ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට කොරෝනා හෙවත් කොවිඩ්-19 (COVID-19) වෛරසය ගෝලීය වසංගත රෝගයක් (pandemic- යම් වෛරසයක් භූගෝලීය සීමා ඉක්මවමින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම මේ නමින් හඳුන්වනවා) ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. 17 වන දා වන විට ඒ හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 7000 ඉක්මවා තිබෙනවා. චීනය මුල් කරගෙන වසංගතය ආරම්භ වූවත්, වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙස මේ වන විට හැසිරෙන්නේ යුරෝපය යි. ඒ වගේම, දිනකට මියයන වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙනුයි.

මීට පෙර ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වූ pandemic තත්ත්වයක් ලෙස වසූරිය හැඳින්විය හැකි යි. වසූරිය යනු, සියවස්‌ කිහිපයක්‌ තිස්‌සේ ලෝකය බියෙන් වෙළා ගත් බිහිසුණු රෝගයක්. විශේෂයෙන්, 17-18 වැනි සියවස්‌වල දී යුරෝපය හා ලෝකයේ සෙසු රටවල් ගණනාවක අතිවිශාල පිරිසක්‌ වසූරිය හේතුවෙන් මරණයට පත් වූ බව වාර්තා වෙනවා. එසේම, මේ මියගිය පිරිස්‌ අතරින් සැලකිය යුතු තරම් පිරිසක්‌ කුඩා ළමයින් වීම ද විශේෂත්වයක්. වසූරිය සඳහා මුල් වරට ප්‍රතිශක්‌තීකරණ එන්නතක්‌ හඳුන්වා දෙන ලද්දේ 18 වැනි සියවස අවසානයේ දී වුව ද, වසූරිය රෝගය නිසා මිනිසුන් මියයෑම 20 වැනි සියවස දක්‌වා ම සිදුවෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය වසූරිය ලෝකයෙන් තුරන් කළ බවට නිවේදනය කරන විට, ඒ හේතුවෙන් ලෝකය පුරා මිලියන 300ත් – 500ත් අතර ජනතාවකට ජීවිත අහිමි කළ බව සඳහන්.

වසූරිය වැළඳුණු දරුවෙක් (Public Health Image Library of the Centers for Disease Control and Prevention)

1300 ගණන්වල මැද භාගයේ දී යුරෝපයට හා ආසියාවට බලපෑ බ්ලැක් ඩෙත් (Black Death) නම් වසංගතය හේතුවෙන් යුරෝපා මහද්වීපයේ පමණක් මිනිසුන් මිලියන 20කට අධික ප්‍රමාණයක් මියගිය බව සඳහන් වෙනවා. එනම්, එකල යුරෝපයේ සිටි ජනගහනයෙන් තුනෙන් එකක් මේ හේතුවෙන් මරණයට පත් වෙනවා.

ලෝකය පුරා වරින්වර මතු වූ වසංගතයක් වූ කොලරාව සියවස් ගණනාවක් තිස්සේ මේ වන තුරුත් පවතින වසංගත තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි. විශේෂයෙන්ම, මේ වන තුරු කොලරාව තුරන් නොකළ රටක් ලෙස ඉන්දියාව නම් වෙනවා. සෑම වසරකම කොලරාව ලොව පුරා මිලියන 1.3ත් 4ත් අතර ජනතාවකට ආසාදනය වන අතර, එයින් 21,000ත් 143,000ත් අතර පිරිසක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මිලියන 20 සිට මිලියන 50 දක්වා ප්‍රමාණයක් මියගිය ස්පැනිෂ් ෆ්ලූ

ස්පැනිෂ් ෆ්ලූ රෝගය හේතුවෙන් රෝගීන්ගෙන් පිරී ගිය රෝහලක් (latimes)

මීට අමතරව 1918 වසරේ දී ආරම්භ වී 1920 දක්වා ලෝකය පුරා පැවති ස්පැනිෂ් ෆ්ලූ (Spanish Flu) හෙවත් ස්පාඤ්ඤ උණ වසංගතය, ඉතිහාසයේ දරුණුතම වසංගතය ලෙස සඳහන් වෙනවා. ලොව පුරා මිලියන 500ක ජනතාවකට එනම්, එකල ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට මෙම වෛරසය ආසාදනය වූ බව මූලාශ්‍රවල සඳහන්. මෙයින් මියගිය ප්‍රමාණය එදා ලෝක ජනගහනයෙන් 3%ක් ලෙස සැලකෙනවා. පළමු ලෝක යුද්ධය අවසානයේ වාගේ පැතිරී ගිය මෙම වසංගතයෙන් පළමු ලෝක යුද්ධයෙන් මරණයට පත් වූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මියයනවා. 

1918 වසරේ දී රෝගය පළමු වරට යුරෝපයේ, එක්සත් ජනපදයේ හා ආසියාවේ සමහර ප්‍රදේශවල දකින්න ලැබෙනවා. පසුව එය වසංගතයක් ලෙස මුළු ලෝකයේම පැතිරී යන අතර, මෙම මාරාන්තික වෛරසය පැතිරීම වැළැක්වීම හා මර්දනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමයක් එකල ලෝකයේ නොතිබුණු බැවින්, යුරෝපය හා ආසියාව පුරා වේගයෙන් මෘත ශරීර ගොඩගැසුණු බව සඳහන්.

පළමු ලෝක යුද්ධයටත් වඩා වැඩි විනාශයක් 

එම කාලයේ දී ද මුඛ ආවරණ සඳහා ඉහළ ඉල්ලුමක් විය (bbc)

වෛරසය හේතුවෙන් ඇති වූ රෝග ලක්ෂණ ලෙස සඳහන් වන්නේ හෙම්බිරිස්සාව හා උණ යි. එය, එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට වේගයෙන් පැතිරී ගිය අතර කිවිසීමේ දී, කතාබහ කිරීමේ දී සෙම් සොටු තරල අනෙකාට ස්පර්ශ වීම මඟින් රෝගය බෝවීම සිදුවෙනවා. 1918 වසරේ දී ආරම්භ වූ බැවින් පළමු ලෝක යුද්ධයේ   දී හමුදා කණ්ඩායම් රටින් රටට යෑමත්, ඉඩපහසුකම් මදිව හමුදා සාමාජිකයන් විශාල ප්‍රමාණයක් නාවික යාත්‍රාවල හා කඳවුරුවල සිටීම හේතුවෙනුත් රෝගය මුල් අවධියේ දී වේගයෙන් ව්‍යාප්ත වෙනවා.

ස්පාඤ්ඤය මුල් කරගත් වසංගතයක් නොවේ 

රෝගීන් (bbc)

රෝගය මුලින්ම වාර්තා වූයේ ස්පාඤ්ඤයෙන් නොවුණත්, යුරෝපා රටවල් අතරින් රෝගය ස්පාඤ්ඤයේ තදින් පැතිරී යාමත්, ස්පාඤ්ඤයේ එවකට රජු වුණු අටවන අල්ෆොන්සෝට (Alfonso XIII) මෙම රෝගය වැළඳීමත් යන හේතූන් මත ස්පාඤ්ඤ උණ ලෙස නම වැටීමට හේතු වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපද හමුදා සාමාජිකයන්ට රෝගය තදින් වැළඳුණු අතර, පළමු ලෝක යුද්ධයේ දී මියගිය ඇමෙරිකානුවන්ට වඩා වැඩි පිරිසක් මේ හේතුවෙන් මියයනවා. ඇමෙරිකානු ත්‍රිවිධ හමුදාවෙන් 36%කට ආසන්න ප්‍රතිශතයකට රෝගය වැළඳෙනවා. ඔවුන් ලෝකය පුරා සැරිසැරීම හේතුවෙන් විවිධ රටවල හමුදාවන්ට මෙන්ම සිවිල් පුද්ගලයන්ට ද රෝගය වේගයෙන් බෝ වෙනවා.

අසල්වැසි ඉන්දියාවේ මේ හේතුවෙන් ඉතා විශාල ප්‍රමාණයක් මියගිය අතර, ලංකාවට ද රෝගයේ දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. එදා මෙරට ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරියා වූ ජී. ජේ. රදර්ෆර්ඩ්ගේ වාර්ෂික වාර්තාවෙහි සඳහන් පරිදි 1918 වසරේ දී ම එම රෝගය හේතුවෙන් ලාංකිකයන් විශාල පිරිසක් මියගොස් තිබෙනවා. නමුත්, එම කාලයේ ලංකාවේ සංඛ්‍යා ලේඛන වාර්තාවන්ගේ මියගිය පිරිස හරිහැටි වාර්තා නොවීමෙන් එම පිරිස කොපමණ ද යන්න නිශ්චිතව පැවසීමට හැකියාවක් නෑ.

වසංගතය අවසන් වීම 

සෞඛ්‍ය සේවය (theconversation)

1919 වසරේ ගිම්හාන කාලය වන විට ලෝකය පුරා රෝගය පැතිරී යාම ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් දකින්න ලැබෙනවා. ඒ; රෝගයට ඔරොත්තු නොදෙන ජනගහනය සමූහ වශයෙන් මරණයට පත් වී, රෝගය සඳහා ප්‍රතිශක්තිකරණය ඇති ජනගහනය ලෝකය තුළ ඉතිරි කරමින්. අද තරම් වෛද්‍ය විද්‍යාව නොදියුණු යුගයක ඇති වූ ස්පාඤ්ඤ උණ රෝගය පිළිබඳව නිවැරදි සංඛ්‍යා දත්ත නොමැති බැවින් මියගිය ප්‍රමාණය මිලියන 20ත් මිලියන 50ත් අතර අගයක් ගන්නා බවට යි සඳහන් වන්නේ.

1918 වසරට පසුත් විවිධ වසංගත තත්ත්ව ලෝකය පුරා ව්‍යාප්තව ගියත්, ස්පැනිෂ් ෆ්ලූ තරම් එකවරම ලෝකයට බලපෑමක් එල්ල කළ වෙනත් වෛරස් රෝගයක් නොමැති බව කිව හැකි යි.

කවරයේ පින්තූරය- history.com

මූලාශ්‍රය- 

History.com