Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්වීඩනයේ ලිංගික අධ්‍යාපනය පාසල් දරුවාගේ අයිතියක්!

ලිංගික අධ්‍යාපනය යනු ලෝකයේ එක් එක් රටවල අඩු හෝ වැඩි වශයෙන් විවාදයට බඳුන් වන මාතෘකාවක්. ඇතැම් රටවල පවත්නා සංස්කෘතික සීමා, ජන සමාජයට හා දේශපාලනයට ආගම් සිදු කරන බලපෑම් හේතුවෙන් නියමිත වයසේ දී විධිමත් ආකාරයෙන් ලිංගික අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය සිසුන්ට අහිමි වෙනවා. ඉන් අත්වන අහිතකර ප්‍රතිපලත් බොහෝම යි.  ලිංගික අධ්‍යාපනය විධිමත් ආකාරයෙන් නොලැබීමේ පලවිපාක විමසීමට මත්තෙන් මනුෂ්‍යයෙක් කුඩා අවදියේ ම ලිංගික අධ්‍යාපනය ලැබිය යුත්තේ ඇයි ද යන්න විමසා බලමු. 

සමස්තයක් ලෙස ගත් කල විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලැබීම හරහා කුඩා අවදියේ සිට ම ස්වයං පාලනය, ආත්ම විශ්වාසය, චිත්තවේගීය යහපැවැත්ම, සබඳතා තුළ මනා සන්නිවේදනයක් පවත්වා ගැනීමේ හැකියාව, තම ලිංගික දිශානතිය සහ ලිංගික සෞඛ්‍යය පිළිබඳ වැදගත් තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වීම සිදු වෙනවා. එවිට හොඳ ස්වයං අවබෝධයක් ඇති, අනෙකාට ගරු කරන පෞරුෂයකින් හෙබි පුද්ගලයෙක් සමාජයට එකතු වේවි.

Swedish system of sexuality education
ස්වීඩනයේ පාසලක ලිංගික අධ්‍යයන සැසියකට සහභාගී වූ සිසුන් – www.rfsu.se

ලිංගික දැනුම අවිධිමත් නම්..

දරුවකුට විධිමත් ලිංගික අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වූ විට ඔවුන් ලිංගික ව සම්ප්‍රේෂණය වන ආසාදන, සැලසුම් නොකළ ගැබ් ගැනීම් සහ ලිංගික අවයව පිළිබඳ ව නිසියාකාර දැනුම්වත්භාවයක් නොමැතිකම නිසා මිත්‍යා මතවල පහසු ගොදුරක් වීමේ අවදානම්වලට මුහුණ දෙනවා. බරපතල ම කාරණය වන්නේ අවිධිමත් ලිංගික අධ්‍යාපනය හරහා ස්වයං විශ්වාසයක් නොමැති, අන්‍යයන්ට ගරුත්වයක් නොදක්වන පුද්ගලයෙක් බිහි වීම යි.

මේ සියලු කාරණාවන් හි වැදගත්කම ස්වීඩන‍යේ අධ්‍යාපනඥයන් තේරුම් ගත්තේ වර්ෂ 1955 තරම් ඈත කාල වකවානුවක දී යි. එම වර්ෂයේ දී ලිංගික අධ්‍යාපනය අනිවාර්ය අංගයක් ලෙස තම අධ්‍යාපන පද්ධතියේ පැවතිය යුතු බව ස්වීඩන රජය තීරණය කළා. ලිංගික අධ්‍යාපනය එක් විෂය පථයකට සීමා නොකර, සියලු විෂය ධාරාවලට සංයුක්ත වන ස්වභාවයෙන් ඇතුළත් කර තිබීම ස්වීඩන අධ්‍යාපන ක්‍රමය තුළ දැකිය හැකි වැදගත් ලක්ෂණයක්. ලිංගික අධ්‍යාපනය යනු හුදෙක් ශරීරයේ භෞතික වෙනස්කම් පැහැදිලි කිරීම සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුම පමණක් නොවන බව ඉන් තහවුරු කර තිබෙනවා.  

ශ්‍රී ලංකාවේ පාසල් තුළ ලිංගික අධ්‍යාපනයට ලබාදෙන ස්ථානය පුළුල් කිරීමේ වෑයමක් ලෙස “හතේ අපේ පොත” නමින් ග්‍රන්ථයක් නිකුත් වුවත්, එයට විශාල විරෝධයක් එල්ල වුණා – www.comrade.lk 

ප්‍රධාන අංග තුන

වගකීම් සහගත ලිංගික ජීවිතයක් ගත කිරීම සඳහා ලිංගික අධ්‍යාපනය තරුණ තරුණියන්ට සහාය විය යුතු යි. තමා ජීවත් විය යුතු අන්දම තීරණය කිරීමට සහ එම තීරණවල හරි වැරදි නීර්ණය කිරීමේ හැකියාවත් ලිංගික අධ්‍යාපනයෙන් ලැබීම වැදගත්. නොදැනුම්වත්භාවය වෙනුවට දැනුම, අබිරහස් වෙනුවට විවෘතභාවය, යන වටිනාකම්වලට මූලිකත්වය ලබා දීමෙන් ස්වීඩනයේ ලිංගික අධ්‍යාපනය එම වැදගත්කම් තහවුරු කර තිබෙනවා. යෞවන වයසේ දී ම ලිංගිකත්වයේ ඇති විවිධත්වය වටහා ගනිමින් සිසුන්ට සබඳතා සහ ආදරය පිළිගැනීමේ මැදහත් මනසක් නිර්මාණය කර ගැනීමටත් ඉන් ඉඩ සැලසෙනවා.

මේ සියලු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ස්වීඩනයේ ලිංගික අධ්‍යාපනය ප්‍රධාන අංග තුනක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා.

1. විෂය ඒකාබද්ධ කිරීම.

2. එදිනෙදා උත්සාහයන් හරහා සෑම අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගැනීම.

3. තනි පාඩම් හෝ තේමා දින.

 වශයෙන් එම අංග තුන හඳුන්වා දිය හැකි යි.

විෂය ඒකාබද්ධ කිරීම හරහා ලිංගික අධ්‍යාපනය විෂයක් ලෙස ඉගැන්වීමෙන් දැනුම සම්ප්‍රේෂණය කිරීම සිදු කෙරෙනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, ලිංගිකත්වය සහ සබඳතා මුළු මහත් සමාජයට ම බලපාන අන්දම එහි දී විග්‍රහ කෙරෙනවා.

බොහෝ දේ කියැවෙන කාටූනයක් – highschool.latimes.com 

ඕනෑම මොහොතක ප්‍රශ්න නඟන්න

  “එදිනෙදා උත්සාහයන් හරහා සෑම අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගැනීම” යන්නෙන් අදහස් කරන්නේ සාමාන්‍ය පරිදි පාසලේ වැඩකටයුතු සිදු කරගෙන යන අතරතුර මතු වන ගැටලු (ලිංගිකත්වයට අදාළ) ඒ මොහොතේදී ම සාකච්ඡාවට බඳුන් කිරීම යි. ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් සිසුන්ට මතුවන ගැටලු, ලිංගිකත්වය හෝ සබඳතා සම්බන්ධ සදාචාරාත්මක සහ අත්දැකීම් හරහා මතුවන ගැටලු, ඕනෑම අවස්ථාවක පොදු සාකච්ඡාවකට හෝ පුද්ගලික කතාබහකට යටත් කිරීමේ අවකාශ ඉන් සැලසෙනවා. එබැවින්, සිසුන්ට ලිංගිකත්වය හා සබැඳි ගැටලු සිත තුළ තෙරපා ගෙන සිටීමේ අවශ්‍යතාවක් නැහැ. අවිධිමත් ප්‍රභව හරහා එම ගැටලු නිරාකරණය කිරීමට සිසුන් පෙලඹෙන සම්භාවිතාවත් ඉන් අවම වෙනවා.  

 මෙම ක්‍රමවේදයේ අහිතකර පැතිකඩක් ද තිබෙනවා. උදාහරණයක් ලෙස සිසුවෙක් සිය ගැටලුව සාකච්ඡා කිරීමේ දී ඒවා අපහාස, තර්ජන හෝ කටකතා ආකාරයෙන් අදාළ සිසුවාට ම හානිදායක වන අන්දමින් ක්‍රියා කිරීමේ ඉඩකඩක් තිබෙනවා. එවැනි හිරිහැරයක් ඇති වූ විගස ම පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් මැදිහත් වෙමින් තත්ත්වය විමර්ශනය කළ යුතු අතර, එවන් අවස්ථාවක ඉක්මනින් ක්‍රියාත්මක වීමේ වැදගත්කම ස්වීඩන අධ්‍යාපන පද්ධතිය අවධාරණය කර තිබෙනවා.

 තෙවන සහ අවසාන අංගයත් විවිධ ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි යි. එම සාකච්ඡා නියම කර ගත් තේමාවකට අදාළ විය යුතු යි. එවිට ඉලක්ක ගත කරුණක් සම්බන්ධයෙන් පුළුල් දැනුමක් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. මෙම සාකච්ඡා ප්‍රජනක සෞඛ්‍යය, මානව හිමිකම්, ලිංගික දිශානතීන් හෝ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැනි තේමා මත පදනම් විය හැකි යි. උදාහරණයක් ලෙස ලෝක ඒඩ්ස් දිනය, ජාත්‍යන්තර කාන්තා දිනය ආදී වැදගත් අවස්ථාවක් එළඹුණු විට ඒ දවසේ වැදගත්කම තේමාව ලෙස ගනිමින් පුළුල් කතිකාවතක් පංති කාමරය තුළ ඇති කිරීම මින් සිදු වෙනවා.

ලිංගික අධ්‍යාපනය මනා විවෘතභාවයකින් යුතුව ලබා දීම අත්‍යාවශ්‍ය යි – www.telegraph.co.uk 

ලිංගික අධ්‍යාපනය ඇරඹිය යුතු වයස කුමක් ද?

සාමාන්‍යයෙන් යොවුන් වියට පා තැබීමත් සමඟ සිසුවා මුහුණ දෙන ශාරීරික සහ මානසික පරිවර්තනවලට අනුරූපී ව ලිංගික අධ්‍යාපනය ලැබීම සුදුසුයැ යි කෙනකුට සිතෙන්නට පුළුවන්. ලිංගික අධ්‍යාපනය යනු හුදෙක් හෝර්මෝන වෙනස්වීම්, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුම පමණක් නොවන බව අප මුලින් සඳහන් කළා. සැබැවින් ම ලිංගික අධ්‍යාපනයේ මුල් අත්පොත් තැබීම් ඇරඹිය යුත්තේ එකිනෙකාට ගරු කරන මානසික තත්ත්වයක් නිර්මාණය කරන ප්‍රාථමික ම ස්ථානයේ සිට යි. එම ස්ථානය පෙර පාසල වීම ඉතා වැදගත්. ස්වීඩනයේ අධ්‍යාපනඥයන් මේ වැදගත්කම තේරුම් ගෙන තිබෙන ආකාරය දැන් විමසා බලමු.

ස්වීඩනයේ පෙර පාසල් සඳහා නියම කර ඇති අධ්‍යයන පටිපාටියට අනුව දරුවාට සමාජාවබෝධය ලැබෙන ආකාරයෙන් ඉගැන්වීම් සිදුවිය යුතු බව යෝජනා කෙරෙනවා. සමාජයේ වෙසෙන සියලු මිනිසුන්ට සමාන ගෞරවයක් ඇති බව පෙර පාසල් දරුවාට වටහා දීමෙන් එම සමාජාවබෝධයේ මූලික පියවර ඇරඹෙනවා. එම ගෞරවය, ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගික සබඳකම්, ආගම හෝ වෙනත් විශ්වාස, ලිංගික දිශානතිය, කායික දුර්වලතා, වැනි සාධක මත වෙනස් නොවිය යුතු යි. ඒ සංවේදනය වයසට ගෝචර වන අන්දමින් කුඩා දරුවාට සම්ප්‍රේෂණය කිරීමේ වගකීම ගුරුවරයාට පැවරෙනවා.

සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ භූමිකාවලට වැදගත්කමක් ලබා නොදෙමින් ස්වීඩනයේ පෙර පාසල් අධ්‍යයන කටයුතු සිදුවන අතර, ඔවුන් ගේ හැකියාවන් සහ රුචිකත්වයන් ගවේෂණය කිරීමට සහ වර්ධනය කර ගැනීමට සමාන ඉඩ ප්‍රස්තා ලබා දෙනවා. අවසානයේ දී ලිංග භේදය මත හෝ ලිංගික දිශානතිය මත ඇතිවන ඒකාකෘතික (Stereotype) ස්වභාවයන් කුඩා වයසෙන් ම බිඳ වැටීම සිදු වෙනවා. එවිට ලිංගිකත්වය හා සම්බන්ධ වඩාත් සංකීර්ණ කරුණු ඉගෙනීමේ දී සහ අත්දැකීම් ලබා ගැනීමේ දී යොවුන් වියේ පසුවන්නන්ට විශාල ගැටලු මතු වන්නේ නැහැ. ගැටලු මතු වුණත්, ඔවුන් ප්‍රශ්න කරමින් ඒවාට “නිවැරදි පිළිතුරු හෝ අවබෝධය” ලබා ගැනීමට පසුබට වන්නේත් නැහැ. 

සිසුන් ගේ වයස් සීමා අනුව සැලසුම් කළ වැඩසටහනක්. විවිධ අවස්ථා හමුවේ ළමුන් කල්පනාකාරීව දැක් වූ ප්‍රතිචාර කිහිපයක් මෙහි දැක්වෙනවා – www.powertopersuade.org.au 

දැනුමට සූදානම් වන යොවුන් විය

සාමාන්‍යයෙන් ස්වීඩනය තුළ ලිංගික අධ්‍යාපනයේ ප්‍රධාන අංග පස්වන, අටවන සහ නවවන පාසල් වර්ෂවල උගන්වන බව සඳහන්. මෙම කාලය පුරා වැඩිවියට පැමිණීම, ශරීර වර්ධනය, ආදරය, ස්වයං ප්‍රතිරූපය, පළමු වරට ලබන අත්දැකීම්, ස්වයං වින්දනය, උපත් පාලනය සහ ඒවා භාවිතා කරන අන්දම, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික දිශානතිය ආදී විවිධ මාතෘකා ද සාකච්ඡාවට බඳුන් වෙනවා. පාසල ආසන්නයේ තරුණ ප්‍රජාවට වෙන් වූ සායනයක් තිබේ නම්, එය නැරඹීමටත් පාසල් සිසුන්ට අවස්ථාව හිමි වෙනවා. 

පස්වන අධ්‍යන වර්ෂයේ දී, එනම්, සිසුවකු ගේ වයස අවුරුදු 11 සම්පූර්ණ වූ විට වැඩිවියට පැමිණීම, ශරීර වර්ධනය, ස්වයං වින්දනය වැනි මාතෘකා ආවරණය කෙරෙනවා. අටවන අධ්‍යන වර්ෂය තුළ (එවිට සිසුවකු ගේ වයස අවුරුදු 14 ක් පමණ වෙනවා.) ශාරීරික ක්‍රියාකාරකම් සහ ලිංගාශ්‍රිත රෝග කෙරෙහි අවධානය යොමු කරන අතර, නවවන අධ්‍යන වර්ෂයේ දී සබඳතා පිළිබඳ දැනුම සඳහා වැඩි ඉඩක් ලබා දෙනවා. කෙසේ නමුත්, මේ බොහෝ මාතෘකා නැවත නැවත සාකච්ඡාවට ලක් වන බවත් මතක් කළ යුතු යි. සිසුන් වැඩෙන විට අත්දැකීම් ලබා ගන්නා බැවින්, එකම කාරණය කෙරෙහි ඔවුන් ගේ ආකල්ප සහ දැනුම වෙනස් වීම ඊට හේතුව යි. උදාහරණයක් ලෙස “ආදරය යනු කුමක් ද?” යන ප්‍රශ්නයට එකොළොස් හැවිරිදි දරුවකුට වඩා වෙනස් පිළිතුරක් පහළොස් හැවිරිදි දරුවකු ගෙන් ලැබෙන්න පුළුවන්. එවිට ගුරුවරයා සිසුවා සමඟ සන්නිවේදනය කළ යුතු ආකාරයත් යාවත්කාලීන විය යුතු යි.

මානව සබඳතා තුළ පවත්නා ගෞරවය සහ සීමා ඉගෙන ගන්නා එක්සත් රාජධානියේ සිසුන් පිරිසක් – www.powertopersuade.org.au 

විෂයක් නොවෙයි. සාමුහික ප්‍රයත්නයක්

  ලිංගික අධ්‍යාපනය සියලු විෂය ධාරා සමඟ සංයුක්ත වන අයුරින් ඇතුළත් කර තිබීම හරහා ස්වීඩන අධ්‍යාපන ක්‍රමය විශේෂ වන බව අපි ඉහත සඳහන් කළා. තනි විෂයක් ලෙස හෝ තනි විෂයක ප්‍රධාන අංගයක් ලෙස ලිංගික අධ්‍යාපනය ලබා දීම ප්‍රායෝගික නොවන බව ස්වීඩන රජය තේරුම් ගෙන තිබෙන බැවින්, ජීව විද්‍යාව හෝ සෞඛ්‍යය විෂය ධාරාවලට පමණක් සීමා නොවී ඕනෑම ගුරුවරයකුට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ කර්තව්‍යට සහභාගී වීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. මානව සබඳතාවල මූලික වටිනාකම් ඇති කිරීමට ලිංගික දැනුම හැකිතාක් ඉවහල් කර ගැනීම එහි මූලික අරමුණ යි. 

උදාහරණයක් ලෙස ඉතිහාසය විෂය සලකමු. එහි දී ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ ආකල්ප කාලයත් සමඟ වෙනස් වූ අයුරු සිසුන්ට ඉගෙන ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. හත්වැනි සහ නවවැනි අධ්‍යයන වර්ෂවල දී ස්වීඩනයේ ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන පක්ෂ ගොඩනැඟීම, නව සමාජ ව්‍යාපාර සහ කාන්තා ව්‍යාපාරවල බිහි වීම පිළිබඳ දැනුම ලබා දෙන අතරතුර ලිංග භේද නොසලකා සමානාත්මතාවය පවත්වා ගැනීමේ වැදගත්කමත් ඉස්මතු කෙරෙනවා.

ප්‍රජාපාලන විද්‍යාව ඉගැන්වීමේ දී මානව හිමිකම්, වෙනස් කොට සැලකීම, ජනගහන දත්ත, දේශපාලන මතවාද සහ වර්තමාන සමාජ කටයුතු ආශ්‍රිත ගැටලු සාකච්ඡා කළ යුතු අතර, එම ගැටලු ස්ත්‍රී පුරුෂ භාවය, සබඳතා සහ ලිංගිකත්වය සමඟ සම්බන්ධ වන ආකාරයෙන් ඉගැන්විය යුතු බව ස්වීඩන රජය අවධාරණය කරනවා. මීට අමතරව, කලා විෂයන් හරහා මානව ලිංගිකත්වය සෞන්දර්යාත්මක අන්දමින් විග්‍රහ වන බැවින්, කලා විෂය ක්ෂේත්‍රයෙන් ලිංගික අධ්‍යාපනයට සිදු විය යුතු මෙහෙයත් ඔවුන් සැළකිල්ලට ගෙන තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් හි විද්‍යාලයක පැවති ලිංගික අධ්‍යාපන වැඩමුළුවක දී සිසුන් කොන්ඩම් භාවිතය ගැන ඉගෙන ගන්නා අයුරු – www.bangkokpost.com 

ලිංගික අධ්‍යාපනය දරුවාගේ අයිතියක්!

ස්වීඩනයේ පාසල් ගුරුවරුන්ට ලිංගික අධ්‍යාපනය විධිමත් ව ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දෙනවා. එම පුහුණුව කෙටි පාඨමාලා ඔස්සේ ලබා දීමට ස්වීඩන රජය කටයුතු කරන අතර, ගුරුවරයකු ගේ වෘත්තීයභාවය මැන බැලීමේ අංගයක් තරමට ම එය වැදගත් වී තිබෙනවා. විධිමත් ලිංගික අධ්‍යාපනයක් පාසල් පද්ධතිය තුළ පවත්වා ගැනීම උදෙසා රජය සහ ගුරුවරුන් පමණක් බර කරට ගැනීම ප්‍රමාණවත් වන්නේ නැහැ. මාපියන් ගේ සහයෝගය ද ඉතා වැදගත්. දරුවා ගේ හොඳම ලිංගික අධ්‍යාපනඥයා මාපියන් වන බැවින්, තම දරුවා ඉගෙනුම ලබන පාසලේ ලිංගික දැනුම ලබා දෙන ආකාරය සොයා බැලීම අත්‍යාවශ්‍යයෙන් සිදුවිය යුතු යි. ස්වීඩනයේ මාපියන් එම වගකීම ප්‍රශස්ත මට්ටමකින් ඉටු කරන බව යි පැවසෙන්නේ.

මේ සියලු ප්‍රයත්න සැලසුම් කර ඇත්තේ මනා පෞරුෂයකින් හෙබි යහපත් පුරවැසියන් සමාජයට දායක කිරීම උදෙසා යි. එහි දී ලිංගික අධ්‍යාපනයෙන් සිදු වන මෙහෙය, මෙම ලිපියෙන් පවා සම්පූර්ණයෙන් ආවරණය කළ නොහැකි යි. සැබැවින් ම ලිංගික අධ්‍යාපනය යනු රටක දරු පරපුරක් සතු අයිතියක්. වැඩිහිටියන් ලෙස අප සැවො ම එම අයිතිය තහවුරු කළ යුතු යි.

කවරයේ ඡායාරූපය: ලිංගික අධ්‍යාපනය මත පදනම් වූ චිත්‍රපටයක් වන "Sex Ed" හි දර්ශනයක් - www.imdb.com

www.rfsu.se

globalnews.ca

www.silumina.lk

Related Articles