Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිවෙස්ගත නිරෝධායනයට යොමු වන්නට පෙර ඔබ දත යුතු දේ!

ස්වයං නිරෝධායනය හෙවත් නිවෙස්ගත නිරෝධායනය කියන්නේ, නීරෝගී ලෙස පෙනෙන, එහෙත් කොරෝනා රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක් තිබිය හැකි පුද්ගලයන් සෙසු සමාජයෙන් වෙන් කර ඔවුන්ගේ ම නිවෙස් තුළ  රඳවා තැබීම යි.  මෙම ක්‍රියාවලිය නිසා ආසාදිත හෝ ආසාදිත බවට සැක කරන පුද්ගලයන්ගේ සංචරණය සීමා වෙනවා. එවිට රෝගය පැතිරීම අවම වී සමස්ත සමාජය ම කොවිඩ් අවදානමෙන් මුදා ගැනීමට ද අපට අවස්ථාවක් ලැබෙනවා.

විදේශයක සිට පැමිණි පුද්ගලයන් මෙන් ම කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් හෝ සැක කෙරෙන පුද්ගලයකු සමඟ දින 14ක් ඇතුළත සමීප සබඳතාවක් පැවැත්වූ පුද්ගලයන් මේ ආකාරයට නිවෙස්ගත නිරෝධායනයට යොමු කෙරෙනවා.

PCR පරීක්ෂණය කරන අවස්ථාවක් (indianexpress.com)

යම් ආකාරයකින් ඔබ කොරෝනා රෝගයට ගොදුරු වූවකුගේ සමීප ආශ්‍රිතයකු බව දැනගතහොත් ඒබව නොසඟවා ඔබට ආසන්නත ම මහජන සෞඛ්‍ය නිලධරයා  (PHI) වෙත දැනුම් දී, ඔවුන් ලබා දෙන උපදෙස් අනුව නිවෙස්ගත නිරෝධායනයට යොමු වීමට කටයුතු කිරීම ඉතා වැදගත්. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනුයේ, නිරෝධායනය වීමේ දී ආවරණය වූ ස්ථානවලට වඩා නැවුම් වාතාශ්‍රය හොඳින් ලැබෙන ස්ථාන වඩාත් ආරක්ෂාකාරී බව යි. ඔබ නිවෙස්ගත නිරෝධායනයට යොමු කළ ආසාදිතයකු නම් පවුලේ අයගෙන් වෙන් වූ කාමරයක, පිරිසුදු වාතය ලැබෙන සේ ජනෙල් හැරගෙන සිටීම ඉතා වැදගත්. මෙහිදී ඔබගේ පිරිසුදුභාවය පිළිබඳ සැලකිලිමත්වීම වැදගත්. එමෙන් ම නිරෝධායනය වූ පසුව හුස්ම ගැනීමේ අපහසුතා, කථා කිරීමේ හා චලනය වීමේ අපහසුතා, සහ පපුව සම්බන්ධ අපහසුතා මතුවේද යන්න  පිළිබඳ වැඩි අවදානයක් යොමු කළ යුතු යි.

නිරෝධායනයට ලක්වීමේ දී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකිවීම, සමාජ ආශ්‍රයක් නොමැති වීම යනාදී හේතු නිසා එම පුද්ගලයන්ගේ මානසික සමබරතාව ගිලිහී ගොස් ගැටලු මතු වෙන්නට පුළුවන්. ඒ නිසා අසල්වාසී පුද්ගලයකු නිරෝධායනයට ලක් කර ඇත්නම් ඔවුන් කොන් කිරීමෙන් වැලකී,  ඔබගේ ආරක්ෂාවත් තහවුරු කර ගනිමින් නිවසෙහි ගේට්ටුව අසල, ඔවුන්ට ප්‍රයෝජනවත් භාණ්ඩ තැබීම සහ ඒ පිළිබඳ  ඔවුන්ට දුරකථනයෙන් දැනුම් දීම වැනි මානුෂීය ගුණාංග පවත්වා ගැනීම කාලීන අවශ්‍යතාවක්. බොහෝවිට නීරෝගී බව සනාථ වී, නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් ද සමාජයේ කොන් කිරීමට ලක්වන අයුරු දකින්නට ලැබීම කනගාටුවට කරුණක්.

සනීපාරක්ෂාව ඉතා ම වැදගත් (healthline.com)

නිවෙස්ගත නිරෝධායනයට ලක් වන ඔබ කිසිම විටෙක නිවසින් බැහැරට නො යාමට මෙන් ම බාහිර පුද්ගලයන් නිවසට ඇතුළු කර ගැනීමෙන් වැලකීමටත් කටයුතු කළ යුතු ම යි. නිවසේ නාන කාමර ආදිය හවුලේ පාවිච්චි කරන්නට සිදු වේ නම්, දොර අගුල්, කරාම ආදිය විෂ බීජනාශක  යොදා පිරිසුදු කරන්න. පිඟන්, කෝප්ප, වීදුරු, තුවා සහ ඇඳරෙදි හවුලේ පාවිච්චි නොකර, සබන් සහ වතුර යොදා වෙන ම හොඳින් සෝදා විෂබීජහරණය කරන්න.  අවම වශයෙන් දිනකට දෙවරක්වත් ඔබගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර ගන්න. වයස්ගත පුද්ගලයන් සහ නිදන්ගත රෝග ඇති අය නිරෝධායනය වන පුද්ගලයන්ගෙන් හැකිතාක් වෙන් ව සිටීම මෙන් ම නිරෝගී ශක්තිමත් පුද්ගලයකු පමණක් නිරෝධායනය වන පුද්ගලයාට ආහාර ලබා දීම වැනි කටයුතු සිදු කළ යුතු ය. එමෙන් ම නිදන්ගත රෝගී තත්වයන් ඇත්නම් අඛණ්ඩ ව ඖෂධ ලබා ගැනීමටත් කටයුතු කරන්න.

මෙම නිරෝධායන කාලසීමාව තුළ කොවිඩ්-19 රෝග ලක්ෂණ එනම් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතා, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව ඇති වුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට (MOH) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට (PHI) හැකි ඉක්මනින් දැනුම් දීමට කටයුතු කරන්න. මෙවැනි අවස්ථාවක 1999  අංකයෙන් සුවසැරිය ගිලන් රථ සේවාව හා සම්බන්ධ වීමටත් එසේත් නොමැතිනම් 011 7966 366 අංකය ඇමතීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වීමටත් ඔබට හැකියාව තිබෙනවා.

නිවසේ සිට ම සියලු සෞඛ්‍ය උපදෙස් ලබා ගත හැකි නම්? (wfmynews2.com)

පවත්නා වසංගත කාලසීමාව තුළ ඔබගේ සෞඛ්‍ය ගැටලු සඳහා ඉතා පහසුවෙන් විසඳුම් ලබා දීමට Dialog සමාගම හඳුන්වාදී ඇති Doc990 සේවාව කැප වී සිටිනවා. උදාහරණයක් වශයෙන් ඔබට PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමට අවශ්‍යනම් ඔබ සිදු කළ යුත්තේ ඉහත අංකය භාවිත කර අදාළ උපදෙස් ලබා ගැනීම යි. එවිට පැය ගණන් පෝලිම්වල රස්තියාදු නොවී ඔබට ළඟ ම පිහිටි රෝහලෙන්  ඒ සඳහා අවස්ථාවක් වෙන් කරවා ගන්නට හැකියාව ලැබෙනවා.

නිවසට ම කොටුවී සිටින ඔබට මෙම නිරෝධායන සමය තුළ කොවිඩ් සම්බන්ධයෙන් යම්කිසි හෝ ගැටලුවක් පවතීනම් එම ගැටලු විසඳා ගැනීම, ඔබේ හෝ ඔබේ සුරතල් සතුන්ගේ ද ඕනෑම රෝගයකට වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මෙන් ම අවශ්‍ය ඖෂධ නිවසට ම ගෙන්වා ගැනීම යනාදිය ඔබේ දුරකථනය ඔස්සේ ම සිදු කළ හැකි යි. ඒ සඳහා ඔබ කළ යුත්තේ doc.lk වෙබ් අඩවිය වෙත පිවිසීම හෝ Play Store හෝ App Store වෙතින් ඇප් එක ලබා ගැනීම යි. එවිට ඔබට නිදහසේ ගෙදර ඉඳගෙන ම වෛද්‍යවරයකු සමඟ ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය (වීඩියෝ) ඇමතුමකින් සම්බන්ධ වී වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි වෙනවා.

මූලාශ්‍ර:

  1. ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
  2. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ් අඩවිය

කවරයේ ඡායාරූපය: washingtonpost.com

Related Articles