Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉවත දමන නිධානය – දෙළුම් පොතු

දෙළුම් යනු ඉතාමත් ගුණදායී පලතුරක් බව ලොව බොහෝ දෙනා දන්නා කරුණක්. විශේෂයෙන් මරණාසන්න රෝගීන් ඇතුළු, පෝෂණය අවැසි බොහෝ දෙනා වෙත එම පෝෂණය මොනවට ලබා දෙන ප්‍රධානත ම පලතුරක් ලෙස දෙළුම් හඳුන්වන්නට පිළිවන්. බොහෝ දෙනෙක් මෙහි රසවත් වූ මදය ආහාරයට ගන්නේ උක්ත ගුණදායී බව නිසා පමණක් නොවේ. එහි මධුර රසය නිසා යි. එසේ ආහාරය ගැනීමෙන් පසුව, එහි පොත්ත ඉවත දමන්නට අප පුරුදු වී සිටිනවා. කෙසේ නමුත් ඔබ ඒ ඉවත දමන්නේ දෙළුම් ගෙඩියෙහි මදය මෙන්ම ගුණවත්, නිධානයක් බඳු යමක් බැව් ඔබ දැන සිටියා ද?

දෙළුම් පොත්තෙහි ඉතා සුවිශේෂී සංඝටක රාශියක් තිබෙනවා. මේවා සෞඛ්‍යමය ගුණ රාශියක් මිනිසුන්ට ලබා දෙනවා. මේ නිසා මෙය කුඩක් ලෙස සකසා ලොව බොහෝ රටවල ආයුර්වේද කටයුතු, රූපලාවන්‍ය කටයුතු මෙන් ම පානයක් ලෙස ද ජලය සමඟ මුසු කොට භාවිතයට ගැනෙනවා. මෙහි ප්‍රධානත ම සෞඛ්‍යමය ගුණ පිළිබඳ අපි විමසා බලමු.

 දෙළුම් පොතු- shutterstock.com/wasanajai

 

සමේ යහපැවැත්මට

දෙළුම් පොතුවල ඉහළ ප්‍රතිඔක්සිකාරක සහ පොලිෆීනෝල ප්‍රමාණයක් අන්තර්ගත යි. මේවා සමෙහි දුර්වර්ණභාවය දුරු කරලීමට උදවු වෙනවා. විද්‍යාත්මක පර්යේෂණවලට අනුව අව්වට නිරාවරණය වීම නිසා හෝ සමෙහි ආසාදන හේතුවෙන් දුර්වර්ණ වූ සම නැවත ප්‍රකෘතිමත් කිරීමටත්, කුරුලෑ ආසාදන අවම කිරීමටත්, සම ස්වභාවික ලෙස පැහැපත් කර, තරුණ පෙනුමක් ලබා දීමටත් දෙළුම් පොතු දායක වෙනවා. මේවා පානයක් ලෙස සකසා බීමට ගැනීමෙන් මෙන් ම, මුහුණෙහි තැවරීමත් මගින් එම ප්‍රතිඵල ලබාගත හැකි වෙනවා.

 රෝගවලට ඇති අවදානම අඩු කිරීම

දෙළුම් පොතු සමහර රෝගාබාධවලට ඇති අවදානම අවම කරනවා. මේවා භාවිත කිරීමෙන් හෘද රෝග සහ දියවැඩියාව වැලඳීමේ අවදානම අඩු වෙනවා. විද්‍යාත්මක පර්යේෂණවලට අනුව දෙළුම් පොතු හෙවත් ලෙලි භාවිත කිරීම නිසා අධික තරබාරු අය අතර රුධිරගත සීනි ප්‍රමාණය අඩු කර ගැනීමට මෙන් ම, රුධිර පීඩනය ප්‍රශස්ත මට්ටමකට පවත්වා ගැනීමට උරදෙන බවට සාධක ලැබී තිබෙනවා. එමෙහි අඩංගු සංඝටක ශරීරයේ කොලෙස්ටරෝල් පාලනය කිරීමටත් දායක වන බවට පෙනී ගොස් තිබෙනවා.

වියපත් අයගේ ඇසීමේ දෝෂ අවම කිරීමට

දෙළුම් පොත්තෙහි ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අන්තර්ගත ව තිබෙනවා. මිනිස් ශරීරවල මුක්තඛණ්ඩක එක් රැස් වීම නිසා විවිධාකාරයෙ රෝගාබාධ ඇතිවිය හැකි අතර, වියපත් මිනිසුන්ගේ ඇසීමේ හැකියාවට බාධා පමුණුවන්නට මේවා දායක විය හැකි යි. දෙළුම් පොත්තෙහි අඩංගු ප්‍රති ඔක්සිකාරක මෙම මුක්තඛණ්ඩක නිෂේධනය කරනවා. කෙසේ නමුත් මේ පිළිබඳ ව වැඩිදුර අධ්‍යයන සිදුකළ යුතු බැව් විද්වත් මතය යි.

මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට

මුක්තඛණ්ඩකවල ක්‍රියාකාරීත්වය මිනිස් මොළයේ පටකවලටත් හානි පැමිණවිය හැකි වෙනවා. මේ නිසා අල්සයිමර් වැනි රෝගාබාධ ඇති විය හැකියි. දෙළුම් පොත්තෙහි අඩංගු ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රමණය මෙම මුක්තඛණ්ඩක නිෂේධනය කරන නිසා, ඒවායෙන් මොළයට හානි වීම වැලකෙනවා. අල්සයිමර් වැනි රෝගාබාධවලට දැනට ම ලක් ව සිටින අයගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කරගැනීමටත් දෙළුම් පොත්ත භාවිත කිරීම ඉවහල් වෙනවා.

 කුඩු කළ දෙළුම් පොතු- indiamart.com

 

දන්ත සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට

පිටි කළ දෙළුම් පොතු කුඩු ජලය සමඟ යොදා ගෙන නිති පතා මුව සේදීම සිදු කළහොත් දත් මැලියම් බැඳීම අඩු වන බවට මතයක් විද්‍යාඥයන් දරනවා. කෙසේ නමුත් මේ මතය තහවුරු කර ගැනීම සඳහා තවමත් පර්යේෂණ පැවැත්වෙනවා. මේ වන විට සිදු කළ පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ දෙළුම් පොතු කුඩු මිශ්‍ර කළ ජලයෙන් මුව සේදීම නිසා දත් දිරා යෑම ද අඩු වන බ වයි. මෙම දෙළුම් පොතුවල ඉහළ විසබීජ නාශක ගුණයක් තිබීම ඊට හේතු වන අතර, මෙම දෙළුම් පොතු විදුරුමස් රෝග වලක්වාලීමටත් දායක වන බවට පෙනී ගොස් තිබෙනවා. 

බැක්ටීරියා මර්දනයටත් දෙළුම් පොතු

දන්ත සෞඛ්‍යය වැඩිදියුණු කර ගැනීමෙන් පමණක් නොනැවතී ශරීරයේ වෙනත් ස්ථානවල බැක්ටීරියා මර්දනය කිරීමටත් දෙළුම් පොතු යොදා ගත හැකි බවට පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන් උගුරෙහි ඇති වන බැක්ටීරියා ආසාදන තත්ත්වයන්හී දී මෙම පොතු කුඩු ජලය සමඟ මිශ්‍ර කොට උගුරට දමා කැලැත්තීමෙන් එම රෝග සුව අතට හැරෙන බව පෙනී ගොස් තිබෙනවා. තවත් සමහරක් තුවාල සුව කිරීමටත් දෙළුම් පොතු යොදා ගන්නට හැකි දැයි යන්න පිළිබඳ ව වැඩිදුර පර්යේෂණ පැවැත්වෙනවා. විශේෂයෙන් බැක්ටීරියා හෝ දිලීර ආසාදිත තුවාල වැනි දේවල තත්ත්වය හොඳ අතට හරවාගන්නට පිරිසුදු දෙළුම් පොතුවලට හැකි දැයි යන්න පරීක්ෂා කරමින් පවතිනවා.

පිළිකා නැසුමට දෙළුම් පොතු

දෙළුම් පොතුවල ‘පියුනිකැලජින්’ නම් පොලිෆීනෝලයක් ඉහළ ප්‍රමාණවලින් අන්තර්ගත වෙනවා. මෙම සංඝටකය විද්‍යාගාර පර්යේෂණවලදී පිළිකා ඇතිවීම වලක්වන්නක් බවට ඔප්පු වී තිබෙනවා. විශේෂයෙන් පුරස්ථ ග්‍රන්ථිය හා සබැඳි පිළිකා තත්ත්වවලට ප්‍රතිකාර කිරීමේ දී දෙළුම් පොතු යොදා ගැනීමෙන් එම පිළිකා සෛල විනාශ වන බවට පෙනී ගොස් තිබෙනවා. පියයුරු පිළිකා, බඩවැල් ආශ්‍රිත පිළිකා මෙන් ම මුඛ පිළිකාවලට එරෙහි ව දෙළුම් පොතු යොදා ගත් විට, එම පිළිකා සෛල ගුණනය වීම සෑහෙන පමණකින් අඩු වී ඇති බැව් විද්‍යාත්මක ව ඔප්පු වී තිබෙනවා. මෙමඟින් පිළිකා පැතිරීම අවම කර ගැනීමට හැකි වෙනවා. එඅක්මා පිළිකා වලක්වා ගැනීමේදී ද දෙළුම් පොතු ඉතා හොඳ ඖෂධයක් ලෙස ක්‍රියා කරන්නේ එහි ඇති ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය නිසා යි.

රූමැටික ප්‍රාදාහයට මෙන් ම අස්ථි ක්ෂය වීමටත් එරෙහි ව දෙළුම් පොතු

දෙළුම් පොතුවල ඇති ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය නිසා රූමැටික ප්‍රාදාහ තත්ත්වය නිසා ඇති වන සංකූලතා අවම කර ගන්නට එය උපකාරී වෙනවා. මෙහි අඩංගු පියුනිකැලජින් රූමැටික ප්‍රදාහයකට එරෙහි මාහැඟි ප්‍රතිකාරයක් බවට විද්‍යාගාර මීයන් යොදා ගෙන කළ පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා. මෙමඟින් රෝගය ඇතිවීමත් පමා කරන අතර, එහි තදබල භාවයත් සෑහෙන පමණින් අඩු කරන බවට පෙනී ගොස් තිබෙනවා.

 ශ්‍රී ලංකාවේ ද දෙළුම් හොඳින්  වැඩෙනවා –   filipinoeggrolls.com

 

දෙළුම් ගසෙහි සෑම කොටසක ම පාහේ වැඩි වශයෙන් ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වෙනවා. මෙහි බොහෝ කොටස් මිනිසුන්ගේ අස්ථි ක්ෂය වීම අවම කර ගැනීමට දායක වෙන බැව් ඔප්පු වී තිබෙනවා.

දෙළුම් ගෙඩියේ පොතු හෙවත් ලෙල්ල අතීතයේ පටන් විවිධ රූපලාවන්‍ය සහ ඖෂධ තැනීමේ දී පැරැන්නන් භාවිත කළා.  මේ පිළිබඳ ව බටහිර රටවල අවධානය යොමු වූයේ පසුකාලීනව යි. දැන් දැන් එම රටවල ද මේ පිළිබඳ ව පර්යේෂණ පැවැත්වෙමින් තිබෙනවා. තවමත් බොහෝ රටවල්වල දෙළුම් ගෙඩියේ මදය ආහාරයට ගෙන, ලෙල්ල ඉවත දමන අතර, එය හුදු ‘නිධානයක් පසෙක හෙළීමක්’ බැව් විද්වත් මතය යි.

කවරයේ ඡායාරූපය - දෙළුම් යනු ඉතාමත් ගුණදායී පලතුරක් - savoryexperiments.com

මූලාශ්‍ර:

Healthline.com

Thehealthsite.com

Healthbenefitstimes.com

Related Articles