Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ පුරාණ පාරම්පරික සහලේ රුව-ගුණ-තේජස

අතීතයේ ලංකවට කිව්වේ පෙරදිග ධාන්‍යාගාරය කියල යි. එසේ නම් ලත් ශ්‍රී ලංකාවේ පුරාණයේ දේශීය සහල් වර්ග 4,000ක් පමණ වගා කළ බව කෘෂි පර්යේෂණඥයන් පවසනවා. මේ අතරින් වී වර්ග 1485ක නාම ලේඛනයක් පරිසර ලේඛක ක්‍රිෂ්ණ විජේබණ්ඩාර ඉදිරිපත් කර තිබෙනවා. අද අපි සම්පූර්ණයෙන් ම ආහාරයට ගන්නේ පාරම්පරික සහල් නොවේ. දෙමුහුන් කළ බීජ වර්ගවලින් තැනූ සහල්.  ඒවායෙහි ආසනික් වැනි බැර ලෝහ පැවතීම නිසා  විවිධ රෝග  හට ගත හැකි බවට වෛද්‍යවරුන් අනතුරු ඇඟවුවා. පාරම්පරික සහල් වර්ගවල  පවතින ඖෂධීය ගුණය නිසා ඒවාට සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. මේ එවැනි සහල් වර්ග කිහිපයක් ගැන කළ සොයාබැලීමක්.

පාරම්පරික වී වගාකරන ගොවියෙක්- dinamina.lk

දේශීය සහලේ ගුණ

වසර දහස් ගණනක අතීතයක් හිමි පාරම්පරික සහල් වර්ගවලට රසායනික පොහොර යොදා ගත්තේ නැහැ.  ඒවා ගුණයෙන් ඉහළ යි. දශක පහක පමණ කාලයක ඉඳලා අප ඒවායෙන් ඈත්වෙලා. අපේ පුරාතන ජනතාව විශිෂ්ට යෝධ නිර්මාණ කළේත්,  වැඩි කාලයක් නිරෝගී ව ජීවත්වූයේත් මෙම සහල්වල පැවැති ප්‍රතිශක්තිකරණ ගුණ නිසා බව දැන් හෙළි වී තිබෙනවා. දේශීය සහල් වර්ග සර්ප විෂ, කාමලාව වැනි විෂ රෝගාබාධ සඳහා ද ප්‍රතිකාර ලෙස යොදා ගත්තා.

රතු හීනටි, වෙද හීනටි, රත් සුවඳැල්, මා වී, කළු හීනටි, සුදු හීනටි, ගොඩ හීනටි, හැටදා වී, කුරුළු තුඩ, මඩතවාළු, පච්ච පෙරුමාල්, කහවනු, ඇල්වී, අත්දැල්, කහමාල වී, මසුරං, හොඬරවාරු, පොක්කාලි, ගෝනබරු වී, බටහෙලැල්, සුදු කුරු වී, කිරිමුරුංග වී, හේරත් බණ්ඩා වී, රංතැඹිලි හැල්, රත්කරහාල්, රත්තාර වී, සුදු මඩසල්, කළු හෙල ඇල් වී ආදිය දේශීය සහල් වර්ගවලින් කීපයක් පමණයි. නවීන විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව මෙම සහල් පරිභෝජනයෙන් බෝ නොවන රෝග බොහෝමයක් පාලනය කළ හැකි යි. කොවිඩ් වැනි වසංගත රෝගවලට ශරීරයේ ඔරොත්තු දෙන හැකියාවත් වර්ධනය කරනවා.

අධික ගුණැති දේශීය වී – Silumina.lk

දේශීය සහල්   ප්‍රෝටීන්, යකඩ සහ ප්‍රතිඔක්සිකාරක යන ශරීරයට හිතකර සංඝටකවලින් සමන්විත යි.  මෙම සහල්වල මේදය හා පිෂ්ඨය වැනි සිරුරට අහිතකර සංඝටක ඇත්තේ වැඩි දියුණු කළ අද භාවිත කරන සහල්වලට වඩා අඩු ප්‍රතිශතයකින්. මේවායේ තිබෙන ප්‍රතිඔක්සිකාරක  සංඝටක පිළිකා සෛල මර්දනයෙහි ලා අනගි මෙහෙයක් කරනවා. ඉන් ශරීරයේ නිපදවෙන අනවශ්‍ය සෛල ශරීරයෙන් බැහැර කෙරෙනවා.  පාරම්පරික සහල්වල සාමාන්‍ය සහල්වලට වඩා හත් ගුණයකින් ප්‍රතිඔක්සිකාරක  වැඩි බව හෙළි වී තිබෙනවා.

සුවඳ හමන සුවඳැල් – masuranbath.blogspot.com

සුවඳැල්

ජන විශ්වාසයේ තිබෙන්නේ සුවඳැල් වී පැසෙන විට කෙත ම සුවඳවත් වන බව යි. එහි ඇති වාෂ්පශීලී ඇරෝමැටික රසායන වර්ග නිසා තමයි මේ සුවඳ නිකුත් වන්නේ. බත් ඉදෙන විටත් ඉන් අපූරු සුවඳක් හමනවා.

දිව පිනවන රසයකින් යුත් සුදු බත් ලබා දෙන සුවඳැල් සහල් භාවිතයෙන් සමෙහි පැහැය වර්ධනය වන අතර කටහඩෙහි ස්වභාවය වර්ධනය ද, කායික ශක්තිය වර්ධනය ද සිදුවෙනවා.  දියවැඩියාව වැනි රෝග පාලනය කිරීමේ හැකියාවක් ද එයට පවතිනවා.

මෙම සහල්වල ඇති කිරි රසය නිසා උත්සව අවස්ථාවන් සඳහා භාවිතයට ඉතාමත් සුදුසු යි. සුවඳැල් වීවල පෝෂ්‍ය පදාර්ථවලින් 90% ක් කාබොහයිඩ්රේට් ද, 7% ක් අසංතෘප්ත ප්‍රොටීන් ද, 0.7% ක් අසංතෘප්ත මේදය ද සහ 0.1% ක්  තන්තු ද අඩංගු යි. සුවඳැල්  රටේ දකුණු පළාත්වල පහත් තැනිතලාවේ වගා කිරීමට සුදුසු යි. අනෙකුත් වී වර්ග මෙන් නොව අස්වැන්න නෙළීම සඳහා මාස 5-6 ක් වැනි වැඩි  කාලයක් ගත වෙනවා.

පාරම්පරික වී වගාවක්- dinamina.lk

සිරුරේ හෝමෝන ක්‍රියාවලිය සමතුලිත කිරීමට සුවඳැල් සහාය දක්වනවා. සිරුරේ ග්ලූකෝස් අධික සංචිතයක් මෙයින් ඇති නොකරවන අතර තල, කුරහන්, මුංඇට වැනි ධාන්‍ය වර්ග සමඟ කලවම් කර කැඳ හෝ තලප ආකාරයට සකස් කර ගැනීම වඩාත් සුදුසු  බව ආයුර්වේද මතය යි. සුවඳැල් සහල්  කායික හා මානසික නිරෝගීතාවට උපරිම දායකත්වයක් සපයන බව ද සඳහන් වෙනවා. හෝමෝන ක්‍රියාවලිය මධ්‍යස්ත ආකාරයට පවත්වා ගැනීමටත් එය උපකාරී වෙනවා.  හෘද ස්පන්දන වේගය නිසියාකාර ව පවත්වා ගැනීමටත් සහාය වෙනවා.  අධිරුධිර පීඩනය වැළැක්වීමටත් මෙය කදිම ආහාරයක්.

 මඩතවාලු සහල්- lakpura.com

මඩතවාළු

ගැමියන්   මඩතවාළු හඳුන්වන්නේ වැඩිමහල් වී වර්ගයක් කියල යි. ඒ කියන්නේ හැදෙන්නට කල්ගත වන වී වර්ගයක්.  මඩතවාළු කාබෝහයිඩ්ඩ්‍රේට්වලට වඩා ප්‍රෝටීනමය හා මේදමය ගුණයෙන් ඉහළ යි.  සිරුරේ  ශක්තිය වර්ධනය කර  දියවැඩියාව පාලනය කරනවා. ආහාර මාර්ගයට හිතකර බැක්ටීරියා ලබාදීම, වා, පිත්, සෙම් රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙසත් සුදුසු යි. ශරීරයෙන් විෂ ඉවත් කිරීමට, රුධිර සංසරණ පද්ධතිය පිරිසුදු කිරීමට, ස්වේද ග්‍රන්ථිවල ශ්‍රාවය උත්තේජනය කිරීම ආදියට වැදගත් බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.

රතු සහලක් වන මඩතවාලු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පාරම්පරික ව වගා කෙරුණු සහල් වර්ගයක්.  වපුරා මාස හතරකින් පමණ අස්වනු නෙළා ගත හැකි යි. අපේ රටේ වගාකරන පාරම්පරික සහල් ප්‍රභේද අතරින් වැඩි ම අස්වැන්නක් ලබා දෙන සහලක් ලෙස එය සැලකෙනවා. අක්කරයකට බුසල් 110ක් පමණ අස්වැන්නක් ලබා දීමට සමත්.

කළුහීනටි වී වගාවක්- herbal.lk

කළු හීනටි

කළු හීනටි කියන්නේ විෂ වෙදකම සදහා අතීතයේ ඉඳන් භාවිත කරන සහලක්. මාස තුනක් ඇතුළත මේ වී පලදාව ලබාදෙනවා. කළුහීනටි සහල්වල විෂ නැසීමට  උපකාරී වෙන විශේෂ ගුණයක් අන්තර්ගතයි. මේ  නිසා  කළුහීනටි කැඳ ඔසුවක් ලෙස සකසා සර්ප විෂ ශරීර ගත වුණු රෝගීන්ට ලබාදීමට පාරම්පරික විෂ වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.

 කළුහීනටි සහල්- herbal.lk

කළු හීනටි සහලේ සින්ක් සහ යකඩ ද අඩංගු යි. කළු හීනටි වී ගසක් පහසුවෙන්  හඳුනා ගන්න පුළුවන් වන්නේ  එකම කරලේ පොත්ත සුදු වී සහ කළු වී දැක ගත හැකි නිස යි. සහල්වල නිවුඩ්ඩ රතු පැහැති යි. කායික ශක්තිය වැඩි කරන මෙම සහල  ගර්භිණී හා කිරි දෙන මව්වරුන්ට ඉතා සුදුසු යි.  දියවැඩියාව පාලනයට හා විෂ නැසීමට ද එය උපකාරී වෙනවා.  වියළි කලාපයේ ඉතා හොඳින් වැවෙන මෙම වී වර්ගයේ අස්වැන්න අක්කරයකට බුසල් 30ත් 50ත් අතර වෙනවා.

 සුදු හීනටි වී -youtube.com

 සුදු හීනටි

සුදු හීනටි කියන්නේ ‘හීනටි’ වී කුලයට අයත් වන අප රටේ පාරම්පරික ව වගා කෙරුණු තවත් අගනා රතු සහල් ප්‍රභේදයක්. වී ඇටයේ පිට පොත්ත සුදු පැහැයෙන් දිස් වීම නිසා මෙය සුදු හීනටි ලෙස හඳුන්වනවා. සුදු හීනටි වී වපුරා මාස 4කින් පමණ අස්වනු නෙළා ගත හැකි යි.  අක්කරයට බුසල් 60ක් පමණ අස්වැන්නක් ලබා දෙනවා.

එය අප රටේ සෑම ප්‍රදේශයක ම පාහේ වගා කළ හැකි වී වර්ගයක්. මෙම සහල් වර්ගයේ ප්‍රෝටීන් සහ යකඩ ප්‍රතිශතතය ඉහළ යි.  දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩි වීම, අධික රුධිර පීඩනය පාලනය කළ හැකි බව  පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා. ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමටත් උපකාරී වෙනවා. ආතතිය වැනි රෝග නිවාරණ කිරීමේ ශක්තියක් ද මෙම බතට තිබෙනවා.

 ගංවතුරට ඔරොත්තු දෙන මාවී – facebook.com

මා වී

මහ කන්නයේ පමණක් වගාකරන වී වර්ග පුරාණයේ හැඳින්වූවේ මාවී කියල යි. මාවී තෙත් කලාපයේ පමණයි වැවෙන්නේ. නිල්වලා නිම්න වැසි ගොවීන් ‘මහ  මාවී’  නම් පාරම්පරික වී ප්‍රභේදයක් වගා කරනවා. පුරාණයේ ගම්පහ, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල මාවී බහුල ව වගා කළා. ගංවතුරට ඔරොත්තු දෙන වී වර්ගයක් වන මෙය පෝෂණ ගුණයෙන් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද පොහොසත්.

මා වී සහලේ බත ඉතා රසයි, මෘදු යි.   මා වී සහලේ බත පිසෙන  ප්‍රමාණය ද වැඩි යි. මා වී බත, මිනිස් ශරීරයේ බර නිසි පරිදි පවත්වා ගෙන යාමට උපකාරී වෙනවා.  එහි  ප්‍රෝටීන ප්‍රතිශතය සියයට 7.80ක් තරම් ඉහළ මට්ටමක ඇති බව සොයා ගෙන තිබෙනවා. මා වී සහලේ බත වැළඳීමෙන් ලිංගික ශක්තිය වර්ධනය වන බවට විශ්වාසයක් පවතිනවා. තන්තු බහුල මෙම සහල් දියවැඩියාව,  ක්ෂය රෝගය, මළබද්ධය, අර්ශස් හා හෘදවාහිනී රෝග වැළැක්වීමට ද  උපකාරී වෙනවා.

කුරුළුතුඩ සහල් සහ බත් –  facebook.com

කුරුළුතුඩ

කුරුළුතුඩ, ප්‍රෝටීන හා මේදය බහුල ප්‍රියජනක රසයකින් යුක්ත රතු සහල් වර්ගයක්.  පිත්තාශ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන අතර පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වැඩිකරර බෙලහීන බව මඟ හරවන බවයි අදහස. දියවැඩියාව සහ කොලෙස්ටරෝල් පාලනයට උපකාරී වෙනවා.  ප්‍රතිඔක්සිකාරක ගුණයා නිසා පිළිකා වළක්වනවා. අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරන අතර පිත්තාශයේ ගල් ඇතිවීම  ද වළක්වනවා. යකඩ සහිත ආහාරවල යකඩ අවශෝෂණය කර රුධිරයේ හිමෝග්ලොබින් උත්පාදනයට කුරුළුතුඩ බත සහාය වෙනවා.

කවරයේ ඡායාරූපය: - සිරිලක පාරම්පරික වි වර්ග කිහිපයක්-   www.lankalive.org

මූලාශ්‍ර:

දුප්පත් බතට විස - ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

Dinamina.lk

Lankadeepa.lk

 

Related Articles