දන්නා දෙහි ගැන නොදන්නා තතු

මිනිසාට බොහෝ සෙයින් සමීප පලතුරක් ලෙස ‘දෙහි’ හැඳින්විය හැකි ය. මීට පෙර අප ඔබ වෙත ගෙන ආ මිනිසාට බොහෝ ප්‍රයෝජන ඇති පොල් ගස මෙන් ම දෙහි ගස ද අපට ඉතා වැදගත් ය. ඒ නිසා ම ග්‍රාමීය ප්‍රදේශවල පමණක් නොව නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාව ද තමන්ට අයත් සුළු හෝ ඉඩක දෙහි ගසක් වවා ගැනීමට උත්සහ කරයි.

ආහාර පිසීම සඳහා මෙන් ම රසවත් පානයක් ලෙස සකසා ගැනීමට ද දෙහි යුෂ භාවිත කළ හැක. ඊට අමතර ව පිරිසුදු කිරීමේ කටයුතු සඳහා, ආයුර්වේද වැනි වෛද්‍ය ප්‍රතිකාර සඳහා මෙන් ම ආගමික සහ සංස්කෘතික කටයුතු සඳහා ද දෙහි යොදා ගනී. මෙම ලිපිය දෙහි පිළිබඳ අසා නැති කෙනෙක් නොමැති තරම් වුවත් දෙහි පිළිබඳ වැඩි දෙනෙක් අසා නැති කරුණු කිහිපයක් පිළිබඳව යි.

දෙහි – www.espiritoxvi.com

සිංහල භාෂාවෙන් දෙහි ලෙසත්, ඉංග්‍රීසි භාෂාවෙන් ‘lime’ ලෙසත් හැඳින්වෙන දෙහි උපරිම අඟල් 2.5ක වැනි වට ප්‍රමාණයකින් යුතු පැඟිරි සහිත පලතුරකි. සාමාන්‍යයෙන් කොළ පැහැයෙන් යුතු දෙහි ඉදුණු පසු කහ පැහැයට හැරේ. අධික ඇඹුල් රසයකින් යුතු දෙහි යුෂවල විටමින් සී බහුල ව තිබේ.

ඉතිහාසය

දෙහි ඇතුළු බොහෝ පැඟිරි ශාකවල ආරම්භය සිදු වූයේ ඝර්ම කලාපිය අග්නිදිග සහ දකුණු ආසියානු කලාපවල බව බොහෝ දෙනකුගේ මතය යි. පසුකාලීන ව වෙළෙඳ සහ සංක්‍රමණික කටයුතු නිසා පැඟිරි ශාක වෙනත් රටවල්වලට ද ව්‍යාප්ත වී තිබේ. ඒ අතරින් ලොව පුරා ව්‍යාප්ත වූ මුල් ම පැඟිරි ශාකවලින් එකක් ලෙස අග්නිදිග ආසියාවට සහ දකුණු චීනයට ආවේණික දෙහි විශේෂයක් වන කෆීර් දෙහි (Citrus hystrix) හැඳින්විය හැකි ය. ඒවා මුලින් ම මයික්‍රොනීසියාවට සහ පොල්නීසියාවට ව්‍යාප්ත වූ බවත් පසුකාලීන ව මැද පෙරදිග රටවලට ව්‍යාප්ත වූ බවත් කියැවේ. විශේෂයෙන් ම ක්‍රිස්තු පුර්ව 1200 කාලයේ දී බොහෝ රටවල් කුළුබඩු වෙළෙඳාමේ නිරත වූ බැවින් ඒ හරහා දෙහි සහ අනිකුත් පැඟිරි ශාක බොහෝ රටවලට ව්‍යාප්ත වී තිබේ.

කෆීර් දෙහි – www.exotic-seeds.store

දෙහි ශාකය වැඩීමට අවශ්‍ය සාධක

දෙහි වගාවට වඩාත් සුදුසු දේශගුණ තත්ත්වය  වන්නේ උප නිවර්තන දේශගුණයයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට අඩු වීම දෙහි ශාකවලට අහිතකර තත්ත්වයක් විය හැක. අඩු වර්ෂාපතනයක් සහිත ප්‍රදේශවල දෙහි හොඳින් වැඩෙන අතර ආර්ද්‍රතාව වැඩි වීම හරහා දෙහි ශාකයට විවිධ රෝග තත්ත්වයන් වැලඳීමට ඉඩ තිබේ. පින්න සහ උණුසුම් සුළං නිසා දෙහි මල් සහ කුඩා පල හැලී යාම සිදු වේ. විවිධ වර්ගයේ පස් සහිත ප්‍රදේශවල දෙහි වගා කළ හැකි බව සොයා ගෙන තිබේ.

උද්භිද විද්‍යාත්මක වශයෙන් ඇති සංකීර්ණ බව

පැඟිරි කුලයට අයත් ශාකවල ඇති උද්භිද විද්‍යාත්මක ලක්ෂණ බොහෝ සෙයින් සංකීර්ණ වීම නිසා ලෝකයේ විවිධ රටවල ‘දෙහි’ ලෙස හඳුන්වන පැඟිරි ශාක විශේෂ එකිනෙකට වෙනස් ය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘නස් නාරං’ යනුවෙන් හඳුන්වන පැඟිරි පලතුර සමහර රටවල ‘lime’, යනුවෙන් හැඳින්වේ. කෙසේ වෙතත් මෑතකාලීන ව පැඟිරි කුලයේ ශාක පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් සිදු වෙමින් පවතින නිසා එකිනෙකට වෙනස් ආකාරයෙන් ඒ ඒ පැඟිරි ශාක හඳුනා ගැනීම මේ වන විට සිදු වේ.

දෙහි වගාවක් – www.agrifarming.in

බ්‍රිතාන්‍ය නාවිකයන්ට දීමනාවක් ලෙස දෙහි ලබා දීම

18 වැනි සියවසේ දී ජේම්ස් ලින්ඩ් නම් පුද්ගලයෙක් පැඟිරි සහිත පලතුරු යොදා ගෙන පිළියෙළ කර ගත් බීම පානය කිරීමෙන් විටමින් සී ඌණතාවට ප්‍රතිකාර කළ හැකි බව සොයා ගත්තේ ය. එම සොයා ගැනීමත් සමඟ බ්‍රිතාන්‍යයට අයත් සියලු ම නෞකාවල පැඟිරි සහිත පලතුරුවලින්, බොහෝ විට දෙහිවලින් සකසා ගත් බීම තබා ගැනීම අනිවාර්ය කර තිබේ.

19 වැනි සියවසේ දී විටමින් සී ඌණතාව ඇති වීම වැලැක්වීම සඳහා බ්‍රිතාන්‍ය නාවිකයන්ට දිනපතා ලෙමන් ගෙඩියක් දීමනාවක් ලෙස ලබා දුන් බවත් පසුව ලෙමන් වෙනුවට දෙහි ලබා දුන් බවත් කියැවේ. එකල බොහෝ රටවල නාවික සෙබළුන්ට සුලබ ව වැලඳෙන රෝග තත්ත්වයක් බවට විටමින් සී ඌණතාව පත්ව තිබිණි. ඒ නිසා දෙහි පරිභෝජනය තුළින් ඊට ප්‍රතිකාර කළ හැකි බව බ්‍රිතාන්‍ය නාවික හමුදාව රහසක් වශයෙන් තබාගෙන තිබේ. මේ හේතුව නිසා ම පසුකාලීන  ව බ්‍රිතාන්‍ය නාවික සෙබළුන් හැඳින්වීමට “Limey” යන අන්වර්ථ නාමය යොදා ගෙන තිබේ.

දෙහි යුෂ – www.hotel78maldives.com

දෙහිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ

අමු දෙහි ගෙඩියක ජලය, කාබෝහයිඩ්‍රේට, මේදය සහ ප්‍රෝටීන අඩංගු වන අතර සිට්‍රික් අම්ලය ද බහුල ය. දෙහි යුෂ ලීටරයක සිට්‍රික් ඇසිඩ් ග්‍රෑම් 47ක් පමණ අඩංගු වන අතර එය දොඩම් යුෂවල අඩංගු සිට්‍රික් ඇසිඩ් ප්‍රමාණය මෙන් පස් ගුණයකි.

ප්‍රයෝජන/ ආහාර සම්බන්ධ කරුණු

ලෙමන්වල අන්තර්ගත සීනි සහ අම්ල ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෙහිවල අන්තර්ගත වන බැවින් විවිධ බීම වර්ග සැකසීම සඳහා දෙහි යොදා ගනී. අවශ්‍ය නම් දෙහි යුෂ මිරිකා ඊට ජලය එකතු කර දෙහි බීමක් සකසා ගත හැකි අතර වර්තමානය වන විට බෝතල් කළ දෙහි බීම ද වෙළෙඳපොළේ තිබේ. විවිධ කොක්ටේල් වර්ග පිළියෙළ කර ගැනීමට ද දෙහි යුෂ භාවිත කරයි.

කොක්ටේල් සඳහා දෙහි යොදා ගනී – www.matitlement.com

දෙහි, ලුණු සහ මිරිස් වැනි කුළුබඩු වර්ග යොදා සකස් කර ගන්නා ‘ලුණුදෙහි’ පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍යය වන්නේ ද දෙහි යි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල ලුණුදෙහි වඩාත් ප්‍රචලිත ය. එහිදී වෙන් නොවන ආකාරයෙන් කොටස් හතරකට කපා ගත් දෙහි තුළට ලුණු කැට දමා අව්වේ වියළා ගනියි. පසුව ඒවා මිරිස්, ලුණු සහ කුළුබඩු වර්ග යෙදූ දෙහි යුෂවලින් පිස ගනී.

ලුණුදෙහි සකසන අයුරු – www.exploresrilanka.lk

ආහාර පිසීමේ දී රස කාරකයක් ලෙස දෙහි එකතු කරන්නේ එහි ඇති ආම්ලික බව සහ සුවඳ නිසා ය. මෙක්සිකෝව, වියට්නාමය, ඉන්දියාව සහ තායිලන්තය වැනි රටවල ආහාර පිසීම සඳහා නැතුව ම බැරි රසකාරකයක් ලෙස දෙහි හැඳින්විය හැකි ය. ශ්‍රී ලංකාවේ ද, ඕනෑම කෙනකු ප්‍රිය කරන ‘පොල් සම්බල’ සහ ‘කට්ට සම්බල’ පිළියෙළ කර ගැනීමේ දී අනිවාර්යෙන් ම දෙහි එකතු කරයි. පර්සියාව, ඉරාකය සහ මැදපෙරදිග රටවල ‘black lime හෝ  limoo’ යනුවෙන් හඳුන්වන වියළා ගත් දෙහි ආහාර රස ගැන්විම සඳහා යොදා ගනී. දෙහි පොතු ද ආහාර රසකාරකයක් ලෙස භාවිත වේ.

ලුණුදෙහි – www.exploresrilanka.lk

වෙනත් ප්‍රයෝජන

දෙහි සාරය සහ දෙහි ශාකයේ පත්‍ර භාවිත කර සකස් කරගන්නා තෙල් වර්ග සුවඳ විලවුන් වර්ග සහ පිරිසුදුකාරක නිෂ්පාදනය සඳහා ද යොදා ගනී. ඊට අමතර ව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල ප්‍රචලිත දේශීය වෛද්‍ය ක්‍රමවල එන ප්‍රතිකාර ක්‍රම සඳහා ද දෙහි යොදා ගනී. ශ්‍රී ලංකාව තුළ විවිධ යන්ත්‍ර මන්ත්‍ර සහ ගුරුකම් වැනි දේ සඳහා ද දෙහි යොදා ගනී. දෙහි කැපීම ඒ අතරින් ප්‍රධාන වේ.

ගෝලීය දෙහි නිෂ්පාදනය

ලෝකයේ සමස්ත වාර්ෂික දෙහි නිෂ්පාදනය ආසන්න වශයෙන් ටොන් මිලියන 20ක් බව ගණන් බලා තිබේ. ඒ අතරින් ප්‍රමුඛ පෙලේ දෙහි වගා කරන රටවල් ලෙස ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව, චීනය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ තුර්කිය හැඳින්විය හැකි ය. 

කවරයේ ඡායාරූපය - දෙහි ශාකයක් - www.britannica.com

මූලාශ්‍ර:

www.britannica.com

www.webmd.com

www.uscitrus.com

www.healthline.com

Related Articles