අර්බුද සමයේ මානසික අවපීඩනයෙන් මිදෙන මඟ

මේ දිනවල රට මුහුණ දී ඇති ගැටලුසහගත තත්ත්වය නිසා බොහෝ දෙනෙක් සිටින්නේ සතුටින් නොවේ. දිගින් දිගට ම ඇසෙන අසුබදායී පුවත් සහ දිනෙන් දින උග්‍ර වන ආර්ථික ගැටලු හේතුවෙන් මානසික පීඩනයට සහ කාංසාවට ගොදුරු වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඔබ අප මෙන් ම වෙන ඕනෑම අයෙක් තම දිවියේ යම් අවධියක දී විවිධ හේතූන් නිසා මෙම තත්ත්වයට පත්වන්නට පිළිවන.

වර්තමානයේ රටෙහි සිදුවන දේ නිසා අපි සියලු දෙනාම පෙරට වට වැඩි මානසික කඩාවැටීම්, කනස්සලුවලට ලක්වීම සාමාන්‍යයෙන් සිදුවේ. එවැනි අවස්ථාවලට මුහුණ දීම සඳහා කායිකව මෙන්ම මානසිකව ද හොඳ පෙර සූදානමක සිටීමෙන් මානසික අවපීඩන තත්ත්ව මෙන්ම කාංසා තත්ත්ව ද ඇති වීම අවම කර ගත හැකි යි. රෝගවලට ප්‍රතිකාර කිරීමට වඩා රෝග වලක්වා ගැනීම සෑම විට ම වටිනා නිසායි ඒ. 

සුවබර දිවියකට මං

ජීවිතය මේ අවාසනාවන්ත තත්ත්වයකට යා නොදී, ඊට මෙපිටින් නවත්වාගැනීමට සියලු දෙනා ක්‍රියා කළ යුතු වන්නේ, මේ නිසා ඇතිවන සමහර ප්‍රතිඵලයන් කිසි ලෙසකින් නැවතත් ආපසු සැකසිය නොහැකි ඒවා වීමේ සම්හාවිතාවක් පවතින නිසා යි. මානසික පීඩනයෙන් සහ කාංසාවෙන් ඈත්ව, සුවබර දිවියකට මං එළිපෙහෙළි කරගන්නා ආකාරය මේ ලිපියෙන් ඔබත් සමග සාකච්ඡා කරන්නට අප අදහස් කළේ ඒ නිසාම යි.

යම් කිසි කාරණාවක් නිසා මානසික වියවුලට පත් වීම – brightquest.com

 

මානසික පීඩනය සහ කාංසාව ඇති බවට සොයාගන්නේ කෙසේද?

යම් කිසිවකුට දිගින් දිගට ම හේතුවක් නොමැතිව දුකක් දැනේ නම්, තමන් වැඩකට නැති අයකු ලෙස හැඟේ නම්, කලින් තමන් හට ආස්වාදයක් සහ සතුටක් ගෙන දුන් ක්‍රියාකාරකම්වලින් තමන් හට කිසිදු සතුටක් නොලැබේ නම්, තමන්ගේ අනාගතය පිළිබඳ භීතියක් ඇතිවේ නම් සමහර විටෙක එය කාංසාවේ හෝ මානසික අවපීඩන තත්ත්වයක ලක්ෂණ විය හැකි යි. කෙසේ නමුත් එය එසේ නොවීමටත් ඉඩකඩ ඇති අතර, එය එසේ වේ ද නොවේ ද යන්න නිශ්චිත ව ම නිර්ණය කළ හැක්කේ ඔබේ වෛද්‍යවරයාට යි. 

කෙසේ නමුත් දිගින් දිගට ම යම් කිසි කාරණාවක් නිසා මානසික වියවුලට පත් වීම, මානසික ව සතුටින් සිටිය නොහැකි වටපිටාවක, පරිසරයක ජීවත් වීම, දිගින් දිග ටම මානසික තැවුල් ගෙන එන කාරණා සමඟ ගැටෙමින් ජීවත් වන්නට සිදුවීම වැනි හේතු නිසා යමකුට මානසික අවපීඩනය හෝ කාංසාව ඇති වීමේ වැඩි හැකියාවක් තිබෙනවා. මානසික අවපීඩනය සහ කාංසා තත්ත්වය එකම කාසියක දෙපැත්ත වැනි අතර, ඔබට මානසික අවපීඩනය ඇත්නම් පහසුවෙන් කාංසාවත්, කාංසාව ඇතිනම් පහසුවෙන් මානසික අවපීඩනයත් වැලඳිය හැකියි.

ඔබට ඉහත රෝග ඇති බැව් වෛද්‍යවරයා තහවුරු කළහොත්, වහාම එය නිවාරණය කර ගැනීමට යොමු විය යුතු යි. ඒ සඳහා වූ ප්‍රතිකාර විධි පහත පරිදි වෙනවා. යමකුට මේ රෝග තත්ත්වයන් ඇති බවට හැඟී ගියහොත්, තව තවත් වියවුලට පත් නොවී ප්‍රතිකාර සඳහා යොමු විය යුත්තේ එබැවිනු යි.

කථන ප්‍රතිකාර ඉතා සාර්ථක ක්‍රමයක් වෙනවා- ici.net.au

 

කථන ප්‍රතිකාර (Counselling)

යම් කිසිවෙක් මානසික අවපීඩන තත්ත්වයකින් හෝ කාංසා තත්ත්වයකින් පෙළෙන බැව් වෛද්‍යවරුන් තීරණය කළහොත් ඔහු හෝ ඇය කථන ප්‍රතිකාරවලට යොමු කෙරෙනවා. මේවා සඳහා හොඳින් පුහුණු වුණු වෘත්තිකයන් සිටින අතර, ඔවුන් විවිධ ස්වරූපවලින් මෙම කථන ප්‍රතිකාර සැසි ක්‍රියාත්මක කරනවා. මෙම ප්‍රතිකාරවල ස්වභාවය, එයට ලක්වන පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන් ම, ඔවුන් ලක් වී ඇති මානසික අවපීඩනයේ හෝ කංසාවේ තත්ත්වය  මත වෙනස් වෙනවා. කෙසේ නමුත් මෙලෙස කෙරෙන ප්‍රතිකාර, සිතුවිලි සහ හැසිරීම් සම්බන්ධ ප්‍රතිකාර, අන්තර්පුද්ගල සන්නිවේදනය සහ ප්‍රතිචාර සම්බන්ධ ප්‍රතිකාර සහ ප්‍රශ්න විසඳීමේ ප්‍රතිකාර යනාදී වශයෙන් ප්‍රධාන කාණ්ඩ කිහිපයකට වෙන් කොට හඳුනා ගත හැකි යි.

සිතිවිලි සහ හැසිරීම් සම්බන්ධ ප්‍රතිකාරවල දී රෝගයට ලක් වූ තැතැත්තා හෝ තැනැත්තියට යම් කිසිවක් දෙස සුබවාදී ලෙස බලන ආකාරය පිළිබඳ මාර්ගෝපදේශන ලබා දෙන අතර, අමිහිරි සිතිවිලි අමතක කිරීමට මෙන් ම, ධනාත්මක චින්තනය තම සිත් තුල ඇති කරගැනීමටත් ඉන් උදව් සැපයෙයි. යම් සිදුවීමකට මුහුණ දෙන ආකාරයත්, ප්‍රතිචාර දක්වන ආකාරයත්, ඉන් පසුව සිත සකසා ගන්නා ආකාරයත් මෙහිදී සාකච්ඡා කෙරෙයි. 

අන්තර් පුද්ගල සම්බන්ධතා සහ ප්‍රතිකාර

අන්තර් පුද්ගල සම්බන්ධතා සහ ප්‍රතිකාර පිළිබඳ වන ප්‍රතිකාරවල දී යම් කිසිවෙක් සමඟ අන්තර් සම්බන්ධතා පවත්වන ආකාරයත්, නිතර හමුවන, පීඩා ගෙන දෙන පුද්ගලයන් සමඟ කටයුතු කළ යුතු ආකාරයත්, වේදිකා භීතිකාව, සමාජ භීතිකාව වැනි දේ මඟහරවා ගන්නා ආකාරයත් පිළිබඳ ව සාකච්ඡා කෙරෙයි. මෙහිදී පෞරුෂය වැඩි දියුණු කරගන්නා ආකාරය මෙන් ම, තරහව, ලැජජාව වැනි හැඟීම් පාලනය කරගන්නා ආකාරය පිළිබඳ ව මාර්ගෝපදේශ ද ලබා දේ. 

 මානසික නිදහස ළඟා කරගැනීම බොහෝ රෝග වලක්වා ගැනීමට හේතු වෙනවා- Pinterest

 

ප්‍රශ්න විසඳීමේ ප්‍රතිකාරවල දී, අදාළ පුද්ගලයාගේ ජීවිතයට යම් ගැටලුවක් පැමිණි විට, ව්‍යාකූලත්වයට පත් නොවී ඒවා විසඳාගන්නා ආකාරයත්, තමා අවට පරිසරය හැකිතාක් නිරවුල් මනසක් ඇතිවන පරිදි පවත්වාගන්නා ආකාරයත් ඉන් කියා දෙයි. මෙම සාකච්ඡා ඉතා සුහද ආහාරයෙන් සිදුවන අතර, රෝගියාගේ පෞද්ගලිකත්වය සහ රහස්‍ය භාවය ආරක්ෂා කරගන්නට මෙම ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරුන් සහ මනෝ උපදේශකයන් උපරිමයෙන් ක්‍රියා කරනු ඇත.

ඖෂධ ලබා දීම

මානසික අවපීඩන සහ කාංසා තත්ත්වය කථන ප්‍රතිකාරවලින් පමණක් පාලනය කිරීමට නොහැකි වූ විට වෛද්‍යවරුන් රෝගියා වෙත ඖෂධ ලබා දීමට ක්‍රියා කරයි. මෙය දෙවැදෑරුම් වන අතර එකක් ඖෂධ කාණ්ඩයක් ලෙස හැඳින්වෙයි. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුකෙරෙන්නේ රෝගියාගේ ශරීරයෙහි සෙරටොනින් හෝමෝන මට්ටම වැඩි කිරීම යි. මෙම හෝමෝනය පුද්ගලයකුගේ මානසික පීඩනය අවම කර, සතුටුදායක හැඟීම් මනස තුළ පැවැත්ම වැඩි කරයි. මෙහිදී මානසික අවපීඩන තත්ත්ව සහ කාංසා තත්ත්ව දැනීම අවම වන අතර, ඒ හා සබැඳි අහිතකර ශාරීරික බලපෑම් ද අවම වේ. 

අනෙක් ඖෂධ කාණ්ඩයේ දී ශරීරයේ සෙරටොනින් හා නොරෙෆිනෙෆ්‍රින් හොමෝන මට්ටම් දෙක ම පාලනය කිරීම සිදු කෙරෙයි. එහිදී යම් පුද්ගලයකුගේ මානසික මට්ටම ස්ථාවරව පවත්වා ගෙන යාම මෙන් ම, අතිශය සතුට, දුක මෙන් ම ආතතිය වැනි දේ ද දැනීම යම් පමණකට පාලනය කෙරෙයි. මෙහිදී ද රෝගියා එක් වර ම දැඩි ලෙස හැඟීම් වෙනස් වීම්වලට භාජනය වීමෙන් මනස ව්‍යාකූල වීම පාලනය කෙරෙයි.

අප පෙර පළ කළ කොරෝනා වසංගතය සමඟ එන මානසික ව්‍යාකූලතා පිළිබඳ ලිපියත් මෙතැනින් කියවන්න.

කවරයේ ඡායාරූපය - SDOMINICK/E+/GETTY IMAGES PLUS)

මූලාශ්‍ර:

Webmd.com

Ncbi.nlm.nih.gov

who.int

Related Articles