ඉන්දියානු බිමෙන් පෘතුග්‍රීසීන් එළවූ දින දෙකේ මෙහෙයුම

ඉන්දියාවේ බටහිර වෙරළේ උතුරින් මහාරාෂ්ඨ ප්‍රාන්තයට ද, නැගෙනහිරෙන් හා දකුණෙන් කර්ණාටක ප්‍රාන්තයට ද මැදි ව පිහිටි ගෝව පිළිබඳ ව ඔබ අසා තිබෙන්න පුළුවන්. එය ඉන්දියාවේ ඇති කුඩා ම ප්‍රාන්තවලින් එකක්.

මෙම ප්‍රාන්තයේ සුවිශේෂී කරුණ වන්නේ එය 1961 වසර වන තුරු ඉන්දියානු රජයට අයත් නොවීම යි. එය 1510 වසරේ සිට වසර 451ක් පෘතුගීසි පාලනයට යටත්ව තිබූ අතර 1961 දී ඉන්දියාව විසින් නැවත තම අණසකට ගනු ලබනවා.

පෙරදිග කලාපයේ පෘතුග්‍රීසි, ලන්දේසි, හා ඉංග්‍රීසි පාලකයන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ඉන්දියාව ක්‍රියාත්මක වූ අතර පෘතුග්‍රීසීන්ගෙන් ලන්දේසීන්ට ද ඔවුන්ගෙන් පසු ඉංග්‍රීසින්ට ද පෙරදිග බලය හිමි වූවත් ගෝව ප්‍රදේශය නැවත වෙන කිසිවෙකුටත් ලබාදීමට පෘතුග්‍රීසින් එකඟ වෙන්නේ නෑ.

පෘතුගීසීන් විසින් ගෝව යටත් කරගැනීම

ගෝවේ පිහිටීම (Maps of India)

1510 පෙබරවාරි මාසයේ දී පෘතුග්‍රීසීන්ගේ නාවික හමුදාව විසින් ගෝව ආක්‍රමණය කිරීම ආරම්භ කරනවා. නමුත් ස්වදේශික හමුදාව ද පෘතුග්‍රීසීන් හා කරට කර සටන් කිරීම හේතුවෙන් ඔවුන්ගේ මෙහෙයුම සාර්ථක වන්නේ නෑ. ඉන් මාස කිහිපයකට පසු ව පෘතුග්‍රීසි නාවුක හමුදාවේ ඇෆොන්සෝ ඩී ඇල්බකර්කේ පෘතුග්‍රීසි අධිරාජයාගේ උපදෙස් මත ගෝවේ ස්වදේශික හමුදා භටයන් මෙන්ම සිවිල් වැසියන් දහස් ගණනක් මරා දමමින් එම ප්‍රදේශය තම අණසකට යටත් කරගන්නවා.

ගෝවේ දරදඬු පෘතුග්‍රීසි පාලනය

ගෝවේ පෘතුග්‍රීසි සෙබළෙක් (Getty Images)

1540 වසරේ ගෝවේ හින්දු හා කතෝලික ආගම් අතර දරුණු ගැටුමක් නිර්මාණය වන අතර, මේ හේතුවෙන් ස්වදේශික හින්දූ ජාතිකයන් විශාල ප්‍රමාණයක් ඝාතනය වෙනවා.

ගෝව තුළ පෘතුග්‍රීසීන් රැගෙන ගිය පාලනය දරදඬු වූ අතර කිසිවෙකුට එම පාලනයට විරුද්ධව නැගී සිටීමට හැකි වුණේ නෑ. එලෙස නැගී සිටීම මරණයට එක් හේතුවක් වුණා. එතැන් පටන් ඉන්දියානුවන් වරින් වර මෙහෙයුම් දියත් කරමින් මුහුණට මුහුණ ලා සටන්වලින් හා ගරිල්ලා සටන්වලින් ගෝවේ බලය ලබාගැනීමට උත්සාහ කළත් ඒ සෑම අවස්ථාවක දී ම පෘතුග්‍රීසීන් ජයග්‍රහණය අත් කරගන්නවා.

1947 වසරේ දී ඉංග්‍රීසින් විසින් ඉන්දියාවට නිදහස ප්‍රදානය කරනවා. නමුත් නිදහස් ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස ගෝව ඉන්දියානු රජයට ලබාදීමට පෘතුග්‍රීසින් එකඟ වෙන්නේ නෑ.

ගෝව නිදහස් කරගැනීමේ සටන ආරම්භ වේ

විරෝධතා පා ගමන් (The Logical Indian)

ගෝව නිදහස් ඉන්දියාවට එකතු කරගැනීමට ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා වූ ජවහල්ලා නේරුට අවශ්‍ය වූ අතර, ඒ වෙනුවෙන් පෘතුගාල රජයට කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වීම ද සිදුවෙනවා. 1954 සිට ගෝව නිදහස් කරගැනීම සඳහා ගෝව බලා සාමකාමී පා ගමන් කලාකරුවන්, මාධ්‍යවේදීන්, හා  ප්‍රගතිශීලි දේශපාලන පක්ෂ එකතු වී සිදුකරන අතර සමහර පා ගමන් ගෝව දේශ සීමාවට ඇතුළු වීම හේතුවෙන් පෘතුග්‍රීසි හමුදාවන්ගේ වෙඩි ප්‍රහාරයන්ට හසුවෙනවා.

1955 අගෝස්තු 15 වන දා එවැනි එක් විරෝධතා පා ගමනකට එල්ල වූ පෘතුග්‍රීසි හමුදා ප්‍රහාරයකින් ඉන්දියානුවන් 22ක් මරණයට පත් වී තවත් 200කට වඩා වැඩි පිරිසක් තුවාල ලබනවා.

අගමැති නේරුගේ ඉවසීමේ සීමාව ඉක්මවා යයි

ගෝව යටත් කරගැනීම (Goa Holiday Guide)

තත්ත්වය මෙසේ තිබිය දී 1961 නොවැම්බර් මාසයේ දී ඉන්දියානු මඟී නෞකාවකට හා ධීවර බෝට්ටුවකට ප්‍රහාර එල්ල කර විනාශ කර දැමීමට පෘතුග්‍රීසි හමුදා කටයුතු කරනවා. මේ පිළිබඳ ව දැඩි අප්‍රසාදයට පත්වෙන අගමැති නේරු තම නිජ භූමිය තුළ බලෙන් ප්‍රදේශ කිහිපයක් අල්ලාගෙන සිටින පෘතුග්‍රීසින් ඉවත් විය යුතු ය යන්න එම රටට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද පැමිණිලි කර සිටිනවා.

නමුත් ඒ පිළිබඳ ව කිසිඳු යහපත් ප්‍රතිචාරයක් නොමැති බැවින් 1961 දෙසැම්බර් 18 වන දා පෘතුග්‍රීසින් විසින් පාලනය කළ ගෝව, ඩියු, හා දමාන් යන ප්‍රදේශ තුනට ඉන්දියානු හමුදා එකවර පහරදීම ආරම්භ කරනවා.

පෘතුග්‍රීසි හමුදාවට අන්ත පරාජයක් අත්කර දුන් “විජය මෙහෙයුම”

යටත් වූ පෘතුග්‍රීසි භටයන් (The Hindu)

දෙසැම්බර් 18 වන දා ඉන්දියානු පාබල, ගුවන්, හා නාවුක හමුදා භට පිරිස් 35,000කට අධික ප්‍රමාණයක් සමග ප්‍රහාරක යානා හා ප්‍රහාරක යාත්‍රා පෘතුග්‍රීසි හමුදා විනාශ කිරීම සදහා විජය මෙහෙයුම ආරම්භ කරනවා.

මෙහෙයුම ආරම්භ කර පැය 48ක් ඇතුළත ගෝවට අමතර ව අනෙක් පෘතුග්‍රීසි ප්‍රදේශ වූ ඩියු හා දමාන් අල්ලාගැනීමට ඉන්දියානු හමුදා සමත් වෙනවා. පෘතුග්‍රීසි හමුදා සටන තුළ දී අන්ත පරාජයක් ලැබූ අතර 5,000කට ආසන්න පිරිසක් යුධ සිරකරුවන් ලෙස අල්ලාගැනීමට ඉන්දියානු හමුදා සමත් වෙනවා. මෙම ප්‍රදේශ තුළ වාසය කළ පෘතුග්‍රීසි පවුල් ගුවන් මගින් පාකිස්තානය වෙත යැවීමට පෘතුග්‍රීසි රජය ක්‍රියා කරනවා.

සෝවියට් දේශයේ තීරණය හේතුවෙන් දිනූ දේශය රැකගත් ඉන්දියාව

නේරු එවකට සෝවියට් සංගමයේ නායකයා වූ නිකිතා කෘෂ්ශොෆ් සමග (Getty Images)

ඉන්දීය හමුදා තම රටට අයත් කොලනිවලට ඇතුළු වී බලහත්කාරයෙන් භූමිය අල්ලාගැනීම හේතුවෙන් පෘතුගාලය විසින් එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. එය විභාග කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය නිව් යෝර්ක්‌ නගරයට රැස්වෙනවා.

ඉන්දියාව හා සෝවියට් දේශය එම කාලය තුළ දී ඉතා මිත්‍ර ව කටයුතු කළ බැවින් මෙම භූමිය ඉන්දියානු රජයට ලබාදිය යුතුයැ යි පවසමින් සෝවියට් දේශය තම නිෂේධ බලය භාවිතා කරනවා. සෝවියට් දේශය තම නිෂේධ බලය භාවිතා නොකළේ නම් නැවත එම ප්‍රදේශ පෘතුගාලයට ලබාදීමට ඉඩකඩ තිබුණා. සෝවියට් දේශයේ මෙම ක්‍රියාවෙන් නැවත ගෝව ලබාගැනීමට පෘතුගාලය දැරූ උත්සාහය අසාර්ථක වෙනවා.

මෙම අවස්ථාවේ දී සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රටවල් ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටි අතර අසල්වැසි ඉන්දියාවේ ප්‍රශ්නය හමුවේ ශ්‍රී ලංකාව ද ඉන්දියාවට පක්ෂපාති වීම විශේෂ සිදුවීමක් ලෙස සඳහන් කළ හැකියි.

කවරයේ පින්තූරය – Then and Now

Related Articles