගප්පූරු වරාය දියුණුවට පත්වුණා. 

කොළඹ වරායට යළි ස්වර්ණමය යුගයක් උදාවුණේ 70 දශකයේ අග භාගයේ දී ලලිත් ඇතුලත්මුදලි වෙළඳ සහ නාවික අමාත්‍යධුරයට පත්වීමත් සමග යි. ඒ වන විට කොළඹ වරාය පැවතුණේ ලෝක වරාය ශ්‍රේණිගතකිරීම්වල 138 වැනි ස්ථානයේ යි. එදා කොළඹ වරාය තුළ ක්‍රියාත්මක වුණු බත්තල් ක්‍රමය වෙනුවට කන්ටේනර් බහාලුම් ක්‍රමය හඳුන්වාදුන් ලලිත් අමාත්‍යවරයා ප්‍රතිනැව්ගතකරණය මඟින් වරායට විශාල ලාභයක් ලබාදුන්නා. එම අවධිය වන විට වරාය සේවකයන්ට එක් ආහාර වේලක් පමණක් ලබාදීම පිළිබඳව සේවකයන් ප්‍රසාදයට පත්ව සිටියේ නැහැ. ලංකාවේ විශාලතම මුළුතැන්ගෙය වරාය තුළ තිබෙන නිසා වේල් 3ටම ආහාර ලබාදීමට ලලිත් නියෝග කළා. වරායේ මුළුතැන්ගෙය තුළ සකසන ලද ආහාරවල ප්‍රමිතිය පිළිබඳව ලලිත් ඇමතිවරයා පෞද්ගලිකවම සොයා බැලුවා.

ලලිත් ඇතුලත්මුදලි (Daily News)

ලලිත් යුගයේ දී සීඝ්‍රයෙන් දියුණු වුණු කොළඹ වරාය ක්‍රමයෙන් විශාල ලාභයක් උපයන්නට වුණා. ලලිත් කොළඹ වරාය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ බව පිළිගත හැකි සාධකයක් පවතිනවා. ඒ ඔහු භාරගන්නා විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 138වන ස්ථානයේ තිබුණු කොළඹ වරාය ඔහු නික්ම යන විට 26 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබීම යි. ලලිත්ගෙන් පසුව නාවික අමාත්‍යධුරයේ කටයුතු කරන ලද විවිධ ඇමතිවරුන්ගේ යුගවල දී කොළඹ වරායේ නැගීම් සහ බැසීම් දක්නට ලැබුණා. ඒ අනුව අද වන විට කොළඹ වරාය ලෝක ශ්‍රේණිගත කිරීම්වල 24වන ස්ථානයේ රැඳී සිටිනවා. එම නිසා දකුණු ආසියානු කලාපය තුළ පිහිටා තිබෙන කාර්යබහුලම වරායක් බවට ද පත්ව තිබෙනවා.

කොළඹ වරාය අද දිස්වන ආකාරය (Daily News)

කවරයේ ඡායාරූපය- කොළඹ වරාය 19 වන සියවසේ අග භාගයේ දී (Lankapura)

මූලාශ්‍රයයන්- කොළඹ පෙරළිය

                    worldshipping.org 

Related Articles