අගමැතිවරයකුට ඉල්ලා අස්වීමට බල කළ 1953 හර්තාලය

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෙන්ම වාමාංශික සහ වෘත්තීය සමිති ඉතිහාසයේ ද මග සළකුණක් ලෙස 1953 අගෝස්තු 12 වනදා දියත් කරන ලද හර්තාලය සැලකිය හැකියි. එසේම හර්තාලයෙන් නැගුණ ආන්දෝලනය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ අගමැතිවරයකුට ඉල්ලා අස්වීමට සිදුවීම ද මෙහිදී ඉතා වැදගත් සිද්ධියක් වුණා.

සෞභාග්‍යමත් කාලයේ නිමාව​

1952 මාර්තු මාසයේදී හිටපු අගමැති ඩී. එස්. සේනානායක අසු පිටින් වැටීමෙන් සිදු වූ අනතුරකින් මිය ගිය අතර ඔහුගේ පුත්‍රයා වූ ඩඩ්ලි සේනානායක අගමැති ධූරයට පත් වුණා. එම වසරේ මැයි මාසයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ අතර අලුතින් බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 9 ක් දිනා ගනිද්දී වාමාංශික පක්ෂවල ආසන සංඛ්‍යාව පහළ වැටුණා. එම අවස්ථාවේ රටේ ආර්ථික තත්ත්වය ද යහපත් තත්ත්වයක තිබූ අතර රජය ඉතා ප්‍රබල තත්ත්වයක සිටිනු දිස් වුණා.

කෙසේ නමුත් වැඩි කලක් යන්නට මත්තෙන් රටේ ප්‍රශ්න මතු වන්නට පටන් ගත්තා. එකල ලංකාවේ ආර්ථිකය රඳා පැවැතුණේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් හුරු කළ වැවිලි භෝග වගාව මතයි. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබුණේ ද මේ ආකාරයෙන්.

ඩඩ්ලි සේනානායක​ (Daily News)

කොරියානු යුද්ධය ඇරඹීම හේතුවෙන් 1950 සිට ශ්‍රී ලංකාවේ රබර් සඳහා හොඳ ඉල්ලුමක් තිබුණ අතර ඒ හේතුව නිසා ලංකාවේ වෙළෙඳ ශේෂය හොඳ මට්ටමක පැවතුණා. කෙසේ නමුත් යුද්ධයේ අවසන් කාලය වනවිට එම ඉල්ලුම පහත වැටී රබර් ආශ්‍රිතව ජීවිකාව කරගත් විශාල පිරිසක් අපහසුතාවට පත් වන අතරම රටේ විදේශ විනිමය ආදායම ද පහත වැටුණා. මේ අතර සහල් නිෂ්පාදනය අඩු වීමෙන් රටේ සහල් අවශ්‍යතාව සපයා ගැනීම පිළිබඳ ගැටලුවකට රජය මුහුණ දුන්නා.

මේ අවස්ථාවේ රජය සහනාධාර කප්පාදුවක් කරා පෙළඹුණා. සහල් සහනාධාරය අඩු කළ රජය සීනි මිල ඉහළ දැම්මා.

මේ අතර සහල් හිඟයට විසඳුමක් සෙවීමට බටහිර රටවලින් උපකාර නොලැබුණ පසුබිමක​, ලංකා රජය මහජන චීනය සමඟ රබර් – සහල් ගිවිසුමට පැමිණියා. මේ අනුව ලංකාවේ රබර් ඔවුන් විසින් මිලට ගැනීමටත් ඒ වෙනුවෙන් සහන මිලට සහල් ලබා දෙන්නටත් චීනය එකඟ වුණා.

කෙසේ නමුත් මෙසේ කොමියුනිස්ට්වාදී රටක් සමඟ ගිවිසුමකට පැමිණීම රජය තුළම ඇතැම් ඇමතිවරුන්ගේ විවේචනයට හේතු වූ අතර ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඒ පිළිබඳ අප්‍රසාදය පළ කළා.

1953 වසර එළඹෙන විට රටේ මූල්‍ය තත්ත්වය තවත් අයහපත් වන්නට පටන් ගෙන තිබුණා. කොරියානු යුද්ධයේ මුල් කාළයේ ඇතිවූ වාසිදායක තත්ත්වය හේතුවෙන් 1952 ජනවාරි වන විට ශ්‍රී ලංකාව සතු විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1209 ක්‌ දක්‌වා ඉහළ ගිය නමුත් 1953 ජූලි අයවැය ඉදිරිපත් කරන විට එය රුපියල් මිලියන 676 දක්‌වා පහත වැටී තිබුණා.

මෙහි ප්‍රතිඵලය වුණේ රජය ලෝක බැංකුවේ ද උපදෙස් මත සහනාධාර කප්පාදුවකට යාමයි. 1953 ජූලි මාසයේ ඉදිරිපත් කරන ලද අයවැයෙන් සහල් මත වූ සහනාධාරය කපා හැරීමත් සමඟ සත 25 ක් ලෙස පැවති සහල් සේරුවක මිල සත 70 දක්වා එක්වරම වැඩි වුණා. මේ අතර පාසැල් ළමුන්ට දුන් දිවා ආහාරයත් කපා හරිනු ලැබුණා. මෙම පියවරයන් රටේ දුප්පත් ජනතාව මත දැඩි පීඩනයක් ඇති කළා. මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන සඳහන් කළේ මෙම සහනාධාර කප්පාදුව සිදු කරන ලද්දේ ලෝක බැංකුවේ උපදෙස් මත බවයි.

මෙම අයවැය යෝජනාවලට එරෙහිව ගතයුතු පියවර සාකච්ඡා කිරීමට 1953 ජූලි 20 වනදා වෘත්තීය සමිති රැස්වීමක් පැවැත්වුණා. ලංකා කම්කරු සම්මේලනය​, ලංකා කම්කරු සංගමය​, ලංකා වෙළෙඳ සේවක සංගමය ආදී සමිති ඊට සම්බන්ධ වුණා. මේ අනුව එක් දින මහා වැඩ වර්ජනයක් සඳහා තීරණයක් ගනු ලැබුණා.

ජූලි 21 වනදා සහල් මිල වැඩි කිරීම ක්‍රියාත්මක වුණා. ඒ සමඟම වරාය කම්කරුවන් සංකේත වැඩවර්ජනයක් දියත් කළා. රන්දොඹේ ගම් වැසියන් පාරවල්වල වැතිර ගමනාගමනයට බාධා කළා. මේ අතර ජූලි 23 වනදා පාර්ලිමේන්තුව අසල ගාලුමුවදොර පිටියේ හර්තාලයට පක්ෂ මහා ජනරැලියක් පැවති අතර එහිදී වාමාංශික පක්ෂ නායකයින් ගණනාවක් කතා පැවැත්වූවා. (වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල එවක පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වුණා). මෙම රැළියෙන් පසු ඇතැම් පිරිස් පාර්ලිමේන්තුව දෙසට යාමට උත්සාහ කරද්දී පොලිසිය එම උද්ඝෝශකයන්ට පහර දී විසුරුවා හැරියා.

මේ වනවිට ලංකාවේ ප්‍රධාන වමේ පක්ෂ තුනක් ක්‍රියාත්මක වුණා. ඒ ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සහ ෆිලිප් ගුණවර්ධන නායකත්වය දැරූ විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂයයි. හර්තාලය මෙම පක්ෂ තුනේම එකමුතුවෙන් ක්‍රියාත්මක වීම විශේෂ ලක්ෂණයක් වුණා. මෙම වැඩ වර්ජනය සඳහා අගෝස්තු 12 වනදා දින නියම කරගනු ලැබුණා. ලසසපය වෙනුවෙන් ලෙස්ලි ගුණවර්ධන​, කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් දොස්තර සුගීශ්වර වික්‍රමසිංහ​, වි.ල​.ස​.ස​.ප වෙනුවෙන් ෆිලිප් ගුණවර්ධන යන තිදෙනා ද මෙම පක්ෂ තුනේ වෘත්තීය සමිති සම්මේලන සභාපතිවරුන් වූ එන්.එම්. පෙරේරා (ලසසප​), පීටර් කේනමන් (කො.ප​.), සී. හික්කඩුවගේ (වි.ල​.ස​.ස​.ප​) ද ලංකා කම්කරු සංගමයේ ඒ.ඊ. ගුණසිංහ (පුත්‍ර​) සහ ලංකා වෙළෙඳ සේවක සංගමය (CMU) වෙනුවෙන් බාලා තම්පෝ ද යන පිරිස අත්සන් කළ ලියවිල්ලක් මගින් මෙම දිනය ජාතික විරෝධය පෑමේ දිනයක් ලෙස සලකන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබුණා.

තම තමන්ගේ ආයතන වසා තැබීමෙන්, පාසැල් සහ රැකියා ස්ථානවලට නොපැමිණීමෙන්, කලු කොඩි එසවීමෙන් සහ විරෝධතා රැස්වීම් පැවැත්වීමෙන් මෙම විරෝධතාවට දායක වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබුණා.

හර්තාලයේ අවස්ථාවක් (boondi.lk)

වමේ පක්ෂ විසින් රටපුරා රැස්වීම් පවත්වමින් මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කරගෙන ගියා. මේ ඇතැම් රැස්වීම්වලට මැර ප්‍රහාරත් එල්ල​ වුණා. කුසුමා ගුණවර්ධන මන්ත්‍රීතුමිය සහභාගී වූ රැස්වීමකට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වීම එවන් එක් අවස්ථාවක්. මේ අතර හර්තාලයට සහභාගී වන රජයේ සේවකයන් නෙරපන බවට රජය අනතුරු ඇඟවීමක් සිදු කළා. ආහාර වෙළෙඳසැල් වසා තබන අයගේ බලපත් අහෝසි කරන බවට ආහාර කොමසාරිස් ද ප්‍රකාශයක් නිකුත් කළා.

වමේ පක්ෂ තුනට අනෙකුත් විපක්ෂ කණ්ඩායම්වල ද සහය මෙම අවස්ථාවේ ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හර්තාලය අනුමත කළත් ඊට නිල වශයෙන් ක්‍රියාත්මක සහයක් ලබා දීමෙන් වැළකී සිටියා. ලංකා ඉන්දියානු සංගමය විරෝධතා රැස්වීම්වලට සහභාගී වන බව කියා සිටියා.

හර්තාලය​

අගෝස්තු 11 වනදා මධ්‍යම රාත්‍රිය එළඹීමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුවේ “රනින්ග් ශෙඩ්” අංශයේ කම්කරුවන් වැඩ වර්ජනයක් දියත් කළා. උදෑසන වනවිට සෞඛ්‍ය සේවය වැනි අය හැරුණු විට සියලුම අංශවල පාහේ සේවකයන් වැඩ වර්ජනය කරන බව දකින්නට තිබුණා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනජීවිතය මුලුමණින්ම ඇණහිටි අතර ප්‍රදේශ ගණනාවක පෙළපාලි සහ රැස්වීම් පවත්වනු ලැබුණා. කොළඹ මහනගර සභා ගොඩනැගිල්ලේ සහ මොරටුව නගර සභා ගොඩනැගිල්ලේ පවා කලු කොඩි ඔසවන්නට විරෝධතාකරුවන් සමත් වුණා.

රජය හදිසි නීතිය ප්‍රකාශ කර පෙළපාලි සහ රැස්වීම් තහනම් කළා. මේ අතර කැබිනට් මණ්ඩලය රැස්වූයේ කොළඹ වරායෙන් එපිට නවතා තිබූ HMS නිව්ෆවුන්ඩ්ලන්ඩ් නම් බ්‍රිතාන්‍ය නෞකාවේදීයි. අගෝස්තු 12 සහ 13 දිනවල ජනතා පෙළපාලිවලට එල්ල වූ ප්‍රහාරවලින් 9 දෙනකු මිය ගියා. මේ අතර 1500 ක් පමණ අත් අඩංගුවට ගැණුනා.

හර්තාලයෙන් පසු

අගෝස්තු 13 වනදා හර්තාලය අවසන් කරන ලද බව ප්‍රකාශ කළ ප්‍රධාන වාමාංශික පක්ෂ වැඩ වර්ජනය කළ පිරිස්වලට නැවත සේවයට වාර්තා කරන ලෙස දන්වා සිටියා. නමුත් සියලු කටයුතු එක් දිනක් හෝ දෙකක් තුළ යථා තත්ත්වයට පත් වූයේ නැහැ.

මේ අතර ජනතා විරෝධයට ප්‍රචණ්ඩකාරී ලෙස පිළිතුරු දීම වාමාංශික දේශපාලන පක්ෂ විසින් පාර්ලිමේන්තුවේදී දරුණු ලෙස විවේචනය කෙරුණා. රජය උත්සාහ කළේ හර්තාලය යනු රජය පෙරළීමේ විප්ලවයක් හෝ කැරැල්ලක් හෝ යයි අර්ථ දක්වා එමගින් සිය පියවරයන් සාධාරණීකරණය කිරීමයි. කෙසේ නමුත් එම තර්කය විපක්ෂ නායක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් ද ප්‍රතික්ෂේප කෙරුණා.

එම උණුසුම් තත්ත්වය එසේ පවතිද්දී සැප්තැම්බර් 1 වනදා බණ්ඩාරනායක විසින් රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙනු ලැබුණා. රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳීමට අපොහොසත් වීම සහ අකාර්යක්ෂම මූල්‍ය පරිපාලනය​, හාල් සහනාධාරය සහ වෙනත් සහනාධාර කප්පාදුවෙන් ජනතාවගේ ජීවන තත්ත්වයට පහර ගැසීම​, ඒ පිළිබඳ ජනතාවට නව මැතිවරණයක් හරහා සිය කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදීම​, හර්තාලය අවස්ථාවේ හදිසි නීතිය පැනවීම​, පුද්ගලයන් සිරබාරයට ගැනීම, හමුදාව කැඳවීම වැනි බරපතල ක්‍රියාමාර්ග ගැනීම යනාදිය ඔහු විසින් ඉදිරිපත් කළ චෝදනා වුණා​.

හර්තාලය යනු රජය පෙරළීමට සිදු කළ කැරැල්ලක් යන මතය ප්‍රතික්ෂේප කළ ඔහු එම සිදුවීම් පිළිබඳ සෙවීමට ස්වාධීන කොමිසමක් පත් නොකරන්නේ මන්දැයි රජයෙන් ප්‍රශ්න කර සිටියා.

හර්තාලය හේතුවෙන් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් වූ ඩඩ්ලි සේනානායක අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඔක්තෝබර් 12 වනදා සර් ජෝන් කොතලාවල අගමැති ලෙස දිවුරුම් දුන්නා. මුදල් ඇමති ලෙස එතෙක් කටයුතු කළ ජේ.ආර්. ජයවර්ධන කෘෂිකර්ම ඇමති ලෙස පත් කරනු ලැබුණා. මේ අතර හාල් සේරුවේ මිල ශත 55 තෙක් පහළ දමනු ලැබුණා.

1956 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වීමට මාර්ගය විවර වූයේ 1953 හර්තාලය ඔස්සේ බව වාමාංශික දේශපාලන විචාරකයන් ගේ මතයයි.

මූලාශ්‍ර​

  1. අරගලයක අතීතය​, ලෙස්ලි ගුණවර්ධන​, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (1980), ISBN 978-955-1319-22-9
  1. S.W.R.D. බණ්ඩාරනායක​, මලල්ගොඩ බන්ධුතිලක​, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව (1999), ISBN 955-610-133-0
  1. කුසුමා​ – වාමාංශික දේශපාලන ජීවිතයක්, ලක්මලී ගුණවර්ධන (පරි: කුසුම් දිසානායක​), විසිදුනු ප්‍රකාශකයෝ (2013) ISBN 978-955-0955-22-0

Cover Image: එන්. එම්. පෙරේරා ගාලු මුවදොර රැළිය අමතයි (Paradise in Tears)

Related Articles