අර්තවහරණයෙන් පසුව ඇති වන රුධිර වහනය සැලකිය යුතු තරම් පිරිසක් කාන්තාවන්ට මුහුණ දීමට සිදු වන තත්ත්වයකි. නමුත් නොසැලකිල්ල නිසා හෝ කාන්තා රෝග පිළිබඳව සාකච්ඡාව ගැන සමාජයේ ඇති පසුගාමී ආකල්පයන් නිසා නිසි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන ප්‍රමානය අල්ප ය.

ගැහැනු ළමයෙකු වැඩි විය පැමිණීමත් සමග ආරම්භ වන ආර්තව චක්‍රය ගර්භනී සමයේ දී හැරුනු කොට අර්තවහරණ දක්වාම චක්‍රීයව ක්‍රියාත්මක වේ. මොළයේ හයිපොතැලමස් ග්‍රන්ථිය සහ පිටියුටරි ග්‍රන්ථිය මඟින් ශ්‍රාවය කරන FSH සහ LH හෝර්මෝන මඟින් ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය, ඩිම්බ පිටවීම සහ ඩිම්බ කෝෂ මඟින් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන ස්‍රාවය වීම යාමනය කරයි. මෙම හෝර්මෝනවල රුධිරයේ ඇති මට්ටම අනුව චක්‍රයේ දින වෙනස් වන අතර එමඟින් ගැබ් ගැනීමක් සදහා ගර්භාෂයේ ඇතුල් බිත්තිය සූදානම් කරවයි. නමුත් ඔසප් චක්‍රය අතරතුර දී ගැබ් ගැනීමක් සිදු නොවුන හොත් ගර්භාෂයේ ඇතුල් බිත්තිය බිඳ වැටීම රුධිර වහනයට හේතුව වේ. සාමාන්‍යයෙන් මාසික ඔසප් චක්‍රය දින 28කින් යුක්ත ලෙස සලකන නමුත් එය කාන්තාවගෙන් කාන්තාවට වෙනස් විය හැකිය. වැඩිවිය පැමිනීමත් සමග ඇති වන මාසික චක්‍රවල අවිධිමත් ස්වභාවයක් ඇති විය හැකි නමුත් එය සාමාන්‍ය සංසිද්ධියක් වේ. ඊට හේතු වන්නෙ මුල් කාලයේ ඇතිවන චක්‍රවල ඩිම්බ පිට වීමක් සිදු නොවීම යි. 

අර්තවහරණය ඇති වීමට පෙරත් බොහෝ විට ඔසප් චක්‍රයේ අක්‍රමවත් වීමක් දකින්නට ලැබෙන අතර බොහෝ කාන්තාවන් එය ආර්තවහරණයෙන් පසු ඇති වන ලේ ගැලීමක් ලෙස හඳුනාගන්නා අවස්ථා ද ඇත. නමුත් අර්තවහරණයෙන් පසුව ඇති වන ලේ ගැලීම ගර්භාෂයේ ඇතුල් බිත්තියේ ඇතිවන පිළිකා තත්ත්වයක හෝ ගැබ් ගෙල පිළිකාවක මුල් රෝග ලක්ෂණයක් විය හැක. ශ්‍රී ලංකාවේ ගර්භාෂ පිළිකා ප්‍රවනතාව සෑම කාන්තාවන් 100000කට 7ක් පමන වන අතර ගැබ් ගෙල පිළිකා අවදානම 100000කට 13ක් වේ. එබැවින් ප්‍රසව හා නාරිවේද සායනයකට යොමු වී යෝනි මාර්ගයික පරීක්ෂාවක් (speculum examination) හා අතිධ්වනි තරංග ස්කෑන් පරීක්ෂණයක් (Ultrasound scan of the pelvis and abdomen) කිරීම වැදගත් ය.

ගර්භාෂයේ මස්දළු

අර්තවහරණයෙන් පසුව ඇති වන ලේ ගැලීම හේතු කීපයක් නිසා ඇති විය හැකිය. වඩාත්ම බහුලව දකින්නට ලැබෙන හේතුව වන්නෙ, අර්තවහරණය සමග ඇතිවන හෝර්මෝන වෙනස්කම් නිසා යෝනි මාර්ගයේ බිත්තිය තුනී වීම/ වියළීම යි. මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතර ඊස්ට්‍රජන් හෝර්මෝනය සහිත ක්‍රීම් වර්ගයක් යෝනි බිත්තිය ආශ්‍රිතව භාවිතා කිරීම ප්‍රමානවත් වේ. ගර්භාෂයේ ඇතුල් බිත්තියේ සහ ගැබ් ගෙලෙහි ඇති වන මස් දලු තවත් බහුලව දකින්නට ඇති තත්ත්වයකි. ගැබ් ගෙලෙහි පවතින මස් දලු යෝනි මාර්ගයික පරීක්ෂාවක් මඟින් හදුනාගත හැකි අතර, පැහැදිලිව පෙනෙන මස් දලු ශල්‍ය අඩුවක් මඟින් ඉවත් කළ හැකිය. ඉන් පසුව සෛල පරීක්ෂාවක් මඟින් පිළිකාකාරක තත්ත්වයක් නැති බවට තහවුරු කරගනු ලැබේ. ගර්භාෂයේ ඇතුල් බිත්තියේ ඇති මස් දලු අතිධ්වනි තරංග පරීක්ෂාවක් මඟින් හඳුනා ගත හැකි අතර ශල්‍යකර්මයක් මඟින් ඉවත් කළ හැකිය. පටක කොටස් සෛල වශයෙන් පරීක්ෂණයට භාජනය කර පිළිකා තත්ත්වයක් නැති බව සනාත කරගත හැකිය.

ගැබ් ගෙල පිළිකා තත්ත්වයන් හේතුවෙන් ද ආර්තවහරණයෙන් පසු ලේ ගැලීම ඇති විය හැක. ලිංගික සංසර්ගයෙන් පසුව ලේ ගැලීම මෙවැනි රෝගීන් අතර බහුල රෝග ලක්ෂණයකි. යෝනි මාර්ගයික පරීක්ෂාවක දී ගැබ් ගෙල පිළිකා තත්ත්ව අසාමාන්‍ය වර්ධනයක් ලෙස හෝ ගැබ් ගෙලේ රතු වීමක් ලෙස හෝ දකින්නට ලැබේ. බයොප්සි පරීක්ෂාවක් මඟින් එම සැක සහිත කොටසින් පටක සම්පලයක් සෛල මට්ටමේ පරීක්ශනයක් සඳහා යොමු කිරීමෙන් පසුව ගැබ් ගෙල පිළිකා තත්ත්වයක් බවට අනාවරණය වුවහොත්. ප්‍රතිකාර සැලැස්ම පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය කන්ඩායමක් සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කන්ඩායම එක්ව තීරණය කෙරේ. එය පිළිකාවේ පැතිරීම, පිළිකා සෛලවල විශේෂණය වීමේ මට්ටම සහ රෝගියාගේ සෞඛ්‍ය මට්ටම මත රඳා පවතී. මීට අමතරව විශේෂ ප්‍රතිකාර ලෙස විකිරණ චිකිත්සාව (Radiotherapy) හෝ රසායනික චිකිත්සාව (chemotherapy) නියම කරන අවස්ථාවන් ද ඇත.

ගැබ්ගෙල පිළිකාවක්

ගර්භාෂයේ ඇතුල් බිත්තිය ඝනකම් වීම ද අර්තවහරණයෙන් පසුව ඇති වන ලේ ගැලීමට හේතු විය හැකිය. අතිධ්වනි තරංග ස්කෑන් පරීක්ශනයක් මඟින් විමසා බැලීමේ දී ගර්භාෂයේ ඇතුල් බිත්තිය සෙන්ටිමීටර 3ට වඩා ඝනකමින් යුක්ත වේ නම් සරල පටක සාම්පල පරීක්ෂාවක් සිදු කරනු ලැබේ. මේ සදහා සිහි නැති කිරීමක් හෝ හිරි වැට්ටවීමක් අවශ්‍ය නොවන අතර ගැබ් ගෙල හරහා ඇතුල් කරන ඉතා සිහින් ප්ලාස්ටික් බටයක් මඟින් සීරීමෙන් ගර්භාෂයේ ඇතුල් බිත්තියෙ පටක කොටස් එකතු කර ගනු ලැබේ. නමුත් ඉහත ක්‍රමය අසාර්ථක වුවහොත් ශල්‍යකර්මයක් මඟින් ද පටක සාම්පල ලබා ගත හැකිය. එම පටක සාම්පල සෛල වශයෙන් පරීක්ෂණය කරන අතර එහිදී එම සෛල සාමාන්‍ය ගර්භාෂයේ ඇතුල්බිත්ති සෛල ලෙස සනාත වන්නෙ නම් හෝර්මෝන සහිත ලූපයක් ගර්භාෂයේ තැන්පත් කිරීම ප්‍රතිකර්මය ලෙස බහුලව භාවිත වේ.

 ඝන ගර්භාෂ බිත්තිය

සමහර අවස්තාවල දී ගර්භාෂයේ ඇතුල් බිත්තියේ සෛලවල, අනාගතයේ දී පිළිකා තත්ත්වයක් බවට වර්ධනය විය හැකි නමුත් වර්තමානයේ පිළිකා තත්තවය නොවන මට්ට්ටමේ පූර්ව පිළිකා වෙනස්වීම දකින්නට පිලිවන. මේවා පිළිකා තත්ත්වයක් බවට පත් වීමේ අවදානම ඉතාම ඉහළ බැවින් ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ඉවත් කිරීමේ සැත්කම නිර්දේශ කරන නමුත් එය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කන්ඩායමක විසින් රෝගියාගෙන් රෝගියාට අනුකූලව තීරණය කරනු ලැබේ.

නමුත් පරීක්ෂණයට භාජනය කළ සෛල, පිළිකා සෛල ලෙස හඳුනා ගතහොත් ප්‍රතිකර්මය වන්නේ ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ඉවත් කිරීමේ සැත්කම යි. ඊට අමතරව පිළිකාවේ පැතිරීම සලකා බලා වසා ගැටිති ඉවත් කිරීම හෝ අතුනුබහන්වල කොටස් ඉවත් කිරීම සිදු කළ හැකිය. එසේම විශේෂ ප්‍රතිකාර ලෙස විකිරණ චිකිත්සාව හෝ රසායනික චිකිත්සාව නියම කරන අවස්ථා ද ඇත. කෙසේ නමුත් සැත්කමක් තීරණය කිරීමේ දී හා වැඩිදුර ප්‍රතිකාර සැලස්මක් සකස් කිරීමේ දී නිර්වින්දන විශේෂඥ වෛද්‍ය උපදෙස් සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් සැලකිල්ලට ගනී.

ඔබටත් ආර්තවහරණයෙන් පසුව ඇති වන ලේ ගැලීම් තත්ත්වයක් පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ නාරි වේද සායනයකට යොමූ වීම වැදගත් ය.

පටක සාම්පල පරීක්ෂාව

Cover image: The Nurtured Womb