Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ධනවතුන්ට ප්‍රමුඛ එන්නත්කරණය කොරෝනා තුරන්කිරීම කල් යවන හැටි

ලොව ධනවත් රටවල් කිහිපයක් පමණක් දැනට නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මාත්‍රාවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බව ඔබ දන්නවා ද? ඩියුක් විශ්වවිද්‍යාලයයේ ගෝලීය සෞඛ්‍ය නවොත්පාදන මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවකට අනුව අඩු ආදායම් ලබන හෙවත් දුප්පත් රටවල් සියල්ලම ලබාගෙන තිබෙන්නේ නිෂ්පාදිත එන්නත් මාත්‍රාවලින් 9%ක ප්‍රමාණයක් පමණ යි. එක්සත් ජනපදය සිය ජනගහනයෙන් අඩකට එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම සම්පූර්ණ කිරීමට ආසන්නව සිටිනවා. එය එසේ වෙද්දී අප්‍රිකාවේ ගිනියා රාජ්‍යය තවමත් තම රටේ ජනගහනයෙන් 1%කටවත් එන්නත් මාත්‍රා ලබාදීමට වෙහෙසෙනවා.

එන්නත් බෙදාහැරීම දිගින් දිගටම මේ අයුරින්ම සිදුවුවහොත් දුප්පත්ම රටවලට එන්නත් මාත්‍රා ලැබී ජනගහනයෙන් බහුතරයකට ප්‍රතිශක්තිය ලබාදීම සඳහා තවත් වසර දෙකක් පමණ ගතවනු ඇතැ යි පැවසෙනවා.

(කියවන්න: දුප්පත් රටවල් අනතුරේ හෙළන, “එන්නත් ජාතිකවාදය”)

coronavirus_vaccine_data_per_100
ජනගහනය 100 කට ලැබී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණ/Our world in data

 

එන්නත් මිල දී ගැනීම ඇරඹීම හා ගොඩගසාගැනීම

ධනවත් රටවල් බොහොමයක් කොරෝනාවලට එරෙහි එන්නත් මාත්‍රා මිල දී ගන්නේ ඒවා සායනික පර්යේෂණවලින් තහවුරු වීමටත් පෙර සිට යි. එයින් ඇතැම් රටවල් එන්නත් පර්යේෂණ කටයුතු සඳහා මුදල් ආයෝජනය කළ අතර, එයට හිලව් වශයෙන් ඔවුන්ට එන්නත් මාත්‍රා ලබා දීමට අදාළ නිෂ්පාදන සමාගම් එකඟ වුණා. උදාහරණයක් වශයෙන්, එක්සත් ජනපදය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් ඇස්ට්‍රසෙනෙකා එන්නතේ පර්යේෂණ කටයුතු සඳහා ආයෝජනය කළේ පසුගිය වසරේ මැයි මාසයේ දී යි. එහිදී ඇතිවූ ගිවිසුමට අනුව සායනික පර්යේෂණ සාර්ථක වුවහොත් එන්නත් මාත්‍රා මිලියන 300ක් ඇමෙරිකාවට ලබාදීමට ඇස්ට්‍රසෙනෙකා පොරොන්දු වී තිබුණා. 2020 මැයි මාසයේ දීම එක්සත් රාජධානිය හා ඇති කරගත් ගිවිසුමට අනුව ඔවුන්ට එන්නත් මාත්‍රා මිලියන 90ක් ලබා දීමටත් ඇස්ට්‍රසෙනෙකා එකඟ වුණා. 

එන්නත් නිපදවන සමාගම් සමග විවිධ රටවල් ඇති කරගත් ද්විපාර්ශ්වික ගිවිසුම් බොහොමයක් 2020 වසරේ මැද භාගය වන විටත් සම්පුර්ණ වී අවසන්. 2020 වසර තුළ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, සහ ජපානය යන රටවල් එන්නත් මාත්‍රා ලබාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca), ෆයිසර් බයෝ එන් ටෙක් (Pfizer BioNtech),  මොඩර්නා (Moderna), සහ නොවාවැක්ස් (Novavax) යන ආයතන සමග ගිවිසුම් ඇතිකර ගත්තා. එම ගිවිසුම්වලට අනුව මේ එක් එක් සමාගම්වල එන්නත් මාත්‍රා මිලියන 800කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය ඇරඹීමටත් පෙර ඉහත රටවලින් වෙන්කර ගෙන අවසන්.

මෙහිදී එක රටක් සමාගම් කිහිපයක් සමග ගිවිසුම් ඇති කරගන්නේ යම් එන්නතක් නිෂ්පාදනයට පෙර සායනිකව අසාර්ථක වුවහොත්, එමඟින් තම රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබාගැනීමට නොහැකි වීම වළක්වා ගැනීමට යි. එවිට වෙනත් සමාගමක එන්නතකින් හෝ එම අඩුව පියවා ගැනීමට හැකි වනවා. නමුත් මෙසේ සිදුකිරීම හේතුවෙන්, එක් පුද්ගලයෙක් වෙනුවෙන් අවශ්‍ය මාත්‍රා ප්‍රමාණයටත් වඩා වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ධනවත් රටවල් විසින් ලබාගෙන තිබෙනවා. උදාහරණයක් වශයෙන්, කැනඩාව මේ වසරේ මාර්තු 22 වන විට අත්පත් කරගෙන තිබූ කොරෝනා වෛරස එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 316ක්. එය එරට ජනගහනය හා සලකා බැලීමේ දී එක් පුද්ගලයෙකුට එන්නත් මාත්‍රා 8.7ක් බැගින් වනවා. 

number of doses for a person
රටවල් අනුව එක් පුද්ගලයෙක් සඳහා වෙන්වී ඇති එන්නත් මාත්‍රා අගයන්/Vox

 

එන්නත් පර්යේෂණවලට ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය යි

සාමාන්‍යයෙන් එන්නතක් නිෂ්පාදනය කර සාර්ථකත්වය කරා ගෙන ඒමට දශකයක පමණ කාලයක් ගතවෙනවා. ඉතිහාසගත සංඛ්‍යාන වාර්තාවලට අනුව, නිපදවූ එන්නතක් අසාර්ථක වීමේ සම්භාවිතාව 90%කටත් වඩා වැඩියි. නමුත් The New Yorker සඟරාව පසුගිය වසරේ මැයි මාසයේ දී ලිපියක් පළ කරමින් සඳහන් කර තිබුණේ, කොරෝනා වෛරසයට එරෙහි එන්නත ඉතිහාසයේ වේගයෙන්ම සාර්ථකත්වයට පත්වූ එන්නත බවට පත්වන මාර්ගයේ ගමන් කරමින් ඇති බව යි. අද වන විට එම ප්‍රකාශය යථාර්තයක් බවට පත්වෙමින් වසරක පමණ කෙටි කාලයක් තුළ එන්නත නිපදවා ලොව පුරා බෙදාහැරීම පවා සිදුවනවා.

මෙහිදී වසර 10ක් ගතවන ක්‍රියාවලිය වසරකින් සම්පූර්ණ කළේ කෙසේ ද යන්නට පිළිතුර වන්නේ, එන්නත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය මිනිස් දැනුම, තාක්ෂණය, සහ පහසුකම් නිවැරදිව ලැබී තිබීම යි. ධනවත් රටවල් මේ වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව මුදල් ආයෝජනය කිරීම මෙයට හේතු වුණා. එසේ නොවන්නට අප තවමත් එන්නතක් නිපදවීමේ මූලික අදියරේ ළතවෙනවා වන්නට ඉඩ තිබුණා.

උදාහරණයක් ලෙස, මොඩර්නා සමාගම ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර තිබුණේ messenger RNA මඟින් කොරෝනාවලට එරෙහි එන්නතක් නිපදවීමට යි. messenger RNA යනු ජානයක ජාන අනුක්‍රමයට අනුරූප වන තනි පටු RNA අණුවක් (ජානමය තොරතුරු අඩංගු න්‍යෂ්ටික අම්ලයක්/mRNA) වනවා. පරිගණක භාෂාවල එක සහ බිංදුව වැනි අනුක්‍රමයක් වන මේවා, නව ප්‍රෝටීන අණු නිපදවීම කළ යුත්තේ කෙසේ ද යන්න සෛලයට දැනුම් දෙනවා. මෙම ක්‍රමය භාවිතයෙන් එන්නත් සෑදීමට නම්, පර්යේෂකයන් පරමාණුක මට්ටමේ ජාන අනුක්‍රමය පිළිබඳව දැනගත යුතු යි. එම දැනුම හා තාක්ෂණයට අධික මුදලක් අවශ්‍ය වනවා. මෙවැනි තාක්ෂණයක් භාවිතා කිරීමෙන් එන්නත නිපදවීමේ ක්‍රියාවලිය වේගවත් වූ බව යි පැවසෙන්නේ. 

සාධාරණ එන්නත් බෙදා හැරීමක් සඳහා

ධනවත් රටවල් සිදුකළ ආයෝජන මඟින් එන්නත් නිෂ්පාදනයේ වේගය තීරණය කළා මෙන්ම, නිෂ්පාදනයෙන් පසු එම එන්නත් ලැබිය යුත්තේ කාට ද යන්නත් තීරණය කළා. 2021 වසර අවසන් වන විට නිකුත්වීමට තිබෙන ෆයිසර් එන්නත් මාත්‍රාවලින් 96%ක් මේ වන විටත් එම රටවලින් වෙන් කරවාගෙන අවසන්. මොඩර්නා සඳහා එම අගය 100%ක් වනවා. ලෝක ජනගහනයෙන් 16%ක් පමණ කොටසක් මේ වන විට ලොව සමස්ථ කොරෝනා එන්නත් නිෂ්පාදනයෙන් 50%කට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියනවා. එසේ නම් දුප්පත් රටවලට එන්නත් බෙදා හැරීම වෙනුවෙන් වැඩපිළිවෙලක් නැතිදැ යි ගැටලුවක් මතුවනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ සම්බන්ධ ක්‍රියාකලාපය පිළිබඳව දැන් සොයා බලමු.

vaccine purchasing
ආදායම් තත්වය අනුව රටවල් මිල දී ගෙන ඇති එන්නත් මාත්‍රා අගයන්/Vox

 

2009 දී ලොව පුරා පැතිර ගිය සූකර උණ (H5N1) සහ කුරුළු උණ (H1N1) වෛරසවලට එරෙහිවත් එන්නත් නිෂ්පාදනය වීම සිදුවුණා. මෙම එන්නත් සඳහාත් ආයෝජන සිදුකළ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සහ බ්‍රසීලය යන ඉහළ ආදායම් ලබන රටවල් තම රටට අවශ්‍ය එන්නත් මාත්‍රා ප්‍රමාණ ලබාගැනීම සඳහා නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම් ඇති කරගත්තා. එසේම එම ඉන්ෆ්ලුවෙන්සා වෛරසවලට එරෙහි එන්නත් සඳහා සියලු රටවලට සමාන ප්‍රවේශයක් ලබාදීම වෙනුවෙන් ගිවිසුමක් ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී දියත් කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉහත රටවල් 9 එන්නත් මාත්‍රා මිලියන 120ක් ලෝක සෞඛ්‍ය සංවිධානයට පිරිනැමුවා. එය ද සිදුවූයේ, එම රටවල් අපේක්ෂා කළ පරිදි වෛරසය දරුණු නොවන බව දැනගත් පසු බව යි පැවසෙන්නේ. 

ඉහත ක්‍රමය වෙනුවට, මෙවර කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මධ්‍යම සහ අඩු ආදායම් ලබන රටවල් 92කට ලබාදීම සඳහා ගෝලීය සෞඛ්‍යය හා සම්බන්ධ ආයතන ත්‍රිත්වයක එකතුවෙන් මුලපිරුවා. ඔවුන් හැඳින්වෙන්නේ COVAX (COVID-19 Vaccines Global Access) නමින්. වසංගත සූදානම සහ නවෝත්පාදන සඳහා වූ සන්ධානය (CEPI), GAVI එන්නත් එකමුතුව, සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙම ආයතන ත්‍රිත්වය යි. 

COVAX සාර්ථක ද?

COVAX සංවිධාන එකතුව සැලසුම් කළේ ධනවත් රටවල් සෘජුවම එන්නත් නිපදවන සමාගම් සමග ද්විපාර්ශවිය ගනුදෙනු සිදුකිරීම වළකා, ඒ වෙනුවට ඔවුන්ගේ මුදල් COVAX වෙත ලබාගැනීම යි. ඉන්පසු එන්නත් නිපදවන සමාගම් සහ ඖෂධ සමාගම් සමග ගිවිසුම් ඇතිකර ගැනීමේ කාර්යය සිදුකරන්නේ COVAX විසින්. මෙහිදී ධනවත් රටවලට ලැබෙන ප්‍රධාන වාසිය නම් ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයක් සමාගම් කිහිපයක් සමග ඇති කරගැනීමට වඩා, COVAX සමග එක් ගිවිසුමක් ඇති කරගැනීමෙන් මූල්‍ය අවදානම අඩු වීම යි. අනෙක් අතට ලොව ඉහළම සෞඛ්‍ය ආයතන ත්‍රිත්වයක් එක්ව එන්නත් මිල දී ගැනීම සඳහා ගිවිසුම් ඇති කරගැනීමේ දී අඩු පිරිවැයකින් එය සිදුකර ගැනීමට ද අවස්ථාවක් ලැබෙනවා. එසේම COVAX සංවිධාන එකමුතුව කොරෝනා එන්නත් නිපදවන ප්‍රධාන සමාගම් සියල්ල සමග ගිවිසුම්ගත වන නිසා, යම් එන්නතක් අසාර්ථක වීමේ පාඩුව ආයෝජනය කරන රටවලට ගැටලුවක් වන්නේ නැහැ.

අඩු ආදායම් ලබන රටවල් 92 සඳහා එන්නත් ලබාදීම වෙනුවෙන් වෙනම වැඩපිළිවෙලක් COVAX තුළ සැලසුම් කෙරුණා. ඒ, ධනවත් රටවලින් සහ වෙනත් පුණ්‍යාධාර ආයතනවලින් වෙනම මුදල් ආධාර ලබාගෙන අරමුදලක් පිහිටුවා, එම මුදලින් අඩු අදායම් ලබන රටවල් වෙනුවෙන් එන්නත් මිල දී ගෙන බෙදාහැරීම යි. මෙම අරමුදලට එක්සත් ජනපදය පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් ලබා දී තිබුණා. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමත්, යුරෝපා සංගමයත් මේ වෙනුවෙන් ආධාර ලබාදීම සිදු කළා. 

COVAX සංවිධානය එකමුතුව සමග ධනවත් රටවල් සහ දුප්පත් රටවල් මෙම එකඟතාවයට පැමිණියේ නම්, එන්නත් නිපදවා අවසන් වූ වහාම ලෝකයේ සියලු රටවලට එන්නත් බෙදාහැරීම එක්වරම සාධාරණව සිදුවන්නට ඉඩ තිබුණා. නමුත් ගැටලුව වුයේ COVAX සංවිධාන එකමුතුව පිහිටුවා ගැනෙන්නේ ධනවත් රටවල් බොහොමයක් එන්නත් නිෂ්පාදන සමාගම් සමග ද්වි පාර්ශික ගිවිසුම්වලට එළඹීමෙන් පසුව වීම යි. මේ නිසා COVAX වෙත එකතුවීමට ධනවත් රටවල් උත්සුක වූයේ නැහැ. මේ නිසා මූලික සැලසුම හරියාකාරව ක්‍රියාත්මක වූයේ නැහැ. නමුත් COVAX විසින් දෙයාකාරයටම එන්නත් ලබාගැනීම සඳහා ධනවත් රටවල්වලට ඉඩ ලබාදුන්නා.

vaccine doses by covax
COVAX මිල දී ගෙන ඇති එන්නත් මාත්‍රා ගණන සෙසු රටවල් හා සසඳන විට/Vox

 

Forbes සඟරාව පසුගිය දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කළ වාර්තාවකට අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය 2021 වසර අවසන් වන විට අඩු ආදායම් ලබන රටවල් 92ක් සඳහා එන්නත් මාත්‍රා බිලියන 2ක් ලබාදීමට කර ඇති සැලසුම අසාර්ථක වන බව පෙන්වා දී තිබුණා. එය සත්‍යයක් බවට පත්වෙමින් 2021 අප්‍රේල් වන විට ඔවුන් මිල දී ගෙන ඇත්තේ එන්නත් මාත්‍රා බිලියන 1.1ක් පමණක් වන අතර, එයින් බෙදාහැර ඇත්තේ එන්නත් මාත්‍රා මිලියන 45ක් පමණි. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පමණක් මේ වන විට බෙදාහැර ඇති එන්නත් මාත්‍රා ගණන මිලියන 231ක්. 

වසංගතවලට අවසානයක්?

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් එන්නත් මාත්‍රා ලබාදීම් සිදුව තිබෙන්නේ ලක්ෂයකට 4243ක් පමණ යි. ඉන්දියාවේ එම අගය 9488ක්. පාකිස්ථානයේ ජනගහනය ලක්ෂයකට එන්නත් ලබාදීම් සිදුව ඇත්තේ 369ක් පමණ යි. ආසියානු කලාපයේ මෙසේ වෙද්දී අප්‍රිකාවේ තත්ත්වය තවත් ඛේදජනක අඩියක යි පවතින්නේ. අප්‍රිකානු කලාපයේ වැඩිම කොරෝනා රෝගීන් වාර්තාවීම අතින් පස්වෙනි තැනට සිටින්නේ, ජනගහනය මිලියන 112ක් පමණ වෙසෙන ඉතියෝපියාව යි. නමුත් එරට ජනගහනයෙන් ලක්ෂයකට ලබාදී ඇති එන්නත් මාත්‍රා ගණන 383ක් පමණ යි. 

එක්සත් ජනපදයේ ජනගහනය ලක්ෂයකට එන්නත් මාත්‍රා 65,790ක් දැනට ලබා දී තිබෙනවා. ඊශ්‍රායලයේ ජනගහනය ලක්ෂයකට එන්නත් මාත්‍රා 114,518ක් ලැබී තිබෙනවා. මේ තොරතුරු සියල්ල The Washington Post වෙබ් අඩවියෙන් ඕනෑම අයෙකුට නැරඹිය හැකියි. 

කෙසේ වෙතත්, ලෝකය 21 වන සියවසත් පසු කරමින් සිටින අවධියක තවමත් වසංගත සඳහා පවතින සුදානම ගැටලුකාරී වනවා. ආදායම් බෙදීයාමේ විෂමතාව සියලු මිනිසුන්ට යහපත් සෞඛ්‍යයක් ලැබීමේ අයිතිවාසිකම උල්ලංඝනය කරමිනුයි පවතින්නේ. අනාගතය සඳහාවත් මීට වඩා හොඳ සැලැස්මකින් මුහුණ දිය යුතු බව පසක් කර දෙන්නට කොරෝනා වසංගතයට හැකි වුවත්, එයින් පාඩම් ඉගෙන ගන්නේ දුප්පත් රටවල් පමණ ද යන ප්‍රශ්නය ඉතිරිවනවා.  

කවරයේ පින්තුරය - esgclarity.com

තොරතුරු - Vox.com, Forbes.com, washingtonpost.com, dukeghic.org, සහ newyorker.com ඇසුරෙන්

Related Articles