Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී මහා බෝධිය ලෙයින් තෙත් කළ ත්‍රස්ත ප්‍රහාරය

80 දශකයේ මුල් භාගයේ දී ආරම්භ වුණු ඊළාම් යුද්ධය දශක 3කට ආසන්න කාලයක් පුරා ඇවිලෙමින් අප රටට මහා විනාශයක් සිදුකළා. එසමයේ කොටි ත්‍රස්තවාදීන් බෞද්ධ ජනයා කුපිත කරවන අදහසින් බෞද්ධ පූජනීය ස්ථාන කිහිපයකටම ප්‍රහාර එල්ල කළා. 

කොටි ත්‍රස්තවාදීන් බෞද්ධයන්ගේ පූජනීය ස්ථානයකට මුල්ම වරට මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළේ 1985 වසරේ දී යි. ඒ, එම වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ දී ශ්‍රී මහා බෝධියට යි. එදා ශ්‍රී මහා බෝධිය අසල සිල් සමාදන්වෙමින් සිටි සැදැහැවතුන්, සහ බෝධි වන්දනාවට පැමිණි බැතිමතුන් වෙත එල්ල වුණු එම ප්‍රහාරය නිසා 146 දෙනෙකුට ජීවිතය අහිමි වුණා. 

ඒ සිද්ධිය දිගහැරුණේ මෙහෙම යි. 

කළු ජූලියෙන් පසුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වර්ධනය වීම 

1983 වසරේ සිදුවුණු කළු ජූලියේ අවසානයත් (කළු ජූලිය ගැන මෙතැනින් කියවන්න: ’83 කළු ජූලිය: එදා සිදුවූයේ කුමක් ද?) සමග විශාල අනුගාමිකයන් පිරිසක් L.T.T.E සංවිධානය වටා එකතු වුණා. කළු ජූලිය අවස්ථාවේ රජයේ ක්‍රියා කලාපයට දෙමළ ජනයා දැක්වූ විරෝධය එයට හේතුවුණා. එසේම එදා ඇතැම් දෙමළ ජනතාව L.T.T.E සංවිධානය ඔවුන්ගේ එකම ගැලවුම්කරුවායැ යි විශ්වාස කළා. ඊට එක් හේතුවක් වුණේ පොදුවේ සිංහල ජනයා පිළිබඳව වැරදි චිත්‍රයක් සූක්ෂමව දෙමළ ජනයාගේ මනසට ඇතුළු කිරීමට L.T.T.E සංවිධානයට හැකියාව ලැබුණු නිසා යි. ඒ අයුරින් කොටි සංවිධානය පිරිස් බලය අතින් ශක්තිමත් වෙද්දී ඔවුන් විනාශකාරී ක්‍රියාකාරකම් සිදුකිරීමට පසුබට වුණේ නැහැ. 

1984 වසරේ අග භාගයේ සිට L.T.T.E ත්‍රස්තවාදීන් ඔවුන්ගේ විනාශකාරී ක්‍රියාකාරකම් ආරම්භ කළා. ඔවුන් 1984 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, සහ කෝකිලායි මායිම් ගම්මානවලට කඩා වැදී නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබුවා. එතැන් සිට ආරම්භ වුණු කොටි ත්‍රස්තවාදීන්ගේ විනාශකාරී ක්‍රියාකාරකම් 1985 වසර වන විට උත්සන්න වී තිබුණා. 

කළු ජූලියේ අවස්ථාවක් (gettyimages) 

අනුරාධපුර පූජා නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරයි 

1985 වසරේ මුල් භාගය වන විට කොටි ත්‍රස්තවාදීන් සිංහල මායිම් ගම්මානවලට විශාල තර්ජනයක් එල්ල කරමින් සිටියා. කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ සිංහල ජනතාව භීතියට පත්කිරීම යි. නමුත් ගම් විනාශ කරනවාට වඩා, සිංහල මිනිසුන්ගේ හදවතට දැනෙන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කළ යුතුයැ යි කොටින් තීරණය කළා. අවසානයේ කොටි සංවිධානයේ තීරණය වුණේ අනුරාධපුර පූජා නගරයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව යි. 

කෙසේ නමුත්, අනුරාධපුර නගරය වටා හමුදා කඳවුරු පිහිටා තිබුණු නිසා එය ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. අනුරාධපුර නගරය තුළට පැමිණීමට ක්‍රමයක් පිළිබඳව කල්පනා කළ කොටි ත්‍රස්තවාදීන්ට අපූරු උපායක් කල්පනා වුණා. ඒ, අනුරාධපුරයට උදෑසනින්ම පැමිණීමට නියමිතව තිබුණු බස් රථයක් පැහැරගෙන උපක්‍රමශීලීව නගරයට ඇතුළුවීම යි.

ප්‍රහාරයේ පළමු සැලැස්ම ක්‍රියාත්මක වෙයි

එම කාලය වන විට, එළුවන්කුලමේ සිට අනුරාධපුර නගරය දක්වා දිනපතාම උදෑසන බස් රථයක් ධාවනය වුණා. එය පුත්තලම ඩිපෝවෙන් සේවය සඳහා යොදවා තිබුණා. 1985 මැයි 14 වැනිදා පාන්දර සුපුරුදු පරිදි එම බස් රථය එළුවන්කුලමේ සිට අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කළා. නමුත් බස් රථයට වැඩි දුරක් ගමන් කිරීමට හැකිවුණේ නැහැ. හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි කොටි ත්‍රස්තවාදීන් පිරිසක් බස් රථය නතර කළා. ඒ මොහොතේ බස් රථයේ සිටියේ රියදුරා සහ කොන්දොස්තරවරයා පමණ යි. එදිනට වෙසක් පොහොය යෙදී තිබුණු නිසා, වෙනදාට උදෑසනින්ම අනුරාධපුරයට ගමන් කරන මඟීන් එදා බස් රථයේ සිටියේ නැහැ. 

හමුදා ඇඳුම දුටු නිසා රියදුරා නියෝගය පිළිපදිමින් බස් රථය නතර කළා. ඒ අවසරයෙන් බස් රථයට නැගුණු ත්‍රස්තවාදීන් රියදුරා සහ කොන්දොස්තර යන දෙපළම මරා දමමින් බස් රථය පැහරගත්තා. අනතුරුව බස් රථය අතුරු පාරවල් ඔස්සේ අනුරාධපුර නගරය කරා රැගෙන යාමට ත්‍රස්තවාදීන් කටයුතු කළා.

පැරණි CTB බස් රථයක් (gettyimages) 

නොසිතූ මොහොතක ප්‍රහාරය ආරම්භ වෙයි 

1985 මැයි 14 වැනිදා වෙසක් පුර පසළොස්වක පොහොය යෙදී තිබුණු නිසා සැලකිය යුතු පිරිසක් අනුරාධපුර පූජා නගරයට පැමිණෙමින් සිටියා. උදෑසන 8 පමණ වන විට අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම්පොළ ප්‍රදේශය ජනතාවගෙන් පිරී පැවතුණා. ඒ මොහොතේ කොටි ත්‍රස්තවාදීන් රැගත් බස් රථය ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත ළඟා වුණා. බස් රථයේ හමුදා ඇඳුම් ඇඳගත් පිරිසක් සිටි නිසා නැවතුම්පොළේ සිටි කිසිම කෙනෙකු කලබල වුණේ නැහැ. ඔවුන් සිතුවේ නගරයේ රාජකාරී සඳහා යොදවා ඇති හමුදා භට පිරිසක් බස් රථයකින් පැමිණෙන්නට ඇති බව යි. නමුත් ජනතාවගේ අනුමානය වැරදී ගියේ බස් රථයේ සිටි ත්‍රස්තවාදී කණ්ඩායම ආයුධ සන්නද්ධව බස් රථයෙන් ඉවතට පැමිණීමත් සමග යි. බස් රථයෙන් ඉවතට පැමිණි කොටි ත්‍රස්තවාදීන් බස් නැවතුම්පොළේ සිටි පිරිසට වෙඩි තබන්නට පටන් ගත්තා.

අනුරාධපුර බස් නැවතුම්පොළ (Happymind Travels) 

ත්‍රස්තවාදීන් පිරිස පූජා නගරය දෙසට ගමන් කරයි 

ත්‍රස්තවාදීන් පිරිස වෙඩි ප්‍රහාරය ආරම්භ කිරීමත් සමග නගරයේ සිටි ජනතාව තම ජීවිතය බේරාගැනීම සඳහා හිස හැරුණු අතේ දිව ගියා. කඩ වීදිය දෙසට ගිය ත්‍රස්තවාදීන් එහි රැස්ව සිටි ජනයාටත් වෙඩි තබමින් මහා විනාශයක් සිදුකළා. ඊට පෙර අනුරාධපුර නගරයේ ජනයා එවැනි අත්දැකීමකට මුහුණ දී තිබුණේ නැහැ. එනිසා ඔවුන් විශාල ලෙස කලබලයට පත්ව සිටියා. 

නගරයේ ජනතාව දඩයම් කළ කොටි ත්‍රස්තවාදීන් ඊළඟට ගමන් කළේ අනුරාධපුර පූජා නගරය දෙසට යි. එදා වෙසක් පොහොය යෙදී තිබුණු නිසා බොහෝ පිරිසක් ශ්‍රී මහා බෝධිය තිබුණු භූමියේ රැඳී සිටියා. එසේම තවත් සැලකිය යුතු පිරිසක් එදින සිල් සමාදන් වී සිටියා. උතුම් පොහොය දිනයක ආගමික වතාවත්වල නිරතවෙමින් සිටි ජනයාට ඊට සුළු මොහොතකට පසුව සිදුවන්නට නියමිතව තිබුණු විපත ගැන ඉවක් දැනුණේ නැහැ. 

අනුරාධපුර පූජා නගරය (Ceyline Travels)

ත්‍රස්තවාදී පිරිස විශාල විනාශයක් සිදුකරයි 

එක්වරම ශ්‍රී මහා බෝධිය අසලට පැමිණි ත්‍රස්තවාදීන් සෑම දිශාවකටම වෙඩි ප්‍රහාර එල්ල කරමින් එහි සිටි අහිංසක වැසියන් මරා දමන්නට පටන්ගත්තා. බොහෝ දෙනෙකු සිය ජීවිතය බේරාගැනීම සඳහා දිවගියත් ඉන් වැඩි දෙනෙකුට මරණයෙන් ගැලවීමක් තිබුණේ නැහැ. ශ්‍රී මහා බෝධියේ මළුව ලෙයින් තෙත්වී ගියේ ඈත අතීතයේ සොළී සහ පාණ්ඩ්‍ය ආක්‍රමණිකයන් අනුරාධපුර නගරයට සිදුකළ මහා විනාශය යළි සිහිපත් කරමින්. ත්‍රස්තවාදීන් ශ්‍රී මහා බෝධිය අසල සිදුකළ ප්‍රහාරයෙන් 146 දෙනෙකු මරණයට පත්ව තිබුණා. භික්ෂූන්වහන්සේ 17 නමක් අපවත් වී තිබුණා. 

එලෙස හදිසියේ එල්ල වුණු අමානුෂික ප්‍රහාරයෙන් පසු නැවතත් රට තුළ සිංහල-දෙමළ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් මතුවුණා. එනිසා එවකට බලයේ සිටි රජය ශ්‍රී මහා බෝධියට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ පුවත රට පුරා පැතිරී යන්නට ඉඩදුන්නේ නැහැ. හදිසියේවත් එදා සිංහල-දෙමළ කෝලාහලයක් ඇතිවුණා නම් අප රට තුළ විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබුණා.

ශ්‍රී මහා බෝධිය (UNESCO)

පළාගිය ත්‍රස්තවාදීන් පිරිස විල්පත්තුව වනසයි 

සාර්ථකව සිය ප්‍රහාරය අවසන් කළ කොටි ත්‍රස්තවාදීන් පිරිස විල්පත්තු වනයට කඩා වැදුණා. ඔවුන් එහි සිටි වනජීවී නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන්ගේ නිල නිවාස වෙත කඩන් වැදුණු කොටි ත්‍රස්තයන් ඒවායේ තිබුණු වටිනා භාණ්ඩ පැහැරගත්තා. අවසානයේ දී විල්පත්තු බිමේ සිටි වනජීවී නිලධාරින් සහ සංචාරකයන් ඇතුළු 24 දෙනෙකු මරා දැමූ කොටි ත්‍රස්තවාදීන් එම භූමියෙන් පලා ගියා. එදා සටනක් නොකර ජීවිතය පූජා කරන්නට අකමැති වුණු එක් වනජීවී නිලධාරියෙකු තැබූ වෙඩි පහරවලින් එක් කොටි ත්‍රස්තවාදියෙකු මරණයට පත්වී තිදෙනෙකුට තුවාල සිදුවුණා.

විල්පත්තු වනාන්තරය (wikipedia)

229 දෙනෙකුට ජීවිත අහිමි වෙයි 

කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරය නිසා 229 දෙනෙකුට ජීවිත අහිමි වී 385 දෙනෙකු තුවාල ලැබුවා. ශ්‍රී මහා බෝධිය අසල දී 146 දෙනෙකු මියගිය අතර, විල්පත්තු ප්‍රහාරය නිසා 24 දෙනෙකුට පමණ දිවි අහිමි වුණා. ඉතිරි පිරිස අනුරාධපුර නගරය තුළ දී ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරවලින් මරණයට පත්වුණා. එම කාලය වන විට කොටි ත්‍රස්තවාදීන් දකුණේ ප්‍රදේශවලට පැමිණ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කර තිබුණේ නැහැ. එනිසා අනුරාධපුර නගරය වෙත පැමිණ ඔවුන් එල්ල කළ ප්‍රහාරය නිසා සිංහල ජනයා බියට පත්වුණා. 

කොටි ත්‍රස්තවාදීන් තමන් සිදුකළ ප්‍රහාරය පටිගත කිරීමට පවා කටයුතු කළා. එලෙස පටිගත කළ වීඩියෝව ඔබට Youtube ඔස්සේ නරඹන්නට පුළුවන්. එය නැරඹීමෙන් පසුව ඔබට එදා අනුරාධපුර නගරය තුළ පැවති බිහිසුණු තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලැබෙනු ඇති. 

ප්‍රහාරය ගැන එවකට පුවත්පත්වල සටහන් වුණු හැටි (Dinamina)

කවරයේ ඡායාරූපය- gettyimages 

මූලාශ්‍රයයන්- lanakadeepa.lk

                        dinamina.lk  

Related Articles