Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලක්ෂ 5 ක කොවිඩ් මරණවල බර දරන දකුණු ආසියාව

චීනයේ වූහාන් නගරයෙන් 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී මුලින් ආරම්භ වුණු කොරෝනා වසංගතය වැඩි කලක් යන්නට පෙර ලෝකයේ බොහෝ රටවල්වලට පැතිර ගියා. මුල් යුගයේ දී එහි බලපෑම තදින් ම දැනුණේ යුරෝපයට සහ අමෙරිකාවට යි. ලෝකයේ අනිකුත්  කලාපවලට ද කොරෝනාවේ බලපෑම ඉන්පසු තදින් ම දැනෙන්නට වුණා. ඒ අතුරින් කොරෝනාවෙන් තදින් ම බැට කෑ කලාපයක් වුණු දකුණු ආසියාවේ සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය පසුගිය දිනක ලක්ෂ 5 ඉක්මවා ගියා. ඒ අයුරින් දකුණු ආසියාවට අයත් රටවල්වලට  කොරෝනා වසංගතයෙන් එදා – මෙදා සිදු වුණු බලපෑම ගැනයි මේ ලිපිය.  

දකුණු ආසියානු කලාපයේ කොරෝනා ආසාදිතයන් මිලියන 30 ඉක්මවූවා – Design credit: Roar Media/Jamie Alphonsus

ඉන්දියාව – මරණ 431,253

කොරෝනා වසංගතයෙන් වැඩි ම හානියක් වුණු දකුණු ආසියා රට වන්නේ ඉන්දියාව යි. එරටින් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ 2020 වසරේ ජනවාරි 30 වැනිදා යි. එහි දී රෝගයට ගොදුරු ව තිබුණේ චීනයේ වූහාන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිට ඉන්දියාවට පැමිණි කේරළ ප්‍රාන්තයේ සිසුවියක්. ඉන්දියාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වුණේ 2020 මාර්තු 12 වැනිදා යි. 

කොරෝනා පළමු රැල්ලෙන් ඉන්දියාවට සිදුවුණු හානිය (gettyimages) 

2020 ජනවාරි 30 වැනි දා පළමු රෝගියා වාර්තා වීමෙන් හරියට ම මාස දෙකක් ගත වෙද්දී එරටින් වාර්තා වී තිබුණේ කොරෝනා රෝගීන් 1251ක් පමණ යි. ඉන් පසු ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2020 ජූලි 1 වැනිදා වන විට එරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය පහත ආකාරයට දිස්වුණා. 

2020 ජූලි  1-  ආසාදිතයන්- 605,220, මරණ- 17,905 

2020 ජූලි මාසය ආරම්භ වෙද්දී ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය වඩාත් දරුණු අතට හැරී තිබුණා. ඉන් පසු ගෙවුණු මාස 6ක කාලය ඇතුළත එරට කොරෝනා පළමු රැල්ලේ උපරිම ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය වාර්තා වුණා. 2020 වසර අවසන් වෙද්දී ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය කෝටිය ඉක්මවා තිබුණා. මරණ ප්‍රමාණය ද 150,000 ඉක්මවා තිබුණා. කොරෝනා පළමු රැල්ලෙන් උපරිම බලපෑමක් සිදු වුණු මාස 6 අවසානයේ දී එරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය පහත අයුරින් වුණා. 

2021 ජනවාරි 1-  ආසාදිතයන්- 10,303,409, මරණ- 150,225 

ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවෙන් මුල් ම වරට වාර්තා වුණු 2020 දෙසැම්බර් මාසයේ අග භාගයේ දී. ඒ වන විට ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සහ මරණ ක්‍රමයෙන් අඩු වී තිබුණා. එනිසා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පවා ඉන්දියාවේ පැවැත්වුණා.

 මියගිය අයගේ සිරුරු දිල්ලියේ දී පුළුස්සන ආකාරය – getty images 

එම තරග නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. ඉන්දියානුවන් කුම්භ මේලා උත්සවයත් ජයට ම සැමරුවා. 2021 මාර්තු 16 වැනිදා වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය මෙසේයි.

2021 මාර්තු 16-  ආසාදිතයන්- 11,438,464, මරණ- 160,212 

2021 වසරේ මුල් කාර්තුවේ දී ඉන්දියානුවන් කුම්භ මේලා උත්සවය සැමරීම හේතුවෙන් එරට තුළඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන්  පැතිර ගියා.  ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වුණු ක්‍රිකට් තරග නැරඹීම සඳහා ද විශාල පිරිසක් ක්‍රීඩාංගණ කරා පැමිණීම ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාව පුරා ව්‍යාප්ත වීමට තවත් හේතුවක් වුණා. ඒ අයුරින් ඉන්දියානුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා ගෙවුණු මාස 5ක කාලය ඇතුළත  එරටින් විශාල කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වුණා. 2021 අගෝස්තු 14 වැනිදා වන විට එරටින් වාර්තා වී තිබුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණයයි මේ.

කොරෝනා ආසාදිතයන්- 32,191,954

කොරෝනා මරණ- 431,253

ඉහත දත්ත නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වන්නේ ගෙවුණු මාස 5ක දී කෝටි 2කට වැඩි කොරෝනා රෝගීන් ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බවයි. 270,000ක මරණ ප්‍රමාණයක් ද එම කාලයේ දී වාර්තා වී තිබෙනවා. එමඟින් නිගමනය කළ හැක්කේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යාම නිසා එරටට සිදු ව ඇති හානිය දැවැන්ත එකක් බවයි.

 පාකිස්තානයේ වර්තමාන කොරෝනා තත්ත්වය – getty images

 

පාකිස්තානය – මරණ 24,339

කරච්චි විශ්වවිද්‍යාල සිසුවකු පාකිස්තානයෙන් වාර්තා වුණු පළමු කොරෝනා රෝගියා බවට පත්වුණේ 2020 පෙබරවාරි 26 වැනිදා යි. ඔහු ඉරානයේ සිට ඊට ටික දිනකට පෙර පාකිස්තානයට පැමිණ තිබුණා. පළමු කොරෝනා රෝගියා වාර්තා වී දින 21කින් එරට පළමු කොරෝනා මරණයත් වාර්තා වුණා. ඉන් සති 2කට පමණ පසු පාකිස්තානයේ පළමු කොරෝනා රැල්ල ආරම්භ වුණා. ඒ අයුරින් පළමු කොරෝනා රැල්ල පැවති කාලයේ දී සෑම දිනක ම වාගේ 5000කට වැඩි දෛනික ආසාදිතයන් ප්‍රමාණයක් එරටින් වාර්තා වුණා. එහි දී වැඩි ම ආසාදිතයන් ප්‍රමාණය වුණු 6825ක් 2020 ජූනි 14 වැනිදා වාර්තා වුණා. 2020 ජූලි 31 වැනිදා වන විට පාකිස්තානයේ පළමු කොරෝනා රැල්ල අවසන් වුණා. ඒ වන විට එරටින් වාර්තා වී තිබුණු කොරෝනා මරණ සහ ආසාදිතයන්ගේ ප්‍රමාණය පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

2020 අගෝස්තු 1- ආසාදිතයන්- 279,146, මරණ- 6207

කොරෝනා පළමු රැල්ලේ අවසානයත් සමඟ ම පාකිස්තානයේ දෛනික ආසාදිතයන් ප්‍රමාණයේ යම් කිසි අඩුවීමක් දක්නට ලැබුණත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළා. එම තත්ත්වය පාලනය වීමත් සමඟ ම 2021 මාර්තු මාසය ආරම්භ වන විට පාකිස්තානයේ දෛනික කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය 1500ට වඩා අඩු වී තිබුණා. පහත දක්වා තිබෙන්නේ 2021 මාර්තු 1 වැනිදා වන විට පාකිස්තානයෙන් වාර්තා වී තිබුණු සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය යි.

2021 මාර්තු 1ආසාදිතයන්- 581,365, මරණ- 12,896

2021 මාර්තු මාසයේ දී පාකිස්තානය තුළ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පැතිර යන්නට පටන් ගත්තා. ඒ සමඟ ම එරටින් වාර්තා වුණු ආසාදිතයන්ගේ ප්‍රමාණය සහ කොරෝනා මරණ ප්‍රමාණයත් වාර්තාගත අයුරින් ඉහළ ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2021 අගෝස්තු 14 වන විට පාකිස්තානයේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය පහත ආකාරයට දිස්වුණා.

කොරෝනා ආසාදිතයන්- 1,094,699

කොරෝනා මරණ- 24,339 

ඉන්දියාවට මෙන් ම පාකිස්තානයට ද ඩෙල්ටා වෛරසය විශාල බලපෑමක් සිදු කළා. එනිසා 2020 මාර්තු සිට 2021 මාර්තු දක්වා ගෙවුණු වසරක කාලය තුළ එරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් සහ මරණ ප්‍රමාණයට වඩා දෙගුණයකට ආසන්න ආසාදිතයන් සහ මරණ ප්‍රමාණයක් ගෙවුණු මාස 5ක පමණ කාලය තුළ වාර්තා වී තිබෙනවා. 

කොරෝනාවෙන් බැට කන බංග්ලාදේශ වැසියන් (gettyimages) 

3) බංග්ලාදේශය- මරණ 23,988

 බංග්ලාදේශයෙන් මුල් ම වරට කොරෝනා රෝගීන් තිදෙනකු 2020 මාර්තු 8 වැනිදා වාර්තා වුණා. ඔවුන් තිදෙනා ම ඉතාලියේ සිට ඊට ටික දිනකට පෙර බංග්ලාදේශයට පැමිණ තිබුණා. පළමු රෝගියා වාර්තා වීමෙන් දින 10කට පසුව එරටින් පළමු මරණය වාර්තා වුණා. බංග්ලාදේශයේ පළමු කොරෝනා රැල්ල 2020 මැයි මාසයේ මුල් සතියෙන් ආරම්භ වී අගෝස්තු අවසානය තෙක් පැවතුණා. පහත දක්වා ඇත්තේ 2020 සැප්තැම්බර් 1 වැනිදා වන විට බංග්ලාදේශයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය යි.

2020 සැප්තැම්බර් 1- ආසාදිතයන්- 314,946, මරණ- 4316

දකුණු ආසියානු කලාපයේ සමස්ත කොරෝනා මරණ ලක්ෂ 5 ඉක්මවා ගියා – Design credit: Roar Media/Jamie Alphonsus

2020 සැප්තැම්බර් සිට 2021 මාර්තු 15 දක්වා ගෙවුණු කාලයේ බංග්ලාදේශයේ කොරෝනා වසංගත තත්ත්වයේ යම් කිසි අඩුවීමක් පෙන්නුම් කළා. එනිසා 2021 මාර්තු 15 වන විට එරට කොරෝනා රෝගීන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය පහත ආකාරයට සටහන් වුණා.

2021 මාර්තු 15ආසාදිතයන්- 559,168, මරණ- 8571

ගෙවුණු මාස 5ක පමණ කාලය තුළ ඩෙල්ටා වෛරසය බංග්ලාදේශයේ ප්‍රධාන නගර ආශ්‍රිතව පැතිර යන්නට වුණා. එහි දී වැඩිම ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණයක් බංග්ලාදේශයේ ඩකා අගනුවරින් වාර්තා වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අගෝස්තු 14 වන විට බංග්ලාදේශයේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය පමණක් නොව මරණ ප්‍රමාණය ද වාර්තාගත අයුරින් ඉහළ ගියේ පහත දැක්වෙන ආකාරයට යි. 

කොරෝනා ආසාදිතයන්- 1,412,218

කොරෝනා මරණ- 23,988

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ව්‍යාප්තවීමත් සමඟින් බංග්ලාදේශයට සිදු ව ඇති හානිය ඉහත දත්ත නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලිව ම වටහා ගන්නට පුළුවන්. බංග්ලාදේශ සෞඛ්‍යය අංශ පවසා සිටින්නේ මෙම තත්ත්වය දිගින් දිගට ම පැවතුණහොත් බංග්ලාදේශයේ දෛනික කොරෝනා මරණ ප්‍රමාණය වාර්තාගත අයුරින් ඉහළ යාමට විශාල ඉඩකඩක් පවතින බවයි. 

නේපාලයේ වර්තමාන කොරෝනා තත්ත්වය (gettyimages) 

4) නේපාලය- මරණ 10,259

දකුණු ආසියානු රටකින් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ 2020 ජනවාරි 24 වැනිදා යි. එහි දී කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේ චීනයේ වූහාන් නුවර සිට පැමිණි නේපාල ජාතික සිසුවකුට යි. 2020 මැයි 16 වැනිදා නේපාලයෙන් පළමු කොරෝනා මරණය වාර්තා වුණා. නේපාලයේ පළමු කොරෝනා රැල්ල අගෝස්තු මාසය ආරම්භයේ සිට දෙසැම්බර් මාසය අවසානය දක්වා පැවතුණා. පළමු රැල්ල නිමාවීමත් සමඟ ම නේපාලයේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ ගියා. ඒ අනුව 2021 අප්‍රේල් 17 වන විට නේපාලයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය පහත දැක්වෙන ආකාරයට සටහන් වුණා.

2021 අප්‍රේල් 17ආසාදිතයන්- 283,658, මරණ- 3075 

ගෙවුණු මාස 4ක පමණ කාලය තුළ නේපාලයේ ඩෙල්ටා වෛරසය වේගයෙන් පැතිර යන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියා. එහි දී දෛනික කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය 9000 සීමාවට ද දෛනික කොරෝනා මරණ ප්‍රමාණය 200 සීමාවට ද පැමිණියා. පසුගිය අගෝස්තු 14 වැනිදා වන විට නේපාලයේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි. 

කොරෝනා ආසාදිතයන්- 730,479

කොරෝනා මරණ- 10,259 

කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන ඇෆ්ගනිස්ථානයේ රෝහලක් (gettyimages) 

5) ඇෆ්ගනිස්තානය- මරණ 7021

ඇෆ්ගනිස්තානයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ 2020 පෙබරවාරි 24 වැනිදා යි. එහි දී හෙරාට් ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයකු රෝගයට ගොදුරු ව තිබුණා. එරටින් පළමු කොරෝනා මරණය මාර්තු 22 වැනිදා වාර්තා වුණා. ඉන් මාසයකට පමණ පසු ව ඇෆ්ගනිස්තානයේ පළමු කොරෝනා රැල්ල පැතිර ගියා. එය ජූලි මාසයේ මැද භාගය දක්වා පැවතුණා. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී මරණ ප්‍රමාණය සහ ආසාදිතයන්ගේ ප්‍රමාණයෙහි සුළු වැඩිවීමක් යළිත් වරක් දක්නට ලැබුණා. මේ වසරේ මැයි මාසය ආරම්භ වෙද්දී ඇෆ්ගනිස්තානයේ කොරෝනා තත්ත්වය සෑහෙන දුරට පාලනය වී තිබුණා. ඒ අනුව මැයි 1 වැනිදා වන විට ඇෆ්ගනිස්ථානයේ සමස්ත කොරෝනා මරණ සහ ආසාදිතයින්ගේ ප්‍රමාණය පහත ආකාරයට දිස් වුණා.

2021 මැයි 1ආසාදිතයන්- 60,122, මරණ- 2637

ගෙවුණු මාස කිහිපය තුළ ඇෆ්ගනිස්තානය පුරා ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමඟ ම දෛනික ආසාදිතයන් ප්‍රමාණය 2000 සීමාවට ද, දෛනික මරණ ප්‍රමාණය 100 සීමාවට ද පැමිණියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එරට සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය සහ ආසාදිතයන් ප්‍රමාණය අගෝස්තු 14 වැනිදා වන විට සටහන් වුණේ පහත ආකාරයට යි. 

කොරෝනා ආසාදිතයන්- 152,033

කොරෝනා මරණ- 7021

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය – getty images

 

6) ශ්‍රී ලංකාව- මරණ 5936

ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වුණේ 2020 ජනවාරි මස 27 වැනිදා යි. එහි දී රෝගයට ගොදුරු ව තිබුණේ චීනයේ හුබෙයි ප්‍රදේශයෙන් පැමිණි 44 හැවිරිදි කාන්තාවක්. ඊට මාස 2කට පමණ පසුව, එනම් 2020 මාර්තු 28 වැනිදා ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වුණා. 2020 ඔක්තෝබර් මාසය දක්වා ම ශ්‍රී ලංකාවෙන් වැඩි කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් මෙන් ම මරණ ප්‍රමාණයක්  ද වාර්තා වුණේ නැහැ. ඔක්තෝබර් මාසයේ සිට ලංකාවේ පැතිර ගිය භයානක කොරෝනා රැල්ල හේතුවෙන් දෛනික ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගියා. මාස කිහිපයක් පුරා පැවති එම තත්ත්වය  2021 අප්‍රේල් 20 වැනිදා පමණ වන විට සෑහෙන දුරට අඩු වී තිබුණා. ඒ අනුව 2021 අප්‍රේල් 20 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය පහත ආකාරයට සටහන් වුණා.

2021 අප්‍රේල් 20ආසාදිතයන්- 97,472, මරණ- 625

ගෙවුණු සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ දී ශ්‍රී ලාංකිකයන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳ වැඩිපුර අවධානයක් යොමු කළේ නැහැ. එම කාලයේ දී බොහෝ පිරිස්  සාප්පු සවාරිවල සහ විනෝද චාරිකාවල යෙදෙමින් විනෝදයෙන් කාලය ගත කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප්‍රේල් මාසයේ අග භාගයේ සිට වඩාත් දරුණු කොරෝනා රැල්ලක් අප රට තුළ පැතිර ගියා.

ඩෙල්ටා පැතිර යාමට පෙර සහ පසු දකුණු ආසියාවේ  කොරෝනා මරණ – Design credit: Roar Media/Jamie Alphonsus

එහි දී ඩෙල්ටා ප්‍රභේදය ද වේගයෙන් පැතිර යාම ආරම්භ වීමත් සමඟ ම දෛනික කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය 3500 සීමාවට ද දෛනික කොරෝනා මරණ ප්‍රමාණය 150 සීමාවට ද අද වනවිට එය 170 සීමාවට ද ළඟා ව සිටිනවා. ඒ අයුරින් ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා අගෝස්තු 14 වන විට මෙරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය පහත ආකාරයට සටහන් වුණා.

කොරෝනා ආසාදිතයන්- 351,533

කොරෝනා මරණ5936

මාස 4කටත් වඩා අඩු කාලයක් තුළ කොරෝනා ආසාදිතයන් 254,061ක් සහ මරණ 5311ක් වාර්තා වීම ඉතාමත් භයානක තත්ත්වයක්. ඒ අනුව මෙම තත්ත්වය දිගින් දිගට ම පැවතුණහොත් තවත් මාස කිහිපයකින් මෙරට දෛනික කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය පමණක් නොව මරණ ප්‍රමාණය ද වාර්තාගත අගයකින් ඉහළ යනු ඇති බවට විවිධ පාර්ශව දැනටමත් අනතුරු ඇඟවීම් කර තිබෙනවා. 

මාලදිවයිනේ නවතම කොරෝනා තත්ත්වය (gettyimages) 

7) මාලදිවයින- මරණ 222 

මාලදිවයිනෙන් මුල්ම කොරෝනා රෝගියා 2020 මාර්තු 7 වැනිදා වාර්තා වුණා. එහි දී රෝගයට ගොදුරු ව තිබුණේ ඉතාලියේ සිට පැමිණි සංචාරකයෙක්. ඉන් දින 53කට පසු ව එරටින් පළමු කොරෝනා මරණය වාර්තා වුණා.  ඉන් පසුව ගෙවුණු වසරක පමණ කාලය තුළ එරට කොරෝනා වසංගත තත්ත්වයේ විශේෂ වැඩිවීමක් පෙන්නුම් කළේ නැහැ. එනිසා 2021 අප්‍රේල් 20 වන විට මාලදිවයිනේ කොරෝනා මරණ සහ ආසාදිතයන් ප්‍රමාණ පහත ආකාරයට දිස් වුණා. 

2021 අප්‍රේල් 20ආසාදිතයන්- 26,667, මරණ- 71

ගෙවුණු මාස 4ක කාලය තුළ මාලදිවයිනටත් ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ බලපෑම තදින් ම දැනුණා. එනිසා සාපේක්ෂ ව එරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අගෝස්තු 14 වන විට ඉහළ ගොස් තිබුණේ පහත දැක්වෙන ආකාරයට යි.

කොරෝනා ආසාදිතයන්- 79,000

කොරෝනා මරණ222

භූතානයට කොරෝනා වසංගතයෙන් තවමත්  දැඩි හානියක් සිදු ව නැහැ – Getty Images

 

8) භූතානය- මරණ 3

අමෙරිකාවේ සිට ඉන්දියාව හරහා භූතානයට පැමිණි 76 හැවිරිදි අමෙරිකානු පිරිමි සංචාරකයකු භූතානයෙන් වාර්තා වුණු මුල් ම කොරෝනා ආසාදිතයා බවට පත්වුණේ 2020 මාර්තු 6 වැනිදා යි. ඒ අයුරින් කොරෝනා වසංගතය එරටට ඇතුළු වුණත් එය රටපුරා ශීඝ්‍රයෙන් පැතිර ගියේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එරටින් මුල් ම කොරෝනා මරණය වාර්තා වුණේ 2021 ජනවාරි 7 වැනිදා යි. ගෙවුණු මාස කිහිපයේ එරට කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණයෙහි සුළු වැඩිවීමක් පෙන්නුම් කළ ද භූතානයට තවමත්  කොරෝනා වසංගතයෙන් දැඩි හානියක් සිදු ව නැහැ. ඒ අනුව අගෝස්තු 14 වන විට එරටින් වාර්තා වුණු සමස්ත කොරෝනා රෝගීන් සහ මරණ ප්‍රමාණය පහත ආකාරයට සටහන් වුණා. 

කොරෝනා ආසාදිතයන්- 2570

කොරෝනා මරණ3

කවරයේ ඡායාරූපය: කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ඉන්දියානුවෝ  - getty images

මූලාශ්‍ර- 

worldometers.info

Related Articles