සැන්සිබාරයෙන් ගුරුහරුකම් ලද 71 කැරැල්ල

1971 අප්‍රේල් කැරැල්ල ශ්‍රී ලංකාවේ දේශපාලනයේ එක්තරා නොමැකෙන සන්ධිස්ථානයක් බවට විවාදයක් නැහැ. මේ කැරැල්ල නිදහසින් පසු ලංකාවේ ආයුධ සන්නද්ධ නැගිටීමකින් බලය අල්ලා ගන්න කරපු පළමු උත්සාහය වුණා. ඒ වගේම එයට සහභාගී වූ ඉතා විශාල පිරිසක් තරුණ තරුණියන් වූ නිසා ලංකා ඉතිහාසයේ පළමු තරුණ කැරැල්ල ලෙසත් මෙය හඳුන්වන්න පුලුවනි.

මෙම කැරැල්ලේදී රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා කරන ලද උපක්‍රමය වූයේ රටේ පොලීසිවලට එකම අවස්ථාවේ පහර දීමයි. එමෙන්ම එවකට අගමැතිණිය වූ සිරිමා බණ්ඩාරනායක සහ හමුදාපතිවරුන් ආදී ප්‍රබලයින් කිහිප දෙනෙකු තම භාරයට ගෙන රටේ ආරක්ෂක අංශ සහ පරිපාලනය අකර්මණ්‍ය කිරීමටත් සැලසුමක් සකස් වී තිබුණා.

1971 අප්‍රේල් 5 වනදා උදෑසන 5 ට වැල්ලවාය පොලිසියට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ළඟ එන ප්‍රහාරය පිළිබඳ රජයට අනතුරු ඇඟවීමක් ලැබුණ හෙයින් කැරැල්ල අසාර්ථක වූ බව කිව හැකියි. නමුත් අනෙක් අතට , ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ උපක්‍රමය වැරදීම් සිදුවීමට ඇති තරම් ඉඩකඩ තිබූ එකක් බවත් කිව යුතුයි.

බලය ඇල්ලීම

ජනතා විමුක්ති පෙරමුණේ පළමු නායක රෝහණ විජේවීර දේශපාලනය ඇරඹුවේ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ (පීකිං පිළ ) හෙවත් ලංකාවේ චීන කොමියුනිස්ට් පක්ෂයෙන්. කෙසේ නමුත් එම පක්ෂයේ මහ ලේකම් එන්. ෂන්මුගදාසන් සමග මතභේද ඇති කරගත් විජේවීර තම හිතවාදීන් එක් කරගෙන පක්ෂයේ බලය අල්ලාගැනීමට සැලසුම් කළා. අක්මීමණ ප්‍රදේශයේ ඩබ්. ටී. කරුණාරත්නගේ නිවසේ එම හිතවාදීන් කිහිපදෙනෙකුගේ රැස්වීමක් 1965 මැයි මාසයේදී පැවැත්වුණා. වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භය ලෙස සළකනු ලබන්නේ මෙම රැස්වීමයි.

විජේවීර හිතවාදීන්ට චීන කොමියුනිස්ට් පක්ෂයේ බලය අල්ලාගන්නට නොහැකි වූ අතර 1966 දී විජේවීර පක්ෂයෙන් ඉවත් කෙරුණා. ඉන්පසු ඔහු සිය කණ්ඩායම ගොඩ නගන්නට වුණා.

අක්මීමණ සාකච්ඡාවෙන් සුළු කලකට පසු විජේවීර පාර්ශවය අනුරාධපුරයේ ගල්කුලම දී සහ හම්බන්තොට කිරින්දේ දී ගොවිපල දෙකක් පටන් ගත්තා. කිරින්ද ගොවිපල මුහුදටත්, කලපුවකටත්, වනාන්තරයටත් මායිම් වූ එකක්. අවශ්‍ය වුණහොත් පිටරටින් ආයුධ ගෙනැවිත් ගොඩ බෑමට මෙය උචිත ස්ථානයක් බව විජේවීර ප්‍රකාශ කළා යැයි අප්‍රේල් කැරැල්ලෙහි ප්‍රධාන විත්තිකරුවන් සම්බන්ධ වූ අප්‍රේල් මහ නඩුවේ පළමු විත්තිකරු වූ එස්.වී.ඒ. පියතිලක ප්‍රකාශ කර තිබෙනවා.

රෝහණ විජේවීර 1971 දී (wikimedia.org)

1971 කැරැල්ල හා සම්බන්ධ වූ එවක ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් සිය 71 කැරැල්ල පොතෙහි සඳහන් කරන පරිදි බලය ඇල්ලීම පිළිබඳ අදහසක් පැවතිය ද ඒ සඳහා නිශ්චිත උපක්‍රමයක් විජේවීර තුළ මුල් කාලයේ තිබී නැහැ. ඔහු ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ ඩී. අයි. ජී. ධර්මසේකර සහ ඩී. ඒ. ගුණසේකර යන දෙදෙනා සංවිධානයට එක් වීමෙන් පසුවයි.

ධර්මසේකර කලක් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (මොස්කව් පිළ ) සමඟත් සම්බන්ධ වී සිටි අයෙක්. ඔහු ෆිදෙල් කැස්ත්‍රෝගේ විප්ලවය පිළිබඳ පැහැදී සිටි අතර එම ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කළ හැකි යයි විශ්වාස කළා. එම ක්‍රමය අනුව විප්ලවයේ කේන්ද්‍රය විය යුත්තේ ගරිල්ලා සටන්කාමී කණ්ඩායමයි. ඔවුන් විසින් සිය යුධ ව්‍යාපාරය හරහා ජනතාවට විප්ලවයේ පණිවිඩය ගෙන යා යුතු වුණා. මේ අනුව සුළු සන්නද්ධ කණ්ඩායමක් ගරිල්ලා ක්‍රමයේ සටන් මගින් එම ව්‍යාපාරයට නායකත්වය දිය යුතු වුණා.

ලංකා සම් භාණ්ඩ සංයුක්ත මණ්ඩලයේ කම්කරුවකු වූ ඩී. ඒ. ගුණසේකර චීන කොමියුනිස්ට් පිළෙන් කැඩී ආවෙක්. ඔහු මාඕ සේතුංගේ විප්ලව න්‍යාය පිළිගත් අයෙකු වුණා. ප්‍රාදේශීයව මූල කඳවුරු පිහිටුවාගෙන කෙමෙන් නගර යටත් කිරීමේ දිග්ගැස්සුණ ජනතා යුද්ධ න්‍යායය ඔහු විසින් පිළිගනු ලැබූ ක්‍රමවේදයයි.

කැස්ත්‍රෝ සහ මාඕ ප්‍රතික්ෂේප කිරීම

විජේවීර මෙම ක්‍රම දෙකම ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ ම ස්වාධීන න්‍යායයක් ඉදිරිපත් කළා. ඔහු මෙම ක්‍රමය ජනතා විමුක්ති පෙරමුණේ සුප්‍රකට පන්ති පහෙන් අවසන් පන්තිය වූ “ලංකාවේ විප්ලවය ගත යුතු මග ” යන පන්තියට ඇතුලත් කළා.

ෆිදෙල් කැස්ත්‍රෝ සියෙරා මයෙස්ත්‍රා කඳුකරයේ කඳවුරක (flashback.com)

කැස්ත්‍රෝ සහ මාඕ දෙදෙනාගේ විප්ලවවාදී උපක්‍රම ප්‍රතික්ෂේප කිරීම සඳහා විජේවීර යොදාගත් තර්කය වූයේ ලංකාවේ පවතින සුවිශේෂී තත්ත්වයන්ට ගැළපෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි. කියුබාවේ විප්ලවය වන සමයේ හමුදා ආණ්ඩුවක් පැවති බවත් එහෙයින් ජනතාව සංවිධානය කිරීම අපහසු වූ බවත් එහෙයින් කැස්ත්‍රෝගේ ක්‍රමය අනුගමනය කළ යුතු වූ බවත් විජේවීර කියා සිටියා.

මාඕගේ ක්‍රමය පිළිබඳ ඔහුගේ විවේචනය වූයේ ලංකාවේ සෑම ප්‍රදේශයක් ම මහාමාර්ග පද්ධතියකින් එකිනෙකට සම්බන්ධ වී ඇති බැවින් මූල කඳවුරු පිහිටුවීමට සුදුසු ආරක්ෂිත ප්‍රදේශයක් සොයාගැනීම අපහසු බවයි. මාඕ සේතුං විප්ලවය දියත් කරන සමයේ චීනයේ අභ්‍යන්තර බෙදීම් තිබුණ බවත් පිටිසරබද පෙදෙස් සමඟ ප්‍රධාන ආණ්ඩුවේ සබඳතා අඩු වූ බවත් ඔහු සඳහන් කළා.

මාඕ සේතුං (interestingfacts.org)

මේ අනුව ලංකාව පුරා පොලිස් ස්ථානවලට එකවර පහර දීමේ “විසිරුණු හා ක්ෂණික අරගල න්‍යායය ” ලංකාවේ විප්ලවය ගතයුතු මග බව විජේවීර කියා සිටියා.

සැන්සිබාරයෙන් ලද ගුරුහරුකම

ඇතැම් අය තුළ පවතින අදහසක් වන්නේ විජේවීර විප්ලවය සඳහා තමන්ගේම න්‍යායක් නිර්මාණය කළ බවයි. වික්ටර් අයිවන් සිය 71 කැරැල්ල පොතෙන් කියා සිටින්නේ විජේවීර මෙසේ අලුත් න්‍යායක් ගොඩ නැගුවේ පක්ෂයේ අතිශයින්ම තීරණාත්මක ප්‍රශ්නයකදී තවත් කෙනෙකුගේ අදහස බාර ගැනීමට ඔහු තුළ වූ අකමැත්ත නිසා බවයි .

කෙසේ නමුත් එකල ක්‍රියාකාරී වූ ජවිපෙ නායකයන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කර තිබුණේ විජේවීර තනිවම ස්වාධීන න්‍යායක් ගොඩ නැගුවා නොව වෙනත් රටකින් ඊට ගුරුහරුකම් ද ලබාගත් බවයි.

1964 ජනවාරියේදී සැන්සිබාරයේ විප්ලවයෙන් එරට ඇෆ්‍රෝ ෂිරාසි පක්ෂය බලයට පැමිණියා. මෙහිදී ඔවුන් අනුගමනය කළ ක්‍රමය වූයේ රටේ පොලිසියට පහර දී එයින් අල්ලාගන්නා ලද ආයුධ ද යොදවාගෙන අගනුවර බලය ඇල්ලීමයි. මෙම විප්ලවවාදී ව්‍යාපාරයේ නායකයා වූයේ අබෙයිඩ් කරුමේ නැමැත්තෙක්. ඔහු ලුමුම්බා සරසවියේදී විජේවීරගේ සමකාලීනයකු වුණා.

අබෙයිඩ් කරුමේ (mwananchi.co.tz)

විජේවීර පාර්ශවය සැන්සිබාර ක්‍රමයට බලය අල්ලාගන්නට බලාපොරොත්තු වන බව 1971 කැරැල්ලේදී කෑගලු දිස්ත්‍රික් නායකයා වූ සරත් විජේසිංහ ඊට වසර කිහිපයකට පෙර තමන් සමඟ පැවසූ බව නීතීඥ කල්‍යානන්ද තිරාණගම මීට වසර කිහිපයකට පෙර දිවයින පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා . තිරාණගම එම සමයේ චීන පිළෙන් ඉවත් ව ක්‍රියාත්මක වූ මාවෝවාදී කණ්ඩායමක සාමාජිකයකු වුණා.

කෙසේ නමුත් එම සැලැස්ම ව්‍යර්ථ වුවහොත් ගතයුතු පියවර පිළිබඳ විජේවීර පාර්ශවයට ඒ වනවිට අදහසක් නොවූ බව විජේසිංහ සමඟ කළ සාකච්ඡාවලදී පැහැදිලි වූ බවත් තිරාණගම සඳහන් කර තිබෙනවා.

කඩදාසියේ යුද්ධ කිරීම

කෙසේ වෙතත් වික්ටර් අයිවන් සඳහන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ 1971 දී ලංකාව පුරා පොලිසිවලට පහර දීමට තරම් සන්නද්ධ ශක්තියකින් නොවූ බවයි. අනෙක් අතට එසේ සන්නද්ධ වීම සහ පුහුණු වීම රහසේ කළ හැකි දෙයක් නොවන බව ඔවුන් තේරුම් ගත යුතුව තිබුණා.

වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල (tamilnation.co)

සැන්සිබාරයේ එක් රැයකින් රජය පෙරළීමට අවශ්‍ය වූයේ 1000 කට අඩු පිරිසක් වුවත් එයට හේතුව වූයේ සැන්සිබාරය කුඩා රටක් වීමයි. නමුත් ලංකාවේ එවැනි සුළු පිරිසකට එක රැයකින් රටේ බලය අල්ලාගැනීම කළ හැක්කක් වුණේ නැහැ. එහෙයින් බැලූ බැල්මට ආකර්ෂණීය ක්‍රමයක් වුවත් එක රැයකින් රටේ මර්මස්ථාන සියල්ලට පහර දී රටේ බලය ඇල්ලීම ප්‍රායෝගිකත්වයෙන් තොර බලාපොරොත්තුවක් වූ බව සඳහන් කරන්න පුළුවන්.

එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබුණේ ඉතා සුළු තුවක්කු ප්‍රමාණයක්. එහෙයින් පුහුණු කඳවුරුවලදී පක්ෂ කාඩර්වරුන්ට අවි පුහුණුව ලබා දුන්නේ රූප සටහන් අනුසාරයෙනුයි. ඇත්තෙන්ම මෙය “කඩදාසියේ යුද්ධ කිරීමකට” වඩා වැඩි යමක් වුණේ නැහැ.

සංවිධානය සතු තුවක්කු සංඛ්‍යාව වැඩි කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ කළේ බලපත්‍රලාභීන් සතු වූ තුවක්කු සොරකම් කිරීමයි. ඇතැම්විට නිවෙස්වලට සොරුන් පනින අවස්ථාවල තුවක්කු සහ පතරොම් පමණක් නැතිවන අවස්ථා වාර්තා වුණා. මේ අනුව ළඟ එන උවදුරක් පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය යොමු වුණා.

අනතුරු

පොලිසිවලට පහර දීම සඳහා අත් බෝම්බ නිපදවීම, පරීක්ෂා කිරීම සහ ගබඩා කිරීම ද විවිධ තැන්වල සිදු වුණා. මෙවැනි කටයුත්තක් වුණත් ලොකු කාලයක් සඟවාගෙන සිටිය හැකි රහසක් නොවෙයි. අනතුරු සිදු වීමටත් ඒ ඔස්සේ රජයේ අවධානය ඒ වෙත යොමු වීමත් නොවැළැක්විය හැකි කරුණක් වුණා. 1970 දෙසැම්බර් 16 වනදා සිදු වූ එක් අනතුරකින් අයිවන් තුවාල ලැබීම එවන් එක් සිදුවීමක්.

කුඩා කණ්ඩායමක් රටක බලය අල්ලා ගන්නේ නම් කළ යුතුව තිබුණු හොඳම ක්‍රමය නම් රටේ අගනුවරට පහර දීම යි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ලේදී කොළඹ නගරයට පහර දීම සඳහා කුඩා පිරිසක් පමණක් සූදානම් කළ අතර ඔවුනට බාර දී තිබුණේ ප්‍රධාන ප්‍රභූන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම යි. ඒ යොදවපු පිරිස ඒ වැනි මෙහෙයුමකට කෙතරම් සූදානම් ද කියන කරුණත් විවාදාත්මකයි.

1971 මාර්තු මාසයේදී නෙලුම්දෙනිය ප්‍රදේශයේ බෝම්බ නිෂ්පාදනය කළ ස්ථානයක වූ පිපිරුමකින් පස් දෙනකු මිය ගියා. ඒ වගේම ඊට දින කිහිපයකට පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාර්ස් ශාලාවෙ පිපිරීමක් සිදු වුණා. ඉන් පසු කළ පොලිස් සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගනු ලැබුණා. මේ අනුව ළඟ එන අනතුරක් ගැන රජයට ඉව වැටී තිබුණා.

මේ අතරෙ මාර්තු 13 වනදා ජවිපෙ නායක රෝහණ විජේවීර අත් අඩංගුවට ගෙන පසුව යාපනයේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා. මේ අනුව අප්‍රේල් මාසයේ කැරැල්ල ක්‍රියාත්මක වන විට ජවිපෙ නායකයා සිටියේ සිර භාරයේ.

වැල්ලවාය පොලිසිය

1971 අප්‍රේල් 2 වනදා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සංඝාරාමයට රැස් වූ ජවිපෙ දේශපාලන මණ්ඩලය අප්‍රේල් 5 වනදා රාත්‍රී 11.30 ට ප්‍රහාරය දියත් කරන්නට තීරණය කළේ එහි ඇතැම් සාමාජිකයන් ඊට එරෙහි වූ පසුබිමකයි. විශේෂයෙන් ම කොළඹ ප්‍රදේශයේ තිබුණු අවම සූදානම පිළිබඳ ඇතැම් සාමාජිකයන් කරුණු දැක්වූ නමුත් අවසන් තීරණය වුණේ ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමටයි.

කෙසේ වෙතත් අප්‍රේල් 5 වනදා උදෑසන 5 ට වැල්ලවාය පොලිසියට පහර දෙනු ලැබුණා. මෙහිදී සිදුවී තිබුණේ ප්‍රහාරය කෙරෙන දිනය පිළිබඳ ඇතිවූ පැටලැවිල්ලක්. එදින රාත්‍රිය වනවිට රටේ පොලිස් ස්ථානවලට ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබුණා. මේ හේතුව නිසා එදින රාත්‍රියේ ප්‍රහාරවලින් ජවිපෙ ක්‍රියාකාරීන් අතට පත් වුණේ පොලිස් ස්ථාන අතලොස්සක් පමණයි.

යම් හෙයකින් වැල්ලවාය ප්‍රහාරය කළින් එල්ල නොවී තිබුණා නම් අප්‍රේල් 5 රාත්‍රී ප්‍රහාරය සාර්ථක වීමට ඉඩ තිබූ බව ඇතැමුන්ගේ අදහසයි. අනාගතයේ සිදු වන දේ පිළිබඳව මෙන්ම ඉතිහාසයේ සිදු නොවූ දේ පිළිබඳවත් අනාවැකි කිව නොහැකි හෙයින් ඒ පිළිබඳ යමක් නිශ්චිතව කීම අසීරුයි. නමුත් මනාව සන්නද්ධ නොවූ, නුපුහුණු ක්‍රියාකාරිකයන් පිරිසක් සමඟ මෙවැනි බරපතල එල්ල කොට එය සාර්ථක කරගැනීම විශාල අභියෝගයක් වූ බව පැහැදිලිව කිව හැකියි.

මූලාශ්‍ර

  1. වික්ටර් අයිවන්, 71 කැරැල්ල
  2. වෛද්‍ය රුවන් එම්. ජයතුංග, 71 කැරැල්ල
  3. උදේනි සමන් කුමාර, 71 අප්‍රේල් නඩු විභාගය – විජේවීරගේ හෘදය සාක්ෂිය

කවරයේ රූපය: විජේවීර සහ ලයනල් බෝපගේ අප්‍රේල් මහ නඩුවට රැගෙන එන අවස්ථාවක් (CMU)

Related Articles