සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ දෙවන මහා මැතිවරණය පැවැත්වුණේ 1994 වසරේ දී යි. වසර 17ක් පැවති එක්සත් ජාතික පක්ෂ රජය බිඳවැටෙමින් මහා බල පෙරළියක් සිදුවුණු එම මැතිවරණය, ලංකා දේශපාලන ඉතිහාසය තුළ හමුවන සුවිශේෂී මැතිවරණයක් වනවා. 1989 වසරේ පැවති මහා මැතිවරණයට වඩා වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු මෙම මහා මැතිවරණයේ දී ඉතාමත් ඉහළ මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයන් කිහිපදෙනෙකු හමුවනවා. 

1994 මහා මැතිවරණයේ දිස්ත්‍රික්කය අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 

1994 මහා මැතිවරණය එළඹෙන කාල සමය වන විට ජනතාව යම් වෙනසක් බලාපොරොත්තුවෙන් සිටියා. එම නිසාම එවර මහා මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 76.24% ලෙස සටහන් වුණා. එය ඕනෑම මැතිවරණයක දී ඉහළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් ලෙසින් සඳහන් කළ හැකියි.

1) කොළඹ දිස්ත්‍රික්කය- 958,568 (77.60%)         2) ගම්පහ දිස්ත්‍රික්කය- 929,841 (81.50%)

3) කළුතර දිස්ත්‍රික්කය- 530,757 (82.10%)          4) මහනුවර දිස්ත්‍රික්කය- 607,571 (83.70%)

5) මාතලේ දිස්ත්‍රික්කය- 218,608 (84.30%)         6) නුවරඑළිය දිස්ත්‍රික්කය- 323,510 (83.70%)

7) ගාල්ල දිස්ත්‍රික්කය- 513,677 (81.20%)           8) මාතර දිස්ත්‍රික්කය- 396,634 (78.80%)

9) හම්බන්තොට දිස්ත්‍රික්කය- 260,218 (79.60%)  10) යාපනය දිස්ත්‍රික්කය- 13,837 (2.30%)

11) වන්නි දිස්ත්‍රික්කය- 45,280 (25.30%)            12) මඩකලපුව දිස්ත්‍රික්කය- 189,619 (72.40%)

13) දිගාමඩුල්ල දිස්ත්‍රික්කය -253,502 (81.20%)   14) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- 126,624 (68.80%)

15) කුරුණෑගල දිස්ත්‍රික්කය- 737,350 (84.10%)   16) පුත්තලම දිස්ත්‍රික්කය- 293,873 (77.30%)

17) අනුරාධපුර දිස්ත්‍රික්කය- 341,604 (83.90%)    18) පොළොන්නරුව දිස්ත්‍රික්කය- 167,512 (83.70%)

19) බදුල්ල දිස්ත්‍රික්කය- 365,599 (84.00%)          20) මොණරාගල දිස්ත්‍රික්කය- 170,968 (85.70%)

21) රත්නපුර දිස්ත්‍රික්කය- 483,896 (87.30%)       22) කෑගල්ල දිස්ත්‍රික්කය- 415,053 (82.90%)

වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයෝ 

1994 මහා මැතිවරණයේ දී මනාප 145,000ට වඩා ලබාගත් අපේක්ෂකයන් 5 දෙනෙකු හමුවනවා. එම  අපේක්ෂකයන්ගෙන් බහුතරයක් පාර්ලිමේන්තුවට පිවිසුණේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරමින්. පහත දැක්වෙන්නේ වැඩිම මනාප ලබාගෙන 1994 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත් වුණු එම මහජන නියෝජිතයන් පිළිබඳව තොරතුරු යි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 464,588

1993 වසරේ පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් පසුව බස්නාහිර මහ ඇමතිනිය බවට පත් වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක මහා මැතිවරණයේ අගමැති අපේක්ෂිකාව ලෙසින් සටනට පිවිසියා. එම අවදියේ ඉහළම ජනතා ප්‍රසාදයක් උරුම කරගෙන සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක, ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදී මනාප 464,588ක් ලබාගැනීමට සමත් වුණා. එලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක ලබාගත් මනාප ප්‍රමාණය 2015 මහා මැතිවරණය වන තුරුම යම් අපේක්ෂකයෙකු මහා මැතිවරණයක දී ලබාගත් ඉහළම මනාප ප්‍රමාණය ලෙසින් සටහන් වී තිබුණා. නමුත්, 2015 මහා මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ 500,566ක් ලබාගැනීමත් සමගින් චන්ද්‍රිකාගේ වසර 21ක් පැරණි වාර්තාව බිඳවැටුණා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක (gettyimages)

රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 291,194

රනිල් වික්‍රමසිංහ මුල්ම වරට පාර්ලිමේන්තුවට පිවිසුණේ 1977 වසරේ පැවති මහා මැතිවරණයේ දී බියගම ආසනය ජයග්‍රහණය කරමින්. ඉන් අනතුරුව 1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය වෙනුවෙන් තරග කළ රනිල් වික්‍රමසිංහ මනාප 86,477ක් ලබාගැනීමට සමත් වුණා. 1994 මහා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොළඹ දිස්ත්‍රික්කයට සංක්‍රමණය වුණු රනිල් වික්‍රමසිංහ මනාප 291,194ක් ලබාගත්තේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා වෙමින්.

රනිල් වික්‍රමසිංහ (gettyimages)

ගාමිණී දිසානායක (එක්සත් ජාතික පක්ෂය)- මනාප 198,207

ගාමිණී දිසානායක කේවල ක්‍රමය යටතේ පැවති 1970 සහ 1977 මහා මැතිවරණවල දී පාර්ලිමේන්තුවට පිවිසියේ නුවරඑළිය-මස්කෙළිය අසුන නියෝජනය කරමින්. ඉන්පසුව, 1989 මහා මැතිවරණයේ දී යළි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග බිමට පිවිසි ගාමිණී දිසානායක මනාප 73,790ක් ලබාගත්තේ දිවයිනේ වැඩිම මනාප ප්‍රතිශතයක් රඳවා ගත් අපේක්ෂකයා බවට පත් වෙමින්. එලෙස වසර 24ක් අඛණ්ඩව නුවරඑළියේ ජනතාවට සේවය කළ ගාමිණී දිසානායක 1994 මහා මැතිවරණයේ දී සටන් බිමට පිවිසියේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. කලක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සිට යළි පක්ෂයට පැමිණ කෙටි කලෙකින් පැවති මෙම මහා මැතිවරණයේ දී මහනුවර ජනතාව ගාමිණී දිසානායකට සිය උපරිම මනාපය ලබාදුන්නා. එම නිසාම ගාමිණී දිසානායක මනාප 198,207ක් ලබාගනිමින් පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්තා. 

ගාමිණී දිසානායක (Daily News)

අමරසිරි දොඩංගොඩ (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 176,151

1977 වසරේ පැවති මහා මැතිවරණයේ දී කොමියුනිස්ට් පක්ෂයෙන් අක්මීමන අසුන සඳහා ඉදිරිපත් වුණු අමරසිරි දොඩංගොඩට හිමි වුණේ මනාප 1,235ක් පමණයි. ඉන් වසර 5කට පසුව පැවති ජනමත විචාරණයේ දී එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය පරාජය වුණු ආසන අතරට බද්දේගමත් අයත් වුණා. එම නිසාම 1983 වසරේ මැයි මාසයේ දී බද්දේගම ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සටනට පිවිසි අමරසිරි දොඩංගොඩ, ප්‍රතිවාදී අපේක්ෂකයා වුණු වින්සන්ට් ජයවර්ධනට වඩා වැඩි ඡන්ද 1,193ක් ලබාගනිමින් මැතිසබයට පිවිසියා. ඉන්පසුව, 1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී මනාප 66,431ක් ලබාගත් අමරසිරි දොඩංගොඩ ගාලු දිස්ත්‍රික්කයේ සියලුම පක්ෂ අතුරින්  වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වුණා. එම මහා මැතිවරණයෙන් වසර 4කට පසුව දකුණු පළාත් සභා මැතිවරණය එළඹුණා. එය ජයග්‍රහණය කිරීමට සඳහා සැලසුම් කළ පොදුජන එක්සත් පෙරමුණ අමරසිරි දොඩංගොඩව පාර්ලිමේන්තුවෙන් ඉවත් කර මහ ඇමති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් කළා. එදා 17 වසරක එක්සත් පක්ෂ පාලනය අවසන් කිරීමට පළමු වෙඩිමුරය තබමින් දකුණු පළාත් සභාවේ බලය ලබාගත් පොදුජන එක්සත් පෙරමුණ අමරසිරි දොඩංගොඩව මහ ඇමතිවරයා ලෙසින් පත් කළා. ඉන් වසරකට පසුව එනම්, 1994 වසරේ පැවති මහා මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග බිමට පිවිසි අමරසිරි දොඩංගොඩ මනාප 176,151ක් ලබාගත්තේ ඉහළම ජන ප්‍රසාදයක් හිමිකර ගනිමින්.

අමරසිරි දොඩංගොඩ (cm.sp.gov.lk)

ශ්‍රීමනී ඇතුලත්මුදලි (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 148,727

1977-1993 කාල සමය තුළ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙකු ලෙසින් කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි, සහාසිකයෙකුගේ වෙඩි පහරකට ලක්ව මියයාමෙන් පසුව ඔහුගේ දෙවන බිරිඳ වුණු ශ්‍රීමනී ඇතුලත්මුදලි දේශපාලන බිමට පිවිසියා. ඒ අනුව 1994 මහා මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ ඇය මනාප 148,727ක් ලබාගත්තේ පොදුජන එක්සත් පෙරමුණු මනාප ලැයිස්තුවේ පළමු තැනට තේරී පත් වෙමින්.

ලලිත් සහ ශ්‍රීමනී (lalithathulathmudali.com)

කවරයේ ඡායාරූපය- චන්ද්‍රිකා බණ්ඩාරනායක (gettyimages)

මූලාශ්‍රය- මහා මැතිවරණ ප්‍රතිඵල (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)