Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සවිඥානිකව සිහින දකින්න අපට පුළුවන් ද?

නින්දේදී සිහින දැකීම සාමාන්‍ය දෙයක්. දකින සිහිනයේ ස්වභාවය අනුව එය අදාළ පුද්ගලයාට යම් බලපෑමක් වුණත් කරන්න පුළුවන්. සිහින නිසා බියපත් වී අපි නින්දෙන් අවදි වුණු අවස්ථා පවා තිබෙනවා. දකින සිහින අතර ඇතැම් සිහින අපේ සිතට ගෙන එන්නේ සැහැල්ලුවක්. තවත් වේලාවකට අපි දකින සිහිනවල කිසිම අර්ථයක් නැහැ.

  සිහිනයක් දකින අවස්ථාවේදී “මා දකිමින් සිටින්නේ සිහිනයක්” යන හැඟීම අපේ සිතට එන්නේ නැහැ. සිහිනයේ බලපෑම නිසා හදිසියේ සිදුවන අවදි වීමකදී හෝ සාමාන්‍ය පරිදි උදෑසන අවදි වූ විටයි අප සිහිනයක් දුටු බව අවබෝධ වෙන්නේ. සරලවම කිවහොත්, අප දකින බොහෝමයක් සිහින අවිඥානික යි. සිහිනයක් දකින මොහොතේ එය සිහිනයක් බව අවබෝධ කරගෙන ඔබ එය පාලනය කර තිබෙනවා ද? එසේ නම් ඔබ ජීවිතයේ බොහොම දුර්ලභ අත්දැකීමක් ලබා තිබෙන බවට කිසිම සැකයක් නැහැ.

අධ්‍යයනයන්ට අනුව පුද්ගලයන් අතුරෙන් 51%ක් ජීවිතයේ එක වතාවක් හෝ ලුසිඩ් සිහිනයක් අත් දැක තිබෙනවා-youth-time.eu 

සවිඥානික සිහින

සවිඥානික සිහින දැකීම ඉංග්‍රීසි භාෂාවේදී හඳුන්වන්නේ “ලුසිඩ් ඩ්‍රීමිං” යනුවෙන්. මෙහිදී පුද්ගලයෙකු නින්දෙන් සිහිනයක් දකින අතරතුර එය සිහිනයක් බව අවබෝධ කරගනිමින් තවදුරටත් එම සිහිනය තුළ සිටීම සිදු වෙනවා. එහිදී අදාළ පුද්ගලයාට එම සිහිනය පාලනය කිරීමේ හැකියාවත් ලැබෙනවා.

 උදාහරණයක් ලෙස ඔබ ප්‍රේක්ෂකාගාරයක් තුළ හිඳිමින් තරගයක් නරඹන අන්දමේ සිහිනයක් දකිනවායැ යි සිතන්න. අවැසි නම් ඔබ කැමති පුද්ගලයා ඔබ අසලම වාඩි කරවා ගනිමින් ඒ තරගය නරඹන තැනට සිහිනය වෙනස් කිරීමේ හැකියාවක් ඔබට තිබෙනවා. අවශ්‍ය වන්නේ ඒ ගැන සිතීම පමණ යි. නමුත්, ඔබ සිහිනයක් දකින බවට වූ සවිඥානික බව මෙතනදි අත්‍යවශ්‍ය වෙනවා. මෙම කරුණ ඇතැම් විට විශ්වාස කිරීමට පවා අපහසු වෙන්න පුළුවන්. “Medical News Today” නම් වෙබ් අඩවියට අනුව 2017 වර්ෂයේදී විද්‍යාඥයින් මේ පිළිබඳව සිදු කළ පර්යේෂණයකින් පසු තම අධ්‍යයන සඟරාවකට නිකුත් කර තිබෙනවා.

 ඔවුන්ගේ ඇස්තමේන්තුවට අනුව පර්යේෂණයට භාජනය වූ ජනගහන නියැදියෙන් 51% ක් අවම වශයෙන් එක් වරක්වත් සවිඥානික සිහිනයක්, එහෙමත් නැත්නම් ලුසිඩ් සිහිනයක් (මෙතැන් පටන් පහසුව තකා “ලුසිඩ් සිහින” වශයෙන් ලිපියේ විස්තර වේ.) අත්විඳ තිබෙනවා. අවම වශයෙන් මාසයකට වරක්වත් ලුසිඩ් සිහිනයක් අත්විඳි මිනිසුන්ගේ ප්‍රතිශතය 20%ක් පමණ වෙනවා.

 එම අධ්‍යයනයට අනුව වයස අවුරුදු 3-4 කාල පරාසයෙන් ආරම්භ වන ළමා කාලය තුළ අහඹු ලෙස ලුසිඩ් සිහින අත්විඳීමට ඇති හැකියාව වැඩි යි. පුද්ගලයෙකු යොවුන් වියට පා තබන විට ලුසිඩ් සිහිනයක් දැකීමේ හැකියාව කෙමෙන් කෙමෙන් අඩු වෙනවා. ඒ නිසා ඔබ ලුසිඩ් සිහිනයක් අත්දැක තිබුණත්, කාලය ඔබට එය අමතක කරවා තිබෙන්න පුළුවන්. වයස අවුරුදු 25න් පසු ලුසිඩ් සිහින දැකීම සිදුවන්නේ ඉතා කලාතුරකින්. 

නින්දක ප්‍රධාන අවධීන් මෙබඳු යි.-adventuresofgemma.com

පුද්ගල ස්වභාවය බලපානවා ද?

 ජර්මනියේ මෑන්හයිම් සහ හිඩෙල්බර්ග් යන විශ්වවිද්‍යාලයන් හි විද්වතුන් පිරිසක් ලුසිඩ් සිහිනයක් දැකීමේ සම්භාවිතාව සඳහා පුද්ගලයකුගේ ගති ලක්ෂණ බලපානවාදැ යි පර්යේෂණයට භාජනය කළා. එහිදී පුද්ගලයෙකු තමාගේ අත්දැකීමක් කෙරෙහි දක්වන විවෘතභාවය ලුසිඩ් සිහිනයක් දැකීමේ හැකියාවට ධනාත්මකව බලපාන බව සොයාගෙන තිබෙනවා.   

 මීට අමතරව ශක්තිමත් මනෝභාවයක් ඇති පුද්ගලයන්, කාංසාව සහ මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන්, ලුසිඩ් සිහින දැකීමේ හැකියාව වැඩි බව පැවසෙනවා. පුද්ගලයෙකුගේ මිත්‍රශීලිභාවය සහ අන්තර්පුද්ගල සබඳතා පවත්වා ගෙන යෑමේ සමර්ථ බව, ලුසිඩ් සිහින දැකීමේ හැකියාව වැඩි කිරීම කෙරෙහි සබඳතාවක් දක්වන්නේ නැහැ. මෙයින් හැඟී යන්නේ පුද්ගලයෙකුගේ සමාජශීලිත්වය සමඟ ලුසිඩ් සිහින දැකීම සබඳතාවක් නොදක්වන බව යි. තමා සහ තමාගේ සිතුවිලි ගැන වඩාත් අවධානයෙන් සිටින අන්තර්වර්තිත මිනිසුන්ට ලුසිඩ් සිහින වැඩියෙන් දැකීමේ වාසිය තිබෙන බව මෙයින් හැඟී යනවා.

විද්‍යාත්මක පදනම

 ඔබ නින්දක් ලබන විට එම නින්ද අවධි දෙකකට බෙදන්න පුළුවන්. නින්දේදී වේගවත් අක්ෂි චලනයන් සිදුවන අවධිය “REM” ලෙසත්, වේගවත් අක්ෂි චලනයන් සිදු නොවන අවධිය “non-REM” ලෙසත් හඳුන්වනවා. Rapid Eye Movement යන්න කෙටියෙන් “REM” ලෙස දක්වනවා. මෙහිදී “non-REM” අවධිය අදියර තුනක් යටතේ සිදුවෙනවා. මොළයේ තරංග, හෘද ස්පන්දනය සහ අක්ෂි චලනය මෙම අවදියේදී ක්‍රමයෙන් මන්දගාමී වෙනවා. නමුත්, “REM” අවධිය මීට වඩා හාත්පසින්ම වෙනස්. එහිදී ඔබගේ මොළය හොඳින් ක්‍රියාකාරීව පවතින අතර, හෘද ස්පන්දන වේගය සහ අක්ෂි චලනය ද වැඩි වශයෙන් සිදු වෙනවා. බොහෝ සිහින මෙන්ම ලුසිඩ් සිහින දැකීම සිදුවන්නේ මෙම වැඩි ක්‍රියාකාරීත්වය සහිත REM අවධිය තුළ බව අනාවරණය කරගෙන තිබෙනවා.

ලුසිඩ් සිහිනයක් සිදුවන අන්දම ගැන විද්‍යාඥයන් සතුව තවමත් නිවැරදි අවබෝධයක් නැහැ.ඔවුන් ලුසිඩ් සිහින සම්බන්ධයෙන් යම් යම් අදහස් දරනවා. ලුසිඩ් සිහින නිතර දකින සහ නොදකින අය අතර තිබෙන මොළයේ භෞතික වෙනස්කම් ගැන සොයා බැලීම එයින් එකක්. තීරණ ගැනීම සහ මතක සිහිපත් කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන මොළයේ “prefrontal cortex” නම් කොටස, ලුසිඩ් සිහින දකින්නන්ගේ විශාලව පවතින බව අනාවරණය කරගෙන තිබෙනවා. මෙයින් අදහස් වන්නේ ලුසිඩ් සිහින දකින්නන් සාපේක්ෂව අනෙක් අයට වඩා තමාගේ සංජානන, චිත්තවේග සහ චර්යාත්මක ක්‍රියා ගැන වැඩි සැලකිල්ලක් දක්වන බව යි. ඔවුන් සිතුවිල්ලෙහි දක්ෂ මිනිසුන් විය හැකි යි.

REM සහ Non-REM නින්දක තිබෙන වෙනස්කම් සැකෙවින්-researchgate.net

ලුසිඩ් සිහිනයක් දැකිය හැකි ක්‍රම

 පුද්ගලයකුට ලුසිඩ් සිහිනයක් දැකීමේ හැකියාව වැඩි කර ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා ප්‍රගුණ කළ හැකි ක්‍රම කිහිපයක් පවතිනවා. නමුත්, මෙම ක්‍රම ස්වභාවික සංසිද්ධියක් කෘතිමව වැඩි කරගැනීමට උපකාරී වන ක්‍රියා නිසා ඒවායේ අනිසි ප්‍රතිඵල ගැනත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය යි. සරලවම කිව්වොත් පුද්ගලයකු තම මනසත් සමඟ ගනුදෙනු කිරීම ඉතා ප්‍රවේශමෙන් සිදුකළ යුතු දෙයක්.

යතාර්ථය පරික්ෂා කිරීම

 අවදිව සිටින විටදී යතාර්ථය ප්‍රශ්න කළ හැකි ක්‍රමවේදයක් පුහුණු වීම මෙයින් අදහස් වෙනවා. අවදිව සිටින විටදී ඔබ පුහුණු කළ ක්‍රියාව, සිහිනය තුළදී සිදු කිරීම මඟින් එය සැබැවින්ම සිහිනයක්ද යන්න වග තේරුම් ගත හැකි වෙනවා. බොහෝමයක් සිහින අවිඥානිකව අප දකින නිසා සිහිනය තුළ සවිඥානික බවක් ඇති කර ගැනීමේ පුහුණුවක් ලෙස මෙය හැඳින්විය හැකි යි. ඔබ අවදිව සිටින කාලය තුළ යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් වූ ඔබේ දැනුම්වත්භාවය වැඩි කිරීම මඟින් සිහිනය දකින කාලය තුළ පවා ඒ දැනුම්වත්භාවය රඳවා ගන්න පුළුවන්. මේ පුහුණුව ප්‍රායෝගිකව තරමක් දුෂ්කර යි.

  උදාහරණයක් ලෙස ඔබ අවදිව සිටින විටදී බිත්තියක් වැනි දෘඪ දෙයක් ස්පර්ශ කරනවායැ යි සිතන්න. ඔබට එය දෘඪ දෙයක් බව ඇඟිලි තුඩුවලට හෝ අත්ලට දැනෙනවා. සිහිනයකදී එම දෘඪ වස්තුව ඔබ ස්පර්ශ කිරීමට උත්සහ කළහොත්, ඔබගේ අත්ල එම දෘඪ වස්තුව විනිවිද යනු ඇති. මෙලෙස ප්‍රගුණ කළ හැකි තවත් ක්‍රියා බොහෝමයක් තිබෙනවා. සැබෑ ලෝකයේදී ඔබ කැඩපතකින් දකින ඔබේ ප්‍රතිබිම්බය සිහිනයකදී වෙනස් වෙන්න පුළුවන්. අවදිව සිටින විටදි පොතක තිබෙන අකුරු පෙළ සිහිනයක් තුළදී ඔබට වෙනස් ආකාරයකින් පෙනෙන්න පුළුවන්. මෙවැනි වෙනස්කම්වලින් සිහිනය තුළ පවා ඔබ දකින්නේ සිහිනයක් බව තේරුම් ගත හැකි යි.

සිහින දිනපොතක් සෑදීම

 සමහර අධ්‍යයනවලට අනුව පුද්ගලයෙකු අවදි වූ වහාම තමා දුටු සිහිනය දිනපොතක සටහන් කර ගැනීම මඟින් ලුසිඩ් සිහින දැකීමේ හැකියාව වැඩි කරනවා. දිනපොත කියවීමෙන් අදාළ පුද්ගලයාගේ සිහින පිළිබඳ අවධානය වැඩි කරන අතර, සිහිනයක් දකින අතරතුර පුද්ගලයාගේ සවිඥානිකත්වය වැඩි කිරීමට ද එය ඉවහල් වෙනවා.

සිහින ස්මරණය කිරීම

 නින්දට යාමට පෙර තමා සිහිනයක් දැකිය යුතු බවට තමාටම කර ගන්නා විධානයක් බඳු පුහුණුවක් ගැන මෙයින් විස්තර වෙනවා. පෙර අත්විඳි සිහිනයක් මතකයේ තබා ගෙන එම සිහිනය යළිත්  සිහිපත් කරමින් නින්දට යාමත් පලදායි වෙනවා. මෙහිදී තමා සිහිනයක් දැකිය යුතු බවත්, එම සිහිනය පාලනය කිරීමට හැකියාව තිබිය යුතු බවත්, සිතීම වැදගත්. 

සාමාන්‍ය සිහිනයකට වඩා ලුසිඩ් සිහිනයක් දැකීමේදී මොළයේ ඇතැම් කලාප වඩාත් ක්‍රියාකාරී වෙනවා-nature.com 

REM ආකාරයේ නින්දකපිවිසීම

ලුසිඩ් සිහිනයක් දැකීමට නම් නින්ද අතරතුරදී පවා මනා සේ මොළයේ ක්‍රියාකාරීත්වය තිබිය යුතු යි. අප නින්දක් ලැබීමට සූදානම් වූ පමණින් ගැඹුරු නින්දකට පත් වෙන්නේ නැහැ. එය සිදුවන්නේ පියවරෙන් පියවර ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වෙන යන්ත්‍රයක් මෙන් ක්‍රමානුකූලව යි. REM ආකාරයේ නින්දක ස්වභාවය සහ REM ආකාරයේ නින්දක දී ලුසිඩ් සිහිනයක් දැකීමේ හැකියාව ඉහළ බව මේ ලිපියේ සඳහන් වුණා. නින්දට ගොස් පැය පහකට පසු අවදි වී නැවත නින්දට යාමෙන් REM ආකාරයේ නින්දක් ලැබීම පහසු වෙනවා. මේ ක්‍රියාව සෞඛ්‍යයට එතරම් හිතකර නැහැ. අඛණ්ඩ, සුව නින්දක් මිනිසකු ලැබීම අනිවාර්ය කරුණක්.

 ලුසිඩ් සිහිනයක් දැකීමේ හැකියාව වැඩි කරන ක්‍රම තව බොහෝ පවතිනවා. මේ ඕනෑම ක්‍රමයක් හමුවේ සාර්ථකත්වයක් ලබන්න නම් ඔබේ මනස බොහොම නිරවුල් එකක් විය යුතු යි. එහිදී පරිකල්පන ශක්තිය දියුණු කරගත හැකි ක්‍රම ඔබ අනුගමනය කළ යුතු වෙනවා. එවිට ඔබ සිතුවිල්ලෙහි දක්ෂ පුද්ගලයකු බවට පත් වේවි. පොත්පත් කියවීම, ඇලුම් කරන කලා නිර්මාණ කටයුත්තක් සමඟ කාලය ගත කිරීම වැනි ක්‍රම මඟින් සිහිනයක් තුළ පවා ඔබ නිර්මාණශීලි පුද්ගලයකු වීමේ හැකියාවක් තිබෙනවා. ඇතැම් කතුවරුන් පවා තමාගේ නිර්මාණවලට අදහස් ලබාගෙන ඇත්තේ ඔවුන්ගේ සිහිනවලින්. ඔවුන් සතුව පැවති නිර්මාණශීලිත්වය එම ගුණාත්මක සිහිනවලට හේතුවී තිබෙනවා.

නින්දක් ලැබීමේදී යහපත් පුරුදු අනුගමනය කිරීම මඟින් ලුසිඩ් සිහිනයක් දැකීමේ හැකියාව වැඩි කරනවා. නින්ද සඳහා ස්ථාවර කාලසටහනක් අනුගමනය කිරීම, නින්දට යාමට මොහොතකට මත්තෙන් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් වැලකීම, ශරීරයට අපහසුවක් ගෙන දෙන ආහාර සහ කැෆේන් සහිත පානවලින් වැලකී සිටීම, ඒ අතරින් කිහිපයක්.

ලුසිඩ් සිහින දැකීමේ වාසි

ලුසිඩ් සිහිනයක සිටින විට තමාට දැනෙන දෙය සිහිනය පාලනය කිරීමට හැකියාව ලැබෙන නිසා තමා ගැන ශක්තිමත් හැඟීමක් සිත තුළ ජනිත කරවා ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිතර බියකරු සිහින දැක ආතතියට පත්වන උදවියට ලුසිඩ් සිහින දැකීම වාසි සහගත තත්ත්වයක් ඇති කරනවා. තමා සිහිනයක් දකිමින් සිටින බව දන්නා නිසා සිහිනයේ ආරම්භයට හා අවසානයට බලපෑම් එල්ල කිරීමේ හැකියාව මෙහිදී ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

ලුසිඩ් සිහින දැකීමෙන් පුද්ගලයෙකුගේ නිර්මාණශීලිත්වයට ධනාත්මකව බලපෑම් එල්ල කළ හැකි යි-buddymantra.com

 භෞතික ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා අපට විවිධ චලන අවශ්‍ය වෙනවා. මෙම චලන සිහින හරහා අපට මනසින් දැකිය හැකි නම්, එම චලනවල ක්‍රියාකාරීත්වය තවදුරටත් වර්ධනය කරගත හැකි බව පැවසෙනවා. උදාහරණයක් ලෙස ඔබ නිරත වන ක්‍රීඩාවකට අත්‍යවශ්‍ය චලනයක් ලුසිඩ් සිහිනයක් හරහා දකින බව සිතන්න. එවිට ඔබගේ මොළයේ චලන හැකියා පාලනය කරන කොටස  භෞතිකව අක්‍රියව සිටින අවස්ථාවේ පවා ක්‍රියාත්මක වෙනවා. ක්‍රීඩාවේ නිරත වෙන අවස්ථාවේදී ඉතා හොඳින් ප්‍රතිචාර දැක්වීමට සඳහා ලුසිඩ් සිහින එලෙසින් උපකාරී වන්නට පුළුවන්. ශාරීරික ආබාධ සහිත පුද්ගලයන්ට නැවත ප්‍රකෘති තත්ත්වයට පැමිණීම කෙරෙහි ලුසිඩ් සිහිනවල ධනාත්මක බලපෑමක් තිබෙන බව අනුමාන කෙරෙනවා.

 මීට අමතරව, ලුසිඩ් සිහින දැකීමෙන් පුද්ගලයකුගේ ගැටලු නිරාකරණය කිරීමේ හැකියාවට යහපත් බලපෑම් එල්ල කරන බව පර්යේෂකයන් අනුමාන කරනවා. මෙම ගැටලු නිර්මාණශීලිත්වය හා බැඳුණු ගැටලු විය යුතු යි. තර්කානුකූල ගැටලු නිරාකරණය කිරීම කෙරෙහි ලුසිඩ් සිහිනවලින් එතරම් උපකාරයක් නොලැබෙන බව කියවෙනවා. පුද්ගලයකුගේ නිර්මාණශීලි සිතුවිලි ඔප් නැංවීම කෙරෙහිත් ලුසිඩ් සිහිනවල බලපෑමක් තිබෙනවා.

අවාසිත් එමට යි

ලුසිඩ් සිහින දැකීමේ හැකියාව වැඩි කිරීම සඳහා ඇති ක්‍රමවේද හේතුවෙන් ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමේ හැකියාවට බාධා එල්ල වෙන්න පුළුවන්. එවිට දිනපතා ක්‍රියාකාරකම් සිදු කරගෙන යාමේදී ගැටලු ඇති වෙනවා. නින්ද සම්බන්ධයෙන් විවිධ ආබාධ තිබෙන පුද්ගලයන් ලුසිඩ් සිහින දැකීමට උත්සහ කිරීම යහපත් නැහැ.

 ලුසිඩ් සිහින දැකීමේ හැකියාව වැඩි කරගැනීම සෞඛ්‍යයට එතරම් හිතකර නැහැ
 neurologyadvisor.com

මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ගැටලු ඇති පුද්ගලයන්ටත් ලුසිඩ් සිහින දැකීමට උත්සහ කිරීම සුදුසු වන්නේ නැහැ. ලුසිඩ් සිහින නිසා එවැනි පුද්ගලයන්ට යතාර්ථය සහ සිහින ලොව තුළ දකින දේ අතර තිබෙන වෙනස හඳුනාගැනීමට නොහැකි වෙන්නට පුළුවන්. එය මානසික ව්‍යාකූලත්වය තවත් වැඩි කිරීමට හේතු වන්නක්. සමහර පර්යේෂණවලින් පෙනී ගොස් ඇති අන්දමට ලුසිඩ් සිහින නිතර දැකීමෙන් මානසික යහපැවැත්මට සෘණාත්මක බලපෑම් එල්ල කරනවා. එය මනෝ ව්‍යාධීන්වලට අතවැනීමක් විය හැකි යි.

 ‘ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැති’ බව අප සමාජ ව්‍යවහාරයේ පවතින්නක්. විශේෂයෙන්ම පුද්ගල මනස සංවේදී නිසා මෙම කියමන මනස සම්බන්ධ ක්‍රියාකාරකම්වලදී වඩාත් වලංගු වෙනවා.

කවරයේ ඡායාරූපය: සිහින මඟ දිගේ!-francistapon.com 

මූලාශ්‍ර:

webmd.com

healthline.com

medicalnewstoday.com

verywellmind.com

Related Articles