Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මංකොල්ලකරුට පෙම් බඳින, “ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය”

ඒ, 1973 වසරේ අගෝස්තු මස 23 වනදා යි. ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වැසියන් සුපුරුදු ලෙසින්ම තමන්ගේ රාජකාරි සඳහා යුහුසුළුව වීදි පුරා ඇවිදයනු දැකගත හැකිවිය. නොර්මාල්ස්ටෝර්ග් චතුරශ්‍රයේ පිහිටි ස්වෙරියස් ක්‍රෙඩිට්බන්කන් (Sveriges Kreditbanken) බැංකුව යනු වෙනත් බැංකු මෙන්ම දිනපතා ගණුදෙනුකරුවන් විශාල ප්‍රමාණයක් යන එන, ඉහළ වටිනාකමකින් යුතු මුදල් ගණුදෙනු සිදුවන බැංකුවකි. හොඳින් සිරුර ආවරණය වන ජැකට්ටුවක් හැඳි පුද්ගලයෙකු වීදිය ඔස්සේ ඇවිදවිත්, මෙසේ විවිධ තරාතිරමේ පුද්ගලයන් නිතර ගැවසෙන බැංකුවට ඇතුළු විය. මෙය ඉතා සාමාන්‍ය සිදුවීමක් බැවින් කවුරුත් ඔහුට අවධානය යොමුකළේ නැත. නමුත් එය සාමාන්‍ය සිදුවීමක්ව පැවතුනේ සුළු වේලාවකට පමණි. සාමාන්‍ය ගමනින් බැංකුවට පැමිණි ජැකට්කාරයා, ජැකට්ටුව තුළ සඟවාගෙන සිටි තුවක්කුවක් එළියට ඇද ඉහළට වෙඩි කීපයක් තබා, “the party starts!” (සොමිය පටන්ගත්තා!) ලෙස කෑගසමින් බැංකුව තම අණසකට නතු කර ගත්තේ ය. මීට ඉහත දී ද මංකොල්ලයක් සිදුකිරීමේ වරදකට හිරේ විලංගුවේ වැටී සිටි තැනැත්තෙකු වූ ජෑන්-එරික් ඔල්සන්ගේ අභිලාෂය වූයේ බැංකුව කොල්ලකා හෝ ධන කුවේරයෙකු වීම ය.

වත්මන් ස්වේරිජස් ක්‍රෙඩිට්බැන්කන් බැංකුව
 වත්මන් ස්වෙරියස් ක්‍රෙඩිට්බැන්කන් බැංකුව/atlasobscura.com

 

මංකොල්ලකරුගේ ඉල්ලීම

බැංකු නිලධාරීන් සිව්දෙනෙකු තමන්ගේ ප්‍රාණ ඇපයට ගත් ඔල්සන්ගේ ඉල්ලීම් වූයේ, ඔහු පෙර හිරේ විලංගුවේ සිටිය දී දැන හඳුනාගත්, පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ වරදකට තවමත් හිරේ සිටින, “ක්ලාක් ඔලොෆ්සන්”ගේ නිදහසත්, කොල්ලකාගත් මුදල් සමග ආරක්ෂිතව පලායාමට මෝටර් රථයක්‍ ලබා දෙන ලෙසත් ය. මේ ඉල්ලීම් අනුව නොපමාව ක්ලාක් ඔලොෆ්සන් ද බැංකුව වෙත රැගෙන එනු ලැබූ අතර, ඔහු එරික් ඔල්සන් සමග එකතු විය. නමුත් තමන් පිටවීමේ දී ප්‍රාණ ඇපයට ගත් නිලධාරීන් කීපදෙනෙකු ද රැගෙන යාමට අවශ්‍ය බවට කළ ඉල්ලීම්වලට පොලීසිය අකමැති වීම නිසා දිගටම ප්‍රාණ ඇපකරුවන් ද රඳවාගෙන බැංකුව තුළම රැඳී සිටීමට ඔවුනට සිදුවිය.

බැංකුව වටා රැකවල් ලා සිටි පොලිස් ස්නයිපර්කරුවන් හා ඡායාරූප ශිල්පියෙක්/time.com

 

දින හයක් ප්‍රාණ ඇපකරුවන් බැංකුව තුළම

ඕල්සන් සහ ඔලොෆ්සන් ප්‍රාණ ඇපකරුවන් ලෙස කාන්තා බැංකු නිලධාරිනියන් තිදෙනෙකු සහ එක් පිරිමි නිලධාරියෙකු දින 6ක් පුරා සිය ග්‍රහණයේ තබාගත්තෝ ය. බ්‍රිජිටා ලුන්ඩ්බ්ලැඩ්, එලිසබෙත් ඕල්ඩ්ග්‍රන්, ක්‍රිස්ටින් එන්මාක්, හා ස්වෙන් සැෆ්ස්ට්‍රම් මෙසේ ප්‍රාණ ඇපයට පත් නිලධාරීන්‍ ය. මේ මුළු කාලය පුරාවටම  පොලීසියෙන් බැංකුව වටලා රැඳී සිටි අතර, ප්‍රාණ ඇපකරුවන් බැංකුවේ සේප්පු කාමරය තුළ රඳවා තබාගැනීමට ඔල්සන් හා ඔලොෆ්සන් ක්‍රියා කළෝ ය. මේ කාලය අතරතුර සිදුවූයේ අමුතු දෙයකි. මංකොල්ලකරුවන් තමන් වෙත දැක්වූ සැලකිලි නිසා ප්‍රාණ ඇපකරුවන්ගේ හිත් තුළ ඔල්සන් හා ඔලොෆ්සන් කෙරෙහි අමුතු ආකාරයේ බැඳීමක් ඇතිවිය.

රඳවාගෙන සිටි කාලය තුළ වරෙක ප්‍රාණ බිය හේතුකොට ක්‍රිස්ටින් එන්මාක් වෙව්ලීමට පටන්ගත් විට ඔල්සන් ඇයගේ දෙවුර වටා ලෝම ජැකට්ටුවක් දමා තිබේ. ඇය සිහිනෙන් බියවූ අවස්ථාවක ඇගේ බිය නැතිකිරීම සඳහා තුවක්කුවෙන් ගත් පතුරමක් ඇය අත තබා ඇති බව ද කියැවේ. එසේම, තම පවුලේ උදවියට තමා ගැන ආරංචියක් ලබාදීමට නොහැකිවීම නිසා කනස්සල්ලට පත්ව සිටි බ්‍රිජිටාගේ සිත ධෛර්යමත්ව තබා ගැනීමටත් කොල්ලකරුවන් සහාය වී තිබේ. එපමණක් නොව, කුඩා ඉඩක සිටීම ගැන භීතියෙන් පෙළුණු එලිසබෙත් හට, බඳ වටා ගැටගැසූ ලණුවක් සහිතව ඔවුන් සිරකර සිටි සේප්පු කාමරයෙන් පිටත සුළු වේලාවක් ඇවිදීමේ අවස්ථාව ද ඕල්සන් විසින් ලබාදී ඇත.

ප්‍රාණ ඇපයට පත්  සිව්දෙනා
ප්‍රාණ ඇපයට පත් සිව්දෙනා/Bettmann – Getty Images

ඉතා යහපත් කොල්ලකරුවන්

ප්‍රාණ ඇපයට ගැනීමෙන් දෙවන දිනයේ දී, ප්‍රාණ ඇපකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරික්සීමට අවස්ථාව ලත් උසස් පොලිස් නිලධාරියෙකු නිරීක්ෂණය කළේ, ප්‍රාණ ඇපකරුවන් තමන් ග්‍රහණයේ තබාගෙන සිටින්නන්ගේ මුල් නම්වලින් ඔවුන ඇමතීමට තරම් දෙපිරිස අතර කුළුපගකමක් ඇති වී බව යි. එය ප්‍රාණ ඇපකරුවන් හොඳ සුවෙන් සිටිනා බවක සේයාවකි. එසේම ස්වීඩන අගමැති දුරකථනයෙන් ප්‍රාණ ඇපකරුවන්ගේ සුවදුක් විමසූ අවස්ථාවක ක්‍රිස්ටීන් එන්මාක් කියා සිටියේ, ඇය ඔල්සන් හා ඔලොෆ්සන් තරයේ විශ්වාස කරන බවත්, මේතාක් ඔවුන් තමන්ට කිසි හිරිහැරයක් නොකළ බවත්, පොලීසිය ප්‍රහාර එල්ලකළොත් තමන්ගේ ජීවිත හානි විය හැකි බවත් ය. එසේම තමන්ට ද ඔවුන් හා යාමට අවසර දෙන ලෙස ඇය ඉල්ලා ඇත. වරක් පොලීසිය පසු බැස්සවීම සඳහා ප්‍රාණ ඇපකරු ස්වෙන්ගේ කකුලට වෙඩි තබන බවට ඕල්සන් කළ තර්ජනයක් පිළිබඳව පසුකලක අදහස් දැක්වූ ස්වෙන් පවසා සිටියේ, තමාගේ කකුලකට පමණක් වෙඩි තබන බව පැවසීම කෙතරම් කරුණාවන්ත කමක්දැ යි කියා ය.

දින හයකට පසු පොලීසිය බැංකුවට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර, ඒ අවසරයෙන් ප්‍රාණ ඇපකරුවන්ට බේරී පළාඑන ලෙස දැන්වූවත් ඔවුන් ප්‍රකාශ කළේ ඔලොෆ්සන් හා ඔල්සන්ට පළමුව බේරී යාමට ඉඩ දෙන ලෙස යි. පොලීසිය ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා විට, ඔවුන්ට රිදවීමෙන් වලකින ලෙස පවා ප්‍රාණ ඇපකරුවන් ඉල්ලා ඇති අතර, ඔවුන් හිරේ සිටින කාලය තුළ සිරකරුවන්ගේ සැපදුක බැලීමට පවා පැමිණ තිබේ.

කඳුළු ගෑස් ප්‍රහාරයකින් පසු පොලිස් අත් අඩංගුවට පත් ජෑන්-එරික් ඔල්සන්
කඳුළු ගෑස් ප්‍රහාරයකින් පසු පොලිස් අත් අඩංගුවට පත් ජෑන්-එරික් ඕල්සන්/history.com

අමුතු මානසික ප්‍රතිචාරයක්

මෙම සිදුවීම අධ්‍යනයත් සමග, මිනිස් මනස තුළ ගොඩනැගෙන මීට සමාන සංසිද්ධි “ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය” ලෙස හැඳින්වීමට ලෝකය හුරුවිය. මූලික වශයෙන්, පීඩිතයෙකු (හෝ ප්‍රාණ ඇපකරුවෙකු) තමාව පීඩාවට පත්කරන, බලයෙන් ග්‍රහණයට හෝ අණසකට යටත් කරගෙන සිටින පුද්ගලයා ඒ අවස්ථාවේ දී තමා වෙත දක්වන කුඩා හෝ යහපත් සැලකීමක් ඉතා වැදගත්කොට හඳුනාගෙන, ඒ තැනැත්තා කෙරේ බැඳීමක් ඇතිකර ගනී. මෙය බොහෝවිට පැහැරගැනීමට ලක්වූවන් හෝ ප්‍රාණ ඇපකරුවන් දක්වන මානසික ප්‍රතිචාරයක් ලෙස මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන අතර, ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයෙකු තමන්ගේ අපයෝජකයින් සමග ධනාත්මක සම්බන්ධතාක් වර්ධනය කරගනියි.

ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය යනු වහල්භාවයට සමාන දුර්ලභ මානසික ප්‍රතිචාරයකි. පැහැරගැනීමට ලක්වීම වැනි අතිශය අන්තරාදායක අවස්ථාවන්හි දී යමෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවදානමට ලක්ව ඇති බව හැඟෙන විට, එය දරාගැනීමේ යාන්ත්‍රණයක් ලෙස තමන් අල්ලාගත් තැනැත්තා කෙරෙහි ධනාත්මක හැඟීම් වර්ධනය විය හැකිය.

ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය මානසික රෝගයක් හෝ ආබාධයක් ලෙස නිල වශයෙන් හඳුනා නොගත්ත ද, අපයෝජනයට ලක්වූ, ජාවාරම් කළ හෝ පැහැරගත් පුද්ගලයින් එය අත්විඳිය හැකිය. ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයින් කාංසාව, මානසික අවපීඩනය හෝ PTSD වැනි රෝග ලක්ෂණ අත්විඳිය හැකිය. නිසි ප්‍රතිකාර කිරීමෙන් එවැනි පුද්ගලයෙකුගේ මානසික ප්‍රකෘතිය වැඩි දියුණුකර, ස්ටොක්හෝම් තත්ත්වයෙන් මිදී ඉදිරි ජීවිතය හොඳින් පවත්වාගැනීමේ අවස්ථාව ඇත.

Featured Image- Youtube - bitividi 

References:

Namnyak, M., Tufton, N., Szekely, R., Toal, M., Worboys, S. and Sampson, E.L., 2008. ‘Stockholm syndrome’: psychiatric diagnosis or urban myth?. Acta Psychiatrica Scandinavica117(1), pp.4-11.

https://time.com/5874808/stockholm-syndrome-history/

BBC

Related Articles