Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසංගතයට සූදානම් වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

ජාත්‍යන්තර දින සහ සති යනු අවධානයට ලක්විය යුතු ගැටලු පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමට, ගෝලීය ගැටලු විසඳීම සඳහා සම්පත් බලමුළු ගැන්වීමට සහ මනුෂ්‍යත්වයේ ජයග්‍රහණ සැමරීමට සහ ශක්තිමත් කිරීමට ගන්නා ප්‍රයත්න වේ. ඒ ය‍ටතේ වත්මනෙහි ලොව පුරා ගැටලුවක් ව ඇති කොවිඩ්-19 වෛරස බලපෑම පාලනය සඳහා ‘වසංගතය‍ට සූදානම් වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය’ දෙසැම්බර් 27 වනදාට යෙදී තිබෙනවා. කොවිඩ්-19 ආරක්ෂාව පිළිබඳ ව ලෝක ජනතාව නැවත නැවතත් උනන්දු කළ යුතු වන්නේ ‘වසංගත විඩාව’ (Pandemic fatigue) හෙවත් කාලයත් සමඟ ඕනෑම වසංගතයකින් ආරක්ෂා වීමට ඇති උනන්දුව අඩුව යාමේ සාමාන්‍ය පුරුද්ද නිසා යි.

අනාගත වසංගත තීව්‍රතාව

ජාත්‍යන්තර අවධානයක් නොමැති අවස්ථාවක, අනාගත වසංගත තීව්‍රතාව පෙර පැවති වසංගත අභිබවා යා හැකියි. වසංගත වැලැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා පලදායී පියවර ලෙස ප්‍රාදේශීය, ජාතික, කලාපීය සහ ගෝලීය මට්ටමින් වසංගත රෝග පිළිබඳ ව දැනුම්වත් කිරීම, තොරතුරු හුවමාරු කිරීම, විද්‍යාත්මක දැනුම සහ හොඳම භාවිතය, ගුණාත්මක අධ්‍යාපනය සහ උපදේශන වැඩසටහන් විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, රට රටවල් වසංගතවලට ප්‍රතිචාර දැක්වීම් සම්බන්ධීකරණය කිරීමේ දී, බෝවන රෝග සහ වසංගතවල බලපෑම් වැලැක්වීම, අවම කිරීම සහ නිවේදනය කිරීම සඳහා ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා.

කොවිඩ්-19 වසංගතය දිගු කාලීන ව සමාජ හා ආර්ථික සංවර්ධනයට විනාශයක් ඇති කරමින් මිනිස් ජීවිතවලට ද විනාශකාරී බලපෑම් ඇති කරයි. රටවල් විශාල සංඛ්‍යාවක් ආර්ථික පීඩනයට ලක්වීමෙන් ජනතාව තවදුරටත් මානසික පීඩනයට ලක් වන්නේ රෝගය නිසා වන ජීවිත අවදානමක් ද සමඟ යි. මේ නිසා කායික ව මෙන්ම මානසිකව ද අපේ ම මිනිසුන් වෙනුවෙන් අප උපකාර කරගත යුතු වෙනවා.

 දකුණු අප්‍රිකාවේ ඔමික්‍රෝන් ප්‍රභේද ආසාදිතයන් – economist.com

 

මෑතකදී කරළියට ආ ඔමික්‍රෝන් වෛරසය පැතිරයාමේ ඉහළ හැකියාවක් ඇති, ආසාදනය වූ පසුව ද බරපතළ රෝගාබාධ ඇති කරන ප්‍රභේදයක්. වෛරස් නිරන්තරයෙන් විකෘති වන නිසා, සෑම දිනක ම නව ප්‍රභේද ඇති විය හැකි යි. ඒ අතරින් ඔමික්‍රෝන් වැනි ඒවා ‘අවදානම් ප්‍රභේද’ ලෙස හඳුන්වන්නේ පහසුවෙන් ආසාදනය වන හෝ බරපතල රෝගාබාධ ඇති කරවන බැවින්. එවන් ප්‍රභේදවල බලපෑම් අවම කිරීම සඳහා වඩාත් ම වැදගත් පියවර වනුයේ සම්ප්‍රේෂණ අනුපාතය අඩු කිරීම යි. ආසාදිත පුද්ගලයන්  සංඛ්‍යාව වැඩි වන තරමට වෛරසය ප්‍රභේදනය වීමට හා පැතිරීමට ඇති ඉඩකඩ වැඩි යි.

දිගු කාලීන ප්‍රතිඵල

කොවිඩ් වෛරසය සුව වූ විට අනෙක් අයට පැතිරීමක් සිදු නොවුණත්, වැලඳුණු පුද්ගලයාට දිගු කාලීන ප්‍රතිඵල අත්විඳීමට සිදු වෙනවා. දිගු කාලීන කොවිඩ් (Long COVID) ලෙස හඳුන්වන මෙය The Lancet ජර්නලය අර්ථ දක්වන්නේ කොවිඩ්-19 උග්‍ර ව වැලඳීමෙන් පසුව තවදුරටත් පවතින හෝ අලුතින් වර්ධනය වන රෝග ලක්‍ෂණ විස්තර කිරීමට භාවිත කරන වචනයක් ලෙසයි. 

ඔබේ ශරීරයෙන් කොවිඩ්-19 වෛරසය නිසි ආකාර ව ඉවත් වූ පසු මෙම රෝග ලක්‍ෂණ සති හෝ මාස ගණනක් පැවතිය හැකි යි. එවන් රෝග ලක්ෂණ ලෙස තෙහෙට්ටුව, හුස්ම හිරවීම, අවධානය යොමු කිරීමට නොහැකි වීම, පපුවේ සහ සන්ධිවල වේදනාව සහ ඉරුවාරදය වාර්තා වී තිබෙනවා.  සියලු ම ‘දිගු කාලීන කොවිඩ්’ රෝගීන්ගේ පොදු කරුණක් වන්නේ සරල කාර්යයන් කිරීමේ දී පවා අතිශයින් දුෂ්කර තත්ත්වයනට මුහුණ දීම යි. එවිට ඔවුන්ට ඇති විය හැකි කාංසාව සහ මානසික අවපීඩනය වැනි දෑ සීමා කිරීමට සෙසු ක්‍රියාකාරකම් මෙන්ම අන් අයගේ දයානුකම්පාව සහ සහයෝගය ද වැදගත් වෙනවා.

 එන්නත්කරණයට කොවිඩ්-19 වැලඳීම හා පැතිරීම අවම කළ හැකියි- afro.who.int

 

කොවිඩ්-19 වැලඳීම හා පැතිරීම අවම කර ගැනීමට ඇති හොඳ ම ක්‍රමය එන්නත් ලබා ගැනීම යි. එන්නත් ලබාගත් අයකුට කොවිඩ් වැලඳුණහොත් ඔවුන්ගෙන් බාහිරට පැතිර යන වෛරස අංශු ප්‍රතිශතය අඩු යි. එන්නත් වලට අමතරව, පුද්ගල දුරස්ථභාවය සහ නිසි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් මුහුණු ආවරණ ද පැළඳිය යුතුයි. අවදානම් ප්‍රභේද වැලැක්වීමට සහ වසංගතය අවසන් කිරීමට ඇති හොඳ ම ක්‍රමය සම්ප්‍රේෂණ අනුපාතය විශාල ලෙස අඩු කිරීම (පැතිරීම පාලනය) යි. එබැවින් තමාට වැලඳීම වලක්වා ගැනීමත්, තමන්ගෙන් අන් අයට පැතිරීමත් වලක්වා ගන්නට අපි ලොවක් ලෙස එකමුතු විය යුතුයි.

 

කවරයේ ඡායාරූපය - weforum.org

 

Related Articles