Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලිංගිකත්වය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක්!

ලිංගිකත්වය ලොව වෙසෙන, ලිංගික ප්‍රජනනය සිදුකරන සියලු ජීවීන්ට පොදු කාරණාවක් වෙනවා. මිනිසා විෂයෙහි ලිංගිකත්වය පිළිබව විවිධ සංස්කෘතීන් හා සමාජයන්හි විවිධාකාරයේ මතවාද, ක්‍රමවේද තිබුණත් ඒ සෑම කොට්ඨාසයකට ම අයත් පුද්ගලයන් වර්ගයා බෝ කිරීම හා ආස්වාදය සඳහා ලිංගික ක්‍රියාවලියෙහි නිරත වෙනවා. මිනිසා නොනැසී පැවැතීම සඳහා ලිංගික ප්‍රජනනය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඔවුන් එම කර්තව්‍ය කෙරෙහි නැඹුරු කරනු වස්, සොබාදහම අපූරු ලෙස මිනිස් මනස සහ ශරීරය ගොඩනංවා තිබෙනවා.
ලිංගිකත්වය කෙරෙහි පහත කරුණු පිළිබඳව ඔබ මින් පෙර කියවා තිබේදැයි බලන්න.

පුරුෂයන්ගේ මෙන් තෙගුණයක් දිගු කාන්තාවන්ගේ සුරතාන්තය

පුරුෂයන් හා කාන්තාවන් යන දෙකොට්ඨාසය ම සුරතාන්තයට පත්වීම සිදුවෙනවා. කෙසේ නමුත් පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවක් සුරතාන්තයට පත්වීම මඳක් සංකීර්ණ වෙනවා. පුරුෂයකුට වඩා කාන්තාවක් සුරතාන්තයට පත් වීමට වඩාත් වැඩි කාලයක් ගතකරන බැව් පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා. පුරුෂයෙක් සාමාන්‍යයෙන් සුරතාන්තයට පත් වූ විට තත්පර හයක පමණ කාලයක් එලෙස ගතකරන අතර, කාන්තාවක් එලෙස සුරතාන්තයට පත් වූ විට තත්පර විස්සක පමණ කාලයක් එලෙස ගත කරනවා. පුරුෂයන් මෙන් නොව එක් ලිංගික එක්වීමක දී සුරතාන්ත වාර කිහිපයක් ම ළඟා කර ගැනීමට ද කාන්තාවන් සමත් වෙනවා.

 කාන්තාවන්ගේ සුරතාන්තය පුරුෂයන්ට සාපේක්ෂව දිගු වෙනවා- unsplash.com

 

හදවතට හිතකර ලිංගිකත්වය

යම් පුද්ගලයෙක් ලිංගික ක්‍රියාවේ නිරත වෙද්දී ඔහුගේ හෝ ඇයගේ හදවත වැඩි වේගයෙන් ගැහෙන්නට පටන් ගැනෙනවා. මේ නිසා යම් කැලරි දහනය වීමක් සිදු වී, එය ශාරීරික සෞඛ්‍යට හිතකර ලෙස බලපෑ හැකි යි. ලෝක වසංගත රෝග හා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව වූ ජර්නලයේ පළ වූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව ප්‍රශස්ත මට්ටමෙන් ලිංගික ක්‍රියාවලියක නිරතවීම හදවතට ඉතා හිතකර ලෙස බලපානවා. එම පර්යේෂණයට අනුව සතියකට දෙවතාවක් හෝ ඊට වඩා ලිංගික ක්‍රියාවලියේ යෙදෙන පුරුෂයන් එසේ නොකරන පුරුෂයන්ට සාපේක්ෂ ව මාරාන්තික හෘදයාබාධවලට ලක් ව මිය යාමේ අවදානම සැලකිය යුතු තරම් අඩු වෙනවා. කෙසේ නමුත් ආඝාත තත්ත්වයකට ලක්වීම හා ලිංගික ක්‍රියාවලියෙහි යෙදීම අතර කිසිදු සම්බන්ධයක් ඇති බවට ඔප්පු වී නැහැ.

වේදනාව අවම කරන ලිංගිකත්වය

ලිංගික ජීවිතයේ සක්‍රීය ව සිටීම මිනිසා කිහිප ලෙසකින් සන්තර්පණය කරනවා. මෙලෙස සක්‍රීය ව සිටීම නිසා මිනිසාට දැනෙන ශාරීරීක වේදනාවේ අඩුවීමක් සිදු වන බව පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා. ලිංගික හැඟීම් අවදි වීමේ දී මිනිස් මොළයෙහි ඇති හයිපොතැලමසය නම් ග්‍රන්ථිය උත්තේජනය වන අතර, ඉන් ඔක්සිටොසීන් හෝමෝනය ස්‍රාවය වෙනවා. මෙලෙස ස්‍රාවය වීම නිසා කාන්තාවන්ට දැනෙන ශාරීරීක වේදනවාවන් අවම වන බව නිව්ජර්සි හි රට්ගර්ස් විස්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් සිදුකළ අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා. නිතර නිතර ඔක්සිටොසීන් ස්‍රාවය වීම නිසා මාසික ඔසප්වීමේ ක්‍රියාවලියේදී කාන්තාවන්ට දැනෙන වේදනාවේ අඩුවක් සිදුවෙන බව ද එහිදී හඳුනා ගෙන තිබෙනවා. කාන්තාවන්ට පමණක් නොව, ලිංගික ජීවිතයේ සක්‍රීය ව සිටීම පුරුෂයන්ට ද වාසිදායක වෙනවා. ලිංගික සතුට නිසා නිතර නිතර ඔක්සිටොසීන් ස්‍රාවය වන පුරුෂයන්ට දැනෙන ශාරීරික වේදනාව එසේ නොවන අයට වඩා අඩකින් පමණ අඩු බව හඳුනා ගෙන තිබෙනවා.

 වේදනාවන් අවම කරගැනීමට ලිංගිකත්වය හොඳ ඔසුවක්- blushin.com

 

ලිංගිකත්වය හා පිළිකා වර්ග

ලිංගික වශයෙන් සක්‍රීය ව සිටීම සමහර පිළිකා වර්ග වැලඳීමේ ප්‍රවණතාව අවම කිරීමට හේතු වෙනවා. විශේෂයෙන් ලිංගික ව සක්‍රීය ව සිටින වයස අවුරුදු 50 ට වඩා වැඩි පුරුෂයන්ට පුරස්ථි ග්‍රන්ථිය හා සම්බන්ධ පිළිකා වැලඳීමේ ප්‍රවණතාව අඩු වෙනවා. විශේෂයෙන්, වැඩි වියට එළඹි පසු යම් ප්‍රශස්ථ මට්ටමකින් ලිංගික ක්‍රියාවලියේ නිරතවීම හෝ ස්වයං වින්දනයේ යෙදීම, මහලු වියට එළැඹි පසු පුරස්ථි ග්‍රත්ථි පිළිකා වැලඳීම අවම වීමට හේතුවක් වෙන බව ලොව පුරා ආයතන කිහිපයකින් සිදු කළ පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. BJU ඉන්ටර්නැෂනල් හා අමෙරිකානු වෛද්‍ය සංගමය පළ කරන සඟරාවල මේ පිළිබඳ ව පර්යේෂණාත්මක ලිපි පළ වී තිබෙනවා.

භගමණිය නම් කුඩා පුරුෂ ලිංගය

මානව කළල විකසනයේ මුල් අවධියේදී කාන්තා හා පුරුෂ යන දෙකොට්ඨාසයේ ම කළලයන් විකසනය වන්නේ එකම ආකාරයට යි. පසුකාලීනව ලිංගිකත්වය අනුව එහි අනන්‍ය වෙනස්වීම් සිදුවෙනවා. කළල විකසනයේ මුල් අවධියේදී ස්ත්‍රී භගමණිය හා පුරුෂ ලිංගය යන දෙකම විකසනය වන්නේ එකම පටකයකිනු යි. කළලයේ හා භ්‍රෑණයේ පසු අවධියේදී ඒ ඒ ලිංගික දිශානතිය අනුව හෝමෝන ස්‍රාවය වන අතර, පුරුෂ කළලයක නම් ටෙස්ටොස්ටෙරෝන් වැඩිපුර ස්‍රාවය වීම නිසා මෙම පටකය පුරුෂ ලිංගය බවට පරිවර්ථනය වෙනවා. කාන්තා කළලයක් විෂයයෙහි එලෙස ටෙස්ටොස්ටෙරෝන් ස්‍රාවය නොවීම නිසා එය සාපේක්ෂව කුඩා ලෙස ස්ත්‍රී භගමණිය බවට පත් වෙනවා.

 (ස්ත්‍රී භගමණිය හා පුරුෂ ලිංගය ක්‍රියාකාරීත්වය හා ස්වරූපය අතින් බොහෝ සෙයින් සමාන වෙනවා – dvulikaia/Getty Images 

 

ස්ත්‍රී ශරීරයේ භගමණිය, වැඩිවියට පත් වූ පසුත් ක්‍රියා කරන්නේ කුඩා පුරුෂ ලිංගයකට බොහෝ දුරට සමාන ලෙසයි. එයද පුරුෂ ලිංගය මෙන් ම ඉතා සංවේදී වෙනවා. කාන්තාවක් ලිංගික වශයෙන් පිබිදුණු විට භගමණියට ද පුරුෂ ලිංගයේ මෙන් ම රුධිරය පිරීම සිදුවන අතර, එය ප්‍රාණවත් වී විශාල වීම සිදුවෙනවා.

අඩි උස පාවහන් පැළඳීම හා කාන්තාවන්ගේ ලිංගිකත්වය

අඩි උස පාවහන් පැළැඳ ලිංගික ක්‍රියාවලියේ නිරතවීම සමහර විටෙක කාන්තාවන්ගේ සුරතාන්තයට පත්වීමට බාධා ඇති කරනවා. සමහර ඉතා උස අඩි සහිත පාවහන් පැළැඳි විට, කාන්තාවන්ගේ ශ්‍රෝණි‍ය යම් නැමීමකට බඳුන් වෙනවා. මේ නිසා එහි ඇති ගර්භාෂය වැනි අවයවවලට නිසි ලෙස සංකෝචනය හා ඉහිල් වීම සිදුවීමට බාධා පැමිණෙනවා. මේ නිසා සුරතාන්තය සිදුවීමේ දී, එහි උපරිම වින්දනය දැනීම අවහිර වන්නට හැකියාව තිබෙනවා. මෙලෙස දීර්ඝ කාලීනව සිදුවීම කාන්තාවන්ගේ ලිංගික ජීවිතයට ගැටලුකාරී විය හැකියි. ලිංගික ජීවිතයේ බාධා පමණක් නොව, ඉතා උස අඩි සහිත පාවහන් දීර්ඝකාලීනව පැළඳීම නිසා කාන්තාවන්ට කොන්ද ආශ්‍රිත ආබාධ ද ඇති වීමේ ඉහළ ප්‍රවණතාවක් තිබෙනවා.

කවරයේ කවරයේ ඡායාරූපය - ලිංගික ජීවිතයේ සක්‍රීය ව සිටීම මිනිසා කිහිප ලෙසකින් සන්තර්පණය කරනවා - myisense.com 

මූලාශ්‍ර:

Healthline.com
Health.com
Healthland.time.com

Related Articles