යුරෝපයේ කොරෝනා දෙවන රැල්ලක් පැතිර යයි

යුරෝපා මහද්වීපයේ රටවල් රැසකට කොරෝනා වසංගතය දැඩි බලපෑමක් එල්ල කළා. ඉතාලිය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, ප්‍රංශය වැනි රටවල්වලින් අධික ජීවිත හානි ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් පසුගිය මාස කිහිපය තුළ යුරෝපයේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වුණු බව අපට අසන්නට ලැබුණා. යුරෝපයේ බොහෝ රටවල් ආශ්‍රිතව පැවති ක්‍රීඩා තරගාවලි පවා යළි ආරම්භ වුණා. එලෙස කොරෝනා වසංගත තත්ත්වය පහව යමින් තිබුණු යුරෝපා මහද්වීපය තුළ කොරෝනා දෙවන රැල්ලක් පැතිරයාමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ ඇතැම් රටවල්වලින් යළි කොරෝනා රෝගීන් වැඩි වශයෙන් හමුවීම නිසා යි. මෙම ලිපිය තුළින් තොරතුරු ඉදිරිපත් කරන්නේ එලෙස කොරෝනා දෙවන රැල්ලක් පැතිරයමින් පවතින යුරෝපා රටවල් කිහිපයක් පිළිබඳව යි.

ස්පාඤ්ඤය

ස්පාඤ්ඤයෙන් පළමු කොරෝනා ආසාදිතයා හමු වුණේ ජනවාරි 31 වැනිදා යි. එදා සිට ගෙවුණු දින 23 තුළ ස්පාඤ්ඤයෙන් කොරෝනා ආසාදිතයන් 652ක් වාර්තා වුණා. පෙබරවාරි 24 වැනිදා සිට ස්පාඤ්ඤය තුළ කොරෝනා වසංගතය ඉතාමත් දරුණු ලෙසින් පැතිර ගියා. මැයි 4 වැනිදා වන විට 253,683ක් තරම් විශාල කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් ස්පාඤ්ඤයෙන් වාර්තා වුණා. 

ස්පාඤ්ඤය තුළ පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වයෙහි යම් අඩුවීමක් දක්නට ලැබුණේ මැයි 5 වැනිදා සිට යි. දින 56ක් ඇතුළත එරටින් වාර්තා වුණේ කොරෝනා ආසාදිතයන් 19,142ක් පමණ යි. නමුත් ජූනි 29 වැනිදා සිට යළිත් ස්පාඤ්ඤය තුළ කොරෝනා වසංගත තත්ත්වය සීඝ්‍රයෙන් පැතිර යාම ආරම්භ වුණා. ඒ අනුව අවසන් දින 56 තුළ ස්පාඤ්ඤයෙන් කොරෝනා ආසාදිතයන් 145,904ක් හමු වුණා.

 ස්පාඤ්ඤය තුළ කොරෝනා ආසාදිතයන් වර්ධනය වුණු හැටි (Worldometer)

බෙල්ජියම

බෙල්ජියමෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වුණේ පෙබරවාරි 15 වැනිදා යි. එම රෝගියා හමුවීමෙන් පසුව ගත වුණු දින 32 තුළ බෙල්ජියමෙන් හමු වුණේ කොරෝනා රෝගීන් 1486ක් පමණ යි. මාර්තු 18 වැනිදා සිට බෙල්ජියම තුළ කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර ගියා. මැයි 25 වැනිදා වන විට බෙල්ජියමෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය 57342 දක්වා ඉහළ ගොස් තිබුණා. නමුත් ඉන් අනතුරුව බෙල්ජියමේ කොරෝනා වසංගත තත්ත්වයෙහි යම් පාලනයක් දක්නට ලැබුණා. දින 58ක් තුළ එරටින් වාර්තා වුණේ කොරෝනා ආසාදිතයන් 5914ක් පමණ යි.

නමුත් පසුගිය ජූලි 23 වැනිදා සිට බෙල්ජියමෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණයෙහි යම් වැඩිවීමක් දක්නට ලැබුණා. ඒ අනුව අවසන් දින 32 තුළ බෙල්ජියම් වැසියන් 17210ක් කොරෝනාවෛරසයට ගොදුරු වී තිබෙනවා.

බෙල්ජියම තුළ කොරෝනා ආසාදිතයන් වර්ධනය වුණු හැටි (Worldometer)

නෙදර්ලන්තය

පෙබරවාරි 27 වැනිදා නෙදර්ලන්තයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණා. එදා සිට ක්‍රමයෙන් ඉහළ ගිය නෙදර්ලන්තයේ කොරෝනා වසංගත තත්ත්වය මැයි 15 වැනිදා වන විට දරුණු අතට හැරී තිබුණා. මැයි 15 වැනිදා වන විට නෙදර්ලන්තයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 43681ක් ලෙසින් සටහන් වුණා. නමුත් ඉන් පසුව නෙදර්ලන්තය තුළ කොරෝනා වසංගත තත්ත්වය පාලනය වුණු නිසා දින 75ක් තුළ වාර්තා වුණේ කොරෝනා ආසාදිතයන් 9940ක් පමණ යි.

යම් තරමකට පාලනය වී තිබුණු කොරෝනා වසංගත තත්ත්වය යළි වර්ධනය වීම නිසා අවසන් දින 25 ඇතුළත නෙදර්ලන්ත වැසියන් 12933කට කොරෝනාවෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී නෙදර්ලන්තය තුළ කොරෝනා වසංගතය යළිත් පැතිර යාමට තිබෙන ඉඩකඩ වැඩියි.

නෙදර්ලන්තය තුළ කොරෝනා ආසාදිතයන් වර්ධනය වුණු හැටි (Worldometer)

ජර්මනිය

ජර්මනියෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වුණේ ජනවාරි 27 වැනිදා යි. එම රෝගියා හමුවීමෙන් පසුව ගත වුණු දින 40 තුළ ජර්මනියෙන් හමු වුණේ කොරෝනා රෝගීන් 800ක් පමණ යි. නමුත් මාර්තු 8 වැනිදා සිට ජර්මනිය තුළ දරුණු ලෙසින් කොරෝනා වසංගතය පැතිර ගියා. ජූනි 6 වැනිදා වන විට ජර්මනියෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය 185696 දක්වා ඉහළ ගොස් තිබුණා. නමුත් ඉන් අනතුරුව ජර්මනිය තුළ කොරෝනා වසංගත තත්ත්වය තරමක් දුරට පාලනය වුණා. දින 30ක් තුළ එරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් 12,361ක් පමණ යි.

නමුත් පසුගිය ජූලි 22 වැනිදා සිට ජර්මනියෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණයෙහි යම් වැඩිවීමක් දක්නට ලැබුණා. ඒ අනුව අවසන් දින 32 තුළ ජර්මනියෙන් කොරෝනා ආසාදිතයන් 30000කට ආසන්න ප්‍රමාණයක් හමු වුණා.

ජර්මනිය තුළ කොරෝනා ආසාදිතයන් වර්ධනය වුණු හැටි (Worldometer)

ස්විට්සර්ලන්තය

පෙබරවාරි 25 වැනිදා ස්විට්සර්ලන්තයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණා. එදා සිට ක්‍රමයෙන් ඉහළ ගිය ස්විට්සර්ලන්තයේ කොරෝනා වසංගත තත්ත්වය මැයි 4 වැනිදා වන විට වඩාත් දරුණු අතට හැරී තිබුණා. මැයි 4 වැනිදා වන විට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 29981ක් ලෙසින් සටහන් වුණා. නමුත් ඉන් පසුව ස්විට්සර්ලන්තයේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය වන ආකාරය දක්නට ලැබුණා. දින 51ක් තුළ එරටින් වාර්තා වුණේ කොරෝනා ආසාදිතයන් 1395ක් පමණ යි.

පසුගිය ජූනි 24 වැනිදා සිට යළිත් ස්විට්සර්ලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයෙහි යම් වැඩිවීමක් පෙන්නුම් කරනවා. අවසන් දින 60 තුළ එරටින් 9000කට ආසන්න කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා.

ස්විට්සර්ලන්තය තුළ කොරෝනා ආසාදිතයන් වර්ධනය වුණු හැටි (Worldometer)

කවරයේ ඡායාරූපය- ස්පාඤ්ඤයේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

Related Articles