Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1989 මහා මැතිවරණයේ දී වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයින්

1947-1977 කාල සමය තුළ ශ්‍රී ලංකාවේ මහා මැතිවරණ පැවැත්වුණේ සරල බහුතර ඡන්ද ක්‍රමය යටතේ යි. නමුත්, 1977 මහා මැතිවරණයේ දී ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය 5/6ක ජන වරමක් ලබාගැනීමෙන් පසුව මැතිවරණ ක්‍රමය වෙනස් කරනු ලැබුවා. එම නිසා 1989 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ පැවැත්වුණු සෑම මහා මැතිවරණයක්ම ක්‍රියාත්මක වුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ යි. ඊට පෙර පැවති සරල බහුතර ක්‍රමයේ දී යම් අපේක්ෂකයෙකු තරග කළේ යම් ඡන්ද කොට්ඨාසයක් වෙනුවෙන් පමණයි. නමුත්, මෙම ක්‍රමයේ දී සෑම අපේක්ෂකයෙකුටම දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට සිදුවුණා. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන අපේක්ෂකයන් තීරණය වුණේ ඔවුන් ලබාගත් මනාප ප්‍රමාණය මත යි.

1989 මහා මැතිවරණයේ දිස්ත්‍රික්කය අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 

රට පුරාම භීෂණය රජ කරමින් තිබුණු යුගයක පැවැත්වුණු මෙම මහා මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 63.60%ක් ලෙසින් සටහන් වුණා. එය ඊට පෙර වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයට වඩා ඉහළ අගයක් ගත්තා. 

1) කොළඹ දිස්ත්‍රික්කය- 760,113 (69.87%)         2) ගම්පහ දිස්ත්‍රික්කය- 744,934 (76.82%)

3) කළුතර දිස්ත්‍රික්කය- 341,332 (59.86%)          4) මහනුවර දිස්ත්‍රික්කය- 354,483 (56.82%)

5) මාතලේ දිස්ත්‍රික්කය- 151,207 (70.35%)         6) නුවරඑළිය දිස්ත්‍රික්කය- 187,024 (81.49%)

7) ගාල්ල දිස්ත්‍රික්කය- 388,541 (68.03%)           8) මාතර දිස්ත්‍රික්කය- 86,633 (19.17%)

9) හම්බන්තොට දිස්ත්‍රික්කය- 60,914 (20.64%)   10) යාපනය දිස්ත්‍රික්කය- 265,058 (44.76%)

11) වන්නි දිස්ත්‍රික්කය- 47,650 (33.69%)            12) මඩකලපුව දිස්ත්‍රික්කය- 169,284 (78.16%)

13) දිගාමඩුල්ල දිස්ත්‍රික්කය- 224,441 (84.45%)   14) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- 106,456 (69.90%)

15) කුරුණෑගල දිස්ත්‍රික්කය- 572,128 (72.88%)   16) පුත්තලම දිස්ත්‍රික්කය- 235,680 (73.94%)

17) අනුරාධපුර දිස්ත්‍රික්කය- 178,690 (53.49%)    18) පොළොන්නරුව දිස්ත්‍රික්කය- 75,010 (45.81%)

19) බදුල්ල දිස්ත්‍රික්කය- 248,798 (75.55%)          20) මොණරාගල දිස්ත්‍රික්කය- 100,669 (62.17%)

21) රත්නපුර දිස්ත්‍රික්කය- 359,370 (78.60%)       22) කෑගල්ල දිස්ත්‍රික්කය- 303,616 (69.46%)

වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයෝ 

1989 මහා මැතිවරණයේ දී මනාප 90,000ට වඩා ලබාගත් අපේක්ෂකයන් 6 දෙනෙකු හමුවනවා. එම  අපේක්ෂකයන් සියලු දෙනාම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණා. පහත දැක්වෙන්නේ වැඩිම මනාප ලබාගෙන 1989 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත් වුණු එම මහජන නියෝජිතයන් පිළිබඳව තොරතුරු යි.

ලලිත් ඇතුලත්මුදලි (එක්සත් ජාතික පක්ෂය)- මනාප 235,447

1977 මහා මැතිවරණයේ දී රත්මලාන අසුන ජයග්‍රහණය කරමින් ලලිත් ඇතුලත්මුදලි මුල්ම වරට මැතිසබයට පිවිසියා. ඉන් අනතුරුව ජනතා සේවය වෙනුවෙන් කැපවුණු ලලිත් ඇතුලත්මුදලි, 1989 මහා මැතිවරණ සමය වන විට විශාල ජනතා ආකර්ෂණයක් දිනාගෙන තිබුණා. එහි දී මහපොළ සංකල්පය සහ 1987 වඩමාරච්චි සටන අධීක්ෂණය කිරීම ජනතාවගේ ප්‍රසාදය ඉහළින්ම දිනාගත් සිදුවීම් වුණා. එම නිසාම 1989 වසරේ පැවති  මහා මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ ලලිත් ඇතුලත්මුදලි මනාප 235,447ක් ලබාගත්තේ එවර මැතිවරණයේ දී ලංකාවේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා වෙමින්.

ලලිත් ඇතුලත්මුදලි (Daily News)

සිරිමාවෝ බණ්ඩාරනායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- මනාප 214,390

1970-1977 කාලය තුළ ලංකාවේ අගමැතිනිය ලෙසින් කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක අනතුරුව සිය පක්ෂය ලද මහා මැතිවරණ පරාජයත් සමගම අභියෝග රැසකට මුහුණ දුන්නා. එහි දී ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි වීම ඉතාමත් කණගාටුදායක සිදුවීමක් වුණා. එලෙස ප්‍රජා අයිතිය අහෝසි වී දේශපාලන පිටියෙන් ඉවත්ව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක යළි දේශපාලන බිමට පිවිසියේ 1988 ජනාධිපතිවරණයේ දී යි. එහි දී රණසිංහ ප්‍රේමදාස හමුවේ තියුණු පරාජයක් ලබාගත් සිරිමාවෝ බණ්ඩාරනායක ඊට මාස 3කට පමණ පසුව පැවති මහා මැතිවරණයේ දී තරග කළේ ගම්පහ දිස්ත්‍රික්කය සඳහා යි. ඒ වන විටත් ඇය හිමිකර ගෙන තිබුණු ජනප්‍රියත්වය අඩු නොවී පැවතුණු නිසාම මනාප 214,390ක් ලබාගනිමින් මැතිසබයට පිවිසීමට හැකි වුණා.

සිරිමාවෝ බණ්ඩාරනායක (gettyimages)

අනුර බණ්ඩාරනායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- මනාප 107,177

අනුර බණ්ඩාරනායක 1977 මහා මැතිවරණයේ දී තරග කළේ නුවරඑළිය-මස්කෙලිය අසුන සඳහා යි. එහි දී එම ආසනයේ දෙවන මන්ත්‍රීවරයා ලෙසින් පාර්ලිමේන්තුවට පිවිසි අනුර බණ්ඩාරනායක, 1983-1988 කාල සමය තුළ විපක්ෂ නායක තනතුරේ පවා කටයුතු කළා. 1989 මහා මැතිවරණයේ දී සිය නිජබිම වුණු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග බිමට පිවිසි අනුර බණ්ඩාරනායක මනාප 107,177ක් ලබාගැනීමට සමත් වුණා. 

අනුර බණ්ඩාරනායක (Daily Ft)

ජෝශප් මයිකල් පෙරේරා (එක්සත් ජාතික පක්ෂය)- මනාප 104,094

1976 වසරේ දී ජා-ඇල අසුන නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ පාරිස් පෙරේරා අභාවප්‍රාප්ත වුණා. ඒ අනුව පුරප්පාඩු වුණු ජා-ඇල අසුන සඳහා පැවති අතුරු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජෝශප් මයිකල් ජයග්‍රහණය කළා. එලෙස ලබාගත් ජයග්‍රහණයෙන් නොනැවතුණු ඔහු, 1977 වසරේ පැවති මහා මැතිවරණයේ දීත් ජා-ඇල අසුන ජයග්‍රහණය කළා. ඉන් වසර 12කට පසුව සමානුපාතික ක්‍රමය යටතේ පැවති මුල්ම මහා මැතිවරණයෙන් මනාප 104,094ක් ලබාගත් ජෝශප් මයිකල් පෙරේරා, ගම්පහ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ පෙරමුණට පැමිණියා.

ජෝශප් මයිකල් පෙරේරා (Sri Lanka Mirror)

සිරිසේන කුරේ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 92,263

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ සමීපතමයෙකු වුණු සිරිසේන කුරේ, මුල්මවරට මහා මැතිවරණයක් සඳහා ඉදිරිපත් වුණේ 1989 වසරේ දී යි. එහි දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග බිමට පිවිසි ඔහු, මනාප 92,263ක් ලබාගැනීමට සමත් වුණේ ලලිත් ඇතුලත්මුදලිට පමණක් පිටුපසින් සිටිමින්.

සිරිසේන කුරේ (Sri Lanka Mirror)

ජෝන් අමරතුංග (එක්සත් ජාතික පක්ෂය)- මනාප 90,797

ජෝන් අමරතුංග (Daily Ft)

1977 මහා මැතිවරණයේ දී වත්තල ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයේ ෂෙල්ටන් ජයසිංහ යි. නමුත් ඔහු, 1978 වසරේ දී අභාවප්‍රාප්ත වීමෙන් ඇති වුණු පුරප්පාඩුව සඳහා ජෝන් අමරතුංග පත් කරනු ලැබුවා. එලෙස පාර්ලිමේන්තුවට පිවිසි ජෝන් අමරතුංග, 1989 මහා මැතිවරණයේ දී මනාප 90,797ක් ලබාගැනීමට සමත් වුණා.

කවරයේ ඡායාරූපය- ලලිත් ඇතුලත්මුදලි (gettyimages)

මූලාශ්‍රය- මහා මැතිවරණ ප්‍රතිඵල (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles