Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ සියදිවි නසාගැනීම් ගැන විග්‍රහයක්

මේ දිනවල අපට අසන්නට ලැබෙන ප්‍රවෘත්ති අතර ප්‍රධාන සිරස්තලයක් වී ඇත්තේ සියදිවි නසාගැනීම් ය. ජනමාධ්‍ය ඔස්සේ කෙරෙන මේ ප්‍රචාරය හේතුවෙන් වර්තමාන සමාජය තුළ ද සියදිවි නසාගැනීම්  ගැන වෙනදාට වඩා වැඩියෙන් කතා කිරීමට පෙළඹීමක් ඇතිව තිබේ. මේ ලිපියේ අරමුණ ලංකාවේ සියදිවි නසාගැනීම් පිළිබඳ සංඛ්‍යා ලේඛන විග්‍රහය සිදුකිරීම ය.

ලොව සියදිවි නසාගැනීම් සිතියමේ ලංකාව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව සියදිවි නසාගැනීම් නිසා වසරකට ලොවට අහිමිවන ජීවිත ගණන ලක්ෂ 8කි. වසර 2017 දී ලොව මරණවලින් 1.4%ක් සියදිවි නසාගැනීම නිසා සිදුවන මරණ බව එම වාර්තාව පෙන්වා දෙයි. වයස අවුරුදු 15 -19 අතර කණ්ඩායම්වල මරණවලට තෙවැනි වැඩිම හේතුව සියදිවි නසාගැනීම යි. එමෙන්ම සියදිවි නසාගැනීම්වලින් මියයන අයගෙන් තුනෙන් දෙකක්ම පිරිමින් වීම විශේෂ කරුණකි.

2016 දී ලොව පුරා සිදුවූ මරණවලට හේතු

ඒ අනුව සියදිවි හානිකරගැනීම් හේතුවෙන් වසරකට අහිමිවන ජීවිත ගණන ඒඩ්ස් රෝගය නිසා මියයන පිරිසට වඩා ලක්ෂයකින් අඩු ය.

2016 දී නිකුත්කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාවට ලොව සියදිවි නසාගැනීම් ලැයිස්තුවේ 31වෙනි ස්ථානය හිමිවී ඇත. 1989 – 1993, 1997-1999 යන වසරවල දී මෙම ලැයිස්තුවේ ශ්‍රි ලංකාව ප්‍රථම ස්ථානයේ පසු වූ අතර, 2000න් පසුව සෝවියට් සමූහාණ්ඩුවේ රටවල සංඛ්‍යා ලේඛන වෙන් වෙන්ව වාර්තා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පහළට වැටිනි.

රුසියාව, ලිතුවේනියාව, කසකස්ථානය, බෙලරුසියාව, යුක්‍රේනය, ලැටිවියාව ලංකාවට වඩා ඉහළින් සිටින පැරණි සෝවියට් රුසියාවේ රටවල් ය.

 

එමෙන්ම ආසියාතික රටවල් අතර ලංකාවට ඉහළින් සිටින්නේ, කසකස්ථානය, දකුණු කොරියාව, ජපානය, හා ඉන්දියාව පමනි. පිරිමින්ගේ සියදිවි නසාගැනීම අතර ලංකාවට ඉහළින් සිටින්නේ කසකස්ථානය හා දකුණු කොරියාව පමණි. මෙම සංඛ්‍යා ලේඛන අනුව පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම සැලකිය යුතු සමාජ ගැටලුවක් බව යි. ඒ අනුව ලංකාවේ සියදිවි නසාගැනීම් පිළිබඳව තව දුරටත් විශ්ලේෂණය කළ යුතුව ඇත.

ලංකාවේ සියදිවි නසාගැනීමේ ප්‍රවණතා

මෙම ලිපිය සදහා පොලිස් දෙපාර්තුමේන්තුව විසින් නිකුත්කෙරුණු සංඛ්‍යා ලේඛන භාවිතා කර ඇති නමුත්, දැනට දත්ත නිකුත්කර ඇත්තේ 2019 වසර දක්වා පමණක් බව කරුණාවෙන් සලකන්න. 

පළමුව, ලංකාවේ මෑත වර්ෂවල සිදුවූ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව විශ්ලේෂණය කරමු.

ලංකාවේ සියදිවි නසාගැනීම්වලින් වසරකට 3,000ක් පමණ මියයන අතර, ඒ අයගෙන් 80%ක්ම පිරිමි පුද්ගලයින් ය. එහි විශේෂත්වය වන්නේ ලෝක සියදිවි නසාගැනීමවලින් පුරුෂයන් 66% වෙද්දී ලංකාවේ එම අගය 80% වීම ය. එසේම ලංකාවේ සියදිවි නසාගැනීම්, මියයන අයගේ වයස, විවාහක අවිවාහක බව, අධ්‍යාපන තත්ත්වය, ජාතිය, ආගම, රැකියාවේ ස්වභාවය මෙන්ම, මියගිය ක්‍රමය හා හේතුව අනුව ලේඛනගත කර ඇත. 

මෙම සටහන අනුව, අවුරුදු 20ට අඩු වයස් කාණ්ඩයන්ගේ ස්ත්‍රී පුරුෂ සියදිවි නසාගැනීම ආසන්න වශයෙන් සමාන වුව ද, අනෙකුත් වයස් කාණ්ඩයන්ගේ ස්ත්‍රී පුරුෂ සියදිවි නසාගැනීම අතර පරතරය ඉතා විශාල ය. එමෙන්ම අනෙකුත් වයස් කාණ්ඩයන් අතර ඇත්තේ සමස්ථයක් ලෙස සමාන තත්ත්වයකි.

සියදිවි නසාගැනීමට භාවිතා කරන ක්‍රම අනුව, ලංකාවේ සියදිවි නසාගැනීම්වලින් 60%ක් පමණ භාවිතා කරනු ලබන්නේ ගෙල වැලලාගෙන මියයාම වන අතර තවත් 20%කට වැඩි පිරිසක් කෘමිනාශක භාවිතා කරනු ලබයි. එමෙන්ම කාන්තා සියදිවි නසාගැනීම්වලින් 10%ක් පමණ සිරුරට ගිනි තබාගැනීම් ද වාර්තා වෙයි.

සියදිවි නසාගැනීමට විවිධ පුද්ගලයින්ට විවිධ හේතු බලපායි. බොහෝවිට ඒ සඳහා හේතු කිහිපයක් බලපෑවත්, පොලීසිය  වාර්තා කරනු ලබන්නේ ආසන්නම හේතුව යි. සියදිවි නසාගන්නා අයගෙන් 30%ක් පමණ සියදිවි නසාගැනීමට පැහැදිලි හේතුවක් සඳහන් කර නැත. එහෙත් ලංකාවේ සියදිවි නසාගැනීමට මූලික ලෙස බලපාන හේතු ලෙස පොලිසිය වාර්තා කරන්නේ පවුල් ආරවුල්, නිධන්ගත රෝග හා ශාරීරික ආබාධ, ආදර සම්බන්ධතා නිසා ඇති වූ බලාපොරොත්තු සුන්වීම, සහ මානසික ආබාධ යි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වර්ගීකරණය කර ඇති අප රටෙහි, ආර්ථික ගැටලු, දරිද්‍රතාවය, හා ණය බර හේතුවෙන් මියයන ගණන 6%ක පමණ අගයක් ගනියි.

Caption

 

ළමා හා තරුණ වයස් කණ්ඩායම් අතර සියදිවි නසාගැනීමට ආසන්න හේතුව ආදර සම්බන්ධතා යි. 2019 වර්ෂයේ දී පාසැල් යන වයසේ අයගෙන් 92%ක්ම සියදිවි හානි කරගෙන ඇත්තේ ආදර සම්බන්ධතා අශ්‍රිත ගැටළු හේතුකොට ගෙන ය. මැදිවිය වයස් කාණ්ඩවල සියදිවි හානිකර ගැනීමට ප්‍රමුඛතම හේතුව පවුල් ආරවුල් වෙද්දී, වයස්ගත කාණ්ඩය අතර නිධන්ගත රෝග ප්‍රධානතම හේතුව වී තිබිනි.

සංඛ්‍යාලේඛන විමර්ශනයේ දී තවත් හෙළිවන කරුණක් නම් සියදිවි නසාගන්නා අයගෙන් 75%ක්ම විවාහකයින් බව යි. ශ්‍රි ලංකාවේ ජනගහනයෙන් ජන වර්ගය අනුව 75%ක් සිංහල වන අතර, සියදිවි නසාගැනීමේ දී ද මෙම ප්‍රතිශතය එලෙසම නිරූපනය කරයි. එහෙත් ලාංකික දමිළ ප්‍රතිශතය ලංකාවේ ජනගහනයෙන් 11%ක් වුව ද සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය එම ප්‍රජාව අතර 22%ක් වීම සැලකිය යුතු කරුණකි. සියදිවි නසාගන්නා ස්ත්‍රීන් සැලකීමේ දී ඔවුන්ගෙන් 33%ක්ම ලාංකික දමිළ වීම ද සැලකිය යුතු ය. මෙම තත්ත්වය සියදිවි නසාගන්නා අයගේ ආගම පිළිබඳව සැලකීමේ දී ද තවත් තහවුරු වේ. ලංකාවේ ජනගහනයේන් 13%ක් පමණක් හින්දු ආගම අදහන අය වෙද්දී සියදිවි නසාගන්නා අයගෙන් 22%ක්ම හින්දු වීම කැපීපෙනන කරුණකි.

සියදිවි නසාගන්නා අයගේ අධ්‍යාපන මට්ටම් අනුව ද දත්ත එක් රැස් කර ඇත. ඒ අනුව සියදිවි නසාගන්නා අයගෙන් 80%ක් අපොස සාමාන්‍ය පෙල දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ අය යි. සියදිවි නසාගන්නා අයගෙන් 60%ක්ම අට ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ අය වීම අධ්‍යාපන හා සියදිවි නසාගැනීම අතර සම්බන්ධතාවය ගැන කිසියම් ඉඟියක් පල කරයි. 

සියදිවි නසාගන්නා අයගෙන් 37%ක්ම රැකියා විරහිත අයවලුන් වීම ද සැලකිය යුතු කරුණකි.
 

මෙම සංඛ්‍යාලේඛන අනුව පුරුෂයන්, ලාංකික දමිළ ජනයා, අඩු අධ්‍යාපන මට්ටම් සහිත ජනතාව මෙන්ම විරැකියාවෙන් පෙළෙන අය ලංකාවේ සියදිවි නසාගැනීමේ වඩාත්ම ප්‍රමුඛ කණ්ඩායම් වී ඇත.

ලංකාවේ අතිශය බහුතරයක් කිසියම් හෝ ආගමක් අදහන අය ය. එසේ වුවද, සියළුම ආගම්වලින් සියදිවි නසාගැනීමේ තත්ත්වයට පත්වූවන්ට සැලකිය යුතු මට්ටමේ උපකාරයක් හෝ සහනයක් ලබා නොදේ. මෙය සමාජ අර්බුදයක් බවට පත්වීම ඛේදජනක ය. මේ අහිමි වන වටිනා ජීවිතවල බේරාගැනීම උදෙසා සමාජයක් ලෙස අප ඉදිරියේ ඇත්තේ දැවැන්ත කාර්යභාරයකි.

-End of Article-

References

who.int/

ourworldindata.org/

police.lk 

Cover image: The Scientist Magazine

Related Articles