Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1956 මහා මැතිවරණයේ බල පෙරළිය

1956 මහා මැතිවරණය ලංකා ඉතිහාසය තුළ හමුවන පෙරළිකාර මැතිවරණයක් වන්නේ, වසර 9ක් අඛණ්ඩව රට පාලනය එක්සත් ජාතික පක්ෂ ආසන 8ක් දක්වා පහතට වැටුණු නිසා යි. එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් විරුද්ධ පක්ෂවල නවකයන් හමුවේ පරාජයට පත් වුණේ කිසිවෙකු අපේක්ෂා නොකළ අයුරින්. එවකට එක්සත් ජාතික පක්ෂ නායක ජෝන් කොතලාවලගේ ක්‍රියා කලාපය නිසා ඔවුන්ගේ පක්ෂයට එවැනි පරාජයක් අත්වුණු, අදටත් බොහෝ දෙනා පිළිගන්නා මතයක් වනවා. එසේ නම්, මෙම ලිපිය ලියැවෙන්නේ මීට වසර 64කට පෙර ලංකාව තුළ සිදුවුණු බල පෙරළිය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

කොතලාවල නොසිතූ මොහොතක මහා මැතිවරණයක් කැඳවයි 

1952 වසරේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගැනීමෙන් පසුව ඩඩ්ලි සේනානායක අගමැතිවරයා බවට පත් වුණා. නමුත්, 1953 වසරේ දී ආණ්ඩුවට එරෙහිව දියත් කළ හර්තාලය නිසා ඩඩ්ලි සිය තනතුරෙන් ඉල්ලා අස් වුණා. ඩඩ්ලිගේ ඉල්ලා අස් වීමෙන් පසුව හිස් වුණු අගමැති ධූරය සඳහා තේරී පත් වුණේ ජෝන් කොතලාවල යි. එලෙස ආණ්ඩුව භාරගත් කොතලාවලට යළි මැතිවරණයක් සඳහා යා යුතුව තිබුණේ 1957 වසරේ දී යි. නමුත්, කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් ඔහු 1956 වසරේ පෙබරවාරි 18 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළා. 

ජෝන් කොතලාවල (gettyimages)

ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂ පෙළ ගැසෙයි 

මහා මැතිවරණය කැඳවීමත් සමගම ක්‍රියාත්මක වුණු සොලමන් බණ්ඩාරනායක, විපක්ෂය නියෝජනය කළ  පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරි සමසමාජ පක්ෂයත්, ඊරියගොල්ල, දහනායක සහ සෝමවීර ත්‍රිත්වයේ භාෂා පෙරමුණ සමගත් සන්ධානගත වුණා. එලෙස ඇති වුණු සන්ධානය හැඳින්වුණේ මහජන එක්සත් පෙරමුණ යන නමින්. එසේම එම මහා මැතිවරණයේ දී ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමග නිතරග ගිවිසුම් ඇතිකර ගත් බණ්ඩාරනායක, ආණ්ඩු බලය ලබාගැනීම සඳහා විශාල සැලසුමක් සකස් කළා.

මැතිවරණයට පෙර සිදුවුණු පෙරළි 

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වුණු ජේ.ආර්. ජයවර්ධන සමග ඇතිකර ගත් ගැටුමක් නිසා කොතලාවල, රජයේ වෙළඳ ඇමති ලෙස කටයුතු කළ ආර්.ජී. සේනානායක ස්වාධීනව මහා මැතිවරණයට තරග කිරීමට  තීරණය කළා. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක් වුණේ ආර්.ජී. සේනානායක ඔහු නියෝජනය කළ දඹදෙණි අසුනට අමතරව තවත් අසුනක් වෙනුවෙන් තරග කිරීමට ඉදිරිපත් වීම යි. එලෙස ආර්.ජී. තරග වැදුණු අමතර අසුන වුණේ, ජේ.ආර්. ජයවර්ධන තරග කළ කැළණිය අසුන යි. එම සිදුවීමට අමතරව මහා මැතිවරණය ආසන්න වන විට සිදුවුණු අනිකුත් සිදුවීම වුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරමින් සිටි බර්නාඩ් අළුවිහාරේ එක්සත් ජාතික පක්ෂයට එකතු වීම යි. 

මැතිවරණය පැවති ආකාරය 

1956 වසරේ මාර්තු 8 වැනි දා මැතිවරණයට නාම යෝජනා කැඳවීමෙන් පසුව මැතිවරණය පැවැත්වීමට තීරණය කළේ අප්‍රේල් 5, 7, සහ 10 වැනි දිනවල දී යි. එහි දී අප්‍රේල් 5 වැනි දින මැතිවරණය පවත්වනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක ආසන සඳහා යි. ඊළඟ දිනයේ දී පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂයට මධ්‍යස්ථ වශයෙන් වාසිදායක ආසනවල ඡන්ද විමසීම යි. අවසන් දිනයේ දී පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂයට කිසිසේත්ම ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැතැ යි අපේක්ෂා කළ ආසනවල ඡන්ද විමසීම යි. එහි දී එක්සත් ජාතික පක්ෂයේ සැලැස්ම වුණේ මුල් දිනයේ වැඩි ආසන ප්‍රමාණයක් ලබාගෙන ජනරැල්ල ඔවුන්ගේ දිශාවට හමන බව ඡන්ද දායකයින්ට ඒත්තු ගැන්වීම යි. එමඟින් ඔවුන් අපේක්ෂා කළේ මධ්‍යස්ථ ආසනවල වාසිය ඔවුන්ගේ දෙසට හරවා ගැනීම යි.

එක්සත් ජාතික පක්ෂය අටට වැටෙයි 

අප්‍රේල් 5 වැනි දා ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව එදින රාත්‍රී 10ට පමණ මුල්ම නිල ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වුණා. එහි දී මහජන එක්සත් පෙරමුණ නියෝජනය කළ නවක අපේක්ෂකයෙකු වුණු නිමල් කරුණාතිලක, එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ බර්නාඩ් අළුවිහාරේව පරාජය කරමින් මාතලේ ආසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 2,596ක් ලබාගනිමින්. එලෙස පරාජිත ආරම්භයක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට පළමු දිනයේ දී ජයග්‍රහණය කිරීමට හැකි වුණේ ආසන 8ක් පමණ යි. මැතිවරණයේ පළමු දිනයේ දී ජනරැල්ල මහජන එක්සත් පෙරමුණ දෙසට නැඹුරු වන බව දුටු ජනතාව ඊළඟ දින දෙකේ පැවති ඡන්ද විමසීම්වල දී මහජන එක්සත් පෙරමුණ ඉහළින්ම දිනවීමට කටයුතු කළා. ඒ අනුව ආසන 60ක් වෙනුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කළ මහජන එක්සත් පෙරමුණ ආසන 51ක් ජයග්‍රහණය කරන විට ආසන 76ක් වෙනුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂයට හිමි වුණේ ආසන 8ක් පමණ යි.

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රාහකයන් අට දෙනා 

1956 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පරාජයට පත් වන විට සිය අසුන රැකගැනීමට සමත් වුණේ පහත අපේක්ෂකයන් අට දෙනා යි.

1) ජෝන් කොතලාවල- දොඩම්ගස්ලන්ද 

2) එම්.ඩී බණ්ඩා- මතුරට 

3) ඊ.එල්.බී හුරුල්ලේ- හොරොව්පතාන

4) සී.ඒ ධර්මපාල- හක්මන 

5) කේ. හේමචන්ද්‍ර- තලවකැලේ 

6) මැද කොළඹ (දෙවන මන්ත්‍රී)- රාසික් ෆරීඩ් 

7) කඩුගන්නාව (දෙවන මන්ත්‍රී)- එල්.එස් ජිනසේන 

8) බදුල්ල (දෙවන මන්ත්‍රී)- එස්.ඒ පීරිස් 

කවදත් වාමාංශික පක්ෂවලට වාසිදායක ආසනයක් වුණු හක්මන ආසනය, මෙහි දී එක්සත් ජාතික පක්ෂය ජයගනු ලැබුවේ වාමාංශික ඡන්ද දෙකට බෙදීම නිසා යි. හක්මන ආසනයේ ඡන්ද ප්‍රතිඵලය නිරීක්ෂණය කළ විට එය මැනවින් පැහැදිලි වනවා.

සී.ඒ ධර්මපාල (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 13,298

පී.ඒ වික්‍රමසිංහ (කොමියුනිස්ට් පක්ෂය)- ඡන්ද 10,591

පී.පී වික්‍රමසූරිය (මහජන එක්සත් පෙරමුණ)- ඡන්ද 10,250

ආර්.ජී සේනානායකගේ වික්‍රමය 

1956 මහා මැතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් දඹදෙණිය සහ කැළණිය යන ආසන සඳහා තරග කළ ආර්.ජී. සේනානායක එහි දී ආසන ද්විත්වයම ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. එලෙස ආර්.ජී. සේනානායක කැළණිය ආසනය සඳහා තරග කිරීමට ඉදිරිපත් වුණේ, ජේ.ආර්. ජයවර්ධන සමග ඇතිකරගත් ගැටුමක දී එල්ල වුණු අභියෝගයක ප්‍රතිඵලයක් වශයෙන්.

කැළණිය ආසනය 

ආර්.ජී සේනානායක (ස්වාධීන)- ඡන්ද 37,023

ජේ.ආර් ජයවර්ධන (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 14,187

දඹදෙණිය ආසනය 

ආර්.ජී සේනානායක (ස්වාධීන)- ඡන්ද 26,414

ඒ.ජී පියදාස (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 1,507

ජේ.ආර්. ජයවර්ධන (gettyimages)

එලෙස එක්සත් ජාතික පක්ෂය 1956 මහා මැතිවරණයේ දී දරුණු පරාජයක් ලැබුවත්, පසුකලෙක නිසි පරිදි ප්‍රතිසංවිධානය වී යළි බලය ලබාගත්තා. නමුත්, එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය තුළ ලැබූ අපකීර්තිමත් මැතිවරණ පරාජයක් ලෙසින් මෙම පරාජය සැමදාමත් ලංකා දේශපාලන ඉතිහාසය තුළ ලියැ වී පවතිනු ඇත.

කවරයේ ඡායාරූපය- 1956 මහා මැතිවරණයෙන් පසුව අගමැතිවරයා වුණු සොලමන් බණ්ඩාරනායක (gettyimages)

මූලාශ්‍රය- 1956 මහා මැතිවරණ ප්‍රතිඵල (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles