2016 වසරේ දී ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කෙරෙනවා. නමුත් තවමත් ශ්‍රී ලංකාවට මදුරුවන් මඟින් බෝ වන තවත් භයානක වසංගතයක් වන ඩෙංගුවලින් ගැලවීමට හැකියාව ලැබී නෑ. 

 2019  වසරේ දී පමණක් ඩෙංගුයැ යි සැක කෙරෙන රෝගීන් 103, 924ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබෙනවා. ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. 

2018 හා 2019 වසරවල ඩෙංගු රෝගීන් වාර්තා වූ ආකාරය  (Sri Lanka Health Service)

ඩෙංගු ආසාදනයෙන් දින හතරක් හෝ හයක් තුළ රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා. ආරම්භයේ රෝග ලක්ෂණ ලෙස අධික උණ, හිසරදය, ඔක්කාරය, මාංශ පේශි හා සන්ධි වේදනාව මතු විය හැකි යි. බොහෝ අය දින දෙකේ සිට හත දක්වා කාලය තුළ සුවය ලබන අතර සමහරුන්ට එය ඩෙංගු රක්තපාත තත්ත්වය, හෝ කම්පන තත්ත්වය දක්වා වර්ධනය වීමක් විය හැකි යි. ඒවා අධික රුධිර වහනය හා, අනතුරුදායක ලෙස රුධිර පීඩනය හෙලීමට සමත්. 

ඩෙංගු සඳහා එන්නත් ක්‍රමයක් පවතින නමුත් එය නිර්දේශ කරනුයේ කලින් ඩෙංගු වැළඳුනු පුද්ගලයින්ට පමණක් වන අතර, සාමාන්‍යයෙන් රෝගය වැළැක්වීමේ ක්‍රම වැඩි අවධානයක් යොමු කරන්නේ රෝගවාහක Aedes aegypti මදුරුවා බෝවීම පාලනය සඳහා යි. 

චිකුන්ගුන්යා, සිකා, කහ උණ ​​හා ඩෙංගු වැනි රෝග පැතිරීමට වගකිව යුතු ප්‍රධාන වාහකයා වන Aedes aegypti මදුරුවා. (Wikimedia Commons)

ලංකාවේ ඩෙංගු පාලනය කිරීම සඳහා රජය විසින් වසර ගණනාවක් තිස්සේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් මෙහෙයවන නමුත් එය සාර්ථකත්වය පෙන්වන්නේ ඉතා අඩු වේගයකින්. 

ජෛවකෘමිනාශක භාවිතය 

ඩෙංගු මර්දනය සඳහා ගනු ලබන ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ලෙස විවිධ කෘත්‍රිම රසායනිකයන් භාවිතය හඳුන්වා දිය හැකියි. මේ මඟින් මදුරුවන් බෝ වීම අඩු කළ හැකි නමුත් එය කෙටි කාලීන විසඳුමක් පමණ යි. එසේම එය අනෙකුත් ජීවීන්ට අනතුරුදායක ප්‍රතිඵල ගෙන එන්නට ද සමත්.

ජෛවකෘමිනාශක ජීව විද්‍යාත්මක පාලනයේ සහා කෘමිනාශනයේ එකතුවක්. මෙහිදී බහුලව භාවිතා වන ජෛවකෘමිනාශකයක් ලෙස BTI (Bacillus thuringiensis israelensis) හඳුන්වා දිය හැකි යි. ස්වභාවිකව උත්පාදනය වන පාංශු බැක්ටීරියාවක් වන මෙයට ජලයේ සිටින මදුරු කීටයන් ඵලදායි ලෙස විනාශ කළ හැකියි. වතුරේ පාවෙන, සෙමින් නිදහස් වෙන කුඩා ගඩොල් ලෙස මිළට ගත හැකි මෙම බැක්ටීරියාව මදුරු පාලනය බොහෝ රටවල් විසින් භාවිතා කෙරෙනවා. 

මදුරු පාලනයට භාවිතා කරන අනෙකුත් ජෛවකෘමිනාශකයන් අතර pyriproxyfen හා methoprene වැනි තවත් රසායනිකයන් ද භාවිතා වෙනවා. මදුරුවන් වෙත හෝමෝන ලෙස බලපෑම් කරන ඒවා මඟින්, මදුරු කීටයන් වැඩුණු මදුරුවන් වීමේ ක්‍රියාවලිය වලක්වනු ලබනවා.

කියුබානු විශේෂඥයන්ගේ උපදස් අනුව ශ්‍රී ලංකාව පළමු වරට BTI බැක්ටීරියාව භාවිතා කරන්නේ 2010 වසරේ දී යි. කියුබාවේ Labiofam Pharmaceutical Biological Laboratories Enterprise ආයතනය විසින් එම රසායනිකයෙන් ලීටර් 30 000ක් ශ්‍රී ලංකාවට අලෙවි කර තිබෙනවා. ශ්‍රී ලංකාව එය යොදාගෙන තිබෙන්නේ නුවර නගරය ආශ්‍රිත ප්‍රදේශයට යි. 

ශ්‍රී ලංකාවේ තවමත් BTI භාවිතා කරනවා. නමුත් ඒ කුඩා පරිමාණයෙන්. 2018 වසරේ දී කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ BTI භාවිතය මඟින් මදුරුවන් බෝ වීම සැලකිය යුතු මට්ටමකින් අවම කර ඇති බව යි. 

කෙසේ වෙතත් සති 8කට පසුව එහි බලපෑම අවම වී මදුරු ගහණය සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බවත්, BTIහි ද අනෙකුත් රසායන ද්‍රව්‍යයන්ගේ මෙන්ම සක්‍රියභාවය යම් කාල සීමාවකට සීමා වන බවත් මේ ඔස්සේ සොයා ගන්නවා. BTI සිදු කරන්නේ මදුරුවන් මර්දනය සඳහා භාවිතා වන ප්‍රධාන උපක්‍රම සඳහා ආධාරක උපක්‍රමයක් ලෙස ක්‍රියා කිරීම පමණ යි. 

DDT වැනි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ධූමකරණය ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වෙනවා. මෙය මිනිසුන්ට හා අනෙකුත් සතුන්ට විෂ සහිත විය හැකි අතර මදුරුවන් බෝ කිරීම සඳහා කෙටිකාලීන විසඳුමක් පමණක් වේ. (CNN)

ඩ්‍රෝන භාවිතය 

ඩ්‍රෝන තාක්ෂණය සමග ඒකාබද්ධව BTI රසායනිකයන්ගෙන් වැඩිදුරටත් ප්‍රයෝජන ගැනීමට හැකියාව ලැබෙනවා. ළඟාවීමට අපහසු, එක තැන ජලය රැඳෙන තැන් මේ තාක්ෂණය ඔස්සේ හඳුනාගත හැකි වෙනවා. මේ ඔස්සේ ජලය රැඳී තිබෙන 

වහලවල්, උසින් වැඩි ජල ටැංකි වැනි දුරස්ථ හා දුෂ්කර ස්ථාන කරා ද ළඟා විය හැකියි.

එවැනි ස්ථානවල නිරුපද්‍රිතව බෝවන මදුරු වාසස්ථාන විනාශ කිරීමට රජයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මෙම තාක්ෂණය යොදා ගත හැකියි. 

මදුරු කීටයන් එකතැන පල්වෙන ජලයේ වැඩෙයි. එවැනි ස්ථාන සොයා ගැනීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීමෙන් BTI වැනි රසායනික වඩාත්  ඵලදායී ලෙස භාවිතා කළ හැකි යි. (Forbes Advocate)

වොල්බැකියා බැක්ටීරියාව

ලෝක මදුරු වැඩසටහන මඟින් මදුරු පාලනය උදෙසා වොල්බැකියා නම් නව බැක්ටීරියාවක් නියමු ව්‍යාපෘතියක් ඔස්සේ භාවිතා කිරීමට තීරණය වී තිබෙනවා. 

මෙය ඕස්ට්‍රේලියාවේ පළමු කොටම ක්‍රියාත්මක වී ඇති අතර, වසර 8ක් තිස්සේ නව පැතිරීමක් වාර්තා වී නැහැ. මේ වෙද්දී ඉන්දියාව ඇතුළු රටවල් 12ක මෙය ක්‍රියාත්මක යි. ලංකාවේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආධාර සපයන්නේ ඕස්ට්‍රේලියානු රජය යි.

කොළඹ, කොටහේන, හා නුගේගොඩ ආසන්න ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 25ක මෙම බැක්ටීරියාව ලබන මාර්තු දෙවැනිදා මුදා හැරීමට නියමිත යි. බැක්ටීරියාව පරිසරයට මුදාහැරීම පෙබරවාරි 17 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් පවතින කොරෝනා වයිරසයේ අවදානම මතුවීම හේතුවෙන් එය මාර්තු දක්වා කල් දැමීමට සිදු වී තිබෙනවා. 

කෘමීන්ගෙන් සියයට 60ක් තුළ ස්වභාවිකව ඇති වන බැක්ටීරියාවක් වන වොල්බැකියා රැගෙන යන මදුරුවන් පරිසරයට මුදා හැරීම මෙමඟින් සිදු කරන අතර, Aedes aegypti මදුරුවාට වොල්බැකියා බැක්ටීරියාව ඇතුළු කිරීමෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත කිරීමේ හැකියාව පාලනය  කළ හැකි වෙනවා.

වොල්බැකියා ශරීරගත වූ මදුරුවන් මුදා හරින ලොව අංක එකේ නගරය වනුයේ ඕස්ට්‍රේලියාවේ කේන්ස් වන අතර වසර අටක් තිස්සේ එම ප්‍රදේශයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වී නෑ.

බැක්ටීරියාව ඇතුළු කළ මදුරුවන් සති 12ක 20ක කාලයක් ගත වූවාට පසු නිදහස් කරයි. කාලයක් ගත වන විට වොල්බැකියා බැක්ටීරියාව ශරීරගත වූ මදුරුවන්ගේ ගහණය ඉහළ යෑමෙන් ඩෙංගු වෛරසය තිබෙන මදුරුවන් පරිසරය තුළ නැතිව යෑමක් සිදු වෙනවා. (World Mosquito Program)’

ජාන වෙනස් කිරීම

මදුරුවන් පැතිරීමේ අවදානම අඩු කිරීම සඳහා, ජානමය වශයෙන් වෙනස් කරන ලද මදුරුවන් නිපදවා පරිසරයට මුදාහැරීමට ඇති හැකියාව පිළිබඳව වැඩිදුර පර්යේෂණ මඟින් විමර්ශනය කර තිබෙනවා. ඒ අනුව ජෛව තාක්ෂණය මඟින් වඳ බවට පත්කළ, හෝ වෛරස වාහකයෙකු ලෙස ක්‍රියා කළ නොහැකි මදුරුවන් පරිසරයට මුදා හැරීම පිළිබඳ පරීක්ෂණ ලෝකයේ රට රටවල මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා. මෑතක දී එක්සත් ජනපදයේ එම වෙනස්කම් සිදු කළ  මදුරුවන් පරිසරයට එකතු කිරිමක් ද සිදු වුණා. 

මදුරුවාගේ ජානමය සැකැස්මේ වෙනස්කම් හරහා රෝගයට එරෙහිව සටන් කිරීම මේ ඔස්සේ සිදු වෙනවා. පර්යේෂකයින්ගේ උත්සාහය වන්නේ පිරිමි මදුරුවන්ගේ බෝ කිරීමේ ශක්තිය අහිමි වන ලෙස ජාන සැකසුම වෙනස් කිරීම යි. මෙහිදී ගැහැණු සතුන්ට අදාළ ජානය ලබාදෙන අතර, උන්ගේ බිත්තරවලින් බිහිවන සතුන් වඳබව ඇති සතුන් වනවා.