Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නියත මරණය දෙවරක් පැරදූ ‘ලන්ඩන් රෝගියා’

මීට කලකට එපිටදී ‘ලන්ඩන් රෝගියා‘ යන අන්වර්ථ නාමයෙන්  ඇඩම් කැස්ටිලෙජෝ ලොව කැලඹූවේ ‘ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ලොව දෙවැනියා‘ ලෙස වාර්තා අතරට එක්වෙමිනි. එම වාර්තාව වඩාත් සුවිශේෂී වුණේ ඔහු ඒඩ්ස් රෝගයෙන් මතු නොව ඒ හා සමාන ම මාරාන්තික රෝගයක් වන ‘ලිම්ෆෝමා‘ පිළිකාවෙන් ද එකවර සුවය ලබා දැවැන්ත ජයග්‍රහණ ද්විත්වයක සාඩම්බර හිමිකරුවකු ව සිටි නිසා ය.

ඒ වන විට ඔහු ඒඩ්ස් රෝගයට ලබා ගන්නා ප්‍රතිරෙට්රෝ වෛරස ප්‍රතිකාර නවත්වා මාස දහ අටක් ගත ව තිබිණි. පිළිකාවට ප්‍රතිකාර ලෙස මුහුණදුන් ඇටමිදුලු බද්ධය නිසා මාරාන්තික ලිම්ෆෝමා රෝගය ද සිරුරෙන් බැහැර ව තිබුණ ද, සිය අනන්‍යතාව ලොවෙන් වසන් කර තවදුරටත්  තබා ගැනීමට ඔහුට අවශ්‍ය විය. ‘ලන්ඩන් රෝගියා‘ එතැන් සිට වසරක් ම තමා ගැන මාධ්‍ය ඔස්සේ ජාත්‍යන්තරය සිදුකරන ප්‍රකාශ හා සාකච්ඡා නිහඬ ව අසාගෙන සිටියේය.

ලනඩන් රෝගියා හෙවත් ඇඩම් කැස්ටිලෙජෝ – thetimes.co.uk

ඉන් වසරකට පසු නිව්යෝක් ටයිම්ස් වෙබ් අඩවිය සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකින් තමා කවුදැයි හෙළි කරන්නට ලන්ඩන් රෝගියා හෙවත් ‘ඇඩම් කැස්ටිලෙජෝ‘ තීරණය කළේ ය. ඒ තමාගේ කතාව ලෝකයට බලාපොරොත්තුවක් ගෙන එනු ඇතැයි යන විශ්වාසයෙනි.

“ මං ලබපු මේ අවස්ථාව හරිම සුවිශේෂයි කියලා නිහතමානීවයි කියන්නේ. මං ලබපු මේ අත්දැකීම නිසා ලෝකය  හමුවේ බලාපොරොත්තුවේ නියෝජිතයෙක් වෙන්නයි මට ඕනෑ කරන්නේ.“

වාසනාව ගෙනා අහම්බය

අඩි හයක් උසැති උත්තුංග දේහයකට හා උර තෙක් දිගු ව වැඩුණු ඝණ කළු කෙස් වැටියකට උරුමකම් කියන කැස්ටිලෙජෝගේ මන්දස්මිතයෙන් නිතර සැරසුණු වත කියාපාන්නේ ද නීරෝගිකම මිස අනෙකක් නොවේ. අද ඔහු එලෙස සිනාසුණ ද ඒ සිනහවට මුල් වූ සුවයට හිමිකම් කියන්නට ඔහු පසුකර ආ ගමන අතිශය කටුක සේම, වේදනාකාරී වුවකි. වසර දහයකට ආසන්න කාලයක් පුරා මුහුණ දුන් බලාපොරොත්තු කඩවීම්, සිරුර බිඳහෙළන තරම් වේදනාකාරී වූ ප්‍රතිකාර හමුවේ දිවි තොර කර ගන්නට පවා කැස්ටිලෙජෝ උත්සාහ කළ අවස්ථා ඔහුගේ ජීවිතයේ ගහණ ය. ඒ වන විට ඔහු ඇටමිදුළු බද්ධයට ලක් ව මාස හතළිස්හයකුත්, ඒඩ්ස් රෝගයට ප්‍රතිරෝධී ඖෂධ නවත්වා මාස තිහකුත් ගත ව තිබිණි.  

සුප්‍රකට ‘ලැන්සට්‘ වෛද්‍ය සඟරාව ප්‍රකාශ කළේ ඒ වන විට ඔහු තුළ මාරාන්තික එච්. අයි.වී. ක්‍රියාකාරී වෛරස ( බෙදීයාමේ  හැකියාවෙන් යුතු සජීවි සෛල) රුධිරයේ, මස්තිෂ්ක සුෂුම්නා තරල, අන්ත්‍රය, ශුක්‍රාණු හෝ වසාගැටිති යන කිසිදු ස්ථානයක දක්නට නැති බව ය. කැස්ටිලොජෝට ප්‍රතිකාර කළ වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒඩ්ස්  ප්‍රතිරෝධී ඖෂධ නවත්වා මාස තිහක් ගතවන වන විට ඔහුගේ ඇටමිදුළු සෛලවලින් 99.9% ක්ම, බද්ධ කළ දායක ඇටමිදුළු සෛලවලින් ප්‍රතිස්ථාපනය වී තිබෙන බව යි. එබැවින් ඒ වන විටත් ඔහු එච්.අයි.වී. වෛරසයෙන් තොර ව සිටිනවා යනු ඉදිරියේදී කිසිසේත්ම රෝගය යළි මතුවීමේ හැකියාවක් නැති බව යි.

කැස්ටලිජෝගේ අපුර්වත ම වාසනාව

කැස්ටලිජෝ මෙම අපුර්වත ම වාසනාවට හිමිකම් කීවේ  අහම්බයකිනි. ලිම්ෆෝමා පිළිකාවෙන් දෙවන වරටත් කැස්ටලිජෝට මරණ තීන්දුව ලැබුණු විට කැස්ටලිජෝගේ වෛද්‍යවරුන් ඊට පිළියමක් ලෙස ඇටමිදුළු බද්ධයක් සිදුකරන්නට තීරණය කළේ අවදානම් රැසක් මැද ය. ලිම්ෆෝමාවට ප්‍රතිකාරයක් ලෙස සිදු කළත්, එච්.අයි.වී. වෛරසයට ප්‍රතිරෝධි සුදු රුධිරාණු සෛල නිපදවීමට සමත් විකෘති ජාන වර්ග දෙකකින් යුතු ඇටමිදුළු සහිත දායකයෙක් සොයා ගැනීමට හැකිවුණේ අහඹු ලෙස ය.

ඇටමිදුළු බද්ධය මඟින් පිළිකාව සුව කෙරුණ ද එය ඒඩ්ස් රෝගයට ප්‍රතිකාරයක් ලෙස ප්‍රායෝගික ව යොදා ගැනීමට වෛද්‍යවරුන් අදි මදි කරන්නේ එය වෙළා ගත් අවදානම් සාධක රැසක් ඇති බැවිනි. කැස්ටිලෙජෝට අමතර ව මෙවැනි ප්‍රතිකාරයකින් දැනට සුවය ලැබූවන් ලොව සිටින්නේ තවත් එක් අයකු පමණකි. ඒ 2008 වසරේදි කැස්ටලිජෝ සේම සුදු රුධිරාණු ආශ්‍රිත ලියුකේමියා පිළිකාවට ගොදුරුවූ තිමති බ්‍රවුන් හෙවත් බර්ලින් රෝගියා ය. වැරදී ගොස් ඇති මෙවන් උත්සාහයන් ද අපමණ ය. 

තිමති බ්‍රවුන්  – dailymail.co.uk

ලන්ඩන් රෝගියාට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙත් අවධානය

තිමතිගේ සුවය වැරදීමකින් සිදුවූවක් ද,  යම් අහඹු සිද්ධි දාමයක ප්‍රතිඵලයක් ද කියා වෛද්‍යවරුන්ට ස්ථීර විශ්වාසයක් තිබුණේ නැති නිසා ම කැස්ටලිජෝගේ සිද්ධියද ‘සුවය ලැබීමක්’ ලෙස හඳුන්වන්නට තරම් වෛද්‍යවරුන් එඩිතර වූයේ නැත. ඒ නිසා එකල එය හැඳින්වූයේ ‘රෝගය යටපත්වීමක්‘ ලෙස ය. එය ලෝකයේ අවධානය, කොටින් ම කියතොත් එවක අමෙරිකා ජනපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය පවා ඩැහැගත්තේ ය. අද ඒ සැකය දුරු වී තිබෙන්නේ සිදු කළ පරීක්ෂණ රාශියක ප්‍රතිඵලයක් ලෙස බව කියන්නේ කැස්ටලිජෝට ප්‍රතිකාර කළ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රවින්ද්‍ර ගුප්තා ය.

එම තහවුරුවෙන් ලද ශක්තිය ද කැස්ටලිජෝට සිය අනන්‍යතාව ලොව හමුවේ නිරාවරණය කරන්නට ශක්තියක් වූවාට නිසැක ය. ඊට සූදානම් වීම පිණිස ඔහු යම් යම් පියවර ද නොගත්තා ම නොවේ. ලන්ඩන් රෝගියා නමින් විද්‍යුත් තැපෑලක්, ට්විටර් ගිණුමක් හා දුරකතන අංකයක් ද ලබාගත් කැස්ටලිජෝ තමා වැනි අත්දැකීමක් ලැබූ තිමති බ්‍රවුන් සමඟ සතියකට වරක් තොරතුරු බෙදා හදා ගත්තේ ය.

සිය අනන්‍යතාව හෙළි කිරීමට පෙර සූදානමක් ලෙස බී.බී.සී. නාළිකාවෙන් නිවේදනය කරන්නට ඔහු ප්‍රකාශයක් පිළියෙළ කරගත්තේ ද තිමතිගේ සහායෙනි. අවසානයේ දී සිය වෛද්‍යවරුන්, මිතුරන් හා මව සමඟ ද සිය තීරණය පිළිබඳ නොයෙක්වර කතාබහ කර බැලීමෙන් පසුව ලන්ඩන් රෝගියා, ඇඩම් කැස්ටලිජෝ ලෙස කළ එළි බැසීම සිදු විය.

කැස්ටිලෙජෝ වෛද්‍ය රවින්ද්‍ර ගුප්තා සමඟ – nytimes.com 

 

“ මට ඕනෑ වුණේ නැහැ මාව මේ වගේ විරළ අත්දැකීමක් ලබන්න විශේෂයෙන් තෝරාගත්ත කෙනෙක් කියලා මිනිස්සු හිතනවාට. මේක නිවැරදි තැන, නිවැරදි වෙලාවේ මං හිටපු එකේ ප්‍රතිඵලයක් විදිහට සිදුවුණු දෙයක්. “

කවුද මේ ලන්ඩන් රෝගියා?

වෙනිසුවෙලාවේ කැරකස් නුවර උපන් කැස්ටලිජෝගේ පියා ස්පාඤ්ඤ හා නෙදර්ලන්ත සම්භවයකින් යුතුවීම ද ඔහු ලැබූ ආශ්චර්යමත් සුවයට හේතුවක් ව තිබේ. කැස්ටලිජෝගේ මව්පියන් ඔහු කුඩා වියේ දී ම දික්කසාදවූවාට එය ඔහු සිය පියා කෙරෙහි දැක් වූ ගෞරවය මුසු ආදරය අඩුවීමට හේතුවක් කර ගත්තේ නැත. පියා මීට විසි වසරකට පෙර දී මිය යන විටත් කැස්ටලිජෝගේ භාරකාරත්වය පැවරී තිබුණේ ඔහුගේ මවට ය. තරුණ වියට එළැඹි හේ ජීවිතය සොයා ගෙන මුලින් ම ගියේ කෝපන්හේගන් නුවරට ය. එතැනින් ලන්ඩනය බලාගියේ 2002 වසරේ දී ය. ඉන් වසරක් ගෙවෙන විට තමා එච්.අයි.වී. ආසාදිතයකු බව දැනගත් මොහොතේ දී තමා ඇතුළතින් ම පිළිස්සී යන්නාක් මෙන් දැනුණු හැඟීම ඔහුට අදට ද අමතක ව නැත.

ඒඩ්ස් වැලඳීම යනු මරණ තීන්දුව ලැබීමක් හා සමානවූ එකල, කැස්ටලිජෝගේ වයස යන්තම් අවුරුදු විසිතුනක් විය. කුඩාවියේ සිට අත්තම්මාගෙන් උරුම කර ගත් ආහාර පිසීමේ කලාව කෙරෙහි දැක්වූ දැඩි ආසාව අනුව යමින් නවීන පන්නයේ අවන්හලක සූපවේදියෙක් ලෙස රැකියාවක් ද ලබා ගත් කැස්ටලිජෝ ජීවිතය අලුතින් පටන්ගත්තේ හැකිතාක් නීරෝගී ව ඉන්නට ය. සිරුරට හිතකර ආහාර රටාවක් හා දිවි පෙවෙතකට ද හුරුපුරුදු වූ කැස්ටලිජෝගේ ජීවිතය යළිත්වරක් උඩුයටිකුරු කරවන තර්ජනයකට ලක්වුණේ 2011 වසරේදී ය. නොකඩවා සිදුකෙරෙන වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන විට හේ සිටියේ නිව්යෝක් නුවර සංචාරයක නිරත වෙමිනි. ඒ වන විට ටික කලක සිට ඔහු උණ ගතියෙන් පෙළෙමින් සිටියත් එය ලිම්ෆෝමා වැනි බරපතළ තත්වයක ප්‍රතිඵලයක් බව කැස්ටලිජෝ සිහිනෙන්වත් සිතුවේ නැත.

“ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ, ලෝකේ තියෙන අවාසනාවන්ත ම පුවත මට දැනුම් දීපු ඒ මොහොත. මගේ ජීවිතේ ආපහු සදහට ම වෙනස්වුණා මේ දෙවැනි මරණ තීන්දුවත් එක්ක.“

එච්. අයි.වී. වෛරසය  මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැට්ටවීමට සමත් ප්‍රබල වෛරසයකි- dailymail.co.uk

 

ලන්ඩන් රෝගියා අතුරුදහන්!

ඉන්පසුව එළැඹියේ කැස්ටලිජෝ ආවර්ජනය කරන්නටවත් අකමැති තරම් අමිහිරි, කටුක කාල පරිච්ඡේදයකි. පිළිකාවට ප්‍රතිකාර කිරීම සාමාන්‍ය රෝගියකුට වඩා අසීරුවුණේ කැස්ටලිජෝගේ එච්.අයි.වී. ආසාදිත තත්වය නිසා ය. පිළිකා ප්‍රතිකාර වෙනස් කළ හැම වාරයක දී ම ඊට ගැළපෙන්නට ඒඩ්ස් ප්‍රතිකාරය ද ප්‍රතිසැකසීමට වෛද්‍යවරුන්ට සිදුවුණේ කැස්ටලිජෝගේ ජීවිතය වඩාත් වේදනාකාරී කරවමිනි.

“ ඒඩ්ස් හා පිළිකාව කියන රෝග තත්ත්ව දෙකෙන් ම පෙළන රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය ගැන තියෙන තොරතුරු අල්පයි. අනික එච්.අයි.වී. තියෙන රෝගීන් අත්හදා බැලීමේ පර්යේෂණවලට දායක කරගන්නෙත් නැහැ. ඒ නිසා කැස්ටලිජෝගේ කීමෝප්‍රතිකාරයි, එච්.අයි.වී. ප්‍රතිකාරයි වෙනස් කරපු හැම වාරයක් පාසා ම අපිට සිදුවුණා වෛද්‍ය විද්‍යාවේ කවදාවත් පය නොතියපු අලුත් ම පරිශ්‍රය පවා අතික්‍රමණය කරන්න. “

එසේ කියන්නේ කැස්ටලිජෝගේ එච්.අයි.වී. ප්‍රතිකාරක වෛද්‍ය කණ්ඩායම හා පිළිකාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකරන වෛද්‍ය සයිමන් එඩ්වඩ්ස් ය. පිළිකා ප්‍රතිකාරත්, ඒඩ්ස් ප්‍රතිකාරත් ගළපා ගන්නට වෛද්‍යවරුන් එලෙස මහත් වෙහෙසක් දරද්දී, කැස්ටිලෙජෝ කායික ව මෙන් ම මානසික ව ද දිනෙන් දින ම කඩා වැටීමකට ලක් වෙමින් සිටියේ ය.

දිගින් දිගට ම පීඩා විඳි මෙම කායික හා මානසික අසහනය දරාගත නොහැකි වූ තැන 2014 වසරේ නත්තලට දෙසතියක් තිබිය දී කැස්ටිලෙජෝ හදිසියේ ම අතුරුදහන් විය. ඔහුගේ පවුලේ උදවිය ඔහු මිය ගොස් ඇතැයි උපකල්පනය කොට හිත සනසා ගන්නට වෑයම් කරද්දී දින හතරකට පසු ලන්ඩනයෙන් එපිට ප්‍රදේශයකින් කැස්ටිලෙජෝ සොයාගැනිණි. තමා එහි ගියේ කෙසේ ද, කළේ කුමක් ද කියා අදට ද කියන්නට නොදත් කැස්ටිලෙජෝ එම දින කිහිපය හඳුන්වන්නේ ‘ජීවිතයෙන් තාවකාලිකව පලා යාමක්‘ ලෙස ය.

වෛද්‍ය සයිමන් එඩ්වඩ්ස් – nytimes.com 

 

ජීවිතය කෙළවර කර ගැනීමේ අදහසක්

“ ඒ වෙනකොට මං හොඳට ම කලකිරිලයි හිටියේ. මරණයත් එක්ක සටන් වදින මාරාන්තික රෝගීන්ට එයාලගේ ජීවිතය කෙළවර කර ගන්න අවස්ථාව ලබාදෙන ‘ඩිග්නිටාස්‘ කියන ස්විස් ආයතනයට යන්න පවා මට අදහසක් තිබුණා. මට ඕනෑවුණේ මේ ජීවිතේ ඉවරයක් වෙනවා දකින්න. නමුත් අන්තීමේ දි ම’ ඒ දුෂ්කර කාලේ කොහොමහරි ගෙවා ගත්තා. ජිවිතේ ඉතුරු වෙලා තියෙන ටික කාලේ සටන් කරල ම මැරෙන්න ඕනේ කියලා මං තීරණය කළා.“

2015 වසර අවසානය දක්වා කැස්ටිලෙජෝ ජීවත්වනු ඇතැයි ඔහුගේ වෛද්‍යවරුන් කිසිවකුත් විශ්වාස කළේ නැත. ඔහුගේ තත්වය අනුව ඇටමිදුළු බද්ධයකට යන්නටද වෛද්‍යවරු මැලි වූහ. ඒ, එච්. අයි.වී. ආසාදිත තත්ත්වය නිසා ගැටලුකාරී වූ එවැනි සැත්කමක දී මතු විය හැකි සංකීර්ණතාවන්ට මුහුණ දෙන්නට තරම් විශේෂඥ දැනුමක් ඔවුන් සතු ව නුවූ බැවිනි. සිය හොඳ ම මිතුරාට එලෙස මියැදෙන්නට හැර බලා ඉන්නට තරම් ශක්තියක් කැස්ටිලෙජෝගේ හිතමිතුරු ‘පීටර්ට‘ නොතිබුණු නිසා ම ඔහු අන්තර්ජාලය පීරමින් විකල්ප ප්‍රතිකාර ක්‍රම සොයන්නට ගත්තේ ය.  එච්. අයි.වී. ආසාදිතයන්ගේ පිළිකා රෝගවලට ප්‍රතිකාරයක් ලෙස ඇටමිදුළු බද්ධකිරිමේ හසළ දැනුමැති වෛද්‍ය ඉයන් ගේබ්‍රියල් ගැන ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේ එම සෙවිල්ලේ ප්‍රතිඵලයක් ලෙස ය. මරණය පෙනී පෙනී සිටි කැස්ටලිජෝට අනපේක්ෂිත ලෙස ජීවිතය ගැන බලාපොරොත්තුවක් යළි ලබා දුන්නේ වෛද්‍ය ගේබ්‍රියල් ය.

කැස්ටලිජෝගේ ලතින් අමෙරිකානු සම්භවය හේතුවෙන් ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ජානමය සැකැස්මට ගැළපෙන දායකයෙක් සොයා ගැනීම අපහසුවනු ඇති බවට වෛද්‍ය ගේබ්‍රියල් කල් ඇතිව ම අනතුරු අඟවා තිබිණි. නමුත් කාගේත් පුදුමයට මෙන් කැස්ටලිජෝට සුදුසු දායකයන් කිහිපදෙනෙක් ම සොයා ගැනීමට වැඩි කාලයක් ගියේ නැත. ඒ අතර සිටි ජර්මානු ජාතික දායකයෙක් වෛද්‍ය ගේබ්‍රියල්ගේ අවධානය ඩැහැ ගත්තේ ඔහුගේ ජාන එකතුව සතුව ‘ඩෙල්ටා 32‘ ලෙස හැඳින්වෙන, එච්.අයි.වී. වෛරසයේ ක්‍රියාකාරීත්වය නිෂේධනය කිරීමට සමත් විකෘති ජානයක් ද තිබීම නිසා ය. මෙම දායකයාගේ ඇට මිදුළු බද්ධ කිරීමෙන් කැස්ටලිජෝගේ පිළිකාව පමණක් නොව ඒඩ්ස් රෝගය ද පැරදවිය හැකිය යන ප්‍රාතිහාර්යාත්මක පුවත දන්වන්නට වෛද්‍ය ගේබ්‍රියල්, කැස්ටිලෙජෝ අමතද්දී ඔහු සිටියේ බස් රථයක ගමන් ගනිමිනි.

එක සැත්කමෙන් මරුවන් දෙදෙනා ම පරදයි

ඒඩ්ස් රෝගය සුව කිරීමට ප්‍රතිකර්මයක් තිබෙන බව අනාවරණය වීමත් සමඟ කැස්ටලිජෝට එතෙක් ප්‍රතිකාර කරමින් සිටි වෛද්‍යවරුන් පිරිස තුළ හට ගත්තේ විශාල උනන්දුවකි. විශේෂයෙන් ම 2012 වසරේ සිට ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය එඩ්වඩ්ස්, ඒඩ්ස් රෝගීන් සිය ගණනකට ප්‍රතිකාර කොට ලත් අත්දැකීම්වලින් පරිණත ව සිටියෙක් නිසා මෙම ප්‍රතිකර්මය සාර්ථක වුවහොත් ඉන් සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ම ඇති කළ හැකි බලපෑම මනාව අවබෝධ කරගෙන සිටියේ ය. කෙසේ හෝ වේවා 2016 මැයි 13 වැනි දා කැස්ටලිජෝ තම ජීවිතයේ වඩාත් ම තීරණාත්මක කඩඉම සනිටුහන් කරමින් ඇටමිදුළු බද්ධකිරීමේ සැත්කමට මුහුණ දුන්නේ ය.

ඇඩම් කැස්ටිලෙජෝ අද නීරෝගි පුද්ගලයෙකු ලෙස – nytimes.com 

 

සැත්කමෙන් වසරකට පසු එනම් 2019 මාර්තුවේදි කැස්ටලිජෝ ඒඩ්ස් රෝගයට එතෙක් ලබා ගනිමින් සිටි ප්‍රතිවෛරස ඖෂධ භාවිතය නතර කළේ වෛද්‍ය අනුමැතිය ඇති ව ය. ඉන් මාස දාහතකට පසු ඒඩ්ස් රෝගය පැරදවූවන්ගේ ලැයිස්තුවට දෙවැනියෙක් එක් වූ බව වෛද්‍ය ගුප්තා ලොවට හෙළි කිරීමත් සමඟ එක් රැයකින් ඔහු තරුවක් බවට පත්විය. ලන්ඩන් රෝගියාගේ අනන්‍යතාව ලොවට හෙළිකරන ලෙසට මාධ්‍ය ඔස්සේ නොනවත්වා ඉල්ලීම් සියගණනින් වෛද්‍ය ගුප්තා වෙත ගලාඑන්නට විය.

පිළිකාව, ඒඩ්ස් රෝගය හා ඇටමිදුළු  බද්ධය යන සංකීර්ණ තත්ව තුනේ ම පංගුකරුවෙක් ලෙස, ඒ පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීමේ නියෝජිතයෙක් ලෙසත් පෙනී හිඳින්නට තමන්ට පැවරී ඇති වගකීම ඉටුකිරීම, ‘ලන්ඩන් රෝගියා‘ යන අන්වර්ථ නමින් සිදුකිරීමට හැකිවීම කැස්ටිලෙජෝට සහනයක් විය. තමන් සුවිශේෂී බව දැන සිටියත් ‘ලන්ඩන් රෝගියා‘ ලෙස හැඳින්වීම සමඟ දැනෙන සැනසීමට ඇඩම් කැස්ටිලෙජෝ අදටත් ප්‍රිය කරයි. 

කවරයේ ඡායාරූපය- මරණය දෙවරක් පැරදූ ඇඩම් කැස්ටිලෙජෝ - nytimes.com

මූලාශ්‍ර:

1. The London patient, cured of H.I.V. reveals his identity - nytimes.com

2. Second person ever to be cleared of H.I.V, reveals his identity - theguardian.com

3. Life after H.I.V - poz.com

Related Articles