Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැවතත් ඔරවන නව ඔමික්‍රෝන් BA.5 කොරෝනා ප්‍රභේදය

2021 වසරේ අග භාගයේ දී අප රට තුළ ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර ගියා. එම  දිනවල රට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදුවුණු නිසා වසංගතය පාලනය කිරීමට හැකි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 අප්‍රේල් 1 සිට අගෝස්තු 1 දක්වා මෙරටින් වාර්තා වුණේ කොරෝනා ආසාදිතයන් 4216ක් පමණ යි. 

ඒ අයුරින් අප රට තුළ කොරෝනා වසංගත තත්ත්වය පාලනය වී පවතින අවස්ථාවක ලොව පුරා ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් පැතිර යමින් තිබෙනවා. BA.5 නමින් හැඳින්වෙන එම ඔමික්‍රෝන් උප ප්‍රභේදය ඉක්මනින් ම අප රට තුළ පැතිරීයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවනවා. එම නව කොරෝනා ප්‍රභේදය ගැන මෙම ලිපියෙන් ඔබ දැනුම්වත් කරනවා. 

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ පැතිර ගිය ආකාරය 

2021 නොවැම්බර් මාසයේ මුල් සතියේ දී ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වුණා. ඊට මාසයකට පමණ පසුව එනම් දෙසැම්බර් 3 වැනිදා ශ්‍රී ලංකාවෙන් පළමු ඔමික්‍රෝන් රෝගියා වාර්තා වුණා. ඉන් පසුව අප රට තුළ ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවට අනාවැකි පළ වුණා. ඒ ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේදයක් වුණු නිසා යි. 

 ලොව පුරා නැවතත් පැතිර යන කොරෝනා රැල්ලට ඇති එක ම විසදුම ලෙස විශේෂඥයන් පවසන්නේ එන්නත ලබාගැනීමයි. බොහෝ දෙනෙක් කොව්ඩ්-19 බූස්ටර් එන්නත් මාත්‍රාව (තෙවැනි එන්නත් මාත්‍රාව) ලබාගෙන ඇතත්, තවත් පිරිසක් බූස්ටර් එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බව ඔවුන් පවසනවා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages.com)

 

ශ්‍රී ලංකාව තුළ වඩාත් දරුණු ලෙස කොරෝනා වසංගතය පැතිර ගියේ  2021 මැයි සිට සැප්තැම්බර් දක්වා යි. 2021 මැයි 1 සිට සැප්තැම්බර් 1 දක්වා මෙරටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 335,696ක්.

එම කාලය තුළ මෙරටින් කොරෝනා මරණ  8713ක් වාර්තා වුණා. එනිසා වේගයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා කෙටි කාලයක් තුළ අප රටෙන් විශාල කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වනු ඇති බවට මෙරට සෞඛ්‍යය අංශ අනතුරු ඇඟවීම් කළා. 

එදා සිට අද දක්වා මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තා වුණු ආකාරය -worldometers.info

 

ඒ වන විට මෙරට කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක ව සිදුවෙමින් පැවතුණා. ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිර යාමත් සමඟින් බූස්ටර් එන්නත ද ලබා දුන්නා. එපමණක් නොව රටේ දැඩි සෞඛ්‍යය මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය අප රටෙන් වාර්තා වී  මාස 4ක් ඇතුළත මෙරටින් හමුවුණේ සාපේක්ෂව අඩු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක්. මේ  2021 දෙසැම්බර් 3 වැනිදා සිට 2022 අප්‍රේල් 3 දක්වා ගෙවුණු මාස 4ක කාලය තුළ මෙරට කොරෝනා වසංගත දත්ත යි. 

කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය- 95,055

කොරෝනා මරණ ප්‍රමාණය- 2041

වර්තමානය වන විට ඔමික්‍රෝන් BA.5 නම් කොරෝනා වෛරස් ප්‍රභේදය ද වැඩි වේගයකින් රට පුරා පැතිර යාමේ අවදානම පවතිනවා. එනිසා එම කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා අප එම වෛරස් ප්‍රභේදයේ ගැන දැනුම්වත් විය යුතු වීම වැදගත් වනවා.    

ගෙවුණු කාලයේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය අඩුවුණු ආකාරය (worldometers.info)

BA.5 ඔමික්‍රෝන් ප්‍රභේදය මුලින් ම වාර්තා වුණේ දකුණු අප්‍රිකාවෙන් 

ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් BA.5 වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් මුල් ම වරට වාර්තා වුණා. ඒ මෙම වසරේ පෙබරවාරි මාසයේ දී යි. ඉන් අනතුරු ව මෙම ප්‍රභේදය දකුණු අප්‍රිකාවට යාබදව තිබෙන බොට්ස්වානා රාජ්‍යයෙන් වාර්තා වුණා.

ඒ අයුරින් ක්‍රමයෙන් ව්‍යාප්ත වුණු ඔමික්‍රෝන් BA.5 ප්‍රභේදය පසුව අනිකුත් මහද්වීප කරා පැතිර ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, පෘතුගාලය, ඩෙන්මාර්කය, පෘතුගාලය වැනි රටවල්වලින් ඔමික්‍රෝන් BA.5 රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුණා. 

 දකුණු අප්‍රිකාවේ කොරෝනා වසංගත තත්ත්වය – gettyimages.com

අද වන විට ඔමික්‍රෝන් BA.5 වෛරස් ප්‍රභේදය රටවල් 110කින් වාර්තා වී තිබෙනවා. පසුගිය කාලයේ දී වැඩි වශයෙන්  ඔමික්‍රෝන් BA.5 රෝගීන් වාර්තා වුණේ අමෙරිකාව, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, බ්‍රසීලය, දකුණු කොරියාව, ජපානය වැනි රටවල් ආශ්‍රිතව යි.  එම රටවල්වල මේ දිනවල දෛනික කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය පනස් දහස (50,000) ඉක්මවා යනවා. එම තත්ත්වය ඉදිරියේ දී තවත් වැඩිවුණොත් ලොව පුරා නැවතත් කොරෝනා වසංගත රැල්ලක් පැතිරයාමේ අවදානම පවතිනවා. 

BA.5 ඔමික්‍රෝන් ප්‍රභේදයේ රෝග ලක්ෂණ 

ඔමික්‍රෝන් BA.5 ප්‍රභේදය, ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක්. එනිසා එහි රෝග ලක්ෂණ ඔමික්‍රෝන් ප්‍රභේදයේ රෝග ලක්ෂණවලට බොහෝ සෙයින් සමාන යි. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව සහ අධික වෙහෙස ගතිය යන ඒවා යි. ඔබගේ ශරීරයේ එම ලක්ෂණ මතු වුණොත් හැකි ඉක්මනින් පීසීආර් පරීක්ෂණයක් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් කර ගත යුතු යි. 

 කොරෝනා ආසාදනය වුණු පුද්ගලයෙක් – gettyimages.com

BA.5 ඔමික්‍රෝන් ප්‍රභේදය භයානක ද?

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා පැතිර ගිය කොරෝනා වෛරස් ප්‍රභේද අතුරින් වඩාත් භයානක ප්‍රභේදය බවට පත්වුණේ ඩෙල්ටා ප්‍රභේදය යි. ඒ ඩෙල්ටා ප්‍රභේදය මඟින් සිදුවුණු මරණ ප්‍රමාණය ඉතාමත් වැඩි නිසා යි. ඩෙල්ටා ප්‍රභේදය වැලඳුණු බොහෝ උදවියගේ සෞඛ්‍යය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා සැලකිය යුතු තරම් කාලයක් ගත වුණා.

මෙම නව ඔමික්‍රෝන් BA.5 ප්‍රභේදය එතරම් භයානක එකක් නොවෙ යි. මෙම ප්‍රභේදය ලෝකයේ දැනට හමුවුණු ප්‍රභේද අතුරින් වැඩි ම වේගයකින් පැතිර යන ප්‍රභේදය ලෙස සැලකෙනවා. එය අප සැලකිල්ලට ගත යුතු කාරණයක්. 

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය නිසා මරණ වැඩි වුණු හැටි – gettyimages.com

මේ වෛරසයට ඉක්මනට ආසාදනය වීමට සහ ප්‍රතිශක්තිය මඟහැර සිටීමට යන විශේෂිත හැකියා තිබෙනවා. අපට ප්‍රතිශක්තිය ලැබෙන ප්‍රධාන ක්‍රම 2ක් තිබෙනවා. ඉන් එකක් තමයි, ස්වාභාවිකව රෝගය වැලඳීමෙන්,  අනිත් ක්‍රමය වන්නේ එන්නත්කරණයෙන් ප්‍රතිශක්තිය සපයා ගැනීම. කොරෝනාවලට එරෙහිව මේ ආකාර දෙකෙන් ම බහුතරයකට ප්‍රතිශක්තිය ලැබී තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ තමයි මේ BA5 කියන ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන්නේ. යම් කෙනකුට කලින් රෝගය වැලඳී තිබුණත්, එන්නත්කරණය කර තිබුණත්, මේ වෛරසය නිසා රෝගය නැවත වැලඳීමේ හැකියාවක් පවතිනවා. ප්‍රතිශක්තිය මඟහැර යෑම කියා කියන්නේ එය යි.

මේ වෛරසය නිසා රෝගය නැවත වැලඳීමේ හැකියාවක් පවතිනවා – Design credit: Roar Media/Jamie Alphonsus

 

අද වන විට මෙරට කොරෝනා තත්ත්වය

පසුගිය මාස 2-3ක කාලය තුළ මෙරටින් දෛනිකව වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 50කටත් වඩා අඩු අගයක් ගත්තා. නමුත් ගෙවුණු සතියේ දී එම ප්‍රමාණය නැවත වැඩි වුණා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 100 ඉක්මවා යනවා. එපමණක් නොව කොරෝනා මරණ ද වාර්තා වෙනවා. මේ පසුගිය සතියේ දී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වුණු ආකාරය යි. 

1). ජූලි 28

කොරෝනා ආසාදිතයන්- 285

කොරෝනා මරණ- 4

2). ජූලි 29

කොරෝනා ආසාදිතයන්- 164

කොරෝනා මරණ- 5

3). ජූලි 30

කොරෝනා ආසාදිතයන්- 83

කොරෝනා මරණ- 3

4). ජූලි 31

කොරෝනා ආසාදිතයන්- 113

කොරෝනා මරණ- 0

5). අගෝස්තු 1

කොරෝනා ආසාදිතයන්- 108

කොරෝනා මරණ- 3

6). අගෝස්තු 2

කොරෝනා ආසාදිතයන්- 117

කොරෝනා මරණ- 7

7). අගෝස්තු 3

කොරෝනා ආසාදිතයන්- 122

කොරෝනා මරණ- 8

ඉහත දත්තවලට අනුව ගෙවුණු දින 7 දී මෙරටින් කොරෝනා ආසාදිතයන් 992ක් සහ කොරෝනා මරණ 30ක් වාර්තා වී තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ තවත් කොරෝනා රැල්ලක් අත ළඟට ම පැමිණ ඇති බව යි. 

අප නිවැරදි සෞඛ්‍යය මාර්ගෝපදේශ ද අනුගමනය කළ යුතු යි – Design credit: Roar Media/Jamie Alphonsus

 

ඉන්ධන අර්බුදයත් කොරෝනා වේගයෙන් පැතිරෙන්න හේතුවක් 

මේ දිනවල අප රටේ තුළ ඉන්ධන අර්බුදයක් පවතිනවා. එනිසා රටේ සෑම ප්‍රදේශයක ම වාගේ දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා. එම ඉන්ධන පෝලිම්වල සිටින බොහෝ උදවිය නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ නැහැ. එය ඉතාමත් අවදානම් තත්ත්වයක්. අද රටේ පවතින ඩීසල් හිඟය නිසා පොදු ප්‍රවාහන සේවා අඩපණ වී තිබෙනවා.

එනිසා බස්, දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවල මගීන් ගමන් කරන්නේ ඉතාමත් අපහසුවෙන් තදබදයත් සමඟ යි. එහි දී බස්වල සහ දුම්රියේ නියමිත ධාරිතාවට වඩා මගීන් ගමන් කරන ආකාරය දැකගන්නට පුළුවන්.  එය ඉතාමත් භයානක තත්ත්වයක්. නව කොරෝනා රැල්ලක් අත ළඟට පැමිණ තිබෙන අවස්ථාවක විධිමත් පරිදි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඉදිරියේ දී තවත් කොරෝනා රැල්ලක් පැතිරයාමේ අවදානමක් තිබෙනවා. 

පොදු ප්‍රවාහන සේවාවල තෙරපෙමින් ගමන් කරන ජනතාව – gettyimages.com

 

එන්නත්කරණයේ වැදගත්කම 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර, කොරෝනාවලින් ආරක්ෂා වීම සඳහා එන්නත්කරණයේ ඇති වැදගත්කම පිළිබඳව මෙසේ පැහැදිලි කළා.

”වසංගතයෙන් මිදෙන්න නම් භාවිත කළ යුතු ප්‍රධානත ම දේ තමයි එන්නත්කරණය. අපි පහුගිය කාලෙ ඒක හොඳට ම දැක්ක දෙයක්. කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලියේ දී අපි මූලික මාත්‍රා 2ක් ලබා දුන්නා. එම මූලික මාත්‍රා ලබා ගෙන නැති අය වහාම ඒවා ලබා ගත යුතුයි. මූලික මාත්‍රා ලබා ගෙන මාස 3ක් ගියාට පස්සෙ බූස්ටර් මාත්‍රාව ගත යුතුයි. බූස්ටර් මාත්‍රාව ගෙන මාස 3ක් ගියාට පස්සෙ නැවතත් බූස්ටර් මාත්‍රාවක් ලබා ගත යුතුයි. ඒ ආකාරයට නිවැරදිව එන්නත්කරණය කිරීම මඟින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන්නට පුළුවන්. එනිසා ඔබ තුන්වන මාත්‍රාව ලබාගෙන මාස 3කට වැඩි කාලයක් ගතවී තිබේ නම් සිව්වන මාත්‍රාව ලබාගැනීම සඳහා උනන්දු විය යුතුයි. ඒ හරහා ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නට පුළුවන්.”

මෙරට කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලිය – gettyimages.com

එන්නත්කරණය පමණක් ප්‍රමාණවත් ද?  

එන්නත්කරණයෙන් පමණක් අපට කොරෝනාවලින් ආරක්ෂා වෙන්නට බැහැ. ඒ සඳහා අප නිවැරදි සෞඛ්‍යය මාර්ගෝපදේශ ද අනුගමනය කළ යුතු යි. එහි දී නිවැරදි ලෙස මුව ආවරණ පැලඳීම, නිතර සබන් යොදා අත් සේදීම, මීටරයේ පරතරය තබා ගැනීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදුත් අනුගමනය කළ යුතු යි.

සෙනඟ ගැවසෙන ස්ථාන මඟ හැරීම, අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැලකීම, තමන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයකට ගොදුරු වී සිටිනවා නම් හුදෙකලා වී සිටීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ද මෙම තත්ත්වය යම් තරමකට පාලනය කරන්න පුළුවන්. 

නිවැරදි සෞඛ්‍යය මාර්ගෝපදේශ පිළිපැදීම – gettyimages.com

අප සතු වගකීම්

වර්තමානය වන විට අප රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටිනවා. එනිසා රට තුළ ඉන්ධන අර්බුදයක් ද පවතිනවා. ඒවායේ බලපෑම නිසා උද්ධමනය ද වේගයෙන් ඉහළ යමින් පවතිනවා. ජීවන වියදම වැඩිවීම හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ ඉතාමත් අසීරුවෙන්. එවැනි වටපිටාවක  රට තුළ දරුණු කොරෝනා වසංගත රැල්ලක් පැතිරී ගියොත් භයානක තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්.

අප රට දරුණු ආර්ථික අර්බුදයක සිටින මේ අවස්ථාවේ එවැනි කොරෝනා රැල්ලක් සමඟින් සටන් කිරීම ඉතාමත් අපහසුයි. එනිසා නිවැරදිව එන්නත්කරණ ක්‍රියාවලියට සම්බන්ධ වී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරමින් කොරෝනාවෙන් බේරීම අප සැමට පැවරී ඇති වගකීමක්. අප එම වගකීම පැහැර හැරියොත් රට නැවතත් කොරෝනා මාරයාට බිලි වනු ඇති බවට සැක නැහැ. 

එන්නත්කරණයේ වැදගත්කම – Design credit: Roar Media/Jamie Alphonsus

කවරයේ ඡායාරූපය- sbs.com.au

Graphic Design credit: Roar Media/Jamie Alphonsus

මූලාශ්‍ර:

worldometers.info

time.com

cidrap.umn.edu

ynhhs.org

dinamina.lk  

Related Articles