1796 වසරේ දී ඉංග්‍රීසින් ලංකාවේ මුහුදුබඩ පළාත්වල පාලන කටයුතු ආරම්භ කළා. ඉන් වසර 2කට පසුව ෆෙඩ්‍රික් නෝත් නම් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලංකාවට පැමිණියා. එලෙස ලංකාවට පැමිණි නෝත්, මුහුදුබඩ ප්‍රදේශවල පාලනය සිදුකරමින් සිටින අතරතුර අනාගතයේ දී උඩරට රාජධානියෙන් එල්ල විය හැකි තර්ජනය පිළිබඳව කල්පනා කළා. එම අවදියේ රට මැද රාජධානියක් තිබීම ඉංග්‍රීසීන්ගේ වැඩ කටයුතුවලට මහත් කරදරයක් වුණා. එසේම, ඉංග්‍රීසීන්ගේ නාවික මධ්‍යස්ථානය වුණු ත්‍රිකුණාමලයත් පාලන මධ්‍යස්ථානය වුණු කොළඹත් අතර සන්නිවේදන කටයුතු සිදුකිරීමේ දී උඩරට රාජධානිය බාධාවක් වුණා. එම නිසාම උඩරට ආක්‍රමණය කිරීමට මාන බලමින් සිටි නෝත්, ඒ සඳහා අවස්ථාවක් ලැබෙන තුරු ඉවසීමෙන් සිටියා.

නෝත්ට උඩරට ආක්‍රමණය කිරීමට හේතුවක් නිර්මාණය වෙයි 

එම අවධියේ මුස්ලිම්වරුන් රටේ තැනින් තැන ඇවිදිමින් වෙළඳාම් කටයුතුවල නිරත වුණා. එදා ඉංග්‍රීසීන්ට අයත් වුණු මුස්ලිම් වෙළඳ කණ්ඩායම් දෙකක් උඩරට රාජධානියට අයත් ප්‍රදේශයන්ගෙන් පුවක් එකතු කරගෙන ආපසු එන ගමනේ දී සිංහලයන් පිරිසක් ඔවුන්ට පහර දී ඔවුන්ගේ බඩු පැහැරගත්තා. එම සිදුවීමෙන් කෝපයට පත් වුණු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සිංහල රජතුමාට ඒ පිළිබඳව දන්වා සිටියා. එහි දී රජතුමා අලාභය ගෙවීමට එකඟ වුණු නිසා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා මඳක් සන්සුන් වුණා. ඉන්පසුව රජතුමා වෙළඳුන්ට දන්වා සිටියේ; සිය අලාභය ලබාගැනීම සඳහා උඩරට රාජධානියට පැමිණෙන ලෙස යි. නමුත්, රජතුමා එම අලාභය ගෙවීම ප්‍රමාද කළ නිසා යළි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා උරණ වුණා. එම නිසාම මෙම ගැටළුව විසඳාගැනීම සඳහා ඉංග්‍රීසින් විසින් රජුට ලියුම් යවනු ලැබුවා. එම ලියුම්වලට පිළිතුරු සපයනු ලැබුවේ පිළිමතලාවේ අධිකාරම් විසින්. ඔහු හිත යටින් රජු සමග අමනාපව සිටි නිසා ඉංග්‍රීසීන් ප්‍රකෝප වන අයුරින් පිළිතුරු ලියා යවනු ලැබුවේ පාර්ශව දෙක යුද්ධයකට පැටලවීමේ අරමුණ ඇතිව යි. එහි දී පිළිමතලාවේ අධිකාරම්ගේ යටි අරමුණ වුණේ රජතුමා පැරදවීම සඳහා ඉංග්‍රීසීන්ට උදව් කර ඉහළ තාන්න මාන්න ලබාගැනීම යි.

ඉංග්‍රීසීන් උඩරට රාජධානියට එරෙහිව යුද්ධයක් අරඹයි 

සෙන්පති මැක්ඩොවල්ගේ නායකත්වය යටතේ කොළඹ සිට පැමිණි සෙබළුන් 2000කගෙන් පමණ සමන්විත වුණු සේනාව දඹදෙණිය මාර්ගය ඔස්සේ පැමිණ මහවැලි ගඟ අසබඩ ස්ථානගත වුණා. එසේම, කර්නල් බාර්බුට්ගේ නායකත්වය යටතේ ත්‍රිකුණාමලයේ සිට පැමිණි සේනාවත් එම ස්ථානයට එකතු වුණා. ඉන්පසුව, සේනා දෙකම එකතු වී මහනුවර නගරයට පහරදීම සඳහා යන ගමන ආරම්භ කළා. මෙම සේනාව නුවර බලා එන බව කල් ඇතිවම ආරංචි වුණු නිසා රජු සහ නගර වැසියන් උපක්‍රමශීලීව පසු බැසීමට තීරණය කළේ ඔවුන්ට සටන් කිරීමට තරම් සවියක් නොතිබුණු නිසා යි. ඒ අනුව පාළුවට ගොස් තිබුණු මහනුවර නගරයට පැමිණි ඉංග්‍රීසීන් එය ඔවුන්ගේ යටතට ගනු ලැබුවා.

ඉංග්‍රීසීන් මුත්තුසාමිට උඩරට භාර දෙයි 

උඩරට අල්ලාගත් ඉංග්‍රීසීන් ඔවුන්ට හැකි ප්‍රදේශවල කොටු බැඳීම ආරම්භ කළා. එහි දී මාතලේ ගෝනියාවිල ප්‍රදේශයේ බඳින ලද කොටුව නම් කළේ මැක්ඩොවල් යන නමින්. එලෙස ඉංග්‍රීසීන් උඩරට පාලනය කරමින් සිටින අතරතුර ලෙව්කේ දිසාව යටතේ පැමිණි සිංහල හමුදාවක් ඉංග්‍රීසීන්ට ප්‍රහාර එල්ල කළත්, එය සාර්ථක වුණේ නැහැ. මේ අතර උඩරට සිංහාසනයට රජ කෙනෙකු පත් කිරීමට තීරණය කළ ඉංග්‍රීසීන්, ඒ සඳහා තෝරාගනු ලැබුවේ යාපනයේ ආරක්ෂිතව මුත්තුසාමි නම් කුමාරයා යි. මෙම මුත්තුසාමි කුමාරයා උඩරට රජකමට නියම උරුමක්කාරයා වුණත්, පිළිමතලාවේ මහා අධිකාරම් මූලිකත්වය ගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙසින් රජකමට පත් කළේ කන්නසාමි කුමාරයාව යි. එලෙස මුත්තුසාමි කුමාරයාව රජකමට පත් කිරීමෙන් පසුව ඉංග්‍රීසින් ඔහු සමග ගිවිසුමක් ඇති කරගනු ලැබුවා. එම ගිවිසුමට පහත දැක්වෙන කොන්දේසි ඇතුළත් වුණා.

1) ඉංග්‍රීසි හමුදාවක් මහනුවර නතර කරගැනීම 

2) ඉංග්‍රීසීන්ට සත්කෝරළය භාර දීම 

3) ගිරිහාගම සහ ගලගෙදර කොටු බැඳගැනීමට ඉංග්‍රීසීන්ට අවසර දීම 

4) කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා මාර්ගයක් සාදා ගැනීමට ඉංග්‍රීසීන්ට ඉඩම් ලබා දීම 

5) කුරුඳු වෙළඳාම ඉංග්‍රීසීන්ට කැමති පරිදි පවත්වාගෙන යාමට ඉඩ ලබා දීම 

එලෙස මුත්තුසාමි උඩරට රජු ලෙස පත් කිරීම නිසා පිළිමතලාවේ මහ අධිකාරම, ඉංග්‍රීසීන් සමග උරණ වුණු නිසා ඔවුන්ව සම්පූර්ණයෙන්ම නැතිකිරීමට සැලසුමක් සකස් කළා. 

පිළිමතලාවේ අධිකාරමගේ උපාය සාර්ථක වෙයි 

පිළිමතලාවේ මහ අධිකාරම රජු අල්ලා දීම සඳහා ඉංග්‍රීසීන්ට සහාය වීමට කැමැත්ත පළ කළා. ඒ අනුව පිළිමතලාවේ අධිකාරමගේ නියමය පරිදි රජු අල්ලා ගැනීමට ඉංග්‍රීසි හමුදාවක් හඟුරන්කෙතට යවනු ලැබුවා. එලෙස හඟුරන්කෙත බලා ගිය ඉංග්‍රීසි සේනාවට අතර මඟ රැක සිටි සිංහලයන් ප්‍රහාරයක් එල්ල කළ නිසා ඔවුන් ආපසු හැරී මහනුවරට පැමිණියා. ඒ අතරතුර පිළිමතලාවේ මහ අධිකාරමගේ නායකත්වය යටතේ සංවිධානය වුණු සේනාව මහනුවර නගරය වට කළා. එලෙස වට කළ සේනාව නගරයේ වැසියන්ට දන්වා සිටියේ ඉංග්‍රීසින්ගේ සහ ඔවුන්ට පක්ෂපාතී පුද්ගලයන්ගේ හිසක් රැගෙන එන කෙනෙකුට යම් මුදලක් පිරිනමන බව යි. මෙම අසීරු අවස්ථාවේ ඉංග්‍රීසින්ට මහනුවර සහ කොළඹ අතර පණිවිඩ හුවමාරු කරගැනීම පවා අසීරු වුණා. එසේම, මුත්තුසාමි උඩරට රජු බවට පත් කිරීම නිසා සිංහලයන්ගේ සහයෝගය ඉංග්‍රීසින්ට ලැබුණේ නැහැ. මෙම අවස්ථාවේ දී උරණව සිටි සිංහලයන් සන්සුන් කර උඩරට ප්‍රදේශ අත්පත් කරගැනීමට නම් පිළිමතලාවේ අධිකාරමට උඩරට භාර දිය යුතුයැ යි ඉංග්‍රීසීන් තීරණය කළා. ඒ අනුව දෙපාර්ශවය අතර යම් සාකච්ඡාවක් ඇති වුණා. එහි දී පිළිමතලාවේ අධිකාරම වෙනුවෙන් මීගස්තැන්නේ දෙවන අධිකාරමත් නෝත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් මැක්ඩොවල් සෙන්පතියාත් සාකච්ඡාවට සම්බන්ධ වුණා. සාකච්ඡාවෙන් පසුව දෙපාර්ශවයේම එකඟතාවය මත පිළිමතලාවේ අධිකාරමට උඩරට රාජ්‍යය භාරදුන්නා. 

ඉංග්‍රීසින් අසීරු අඩියකට වැටෙයි 

එලෙස පිළිමතලාවේට උඩරට රාජ්‍යය භාර දීමෙන් පසුව ඔහු සමග ඉංග්‍රීසීන් අත්සන් කළ ගිවිසුමේ පහත වගන්ති ඇතුළත් වුණා. 

1) ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව අල්ල ඉංග්‍රීසීන්ට භාර දීම 

2) සත්කෝරළය ඉංග්‍රීසින්ට පවරා වන්නිය මුත්තුසාමිට පැවරීම 

3) මුත්තුසාමි කුමරයා යාපනයේ පදිංචි කරවා ඔහුට වාර්ෂිකව පවුම් 3000ක වැටුපක් ගෙවීමට ඉංග්‍රීසින්ට      

    නියම වුණා 

4) පිළිමතලාවේ අධිකාරම උඩරට පාලකයා ලෙසින් ඉංග්‍රීසීන් පිළිගත යුතු යි 

5) ඉංග්‍රීසීන්ට පුවක් අමුණු 20,000 බැගින් අවුරුදු පතා උඩරටින් ලබාදිය යුතු යි

මහ අධිකාරම සහ දෙවන අධිකාරම එක් පාර්ශවයක් ලෙසත්, ඉංග්‍රීසීන් සහ මුත්තුසාමි විසින් අනිත් පාර්ශවය ලෙසත් අත්සන් කළ මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණේ රජු අල්ලා ගැනීමෙන් පසුව යි. ඉන්පසුව, මහ අධිකාරම ගිවිසුම ස්ථීර කරගැනීමට ආණ්ඩුකාරයාට දඹදෙණියට එන ලෙස ආරාධනා කළා. එහි දී නෝත් ආණ්ඩුකාරවරයා අත්අඩංගුවට ගැනීමට මහ අධිකාරම සැලසුම් කර තිබුණා. නමුත්, එදිනම කර්නල් බාර්බුට් යටතේ ත්‍රිකුණාමලයේ සිට ජා හමුදාවක් පැමිණි නිසා මහ අධිකාරමගේ සැලසුම අසාර්ථක වුණා. එදා නෝත් ආණ්ඩුකාරවරයා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මුත්තුසාමිගෙන් අත්සන් ලබාගැනීම බාර්බුට් යටතේ එය මහනුවරට යවනු ලැබුවා. එම අවදිය වන විට මහනුවර සිටි මැක්ඩොවල් සෙන්පතියා මැලේරියා උණෙන් පෙළීම නිසා ඔහු ගිවිසුම සකස් කර පසුව කොළඹ බලා ගියා. එසේම කර්නල් බාබුට්ට ද මැලේරියාව වැළඳුණු නිසා ඔහුටත් මහනුවරින් නික්ම යාමට සිදුවුණා. එම නිසාම මහනුවර සිටි ඉංග්‍රීසි සේනාවට නායකත්වය දීමට සිදුවුණේ ඩේව් නම් මේජර්වරයාට යි.

සිංහලයන්ගෙන් ඉංග්‍රීසි සේනාවට දරුණු ප්‍රහාරයක් 

එම කාල සමය වන විට මැලේරියා වසංගතයට ගොදුරුව සිටි ඉංග්‍රීසි හමුදාවේ බොහෝ දෙනෙකු ආහාර පාන හිඟවීම නිසා අඩපණ වී සිටියා. එසේම ඉංග්‍රීසින්ට උඩරට වැසියන්ගේ සහායත් නොලැබීම නිසා ඔවුන් අසීරු අඩියකට වැටී සිටියා. එලෙස ඉංග්‍රීසීන් අසරණව සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු සිංහල සේනාව 1803 වසරේ ජූනි 24 වැනි දා මහනුවර නගරය වටලනු ලැබුවා. ඊට දින කිහිපයකට පෙර සිංහල සේනාව ගලගෙදර සහ ගිරිහාගම බලකොටුවලට පහරදෙමින් ඉංග්‍රීසීන්ට යම් අනතුරු ඇඟවීමක් ද කර තිබුණා. මහනුවර නගරය අල්ලා ගැනීම සඳහා පැවති සටන පැය 10ක් පමණ පැවතුණා. අවසානයේ දී පරාජය සමීප බව දුටු මේජර් ඩේව් සාමදාන වීමේ අරමුණෙන් කොඩියක් ඔසවනු ලැබුවා. ඉන්පසුව, දෙපිරිස කළ සාකච්ඡාවලින් පසුව යුද භාණ්ඩ භාරදුන් ඉංග්‍රීසින් මුත්තුසාමිව ද රැගෙන ත්‍රිකුණාමලය බලා ගියා. 

රජු ඉංග්‍රීසින්ව රටින් පන්නා දැමීමට සැලසුම් කරයි 

මහනුවර දී ඉංග්‍රීසීන්ව පරාජය කිරීමෙන් උද්දාමයට පත් වුණු රජතුමා ප්‍රමුඛ සේනාව ඉංග්‍රීසි ප්‍රදේශවලට පහරදීමට සැලසුම් කළා. එහි දී ඉංග්‍රීසින් සතු වුණු බලකොටුවලට එකවර පහරදිය හැකි වන පරිදි සේනා පිටත් කර යැවූ රජතුමා කොළඹට පහරදීම සඳහා විශාල සේනාවක් සමග ගමන ආරම්භ කළා. මෙම අවස්ථාවේ දී ඉංග්‍රීසීන් පත්ව සිටි අසීරු තත්ත්වය පිළිබඳව ඔවුන් එංගලන්තයට දන්වා යැව්වත් එහි සිට සේනා ගෙන්වා ගැනීමට ප්‍රමාද වුණා. නමුත්, කේප් කොලනියෙන් සහ බොම්බායෙන් උපකාරක හමුදා පැමිණීම ඉංග්‍රීසීන්ට යම් සහනයක් ගෙන දුන්නා. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා (serendib)

අනපේක්ෂිත අවස්ථාවක එල්ල වුණු ප්‍රහාරයක් නිසා රජුගේ සේනාව පසුබසියි 

රජතුමා ඇතුළු පිරිසි ඉංග්‍රීසීන්ගේ හංවැල්ල කොටුවට පහරදෙමින් සිටින අතරතුර අනපේක්ෂිත සිදුවීමක් වුණා. එහි දී සතුරෙකු තැබූ වෙඩි පහරක් රජු අසලින්ම ගිය නිසා බියට පත් වුණු රජු ඇතුළු සේනාව පලා යන්නට වුණා. එලෙස පලා ගිය සේනාව භාරව සිටි ලෙව්කේ දිසාව සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකළේයැ යි චෝදනා කරමින් ඔහුව මරා දැමීමට රජතුමා කටයුතු කළා. එදා පලා යමින් සිටි රජුගේ සේනාවට පහරදුන් ඉංග්‍රීසීන් රුවන්වැල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් කරනු ලැබුවා. ලංකාවට ඉංග්‍රීසි උපකාරක සේනා පැමිණි විගස මහනුවර දී ලද පරාජයේ අපකීර්තිය වසා ගැනීම සඳහා යළි මහනුවරට ප්‍රහාරයක් එල්ල කිරීමට ඉංග්‍රීසීන් සැලසුම් කළා. නමුත්, ආණ්ඩුකාර නෝත් සහ යුද සේනාපති වෙමිස් අතර ඇති වූ මතභේදය නිසා එම සැලසුම අවලංගු කළා. 

එදා ෆෙඩ්‍රික් නෝත් විසින් සිදුකළ කන්ද උඩරට ආක්‍රමණය අවසානයේ දී අසාර්ථක වුණා. එය සිංහල හමුදාවක් ඉංග්‍රීසීන් හමුවේ ලබාගත් එකම ජයග්‍රහණය ලෙසින් ද ඉතිහාසගත වුණා. එසේම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු උඩරට රාජධානියට එරෙහිව ක්‍රියාත්මක කළ මුල්ම ආක්‍රමණය වුණු එයට ලංකා ඉතිහාසය තුළ සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. එලෙස නෝත්ගෙන් ආරක්ෂා කරගත් උඩරට රාජධානිය ඉන් වසර 12කට පසුව ඉංග්‍රීසීන්ට උරුම වුණු බව අවසන් වශයෙන් සඳහන් කළ යුතු යි. 

මූලාශ්‍රයයන්

1) මහාවංසය 

2) බටහිර ආක්‍රමණ සහ ලංකාව- ආචාර්ය රෝහණ ප්‍රනාන්දු 

කවරයේ ඡායාරූපය- ඉංග්‍රීසි යුගය දැක්වෙන සිතුවමක් (prasanna weerakkody paintings)