මොකක්ද මේ මනස ලෙඩ කරන O.C.D

“අර ළමයට මොකක් වෙලාද අච්චර අරහෙම අත හෝදන්නේ?”

ඇතැම් විට ඔබත් මෙසේ පවසා ඇති නැත්නම් අසා ඇති. ඇත්තෙන් ම එසේ වන්නේ ඇයි?

ඇත්තෙන් ම මෙය සුළු මානසික රෝගයක්. මෙය මනෝවිද්‍යාවේදී ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමිකතාව (Obsessive Compulsive Disorder – OCD) නැත්නම් ග්‍රස්ථිය නියුරෝෂියාව ලෙස හඳුන්වයි. මෙම රෝගී තත්වයේ ප්‍රධානත ම රෝග ලක්ෂණය වන්නේ එක ම කාර්යය අනවශ්‍ය ලෙස කිහිපවරක් පුනපුනා කිරීම යි. මෙම රෝගී තත්ත්වයේ දී සිතට ඇතුළු වන සිතිවිලි ප්‍රියජනක නොවන අතර එම සිතිවිලිවලින් මිදීමට හැකියාවක් නැතිමුත් එම සිතිවිලි උදාසීන කර ගැනීම සදහා විවිධ ක්‍රියාකාරම්හි මේ අය අධික ලෙස නියැළෙති.

O.C.D චක්‍රය - https://louisvilleocdclinic.com
O.C.D චක්‍රය – louisvilleocdclinic.com

O.C.D ප්‍රධාන ව කොටස් දෙකක් ඔස්සේ සිදුවේ.

එනම්,

  1. කරදරකාරී සිතිවිලි ඇති වීම. (Obsessions)

මෙසේ ඇති වන කරදරකාරී සිතිවිලිවල අන්තර්ගතය පුළුල් ලෙස වෙනස් විය හැක, නමුත් පොදුවේ ඇති වන සිතිවිලි කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

  • අපිරිසුදුකමට හෝ අපිරිසිදු වීමට ඇති බිය.

  • අසාමාන්‍ය පිළිවෙළ. (Over Neatness)

  • වැරදීමකින් තමන්ට හෝ අන් අයට හානියක් වේ යැයි ඇති බිය. (උදා: – හීටරය ක්‍රියාත්මක කිරීම නිසා නිවස ගිනි ගනී යැයි බිය.)

  • සාමාජීය වශයෙන් සිදු නො කළ යුතු ක්‍රියාකාරම් සිදු කිරීමට සිත් වීම. (උදා: – ප්‍රසිද්ධ ස්ථානයකට ගොස් හයියෙන් කෑ ගැසීම.)

  • අනවශ්‍ය දේවල් පිළිබඳව සිතීම. (උදා: – අහසේ අග කොහෙද?)

  • සමාජීය වශයෙන් පිළිගත නොහැකි ලිංගික සිතිවිලි.

  • ප්‍රචණ්ඩකාරී සහ වරදකාරී සිතිවිලි.

O.C.D අක්‍රමිකතාවයේ දී ඇති වන සිතුවිලි - https://hopecareindia.com
O.C.D අක්‍රමිකතාවයේ දී ඇති වන සිතිවිලි – hopecareindia.com

සිතිවිලිවලට අනුරූපගත ව ඇති වන ක්‍රියාකාරකම් (Compulsions)

මෙහිදී සිදුවන්නේ ඇතිවන කරදරකාරී සිතිවිලි අඩු කිරීමට හෝ වළක්වා ගැනීමට දරන වෑයමකි. එසේ ඇති වන සිතිවිලි උදාසීන වන තෙක් ම කිහිපවරක් එම ක්‍රියාකාරකම්වල අධික ව මේ අය නිරත වේ. එසේ O.C.D වැලඳුණු පුද්ගලයෙක් සිදු කරන පොදු ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වේ.

  • තම දෑත්, දෙපා සහ බඩුමුට්ටු නිතර සේදීම.

  • නිශ්චිත අනුපිළිවෙළක් ඔස්සේ ක්‍රමානුකූලව ආහාර ගැනීම.

  • තමන් අන් අයකුට හානියක් කර නොමැති බව පරීක්ෂා කිරීම.

  • වසා ඇති දොරවල්, අගුළු සහ උදුන් වැනි ඇතැම් දේවල් නැවත නැවත ගොස් පරික්ෂා කිරීම.

  • යම් කාර්යයක නිරත වන අතර වාරයේ ගණන් කිරීම හෝ යාච්ඤා කිරීම හෝ එකම වචනයක් පුනපුනා උච්චාරණය කිරීම.

  • තමා ආදරය කරන පුද්ගලයෙක් කරදරයක වැටී ඇතැයි මනසින් චිත්‍ර රූප මවා, එම පුද්ගලයාගෙන් ඒ බව විමසීම.

  • මූල්‍ය වටිනාකමක් නොමැති දේවල් එකතු කිරීම හෝ එක ම අයිතමය කිහිප වරක් මිලදී ගැනීම.

යම් කාර්යයක නිරත වන අතර වාරයේ ගණන් කිරීම - https://mindnest.app
යම් කාර්යයක නිරත වන අතර වාරයේ ගණන් කිරීම – mindnest.app

O.C.D ඇති වීමට හේතු

මෙම අක්‍රමිකතාව ඇතිවීමට හේතුව කුමක්ද යන්න තවමත් නිශ්චිත ව හඳුනා ගෙන නොමැති නමුත් O.C.D ඇති වීමට හේතු විය හැකි අවදානම් සාධක කිහිපයක් විශේෂඥයන් ඉදිරිපත් කර ඇත. ඒවා නම්,

  • ජාන වල බලපෑම.

  • විවිධ පාරිසරික හේතූන්.

  • මොළයේ ඇතැම් ප්‍රදේශවල අක්‍රමවත් වර්ධනය සහ දුර්වලතා.

මීට අමතර ව මානසික අවපීඩනය (Depressive Disorder), සමාජ කාංසාව (Social Anxiety), ආහාර අක්‍රමිකතා (Eating Disorders), අවධානය හිඟ අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය (Attention Deficit Hyperactivity Disorder – ADHD) යන මානසික ආබාධ ද O.C.D ඇතිවීම සදහා බලපාන අවදානම් සාධක වේ.

O.C.D සදහා ප්‍රතිකාර

O.C.D සඳහා ප්‍රතිකාර කිරීම ඉතා පලදායී මට්ටමක පවතින අතර ප්‍රතිකාර ලබන බොහෝ දෙනා සම්පූර්ණයෙන් ම සුවය ලබන බවට ද වාර්තා වේ. මෙහිදී O.C.D සදහා ප්‍රතිකාර කිරීමට ඖෂධ මෙන්ම මනෝ චිකිත්සාව ද යොදා ගැනේ.

ඖෂධ ලෙස O.C.D රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා Serotonin reuptake inhibitors (SRIs) ඖෂධය භාවිත කරන අතර SSRIsවල බලපෑම වැඩි කළ හැකි Aripiprazole (Abilify) හෝ Risperidone (Risperdal) වැනි මනෝවිරෝධක ඖෂධ ද යොදා ගැනේ. මීට අමතර ව තවත් ඖෂධ වර්ග කිහිපයක් ම ප්‍රතිකාර සදහා යොදා ගනී.

මනෝ චිකිත්සක ක්‍රම ලෙස ප්‍රධාන වශයෙන් සංජානන හැසිරීම් චිකිත්සාව (Cognitive Behavioral Therapy – CBT) සහ නිරාවරණය සහ ප්‍රතිචාර වැලැක්වීම (Exposure and Response Prevention – ERP) සම්බන්ධ චිකිත්සක ක්‍රමවේදය යොදා ගැනේ. මීට අමතර ව සිහිකල්පනාව මත පදනම් වූ සංජානන චිකිත්සාව (Mindfulness-based cognitive therapy) ද ප්‍රතිකාර කිරීම සදහා යොදා ගැනේ.

නිරෝගී මොළයක් සහ O.C.D වැළදූනු මොළයක් - https://theramind-sm.com
නිරෝගී මොළයක් සහ O.C.D වැළදූනු මොළයක් – theramind-sm.com

O.C.D සමඟ කටයුතු කිරීම

ඔබ O.C.D අක්‍රමිකතාවට මුහුණපා සිටින අයෙක් නම් ඔබ පළමුව O.C.Dවලට ප්‍රතිකාර කිරීමේ පලපුරුද්ද ඇති චිකිත්සකයකුගෙන් උපකාර ලබා ගන්න. අදාළ සායනවලට පෙනී සිට ඔබට නිර්දේශිත ඖෂධ නියමිත ව ලබා ගන්න. එවිට ඔබේ ආතති හැඟීම් ලිහිල් කිරීමට පහසුවක් වනු ඇත.  ඔබේ ආදරණීයන් සදහා විවෘත වන්න. එමඟින් ඔබේ ඔබේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර ගත හැක. මිට අමතර ව, හුස්ම ගැනීමේ අභ්‍යාස, භාවනා ක්‍රම සහ සිහිය පිහිටුවා ගැනීම සදහා ක්‍රම ශිල්ප භාවිත කරන්න.

ඔබට ඖෂධයක් නියම කර ඇත්නම්,

  • ඔබේ චිකිත්සකවරයා සමඟ සාකච්ඡා නොකර ඖෂධ ගැනීම නතර නො කරන්න. එසේ ඖෂධ ගැනීම හදිසියේ නතර කළහොත් O.C.D රෝග ලක්ෂණ අයහපත් අතට හැරීමට හේතු විය හැකි ය. නැතිනම් රෝගය යම්තාක් දුරට සුව වී ඇත්නම් නැවත ඇති විය හැක.

  • යම්කිසි අතුරු ආබාධයක් ඇති වුවහොත් වහා ම ඔබේ චිකිත්සකවරයා වෙත වාර්තා කරන්න.

කවරයේ ඡායාරූපය- www.innerbalanceaz.com

මුලාශ්‍ර:

www.nimh.nih.gov

www.healthline.com

 my.clevelandclinic.org

www.whiteswanfoundation.org

Related Articles