Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කවුරුත් දන්නා මාමයිට් ගැන නොදන්නා රස කතා

“මාමයිට්” යනු ලොකු,පොඩි කා අතරත් ප්‍රචලිත පෝෂණීය ආහාරයකි. දුඹුරු පැහැයට සමාන වර්ණයකින් යුත් වෙනස් ම රසයකින් පාන් හෝ වෙනත් ආහාර සමග ආහාරයට ගැනීමට සුදුසු, ආහාර පිසීමේ ද්‍රව්‍යයක් ලෙස හෝ පානයක් ලෙස ද භාවිත කරන මාමයිට් කහ පියනක් සහිත සුවිශේෂී කළු භාජනයකින් අද වනවිට අප අතට පත්වේ.

වෙනත් රටවල වාසය කරන ජනතාව මාමයිට් ඔවුන්ගේ “ජාතික වස්තුවක්” ලෙස ද සලකයි. එය ඔවුන්ගේ උදෑසන ආහාරය හා සමාන මට්ටමක පවතී.

මාමයිට් ආයතනය ඔවුන්ගේ තේමා පාඨය ලෙස යොදා ගෙන තිබෙන්නේ, “Love It or Hate It.” යන්න යි. එහි අර්ථය”එයට ආදරය කරන්න හෝ එයට වෛර කරන්න” යන්න යි. එය මෙලෙස හදුන්වන්නේ ඇතැමුන් මෙයට බොහෝ සේ ප්‍රිය කරන අතර ඒ හා සමාන ව ම මාමයිට් පිලිකුල් කරන සමහරුන් ද සිටින බැවිනි.

 ජර්මානු විද්‍යාඥ ජස්ටස් වොන් ලීබිග් - alchetron.com
ජස්ටස් වොන් ලිබිග් – Justus von Liebig – literatipulp.com

මාමයිට්වල ආරම්භය 

මාමයිට් ප්‍රථම වරට ගන්නේ 1902 දී එනම්, 19වන සියවස අග භාගයේදී ජර්මානු ජාතිකයකු වූ “ජස්ටස් වොන් ලිබිග්” ය. ඔහු එය සොයා ගන්නේ අහම්බෙන් වීම විශේෂ කරුණකි. මාමායිට් සෑදී ඇත්තේ “බියර් සෑදීමෙන් පසු බැරලයේ පතුලේ ඉතිරි වන යීස්ට් සාරයෙනි”. පසුව බීර වල යීස්ට්, සාන්ද්‍රණය කර බෝතල් කර ආහාරයට ගත හැකි බව ඔහු සොයා ගත්තේ ය.

මාමයිට්හි ප්‍රථම නිෂ්පාදනාගාරය 1902 දී “ස්ටැෆර්ඩ්ෂයර් ප්‍රාන්තයේ බර්ටන්-ඔන්-ට්‍රෙන්ට්” හි ආරම්භ විය. පසුව එය නවසීලන්තය වැනි රටවල ද නිෂ්පාදනය කිරීම ආරම්භ කළ අතර වට්ටෝරුව එක සමාන නොවන බැවින් එයින් එක ම රසයක් ලබාගැනීමට නොහැකි විය.

මාමයිට් මුලින් වෙළෙඳපොළට පැමිණියේ මැටි භාජනවල ය. පසුකාලීනව, එනම් 1920 වසරේ සිට එය වීදුරු භාජනවල අලෙවි කිරීම ආරම්භ විය. මාමයිට් සුවිශේෂී “බල්බ භාජන” (වර්තමාන මාමයිට් බෝතල්  හැඩය) සපයන්නේ ජර්මානු වීදුරු නිෂ්පාදකයකු වන “ජෙරීෂයිමර්” ය.

මාර්මයිට් ආහාර නිස්සාරණ සමාගම - marmitemuseum.com
මාර්මයිට් ෆුඩ් එක්ස්ට්‍රැක්ට්ස් සමාගම – boroughphotos.org

මාමයිට් නමේ අර්ථය 

මාමයිට් යනු  ප්‍රංශ වචනයකි.ප්‍රංශයේ දක්නට ලැබෙන සාම්ප්‍රදායික භාජනයක් මෙලෙස හදුන්වයි. මාමයිට් ලේබලයේ දැක්වෙන්නේ එම භාජනයේ රූපය යි.

වර්තමානයේ මාමයිට්වල අඩංගු ප්‍රධානම අමුද්‍රව්‍ය වන්නේ “ග්ලූටමික් අම්ලය බහුල යීස්ට් සාරය” වන අතර “ලුණු, එළවළු සාරය, කුළුබඩු සාරය සහ සැල්දිරි සාරය” ද එහි අඩංගු කර ඇත. මාමයිට්වල  බෙහෙවින් පවතින්නේ “ඊස්ට් සාරය” නමුත් එහි අඩංගු  ඇතැම් ද්‍රව්‍ය රහසක් බව නිෂ්පාදකයන් පවසයි.

මාමයිට් වැදගත් වූ අවස්ථා

1912 දී මාර්මයිට් “විටමින් බී” බහුලව අඩංගු බව සොයා ගත් බැවින් පළමු ලෝක යුද්ධයේ දී සටන් කළ බ්‍රිතාන්‍ය හමුදාවන්ට ආහාරයේ කොටසක් ලෙස මාමයිට් භාජන නිකුත් විය. “බුලි බීෆ්, ස්පෑම් සහ ඝනීභූත කළ කිරි” සමඟ එය 1939-1945 අතර කාලය තුළ සිවිල් වැසියන් සහ හමුදාව අතර ජනප්‍රිය විය.

1930 දී ඉන්දියාවේ බොම්බායි හි මෝල් කම්කරුවන්ගේ රක්තහීනතාවයට ප්‍රතිකාර කිරීම සඳහා ඉංග්‍රීසි විද්‍යාඥ ලුසී විල්ස් මාර්මයිට්වල අඩංගු ෆෝලික් අම්ලය වැදගත් බව හදුන්වා දිණි.

ශ්‍රී ලංකාවේ 1934-1935 අතර ඇති වූ මැලේරියා වසංගතයේ දී “සූරිය-මල් සේවකයින්ගේ” මන්දපෝෂණයට ප්‍රතිකාර කිරීම සඳහා ද එකල මාමයිට් භාවිත විය.

 මාමයිට් විවිධ සංස්කරණයන් - campusmagazine
මාර්මයිට්වල විවිධ සංස්කරණ – www.campus.sg

මාමයිට් නිර්මාංශික ආහාරයක් ද?

සෑම කෙනකුට ම මාමයිට් පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය ප්‍රධාන කරුණක් වන්නේ මාමයිට් නිර්මාංශික ද නැද්ද යන්න යි. මාමයිට් වෙබ් අඩවියේ ඒ පිළිබඳ මෙසේ සඳහන් වේ.

 “ග්‍රෑම් 70 භාජනය හැර මුළු මාමයිට් පරාසය ම නිර්මාංශික වන අතර යුරෝපීය නිර්මාංශ සංගමය (EVU) විසින් සහතික කර ඇත. ග්‍රෑම් 70 භාජනය දැනට නිර්මාංශිකයන් සදහා පමණි – අපි  යුරෝපීය නිර්මාංශ සංගමය (EVU) වෙතින් වීගන් – vegan අනුමැතිය ලබා ඇත ”

මාමයිට් සම්පූර්ණ වශයෙන් සියයට සියයක් නිර්මාංශික බව ඔවුන්, ඔවුන්ගේ නිෂ්පාදනවල ද සඳහන් කර තිබේ. එබැවින් අද වනවිට මාමයිට් නිර්මාංශික පුද්ගලයන් අතර වඩාත් ප්‍රසිද්ධියකට පාත්‍ර වී තිබේ.

මාමයිට් තේ හැන්දක් දිනපතා පානය කිරීම මොළයේ සෞඛ්‍යයට හිතකර බව සඳහන් ය. යෝර්ක් විශ්වවිද්‍යාලය සිදු කළ අධ්‍යයනයකින් මාමයිට් නිසා ඩිමෙන්ශියා වැනි රෝග මඟ හරවා ගත හැකි බවටත්, එය මොළයේ රසායනික සංයුතිය ඉහළ නංවන බවටත් කරුණු සොයාගෙන ඇත. හෘද රෝග, දියවැඩියාව වැනි රෝගවලට ප්‍රතිකාර සඳහා ද මාමයිට් වැදගත් බව එහි සඳහන් ය.

මාමයිට්හි අඩංගු වන “විටමින් බී” රුධිරය හා දහදිය වෙත ගමන් කරයි. මදුරුවන් විටමින් බීවලට අකැමැති හෙයින් ඔවුන් එවන් අය වෙත ළඟා නොවන බව ඇතැමුන් සඳහන් කරයි. මේ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ මගින් කරුණු සනාථ කර නොමැත.

මාමයිට් හොදම රසිකාවිය ට්‍රේසි මැතිව්ස් - Walesonline.com
ට්‍රේසි මැතිව්ස් ලොව මාමයිට්වල හොඳ ම රසිකයා යි – www.walesonline.co.uk

මාමයිට්වල ලොකු ම රසිකයා 

 කාඩිෆ්හි  වාසය කරන 48 හැවිරිදි කාන්තාවක වන ට්‍රේසි මැතිව්ස් ලොව මාමයිට්වල හොඳ ම රසිකයා ලෙස හඳුන්වා තිබේ. මාමයිට් කෑන්, වෙළඳ දැන්වීම්, පෝස්ටර් සහ රූප ඇතුළු විශාල මතක එකතුවක් ඈ සතු ව පවතී. ඇය මේ සදහා පවුම් 15,000 ක් වැය කර ඇති බව පවසයි. ඇය තම ප්‍රියත ම ආහාරය වූ මාමයිට් සඳහා ම කැප වූ කෞතුකාගාරයක් විවෘත කිරීමට ද සැලසුම් කරයි.

ඇය ඒ පිළිබඳ මෙසේ අදහස් ප්‍රකාශ කරයි.

“මම මාමයිට්ට බොහෝ සේ ප්‍රිය කරන අතර, මගේ එකතුව ගැන මා ඇත්තෙන් ම සතුටු වෙනවා. මාමයිට් කෞතුකාගාරය විවෘත කිරීම සඳහා විශාල මුදලක් වැය වන නමුත් යම් දිනෙක මගේ සිහිනය යථාර්ථයක් වනු ඇතැයි මා ඇත්තෙන් ම බලාපොරොත්තු වනවා.

මාමයිට් නිෂ්පාදනවල ව්‍යාප්තිය

අද වනවිට බර්ටන්හි මාමයිට් නිෂ්පාදනාගාරය  වසරකට මාමයිට් ටොන් 6,000ක්  හා භාජන මිලියන 50ක් පමණ නිෂ්පාදනය කරයි. එයින් වැඩි ප්‍රමාණයක් දේශීය වශයෙන් පරිභෝජනය කෙරේ. මාමයිට් බ්‍රිතාන්‍යය වැසියන් අතර බෙහෙවින් ප්‍රසිද්ධියක් උසුලයි.

දකුණු අප්‍රිකානු  බේකින් කෝනර්වල  මාමයිට්-බටර්  සහ  ගාන ලද චීස් මිශ්‍ර කළ පැණිරස හා  රසවත් තේ කේක් ද ඉතා ජනප්‍රිය විය. ඊට අමතර ව, ප්‍රධාන කිරි නිෂ්පාදකයකු වන “ලාන්ස්වුඩ්”, මාමයිට් සමඟ එක් ව රසකාරක සහිත නැවුම් ෆුල් ක්‍රීම් චීස් ස්ප්‍රෙඩ් එකක් ද නිපදවී ය.

 චීස් ස්ට්‍රෝස්, ස්පැගටි, වෙජි බර්ගර් සමඟ මාමයිට් ආහාරයට ගැනීමට ද විදේශිකයන් බොහෝ ප්‍රිය කරයි.

ට්‍රේසි මැතිව්ස්ගේ මාමයිට් නිපැයුම් එකතුව – www.walesonline.co.uk

 

2011 වසරේ දී ඩෙන්මාර්කය මාමයිට් නිෂ්පාදන එරට තුළ තාවකාලිකව තහනම් කර තිබිණි. මාමයිට් නිෂ්පාදන ඩෙන්මාර්කයට ආනයනය කළ සමාගම බලපත්‍ර රහිත එකක් බවත් එම නිසා එම භාණ්ඩය විකිණීම නැවැත්වූ බවත් ඔවුන් හෙළි කළේය. කෙසේ වෙතත් පසුව 2014 වසරේ දී එම තහනම ඉවත් කළ බව සඳහන් වේ. නීති විරෝධී ආකලන අඩංගු බැවින් විකිණීම නතර කරන ලෙස නියෝගයක් මත  කැනඩාව තුළ ද මාමයිට් තහනමකට ලක්වූ බව වාර්තා වේ.

නව සංස්කරණ එළිදැක්වීම 

මාමයිට් ආයතනය වරින් වර ඔවුන්ගේ නව සංස්ක‍රණ එළි දක්වා තිබේ. මෙය මාමයිට් රසිකයන් ඔවුන් වෙත ආකර්ශනය කරගැනීමට දැරූ තවත් එක් උත්සාහයක් ලෙස හඳුන්වයි.

2002 දී මාමයිට් ඔවුන්ගේ 100 වන සංවත්සර වෙනුවෙන් විශේෂිත බඳුනක් එළි දැක්වී ය.

2007 පෙබරවාරි මාසයේදී මාර්මයිට් ගිනස් රසය පිළිබඳ සැලකිය යුතු ඉඟියක් ලබා දෙමින් සීමිත සංස්කරණයකින් යුත් “ගිනස් මාමයිට්” නිපදවී ය.

මාමායිට් අවුරුදු 100ක් සැපිරූ 2002 දී ලබා දුන් තෑගි කට්ටලය – www.worthpoint.com

 

2008 ජනවාරි මාසයේ දී ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් “ෂැම්පේන් මාමයිට්” නිකුත් විය. නිෂ්පාදනයේ වට්ටෝරුවට ෂැම්පේන් එකතු කර තිබූ අතර හදවතක් හැඩැති ලේබලයේ  “I Love You” ලෙස සඳහන් කර තිබිණි. වැලන්ටයින් දිනය සඳහා ක්‍රිකට් තේමාවෙන් යුත් “මාර්ස්ඩන්ගේ මාමයිට්” ද එළි දැක තිබූ අයුරු දැක ගත හැකි විය.

2012 ජුනි මාසයේදී රැජනගේ දියමන්ති ජුබිලිය සැමරීම නිමිත්තෙන් මාමයිට් සීමිත සංස්කරණයක් එළි දක්වා ඇයට සුදුසු උපහාරයක් පිදීමට තීරණය කළේ ය.

2013 දී මාමයිට් “Gold” නමින් උදෑසන ආහාරය සඳහා දීප්තියක් ගෙන ඒමට තීරණය කළේ ය.

 

2015 දී  ගිම්හානය පුරා සාමය, ආදරය සහ හිපි හැඟීම් (hippy vibes)  ඇතුළත් “ආදරයේ ගිම්හානය” ව්‍යාපාරය සඳහා මාමයිට් එහි “සුපිරි ඩූපර්” (super duper) සීමිත සංස්කරණ දෙකක් හඳුන්වා දුන්නේ ය. 

2018 දී මාමයිට් “පවුම් 1,500” ක් පමණ වටිනා රන් ආලේපිත බඳුනක්  නිර්මාණය කළේ ය. මාමයිට් හි මිල අධිකම භාජනය ලෙස සැලකෙන මෙම භාජනය කැරට් 18 ක රනින් යුතු වන අතර එහි බර ග්‍රෑම් 498 කි.

 ලන්ඩන් ටැක්සි සේවය ද මාමයිට් ද 2002 දී වසර 100 ක් සැපිරීය- Pinterest.com

 

ලෝක මාමයිට් දිනය 

පසුකාලීන ව මව්වරුන්ගේ දිනය, නත්තල් දිනය වැනි සුවිශේෂ අවස්ථා පදනම් කර ගනිමින් මාමයිට් ලේබල නොයෙක් ආකාරයට ගැළපෙන අයුරින් වෙනස්කම්  සිදු කර තිබිණි.

 අද වන විට වන විට තමාගේ හෝ වෙනත්  ඕනෑම අයකුගේ නමක් ඇතුළත් ව මාමයිට් නිෂ්පාදන ඇණවුම් කිරීමට මාමයිට් සමාගම  පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී තිබේ.

ලෝක මාමයිට් දිනය සැප්තැම්බර් මස 28 වන දිනට යෙදී තිබේ. මාමයිට්හි 100 වෙනි සංවත්සරය 2002 වර්ෂයේ දී යෙදී තිබුණු අතර ඉකුත් සැප්තැම්බර් 28 දින මාමායිට් ඔවුන්ගේ 119 වන සංවත්සරය සැමරී ය.

කවරයේ පින්තූරය: පවුම් 1,500 ක් වටිනා මාමයිට් රන් බඳුන - www.campaignlive.com

මූලාශ්‍ර:

unilever.co.uk

bbc.co.uk

theguardian.co.uk

walesonline.co.uk

delish.co.uk

independent.co.uk

Related Articles