Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔමික්‍රෝන් යනු කොරෝනා වසංගතයේ නිමාව ද?

වසර දෙකකට වඩා වැඩි කාලයක් ලෝක ජනතාව පීඩා විඳී මාරාන්තික Covid-19 වසංගතය තවමත් අවසන් වී නැහැ. මේ දක්වා කොරෝනා රෝගීන් මිලියන 308 ක් පමණ ලොව පුරා වාර්තා වී තිබෙනවා. මිලියන 5.5ක් පමණ ජනතාවකට දිවි අහිමි කිරීමටද මෙම වසංගතය හේතු වුණා. මෙම වෛරසයේ විවධ ප්‍රභේද ගණනාවක් මේ දක්වා සොයාගෙන ඇති අතර ඉන් නවත ම ප්‍රභේදය වන්නේ ඔමික්‍රෝන් (Omicron) ප්‍රභේදය යි. ස්වභාවයෙන් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් පමණක් බව කියන මෙම ප්‍රභේදය එතරම් දරුණු එකක් නොවුණත් පැතිරීම අතින් අන් සියල්ලට වඩා වේගවත් බව කිව යුතු යි.

කොරෝනා වසංගතයේ මුල් කාලයේ දී විද්‍යාඥයන් පවසා සිටියේ කාලයත් සමඟ වෛරසයේ දරුණු බව අඩු වී සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙස සමාජගත වීමෙන් පසු වසංගත තත්ත්වය නිමාවන බව යි. එසේ නම් ඔමික්‍රෝන් යනු කොරෝනා වසංගතයේ නිමාව සනිටුහන් කරන ප්‍රභේදය ද යන්න පිළිබඳ ව කරුණු මෙම ලිපියෙන් සාකච්ඡා වෙනවා.

වෛරසයක ප්‍රභේද ඇති වන හැටි

වෛරසයකට පැවතීමට නම් ජීවි සෛලයක් අත්‍යවශ්‍ය වනවා. වෛරසයක් සිදු කරන්නේ, තමන්ගේ පෘෂ්ඨයේ තිබෙන ප්‍රෝටීනයකින් ජීවි සෛලයකට සම්බන්ධ වෙලා තම සෛලය බෝ කිරීම යි. බෝ කිරීමේදී එහි අනන්‍යතාව නව වෛරසවලට ගෙන යන්නේ DNA (Deoxyribonucleic Acid) හෝ RNA (Ribonucleic Acid) මගින්. DNA අණුවකට සෑම විට ම වාගේ ද්විත්ව හෙලික්සීය ව්‍යුහයක් ඇති අතර, ඒවායේ ඇති පොස්පරස් අණු, නියුක්ලියෝභස්ම (nucleotide base) (සයිටොසීන් [C], ගුවැනීන් [G], ඇඩිනීන් [A] හෝ තයිමීන් [T]) සහ සීනි අණු මගින් එකිනෙක සම්බන්ධ වනවා. යුගලන නීතිවලට අනුව A සමඟ T ද, C සමඟ G ද යුගලනය වනවා. RNA යනු DNAවලට සමාන අණුවක් වුවත් ඒවා බොහෝ විට,  තනි දාමයක් ලෙස පවතින අතර ඒවායේ නියුක්ලියෝභස්ම ලෙස තයිමීන් වෙනුවට පවතින්නේ යුරාසිල් (U) යි.

DNA දාමයක සැකැස්ම – toppr.com

DNA හෝ RNA අණුවක පවතින නියුක්ලියෝභස්ම අනුක්‍රමණය එහි අනන්‍යතාව තීරණය කරනවා. එහි හැඩය, එය කෙතරම් වේගයෙන් පැතිරෙනවා ද, කුමන සත්ව කාණ්ඩවලට එය වැලඳෙනවා ද කුමන අවයවවලට ඉන් හානි පැමිණෙනවා ද යන මේ සියල්ල තීරණය වන්නේ ඒ අනුව යි. මුල්ම SARS CoV-2 වෛරසය හෙවත් කොරෝනා වෛරසයේ ස්වභාවය තීරණය කළේ එහි RNA අණුවේ ඇති නියුක්ලියෝභස්ම අනුක්‍රමණය යි. මෙම අණුවක් අප ශරීරය තුළ ඇති ජීවි සෛල තුළට ගොස් එහි ඇති රයිබෝසෝම (Ribosome) මගින් වෛරසයේ පිටපත් විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමයි අපට වෛරසය වැලඳීම ලෙස සරල ව හැඳින්වෙන්නේ.

පිටපත් කිරීමේ දී හෝ RNA සංක්‍රමණයේ දී ඉහත නියුක්ලියෝභස්ම අනුක්‍රමණයේ එක් භස්මයක වෙනසක් සිදු ව පැවතුණහොත් එතැන් පටන් පිටපත් වන්නේ එම නව ආකාරයේ RNA ප්‍රෝටීන යි. එය ඇතැම් විට සාමාන්‍ය යුගලන නීතිවලට පිටින් සිදු වූ A සහ C අතර සංයෝජනයක් වුව ද විය හැකි අතර මෙමගින් වෛරසයේ ස්වභාවය වෙනස් කෙරෙනවා. මෙය හැඳින්වෙන්නේ වෛරසයක විකෘතියක් (mutation) ඇති වීම ලෙස යි. මේ ආකාරයට ඇතිවන නව ප්‍රභේද (variant) ඇතැම් විට පෙර වෛරසයට වඩා ශක්තිමත් ස්ථායි සහ වැඩි ආසාදනයක් ඇති කරනවා. ඇතැම් නව ප්‍රභේද පෙර වෛරසයට වඩා දුර්වල, අඩු හානිකර ලෙස ද නිර්මාණය විය හැකි යි.

COVID 19 හි මුල් ප්‍රභේද 4 – vejthani.com

කොරෝනා වෛරසයේ මේ දක්වා ප්‍රධාන ප්‍රභේද 5ක් හඳුනා ගැනුණු අතර ඉන් පළමු ප්‍රභේදය වාර්තා වුයේ දකුණු අප්‍රිකාවෙන්. මෙය 2020 මැයි මාසයේදී මුල්වරට වාර්තා වුණත් හඳුනා ගැනීම සිදු වූයේ එක්සත් රාජධානියෙන් එම වසරේ ම සැප්තැම්බරයේ වාර්තා වූ ඇල්ෆා ප්‍රභේදයට පසුව වීම නිසා බීටා නමින් හැඳින්වුණා. බ්‍රසීලයෙන් හමු වූ ප්‍රභේදය ගැමා ලෙසින් ද නම් කෙරුණා. ඉන්දියාවෙන් මුල්වරට 2020 ඔක්තෝම්බර් මාසයේ දී හඳුනා ගත් ඩෙල්ටා ප්‍රභේදය එනමින් තහවුරු කෙරුණේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී යි. මෙය ඉන් පෙර ප්‍රභේදවලට වඩා වැඩි පැතිරීමක් සහ මාරාන්තික ස්වභාවයක් පෙන්නුම් කළා.

ඔමික්‍රෝන් දරුණු නොවන්නේ ඇයි?

ඔමික්‍රෝන් ප්‍රභේදය පසුගිය නොවැම්බර් මාසයේදී ලොව පුරා රටවල් කිහිපයකින් එකවර වාර්තා වූ අතර එය මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයේ උපරිම දෛනික රෝගීන් වාර්තා වීම ද විශාල ලෙස අභිබවා ගොසින්. ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය දරුණු ලෙස පැතිරී පැවැති පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීත්, අමෙරිකාවේ ඉහළ ම රෝගීන් වාර්තා වීමක් පෙන්වූ 2020 දෙසැම්බර් මාසයේදීත් ලොව පුරා දෛනික රෝගීන් වාර්තා වීම ලක්ෂ 9ක පමණ උපරිම අගයක පැවතුණා.මේ වසරේ ජනවාරි 07 වනදා පමණක් ලොව පුරා වාර්තා වූ රෝගීන් ගණන ලක්ෂ 27 ද ඉක්මවා පැවතීම ඔමික්‍රෝන් ප්‍රභේදයේ භයානක පැතිරීම හොඳින් ම පෙන්වනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා ආසදිතයන්ගේ සාමාන්‍යය වැඩි වූ ආකාරය – statista.com

COVID 19 වෛරසය මිනිස් ශරීරයට ඇතුළු වන්නේ මුඛය සහ නාසය මුල් කරගෙන යි. එලෙස ඇතුළු වන වෛරසය ස්වසන පද්ධතියේ ඉහළ කොටස් ආශ්‍රිත ව රැඳී සිටිමින් ඒවා ආසාදනය කරනවා. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඊට එරෙහි ව ක්‍රියා කිරීමට නොහැකි වුවහොත් පෙනහළු දක්වා ගමන් කරන වෛරසය පෙනහළු ආසාදන නිර්මාණය කරනවා. මෙහිදී පෙනහළුවලට හානි වීම වැඩි වශයෙන් සිදුවන්නේ වෛරසයේ ක්‍රියාකලාපය නිසාම පමණක් නොවේ. වෛරසය සිරුරට ඇතුළු වූ මොහොතේ සිට එය පලවා හැරීමට නොකඩවා ක්‍රියා කරන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඉවක් බවක් නැති ක්‍රියාවලින් ද නිරෝගී සෛල විනාශ වී යාමට බලපාන තවත් හේතුවක්.

පෙනහළුවලට COVID 19 වෛරසය ආසාදනය වීම මාරාන්තික වන්නේ ඉහත හේතුව නිසා යි. වෙනත් ස්වසන රෝගවලින් හෝ නිදන්ගත රෝගවලින් පෙළෙන්නන්ට කොරෝනාවෙන් ගැලවීමට හැකියාවක් නොලැබුණේ ද මේ නිසා යි. කෙසේවෙතත් මෙතෙක් වාර්තා වූ දරුණු ම COVID ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය හා සැලකීමේදී ඔමික්‍රෝන් ප්‍රභේදය පෙනහළු තුළට ඇතුළුවීම දස ගුණයකින් පමණ අඩු හැකියාවක් පෙන්වනවා. මෙයට හේතුව වන්නේ පෙනහළු සෛලවල ඇති ප්‍රෝටීනයක් වන TMPRSS2 ඩෙල්ටා ප්‍රභේදයට පෙනහළු වෙත ඇතුළු වීමට ඉඩ ලබාදුන්නත් එය ඔමික්‍රෝන් ප්‍රභේදයට ඒ සඳහා ඉඩ ලබා නොදීම යි. පෙනහළු ආසාදනයක් සිදු වීමට අඩු ඉඩකඩක් පැවතීම ඔමික්‍රෝන් ප්‍රභේදය අඩු දරුණු බවක් පෙන්වීමට හේතු වනවා.

ACE2, ADAM17 සහ TMPRSS2 ප්‍රෝටීන හරහා කොරෝනා වෛරසය පෙනහළු තුළට ඇතුළුවන ආකාරය – frontiersin.org

සෞඛ්‍ය පද්ධති බිඳ වට්ටන ඔමික්‍රෝන්

ඔමික්‍රෝන් ප්‍රභේදය පෙනහළු ආසාදනය නොකළ ද වෛරසය ස්වසන පද්ධතියේ ඉහළ කොටස්වල එනම් ස්සවානාළවල, උගුරේ, නාසයේ සහ මුඛයේ වැඩි කාලයක් රැඳී සිටීමට ඉහළ අවස්ථාවක් පවතිනවා. මේ නිසා කිවිසීමේදීත්, කැස්ස සමඟත්, කතා බහ කිරීමේදීත් හෝ හුස්ම පිට කිරීමේදීත් පවා තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව අනෙක් ප්‍රභේදවලට වඩා වැඩි බව කිව හැකි යි. වාතය ඔස්සේ පැතිරී යාම ද ඩෙල්ටා ප්‍රභේදයට වඩා වැඩි බවත් මේ වන විට සොයා ගෙන තිබෙනවා.

මෙම ප්‍රභේදය මාරාන්තික තත්ත්වයක් නිර්මාණය නොකරන බවට දැනට සොයාගෙන තිබුණත් බොහෝ දෙනාට රෝහල් ගත කිරීමක් අවශ්‍ය වන බව අමෙරිකාවේ දැනට වාර්තා සිදුවන ඔමික්‍රෝන් ආසාදිත රෝහල්ගත කිරීම් පෙන්වා දෙනවා. එය මේ වන විට එරට රෝහල්වල ධාරිතාවට ආසන්න වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඇතැම් රෝහල් සඳහා රෝගීන් බාර ගැනීම ද නවත්වා තිබෙනවා. පෙර කොවිඩ් ප්‍රභේදවලදීත් සොඛ්‍ය කාර්යය මණ්ඩල ප්‍රමාණවත් නොවීමේ අර්බුදයට අමෙරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපයේ බොහෝ රටවල් මුහුණ දුන් අතර මෙම නව ප්‍රභේදය හේතුවෙන් රෝගීන් වාර්තා වීම තෙගුණයකින් පමණ ඉහළ යෑම එම අර්බුදය තවත් තීව්‍ර කර තිබෙනවා.

ඔහියෝහි වෙස්ටර්න් රිසර්ව් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ COVID-19 රෝගියකුට ප්‍රතිකාර කරන අයුරු – reuters.com

එන්නත් ලබාගැනීමට නොහැකි වූ සහ ලබාගැනීම ප්‍රතික්ෂේප කරන ජනතාව තවදුරටත් ලොව පුරා වාර්තා වීම ද මෙම ඉහළ රෝගීන් වාර්තා වීමට හේතු වී ඇති බවයි අමෙරිකානු සොඛ්‍ය බලධාරීන් පවසන්නේ. බුස්ටර් සිව්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට ද එරට සහ යුරෝපීය රටවල් මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

කොරෝනා වසංගතයේ නිමාව

ඔමික්‍රෝන් වෛරසය පිළිබඳ ව මෑතදී සිදු කළ පර්යේෂණයකට අනුව එය ආසාදිතයන්ගේ සුදු රුධිර සෛල වලින් 70 – 80% ක් පමණ ප්‍රමාණයක වෛරසයට එරෙහි ව නිර්මාණය වුණු T සෛල දැකිය හැකි වූ පැවසෙනවා. T සහ B සෛල යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පළමු ආරක්ෂක වළල්ල බිඳ වැටීමෙන් පසු නිර්මාණය කෙරෙන සුදු රුධිර සෛල විශේෂයක් වනවා. මේවා නිර්මාණය වීමේ වැදගත්කම වන්නේ නැවත කෙදිනක හෝ අදාළ වෛරස ප්‍රභේදය ශරීරයට ඇතුළු වුවහොත් ඊට එරෙහි ව ක්‍රියාත්මක වීමේ හැකියාවක් ඇති කිරීම යි.

බොහෝමයක් රෝගීන්ට ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් අඩු  දුස්සාධ්‍ය මට්ටමක් පෙන්වීමට මෙම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අනුගත වීම ද හේතුවී ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. විශේෂයෙන් පසුගිය මාස 6ක පමණ කාලය තුළ මොනයම් හෝ කොරෝනා වෛරස ප්‍රභේදයක් වැලඳී සුවය ලැබූ පුද්ගලයකු හෝ සම්පුර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයකු තුළ ඉහත සඳහන් වූ කොරෝනාවලට එරෙහි T සහ B සෛල බොහෝවිට නිර්මාණය වී තිබිය හැකි බව යි පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ.

එන්නත් ලබාගැනීම – france24.com

හොංකොං හි වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයන් ඇසුරෙන් සිදු කළ තවත් පර්යේෂණයක දැක්වුණේ මෙම නව ප්‍රභේදය ආසාදනය වීම පවා අනෙකුත් ප්‍රභේදවලට එරෙහි ප්‍රතිශක්තිය තවදුරටත් වැඩි කරන බව යි. මෙහි දී යොදාගෙන තිබුණේ එන්නත්කරණයට ලක්වූ ඔමික්‍රෝන් ආසාදිතයන් වන අතර ඔවුන් සතුව ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා යන ප්‍රභේදවලට එරෙහි ව නිර්මාණය වූ ප්‍රතිදේහ හමු වී ඇති අතර half maximal inhibitory concentration හෙවත් IC 50 අගයේ සාමන්‍යය 1 : 2929 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබුණා. එය BioNTech එන්නතෙන් ලබාදෙන IC 50 අගයට වඩා වැඩි බවයි පැවසෙන්නේ.

ඉහත කාරණා සියල්ලත් ඔමික්‍රෝන් වෛරසයේ ප්‍රබලතාව අඩු වීමත් සහ ප්‍රජා ප්‍රතිශක්තිය (Herd Immunity) එන්නත්කරණය සමඟ වැඩිවීමත් යන කරුණු සැලකීමේදී නුදුරේදී ම කොරෝනා වසංගතයේ නිමාව දැකිය හැකි වනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. සුළු සෙම්ප්‍රතිශ්‍යා වෛරසයක් වශයෙන් තවත් බොහෝ කාලයක් එය සමාජයේ පවතිනු ඇති බවටත් පැවසෙනවා. තවදුරටත් මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා නිර්මාණය විය හැකි මෙරට සිව්වන කොරෝනා රැල්ල ද වළක්වා ගත හැකි වනු ඇති. නොමිලයේ ලබාදෙන එන්නත් මාත්‍රා සියල්ල නිසි කාලයේ දී ලබා ගැනීමත් සමාජය වෙනුවෙන් සිදු කරන මහඟු සේවාවක් බවත් මෙහිදී සඳහන් කළ යුතු යි.

කවරයේ ඡායාරූපය - කෙන්යාවේ නයිරෝබිහි COVID-19 සඳහා පරීක්ෂණ සිදුකරන අවස්ථාවක්- gettyimages.com 

මූලාශ්‍ර:

who.int 

businessinsider.com

knowgenetics.org

cnn.com 

livescience.com

fortune.com

amoebasisters.com

 now.tufts.edu

Related Articles