Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලියුකේමියා රෝගය පිළිබඳව තොරතුරු බිඳක්

පිළිකාව, වකුගඩු ආබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි ලෙඩ රෝග වර්තමාන සමාජය තුළ සුලබව දක්නට ලැබෙනවා. මිනිසා යහපත් සෞඛ්‍යය පුරුදු අනුගමනය නොකිරීම සහ විවිධ ජානමය හේතු එවැනි ලෙඩ රෝග ඇතිවීමට හේතු වෙනවා. එලෙස වැළඳෙන ලෙඩ රෝග හේතුවෙන් වසරකට සැලකිය යුතු මරණ ප්‍රමාණයක් සිදුවනවා. එහිදී ඉහළ මරණ ප්‍රතිශතයක් වාර්තා වන රෝග අතරට පිළිකා ද අයත්. 

ලංකාවේ සුලබ පිළිකා වර්ග අතුරින් “ලේ පිළිකා” හෙවත් ලියුකේමියාව භයානක රෝගී තත්ත්වයක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා. 

ලියුකේමියාව පිළිබඳව කෙටියෙන් 

අපගේ රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා නිපදවනු ලබන්නේ ඇටඇටමිදුළු මඟින්. එහිදී ඇටමිදුළුවල ඇති නොමේරූ රුධිර සෛල වර්ධනය වීමෙන් මේවා නිපදවෙනවා. 

ලියුකේමියා රෝගී තත්ත්වයේ දී සාමාන්‍යයෙන් සිදුවන්නේ නොමේරූ රුධිර සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වී අත්‍යවශ්‍ය රුධිර සෛල වර්ධනයට බාධා කිරීම යි. ඒ හේතුවෙන්  ඇතිවන රෝගී තත්ත්වය ලියුකේමියාව ලෙසින් හඳුන්වනවා. සාමාන්‍ය වහරේ දී මෙම රෝගය “ලේ වතුර වීම” ලෙසින් හඳුන්වනු ලබන්නේ අසාමාන්‍ය ලෙස වර්ධනය වන සෛල රුධිරයට එකතු වී අත්‍යවශ්‍ය රුධිර සෛල නිපදවීම සිදු නොවන නිසා යි. 

සුදු රුධිරාණු (Medical News Today)

ලියුකේමියා රෝගයේ ප්‍රභේද 

ප්‍රධාන වශයෙන් ලියුකේමියා ප්‍රභේදයන් 2ක් පවතිනවා. ඒ සෙමෙන් වර්ධනය වන ලියුකේමියාව (Chronic Leukemia) සහ ඉක්මනින් වර්ධනය වන ලියුකේමියාව (Acute Leukemia) යි. මේවාට ප්‍රතිකාර කළ හැකි  තර, ඇතැම්විට සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. නමුත් රෝගී තත්ත්වය හඳුනාගත් පසුව ඉක්මනින්ම ප්‍රතිකාර සඳහා යොමු නොවුණොත් ඉක්මනින් පැතිරෙන ලියුකේමියාව කෙටි කලකින්ම මාරාන්තික හැකියි. 

ලියුකේමියාව ඇතිවීමට හේතු 

ලියුකේමියාව ඇතිවීම සඳහා නිශ්චිත හේතුවක් දැක්විය නොහැකියි. නමුත් පහත සඳහන් හේතූන් නිසා යම් කෙනෙකු ලියුකේමියා රෝගයට ගොදුරු විය හැකියි. 

1) ජානමය ගැටළු 

2) බෙන්සීන් වැනි රසායන ද්‍රව්‍යවලට නිරාවරණය වීම 

3) විකිරණවලට නිරාවරණය වීම 

4) අධික ලෙස දුම්පානය 

රෝග ලක්ෂණ 

ඕනෑම රෝගයක් කල් තියා හඳුනාගැනීම සඳහා එහි රෝග ලක්ෂණ පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතු යි. විශේෂයෙන්ම ලියුකේමියාව වැනි භයානක රෝගී තත්ත්වයක් ඉක්මනින්ම හඳුනාගතහොත් රෝගියාව සුවපත් කිරීම සඳහා වැඩි අවස්ථාවක් තිබෙනවා. එම නිසා පහත සඳහන් රෝග ලක්ෂණ ඔබගේ සිරුර තුළ දක්නට ලැබුණොත් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. 

1) තද හිස කැක්කුම සහ අස්ථි වේදනාව ඇති වීම 

2) රුධිර වහනය සිදුවීම 

3) සම සුදුමැලි වීම 

4) තෙහෙට්ටුව සහ කෑම අරුචිය ඇති වීම 

5) උණ ගතිය සහ හතිය ඇති වීම 

6) සම මත දම් හෝ රතු ලප දක්නට ලැබීම 

7) වසා ගැටිති ඉදිමීම 

8) රුධිර පට්ටිකා අඩු වීම

9) විදුරුමස් ඉදිමීම

10) විදුරුමස්, නාසය, සහ මුත්‍රා මාර්ගයෙන් ලේ ගැලීම

11) අක්මාව සහ ප්ලිහාව ඉදිමීම

12) රාත්‍රී කාලයේ අධික ලෙස දහදිය දැමීම

වසා ගැටිති ඉදිමීම (birmiss.com)

එම රෝග ලක්ෂණ මතුවන්නේ ඇයි?

ලියුකේමියා රෝගය වැළඳුණු විට ප්‍රධාන වශයෙන්ම හානි සිදුවන්නේ ඇට මිදුළුවලට යි. එවිට නිරෝගී ඇට මිදුළු සෛල වෙනුවට නොමේරූ සුදු රුධිරානු සෛල හටගන්නවා. මේ නිසා රුධිර පට්‌ටිකා ඌණතාවයක් ද ඇති වනවා. අපගේ සිරුර තුළ සිදුවන ලේ කැටිගැසීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ රුධිර පට්‌ටිකා යි. රුධිර පට්‌ටිකා හිඟවීම හේතුවෙන් රුධිර වහනය පහසුවෙන්ම සිදුවිය හැකියි.

අපගේ සිරුරට ඇතුළු වන රෝගකාරක විෂබීජ සමග සටන් කරන ප්‍රධානතම ද්‍රව්‍යයක්‌ වන්නේ සුදු රුධිරාණු සෛල යි. නමුත් ලියුකේමියා රෝගියෙකුගේ සිරුර තුළ හටගන්නා නොමේරූ සුදු රුධිරාණුවලට රෝගකාරක විෂබීජ සමග ගැටීමට අපහසු යි. එම නිසා ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය අඩපණ වී විවිධ ලෙඩ රෝග ඉක්මනින්ම වැළඳෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ දිගින් දිගටම ලෙඩ රෝග සහ ආසාදන හටගැනීම යි. උදාහරණයක්‌ ලෙස සෙම්ගෙඩි ඇතිවීම, විදුරුමස් ඉදිමීම, නිරන්තර හාමත් තත්ත්වයක්‌ ඇති වීම, නියුමෝනියාව හටගැනීම වැනි තත්ත්වයන් දැක්විය හැකියි. එසේම රුධිරයේ තිබෙන රතු රුධිරානු ප්‍රමාණය අඩු වුණු විට  නීරක්‌තිය නම් රෝගී තත්ත්වය හටගන්නවා. එවිට සිරුර පාණ්‌ඩු පැහැයට හැරී සුදුමැලි වනවා. 

රෝගය හඳුනාගැනීම සඳහා කරන පරීක්ෂණ 

ඉහත සඳහන් රෝග ලක්ෂණ ඔබගේ සිරුර තුළ දක්නට ලැබුණොත්  අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු හමුවිය යුතු යි. එවිට, ඔබට ඇත්තේ මෙම රෝගී තත්ත්වයයැ යි වෛද්‍යවරයාට සැක ඇතිවුවහොත්, ඔහු පහත සඳහන් පරීක්ෂණ කිරීමෙන් ඔබ ලියුකේමියා රෝගියෙකු ද යන්න හඳුනාගන්නවා.

1)  Full Blood Count (FBC) පරීක්ෂාව 

2) අස්ථි ඇටමිදුළු බයොප්සි පරීක්ෂාව 

3) Blood Picture

4) Flow Cytometry පරීක්ෂාව

එසේම රෝගය නිසා ඔබගේ සිරුරේ අවයවවලට හානියක් වී ඇතිදැ යි දැනගැනීම සඳහා පහත දැක්වෙන පරීක්ෂණ සිදුකරනු ලබනවා.

1) MRI

2) X-Ray

MRI ස්කෑන් යන්ත්‍රය (Stanford Health Care)

රෝගය සඳහා කරනු ලබන ප්‍රතිකාර 

ලියුකේමියා රෝගය වැළඳුණු පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම බොහෝවිට සිදුකෙරෙන්නේ මහරගම අපේක්ෂා පිළිකා රෝහලෙන්. එම රෝහලට ඇතුළත් කරන රෝගීන්ට ලියුකේමියා නාශක ඖෂධ ලබාදෙනවා. එසේම රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ද ලබාදීම සිදුකරනවා. ඊට අමතරව ඇටමිදුළු බද්ධය නම් සාර්ථක ප්‍රතිකාර ක්‍රමය (වඩා නිවැරදිව කිවහොත් පූර්වජ සෛල බද්ධය) මඟින් ලියුකේමියා රෝගීන්ව සුව කළ හැකියි. මීට වසර 5කට පමණ පෙර මහරගම අපේක්ෂා පිළිකා රෝහ තුළ ඇටමිදුළු බද්ධය සිදුකළේ නැහැ. නමුත් 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී එම රෝහල තුළ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් ස්ථාපිත කළා. ඒ අනුව අද වන විට මෙරට තුළ දී ඇටමිදුළු බද්ධයක් කරගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

මහරගම අපේක්ෂා රෝහල (ncisl.health.gov.lk)

ඔබට හෝ ඔබගේ හිතවතෙකුට ලියුකේමියා රෝගය වැළඳී ඇති බව අනාවරණය වුණොත් බියවීමට අවශ්‍ය නැහැ. එවැනි අවස්ථාවක දී ඔබ කළ යුත්තේ හැකි ඉක්මනින් පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම යි. 

කවරයේ ඡායාරූපය- Medical Express 

මූලාශ්‍රයයන්- cancer.org

Related Articles