වෛද්‍ය විද්‍යාවට මාහැඟි දායාදයක් වූ හෝර්ස්ෂූ කකුළු රුධිරය

පෙර ලිපියකින් අපි ඔබට තල්මස් විශේෂයකින් පිටවන “ඇම්බර්ග්‍රිස්” නම් ද්‍රව්‍යය ගැන තොරතුරු ගෙන ආවා. ඇම්බර්ග්‍රිස්වල ඉහළ මූල්‍යමය වටිනාකම නිසා මුහුදත් සමග ගනුදෙනු කරන ඇතැමුන් මේවා ගැන අවධානයෙන් පසු වෙනවා. මෙම ලිපිය වෙන් වෙන්නේ සත්ත්වයෙකුගෙන් ලබාගන්නා එවැනිම සුවිශේෂී ද්‍රව්‍යයක විස්තර වෙනුවෙන්. ‘හෝර්ස්ෂූ ක්‍රැබ්’ (අශ්වලාඩම් කකුළුවා) නමින් හඳුන්වන මෙම සත්ත්වයාගේ රුධිරයට වෛද්‍ය විද්‍යාත්මක වටිනාකමක් තිබෙනවා. ඒ නිසාම හෝර්ස්ෂූ කකුළු රුධිරයට තිබෙන මූල්‍ය වටිනාකමත් ඉහළ යි. COVID-19 වසංගත තත්ත්වය හමුවේ හෝර්ස්ෂූ කකුළුවාට යම් කාලීන වැදගත්කමකුත් හිමිව තිබෙනවා.

හෝර්ස්ෂූ කකුළුවාගේ ව්‍යුහය දැක්වෙන්නේ මේ ආකාරයෙන්/meigspointnaturecenter.org/

ලෝකයේ පැරණිතම සාමාජිකයෙක්

හෝර්ස්ෂූ කකුළුවා ඇමරිකාවේ ෆ්ලොරිඩා වෙරළ තීරයේ සුලබව දකින්නට ලැබෙන සත්ත්වයෙක්. ඔවුන් බොහෝවිට අත්ලාන්තික් සාගරයේ මධ්‍යම කොටසේ පැතිරී සිටිනවා. මෙම කකුළුවන් සෑම වසන්තයකම, විශේෂයෙන් පුර පසළොස්වක පොහොය දිනයන් ආශ්‍රිතව, බිත්තර දැමීම සඳහා වෙරළ තීරයන්වලට ඇදෙනවා. හෝර්ස්ෂූ කකුළුවන් විශේෂයන් හතරක් අනාවරණය කරගෙන තිබෙන අතර, Limulus polyphemus නම් විශේෂය පමණක් අත්ලාන්තික් සාගරය තම නිවහන කරගෙන සිටිනවා. අනෙකුත් විශේෂ තුන සිටින්නේ අග්නිදිග ආසියාවේ යි.

හෝර්ස්ෂූ කකුළුවා ඩයිසසෝරයන්ටත් වඩා පැරණි සත්ත්වයෙක්. ඔවුන් වසර මිලියන 445ක් තිස්සේ නොවෙනස්ව අද දක්වා පැවතගෙන එනවා. සත්ත්ව විශේෂ මිලියන ගණනකගේ නැඟීම සහ වැටීම මෙන්ම, අයිස් යුගයෙන් පවා දිවි ගලවාගන්න ඔවුන් සමත් වුණා. මේ හේතුවෙන් හෝර්ස්ෂූ කකුළුවා “ජීවමාන ෆොසිල” ආකාරයෙන් ජීවත් වන සත්ත්වයෙකු ලෙස පිළිගැනෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම සතුන් කකුළුවන් ලෙස හැඳින්වූවත්, සත්‍ය වශයෙන්ම ඔවුන් මකුළුවන් හා අනෙකුත් ඇරක්නීඩාවන්ට සමීප ලක්ෂණ පෙන්වන සත්ත්වයෙක්.

හෝර්ස්ෂූ කකුළුවාගේ ශරීරය කවචයකින් ආරක්ෂිත වී තිබෙනවා. ඉදිරිපස කවචය “ප්‍රොසෝමා” ලෙස හඳුන්වන අතර, පසුපස කවචය “ඔපිස්තොසෝමා” ලෙස නම්කර තිබෙනවා. ඔවුන්ට තියුණු වලිගයක් තිබෙන නිසා ඇතැමුන් හෝර්ස්ෂූ කකුළුවා භයානක සතෙකු ලෙස දකිනවා. නමුත් ඔවුන් ඉතා අහිංසක සතුන්. තියුණු වලිගය භාවිතා කරන්නේ රළ පහරක් හමුවේ පෙරළී ගියහොත්, නැවත පෙර පිහිටුමට පැමිණීම සඳහා යි. හෝර්ස්ෂූ කකුළුවාට ශක්තිමත් බහිරාවරණයක් තිබුණත්, ඔවුන් ඉතා සංවේදී සතුන්. හෝර්ස්ෂූ කකුළුවා විශේෂයෙන්ම ආලෝකයට සංවේදී යි.

හෝර්ස්ෂූ කකුළුවා සජීවි ෆොසිල ලෙස හැඳින්වීමට තරම් පැරණි ජීවීන්/sciencephoto.com/

ජීවිත බේරන නිල්පැහැ රුධිරය

වසර මිලියන ගණනකට පෙර පෘථිවියේ ජීවත්වූ ජීවින්ගේ ස්වභාවය අධ්‍යයනය කිරීම සඳහා හෝර්ස්ෂූ කකුළුවාගෙන් ලැබී තිබෙන සහයෝගය සුළුපටු නැහැ. එමෙන්ම ඇතැම් වෙරළබඩ ජීවීන්ගේ පැවැත්මටත් මොවුන් වැදගත් සාධකයක් වී තිබෙනවා. උතුරට සංක්‍රමණය වන මුහුදු පක්ෂීන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවයක් වන්නේ මොවුන්ගේ බිත්තර යි. එම පක්ෂීන්ගේ සංක්‍රමණික රටාව පවා සැකසී ඇත්තේ හෝර්ස්ෂූ කකුළුවාගේ ප්‍රජනන ක්‍රියාවලිය පදනම් කරගෙන යි.  

පාරිසරික වැදගත්කම තරමටම හෝර්ස්ෂූ කකුළුවා දැන් වෛද්‍ය විද්‍යාත්මකවත් වැදගත් සතෙකු බවට පත්වී තිබෙනවා. සුවිශේෂී ගුණාංග රැසක් ඇති ඔවුන්ගේ රුධිරය නිසා ඒ වටිනාකම ඔවුන්ට අත්වුණා. හෝර්ස්ෂූ කකුළුවාගේ රුධිරය දීප්තිමත් නිල් පැහැයක් ගන්නවා. තඹ අඩංගු හිමොසයනීන් නමැති සංයෝගය මේ නිල් පැහැයට හේතුවී තිබෙනවා. මිනිසුන්ගේ රුධිරය තුළ ඔක්සිජන් පරිවහනය කරන හිමොග්ලොබීන් මෙන්, හෝර්ස්ෂූ කකුළුවාගේ ඔක්සිජන් පරිවහනය හිමොසයනීන් උපකාරකර ගෙන සිදු වෙනවා. 

මේ රුධිරය තුළ විෂ සහිත සංයෝග නිපදවන බැක්ටීරියාවලට සුවිශේෂී ලෙස සංවේදී වන ප්‍රතිශක්තීකරණ සෛල අඩංගු වෙනවා. එම සෛල, ආක්‍රමණික බැක්ටීරියා හමුවූ විට ඒවා වටා කැටි ගැසී, හෝර්ස්ෂූ කකුළුවාගේ ශරීරයේ ඉතිරි කොටස් විෂෙන් ආරක්ෂා කරනවා. මෙම කාරණය අපි විද්‍යාත්මකව තවත් පැහැදිලි කරගනිමු.

මෙම කකුළුවන් සමුද්‍ර ජීවින්ගේ ආහාර දාමය තුළ වැදගත් භූමිකාවක් ඉටු කරනවා/shltrip.com/

හෝර්ස්ෂූ කකුළු රුධිරයේ අඩංගු මේ විශේෂ සෛලවලින් “ලිමියුලස් ඇමිබෝසයිට් ලයිසේට්” (LAL) නම් ද්‍රව්‍යයක් නිස්සරණය කරගත හැකියි. මේවා නිපදවන එකම ස්වභාවික ප්‍රභවය ලෙස හඳුනාගෙන ඇත්තේ හෝර්ස්ෂූ කකුළුවා පමණ යි. එමඟින් බැක්ටීරියා විසින් නිපදවන “එන්ඩොටොක්සීන්” නම් විෂ ද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණයක් වුවත් සාර්ථකව හඳුනගන්න පුළුවන්. හෝර්ස්ෂූ කකුළුවන්ගේ මේ ඉපැරණි ප්‍රතිශක්තීකරණ පද්ධතිය නිසා ලෝකය පුරා මිනිසුන්ට සෙත සැලසුණා. කකුළු රුධිරය සතුව පවතින බැක්ටීරියා විෂ හඳුනා ගැනීමේ ගුණාංගය භාවිතයෙන් මිනිසුන්ගේ රුධිර පරිවහන පද්ධතියට ඇතුළු කරන වෛද්‍ය උපකරණ සහ ඖෂධ, මාරාන්තික බැක්ටීරියා දූෂක සමග ගැටී ඇත්දැ යි හඳුනාගැනීමට හැකි වුණා. වර්තමානයේ දී වෛද්‍ය උපකරණ බැක්ටීරියා මඟින් දූෂණය වී නැති බව තහවුරු කර ගැනීමට මේ අපූරු නිල්පැහැ රුධිරය උපකාරී වෙනවා.

එන්නත් කිරීමක් හෝ ශල්‍යකර්මයක් සිදුකර ගෙන ඇති ඕනෑම කෙනෙකු හෝර්ස්ෂූ කකුළුවාගේ මේ අපූරු හැකියාවෙන් ප්‍රතිලාභ ලබා තිබෙන්න පුළුවන්. ප්‍රතිශක්තීකරණ එන්නත් ගැන වැඩියෙන් කතාබහ කරන මෙම කාලය තුළ, ඔවුන් ඉතා වටිනා නිහඬ සේවයක් අපි වෙනුවෙන් ඉටු කරමින් සිටිනවා. නමුත්, ඔවුන්ගේ රුධිරය දැන් වාණිජකරණය වී අවසාන යි. රුධිර ගැලුමකට ඇමරිකානු ඩොලර් හැටදහසක පමණ වටිනාකමක් නියම වී තිබෙනවා. එයින් හෝර්ස්ෂූ කකුළුවාගේ පැවැත්මට ඇතිකර තිබෙන තර්ජනයත් විශාල යි.

COVID-19 සඳහාත් අවධානය යොමු වේ.

පසුගිය වසර පුරා ලෝකය කොවිඩ් වසංගතයට එරෙහි එන්නතක් නිෂ්පාදනය කිරීමට වෙහෙස වුණා. අද වන විට කොවිඩ් වසංගතයට එරෙහි නිපදවුණු එන්නත් ආකාර කිහිපයකින් ප්‍රතිලාභ ලැබීමට අපිට හැකිවී තිබෙනවා. එන්නතක් සොයාගැනීම සඳහා පර්යේෂණ අරඹන විට එන්නත් ආකාර සියයකටත් වඩා පිරික්සීමට සිදුවනු ඇතැ යි අනුමාන කෙරුණා. ඒ අනුව සෑම එන්නත් කිරීමකම සෞඛ්‍යාරක්ෂිතබව තහවුරු කර ගැනීමට හෝර්ස්ෂූ කකුළුවාගේ රුධිරය මත විශ්වාසය තබන්න පර්යේෂකයන් උත්සුක වුණා. ඉතා කෙටි කලකින් මිලියන ගණනකට එන්නත ලැබිය යුතු නිසා මෙම සතුන්ට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියැ යි ඔවුන් විශ්වාස කළා.

අශ්වලාඩම් කකුළුවන් ගෙන් රුධිරය ලබා ගැනීම මහා පරිමාණයෙන් සිදු වෙනවා/nhm.ac.uk/

කෙසේ නමුත්, හෝර්ස්ෂූ කකුළුවන් අල්ලා ගැනීම සහ ඔවුන්ගෙන් රුධිරය ලබා ගැනීම, කාලය බෙහෙවින් ගතවෙන ක්‍රියාදාමයක්. එයින් ඔවුන්ගේ පැවැත්මටත් තර්ජන ඇති කරනවා. එනිසා මෙම සතුන්ගේ රුධිරයේ අඩංගු ලයිසේට් රසායනිකය සඳහා කෘතිම විකල්පයක් යෝජනා වුණා. පසුව එම විකල්ප, කෘතිම රසායනිකයට යුරෝපයේ අනුමැතිය ලැබුණු අතර, එක්සත් ජනපදයේ ඖෂධ සමාගම් අතළොස්සක් පවා එම විකල්ප ක්‍රමවේදය භාවිත කළා. එහෙත්, 2020 වර්ෂයේ ජුනි මාසය එළඹෙන විට එක්සත් ජනපදය විසින් මෙම විකල්ප රසායනිකයේ ආරක්ෂිත බව තවමත් සනාථකර නොමැති බව පවසමින්, ස්වභාවික ලයිසේට්වලට සමාන කෘත්‍රිම රසායනිකය සැලකීම ප්‍රතික්ෂේප කළා. එම සිදුවීමත් සමග කොවිඩ් එන්නත්වල ආරක්ෂිත බව සනාථ කිරීම සඳහා පමණට වඩා හෝර්ස්ෂූ කකුළු රුධිරය භාවිත වේයැ යි ඇතැම් සංරක්ෂකයින් බියට පත්වුණා. එයින් සමුද්‍ර පරිසරයේ සමතුලිත බවට එල්ලවන බලපෑම සුළුපටු නැහැ. කොහොම නමුත්, ගැටලු මධ්‍යයේ කොවිඩ් එන්නත් කිහිපයක්ම අද අප හමුවට පැමිණ තිබෙනවා.

තර්ජන සහ සංරක්ෂණ ක්‍රියාදාමය

හෝර්ස්ෂූ කකුළුවාගේ රුධිරය ලබාගන්නේ යම් පාලනයක් ඇතුව යි. මේ නිසා අහිමිව යන රුධිර ප්‍රමාණය සුළු කාලයක දී නිපදවා ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. තත්ත්වය එසේ වුවත්, ඖෂධ සමාගම් පමණ ඉක්මවා හෝර්ස්ෂූ කකුළුවන් එකතු කිරීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඇතැම් විට රුධිරය ලබා ගන්නා ප්‍රමාණය හා අක්‍රමවත් බව නිසා මුහුදට නිදහස් කිරීමෙන් පසු ඔවුන් මිය යනවා. මුහුදු පක්ෂීන්ගේ ප්‍රධාන ආහාරයක් ලෙස මෙම කකුළුවන්ගේ බිත්තර යොදා ගැනෙන නිසා ස්වභාවිකවම මොවුන්ගේ ගහණය පාලනය වෙනවා. එයට මිනිසාගෙන් එල්ලවන තර්ජනයත් එකතු වන විට මේ අපූරු සතුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ඉතා දුෂ්කර කටයුත්තක්.

ප්‍රජනන කාර්යය සඳහා වෙරළට පැමිණෙන හෝර්ස්ෂූ කකුළුවන්/whyy.org/

හෝර්ස්ෂූ කකුළුවාගේ ප්‍රමුඛ වාසස්ථනයක් වන ඇමරිකාවේ ඩෙලවෙයා බොක්ක ආශ්‍රිතව කකුළුවන් මිලියන 1.24ක් 1990 දී වාර්තා වුණා. 2002 වන විට එම සංඛ්‍යාව 333,500 දක්වා පහත වැටුණ අතර, 2019 සමීක්ෂණයෙන් එම සංඛ්‍යාව 335,211ක් පමණ වන බව හෙළි වුණා. ඔවුන් මුහුණ පා ඇති තර්ජනයේ තරම ගැන අදහසක් මෙම සංඛ්‍යා ලේඛනවලින් ලබාගත හැකි යි. ඖෂධ කර්මාන්තය පමණක් නොව, අද ලෝකය මුහුණ දෙන පරිසර දූෂණය, ධීවරයන් මොවුන් ඇම ලෙස භාවිතා කිරීම ඇතුළුව තවත් බොහෝ කාරණා නිසා මේ වටිනා සතුන්  තර්ජනයට ලක්වී තිබෙනවා.

තත්ත්වය සැලකිල්ලට ගත් අත්ලාන්තික් ජනපද සමුද්‍රීය ධීවර කොමිෂන් සභාව හෝර්ස්ෂූ කකුළුවන් රැස් කිරීම නියාමනය කරමින් සැලැස්මක් සකස් කළ අතර, එයින් ඔවුන්ගේ ගහණය යම් කළමණාකරණයකට යටත් වී තිබෙනවා. එමෙන්ම හෝර්ස්ෂූ කකුළුවන් බිත්තර දමන ස්ථාන ලේඛනගත කිරීමත් ඇරඹී තිබෙනවා. වනජීවී පර්යේෂණ ආයතන සහ පරිසරවේදීන් වසර මිලියන ගණනක් පැරණි මේ සතුන් රැක ගැනීමට සැලකිය යුතු පරිශ්‍රමයක් දරනවා. ඒ සඳහා මහජන සහයත් ලැබෙමින් පවතිනවා.

Cover photo: හෝර්ස්ෂූ කකුළුවා/science.howstuffworks.com/

මූලාශ්‍රයයන්: nhm.ac.uk/

myfwc.com/

nationalgeographic.com

Related Articles