Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රසයෙන් ගුණයෙන් පිරි බණ්ඩක්කාවල සෞඛ්‍යමය වාසි

බණ්ඩක්කා ආහාරයට ගැනීමට ශ්‍රී ලාංකික ජනයා බොහෝ දෙනෙක් ප්‍රියතාවක් දක්වනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ පහසුවෙන් හමුවන එළවළුවක් ලෙසට සමහරක් පෙදෙස්වල ජනයා නිතරම බණ්ඩක්කා තම ආහාර වේලට එක්කාසු කර ගන්නවා. කෙසේ නමුත් ඒ බොහෝ දෙනාට මෙහි අඩංගු ගුණ පිළිබඳ නිසියාකාර අවබෝධයක් නැහැ.
බණ්ඩක්කාවල නිජ භූමිය වන්නේ නැගෙනහිරදිග අප්‍රිකාව යි. ලොව සියලු ම රටවල පාහේ මිනිසුන් මේවා ආහාරයට ගන්නේ එහි කරල් ළපටි අවස්ථාවේ තිබියදී යි. මැල්වේසියේ කුලයට අයත් ශාකයක් වන බණ්ඩක්කාවල විද්‍යාත්මක නාමය වන්නේ Abelmoschus esculentus යි. මේවා ලොව ඝර්ම කලාපීය, උණුසුම් දේශගුණයක් සහිත ලොව ඕනෑම පෙදෙසක වැවෙන අතර, හොඳින් ජලය බැස යන, පොහොර හොඳින් ඇති පස්වල ඉතා හොඳින් වර්ධනය වෙනවා.

 බණ්ඩක්කා කරල් වල පැහැය කොළ හෝ රතු වෙනවා- redwiggler.org

 

බණ්ඩක්කාවල පෝෂණ ගුණය

බණ්ඩක්කා පෝෂණ ගුණය අතින් ඉතා පොහොසත් එළවළුවක් වෙනවා. මෙහි ග්‍රෑම් 100ක කැලරි 33 ක ශක්තිය ද, ග්‍රෑම් 7 ක පිෂ්ටය ද, ග්‍රෑම් 2 ක ප්‍රෝටීන් ද ගැබ් වී තිබෙන අතර, මේදය අඩංගු නැති තරම් වෙනවා. බණ්ඩක්කා, තන්තුවලින් ද පොහොසත් අතර ග්‍රෑම් 100ක තන්තු ග්‍රෑම් 3 ක් අන්තර්ගත වෙනවා. මීට අමතර ව බණ්ඩක්කා විටමින් සී හා කේ 1 හි ඉතා හොඳ ප්‍රභවයක් වෙනවා. විටමින් සී ප්‍රතිශක්තිය සඳහා ද, කේ 1 රුධිරය කැටිගැසීම සඳහා ද වැදගත් වෙනවා. මීට අමතර ව මෙහි විටමින් ඒ, ෆෝලේට්, විටමින් බී 6 , මැග්නීසියම් වැනි දේ ද යහමින් අන්තර්ගත වෙනවා.

බණ්ඩක්කාවල තවත් විශේෂත්වයක් වන්නේ එය අනෙකුත් එළවළුවලට සාපෙක්ෂ ව වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් එහි අඩංගු වීම යි. ඒත් සමඟ ම අඩු කැලරි ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වීම නිසා බණ්ඩක්කා බර අඩුකිරීම හා මාංශපේෂී වර්ධනය උදෙසා ශාරීරික ව්‍යායාම කරන අයට මාහැඟි ආහාරයක් වෙනවා. දියවැඩියාව සහිත රෝගීන්ට ද බණ්ඩක්කා හොඳ ආහාරයක්

 බණ්ඩක්කා ශාකය- almanac.com

 

බණ්ඩක්කාවල සෞඛ්‍යමය වාසි

බණ්ඩක්කාවල සෞඛ්‍යට හිතකර ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වෙනවා. මෙම ප්‍රතිඔක්සිකාරක මිනිස් සෛලවලට හානිකර පිළිකා වැනි විවිධ රෝගාබාධ ඇති කළ හැකි මුක්තඛණ්ඩකවල ක්‍රියාකාරීත්වය නිෂේධනය කිරීමෙහි ලා වැදගත් වෙනවා. බණ්ඩක්කාවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක අතුරින් ප්‍රමුඛත ම ප්‍රතිඔක්සිකාරකය වන්නේ පොලිෆීනෝල යි. මීට ෆ්ලේවනොයිඩ හා අයිසොක්වර්සටීන් අන්තර්ගත වෙනවා. මේවාට අමතර ව මෙහි විටමින් ඒ හා සී ද බහුල ව පවතිනවා. විද්‍යාඥයන් පවසන පරිදි යමකුගේ ආහාරයේ පොලිෆීනෝල හොඳින් අන්තර්ගත වීම, රුධිර කැටිති ඇති වීමේ අවදානම අඩු කොට, හෘදයේ සෞඛ්‍ය තත්ත්වය ඔප්නැංවීමට ඉවහල් වෙනවා. මීට අමතර ව මෙම පොලිෆීනෝල මොළයේ ක්‍රියාකාරීත්වය හා සෞඛ්‍ය තත්ත්වය ඔප්නංවා ගැනීමට ද ඉවහල් වන්නේ මොළ‍යට ඇතුළු වී එහි සංකූලතා අවම කිරීමට ඒවායේ ඇති සුවිශේෂී හැකියාව නිසා යි. මේ නිසා දීර්ඝකාලීන ව පුද්ගලයකුගේ සිතීමේ හැකියාව, ඉගෙනීමේ හැකියාව හා මතකය ද වැඩි දියුණු විය හැකි යි.

ශරීරයට අහිතකර කොලෙස්ට්‍රෝල් හෙවත් අඩු ඝණත්ව ලීපොප්‍රෝටීන වුවමනා ප්‍රමාණයට වඩා වැඩි වීම හෘදයාබාධවලට අතවැනීමක් වෙනවා. බණ්ඩක්කාවල ඇති සෙවලමය ස්වභාවයක් සහිත ද්‍රව්‍යය, ආහාර ජීර්ණයේ දී කොලෙස්ට්‍රෝල් අංශු හා බැඳී, ඒවා ශරීරයට වශෝෂණය වීම වලක්වා, මළ සමඟ පිටවීමට සලස්වනවා. සති අටක කාලයක් සිදු කළ එක්තරා අධ්‍යයනයකදී කාණ්ඩ තුනකට වෙන් කළ මීයන්ට පිළිවෙළින් 1% හා 2% පරිමාණවලින් බණ්ඩක්කා පිටි මිශ්‍ර කළ ඉහළ මේද ප්‍රතිශතයක් සහිත ආහාර ලබා දුන් අතර, තෙවන කණ්ඩායමට බණ්ඩක්කා පිටි මිශ්‍ර නොකර එම ආහාරය ම ලබා දී තිබෙනවා. මෙහිදී හෙළි වී ඇත්තේ බණ්ඩක්කා පිටි සහිත ආහාර අනුභව කළ මීයන්ගේ වසුරුවල එම පිටි තිබී නොමැති ආහාර අනුභව කළ මීයන්ට සාපේක්ෂ ව කොලෙස්ට්‍රෝල් අන්තර්ගත වී තිබූ බව යි. පළමු කාණ්ඩ දෙකෙහි මීයන්ගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ද තෙවන කාණ්ඩයට සාපේක්ෂව අඩු අගයක් ගෙන තිබුණා.

  ප්‍රතිඔක්සිකාරක (Antioxidants) මුක්තඛණ්ඩක (Free Radicals) නිෂේධනය කරනවා- nzhealthfood.com

 

බණ්ඩක්කාවල ලෙක්ටීන් නම් ප්‍රෝටීනයක් අන්තර්ගත වෙනවා. මෙය මානව පිළිකා සෛල වර්ධනය වීම නිෂේධනය කරනවා. අධ්‍යයනකින් හෙළි වී ඇති අන්දමට පියයුරු පිළිකා සෛලවල ගුණනය 63% කින් නිෂේධනය කරන්නට ලෙක්ටීන් සමත්. තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ බණ්ඩක්කාවල අඩංගු ලෙක්ටීන්, සමේ පිළිකා සෛල මරා දැමීමට සමත් වී තිබෙනවා. කෙසේ නමුත් මේ අධ්‍යයනවල ප්‍රතිඵල කල්පිත ලෙස තහවුරු කිරීමටනම් මිනිසා විෂයයෙහි තව තවත් පර්යේෂණ සිදු කළ යුතු බැව් විද්වත් මතය යි.

උක්ත සෞඛ්‍යමය ගුණවලට අමතර ව බණ්ඩක්කා මිනිස් සිරුරෙහි සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමක තබා ගැනීමටත් ඉවහල් වෙනවා. බණ්ඩක්කා ආහාරයට ලබා දුන් මීයන්ට දියරමය ග්ලූකෝස් ලබා දුන් විට රුධිරගත සීනි මට්ටම ඉහළ ගිය ශීඝ්‍රතාව, බණ්ඩක්කා ලබා නොදී දියරමය ග්ලූකෝස් ලබා දුන් මීයන්ගේ රුධිරගත සීනි මට්ටම ඉහළ ගිය ප්‍රතිශතයට සාපේක්ෂ ව සැලකිය යුතු තරම් අඩු බැව් අධ්‍යයනය කර තිබෙනවා. බණ්ඩක්කා, දියවැඩියාව වෙනුවෙන් ලබා දෙන මෙට්ෆොමීන් නම් ඖෂධය හා අන්තර්ක්‍රියා කළ හැකි බැව් සොයා ගෙන තිබෙන නිසා මේ ඖෂධය ලබා ගන්නා රෝගීන්ට බණ්ඩක්කා වැඩි වශයෙන් ආහාරයට ගැනීම වෛද්‍යවරුන් අනුමත කරන්නේ නැහැ.

ගැබිණි මවුවරුන්ට යහපත් බණ්ඩක්කා

බණ්ඩක්කා විශේෂයෙන් ම ගැබිණි මවුවරුන්ට ගුණ දෙන ආහාරයක් වෙනවා. එහි අඩංගු විටමින් බී 9 හෙවත් ෆෝලේට් ගැබිණි මවුවරුන්ට විශේෂයෙන් ඉතා වැදගත් සංඝටකයක් වෙනවා. මෙය කළලයේ ස්නායු පද්ධතියේ විකසනයට වැදගත් වන අතර, එහි මස්තිෂ්කය, සුෂුම්නාව හා කොඳු ඇට පෙළෙහි ආබාධ ඇතිවීමට තිබෙන ඉඩකඩ අවම කරනවා. සෑම ගැබිණි මවක ම දිනකට ෆෝලේට මිලිගරෑම් 400ක් අනුභව කළ යුතු බැව් වෛද්‍ය නිර්දේශය යි. බණ්ඩක්කා ග්‍රෑම් 100ක එමෙන් 15% ක පමණ ෆෝලේට අන්තර්ගත බැව් සොයාගෙන තිබෙනවා.

 බණ්ඩක්කාවල අඩංගු ෆෝලේට කළල විකසනයට වැදගත් වෙනවා- momjunction.com 

 

පසුවදන

බණ්ඩක්කා විවිධාකාරයේ සෞඛ්‍යමය ගුණ දරන, ඉතා වටිනා එළවළුවක් වෙනවා. ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල මේවා ඉතා හොඳින් වැවෙන අතර, පිස ගැනීමත් පහසුවෙන් කළ හැකි බැවින්, මෙහි උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් වෙනවා.

 

කවරයේ ඡායාරූපය - බණ්ඩක්කා - Rudisill - gettyimages.com 

මූලාශ්‍ර:
Healthline.com
Webmd.com
Medicalnewstoday.com

Related Articles