Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ වාර්තාගත ජනාධිපතිවරණය – 1994

ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාසයේ 16 වන සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත යි. 1978 වසරේ නිර්මාණය වූ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලංකාවට විධායක ජනාධිපතිධුරය හඳුන්වා දුන් අතර ඒ අනුව 1978 වසරේ මෙරට පළමු විධායක ජනාධිපතිවරයා බවට එවකට අගමැති ලෙස කටයුතු කළ ජේ.ආර්. ජයවර්ධන පත්වෙනවා. ඒ එතෙක් නාමික ජනාධිපති ලෙස කටයුතු කළ විලියම් ගොපල්ලව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමෙන්. 

1982 වසරේ දී මෙරට පළමු ජනාධිපතිවරණය පැවැත්වෙන අතර, එම මැතිවරණයෙන් ද ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට තරග වැදුණු හිටපු ජනාධිපතිවරයා වන ජේ.ආර් ජයවර්ධන සමත් වෙනවා.

මෙතෙක් ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණ එකක් හැර අනෙක් සියලු ජනාධිපතිවරණයන්වල ජයග්‍රහණය කරන ලද අපේක්ෂකයා 60% ජන්ද ප්‍රතිශතය ඉක්මවා යාමට සමත් වී නැහැ. ජයග්‍රහණය ලැබූ අපේක්ෂකයා 60%ක ජන්ද ප්‍රතිශතය ඉක්මවා යාමට සමත්වෙන එකම ජනාධිපතිවරණය වන්නේ 1994 වසරේ පැවති ජනාධිපතිවරණය යි. එහිදී ජයග්‍රාහි අපේක්ෂිකාව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක 62.28%ක ජන්ද ප්‍රතිශතයක් ගනිමින් ජයග්‍රහණය කරනවා. ඒ හේතුවෙන් 1994 වසරේ පැවති ජනාධිපතිවරණයේ ජන්ද ප්‍රතිඵල වාර්තාගත ප්‍රතිඵලයක් ලෙස අද දක්වා නොබිදී ඇති අතර ඒ පිළිබඳව යි මේ ලිපිය. 

1994 ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ දෙකේ සුදානම 

ජනාධිපතිවරණයට ප්‍රථමව ඝාතනය වූ ගාමිණි දිසානායක (dailynews.lk)

1988 වසරේ දෙසැම්බර් මාසයේ පැවති ලංකාවේ දෙවන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ රණසිංහ ප්‍රේමදාස යි. නමුත් 1993 වසරේ මැයි 1 වන දා LTTE ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඔහු මරණයට පත්වෙනවා. ඉන් අනතුරුව එවකට අගමැති ලෙස කටයුතු කළ D.B විජේතුංග රටේ තෙවන විධායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඔහු විසින් තම විධායක බලතල අනුව 1994 වසරේ ජනාධිපතිවරණයට ප්‍රථම මහා මැතිවරණයක් කැදවනවා. 

එම මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ කිහිපයක් එකතු වී පිහිටුවාගන්නා ලද පොදු ජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයේ වසර 17ක පාලන බලය නිමා කරමින් බලය සියතට ගනු ලබනවා. මහා මැතිවරණය පැවැත්වෙන්නේ 1993 වසරේ අගෝස්තු මාසයේ යි. ඉන් අනතුරුව ජනාධිපතිවරණය එළඹෙනවා. ඒ සඳහා පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් නව ආණ්ඩුවේ අගමැතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත්වෙනවා. විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙන්නේ එවකට විපක්ෂ නායකයා වන ගාමිණි දිසානායක යි. 

පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක (thefamouspeople.com)

ප්‍රේමදාස ජනාධිපති සමයේ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමෙන් පක්ෂයෙන් නෙරපන ලද ගාමිණි දිසානායක, මේ සමය වන විට නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වී සිටි අතර එම පක්ෂයේ නායකත්වය ද ලබාගෙන සිටිනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක හා ගාමිණි දිසානායක යන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව ප්‍රගතිශීලි පෙරමුණ නියෝජනය කරමින් ආනන්ද ගලප්පත්ති ද, මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය නියෝජනය කරමින් හරිස්චන්ද්‍ර විජේතුංග ද, ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස හඩ්සන් සමරසිංහ ද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා.

තොටළඟ රැළියට එල්ල වූ බෝම්බ ප්‍රහාරය

විකල්ප අපේක්ෂකයා – ශ්‍රීමා දිසානායක (srilankamirror.com)

මේ ආකාරයට මැතිවරණය සඳහා අපේක්ෂකයන් නම් කර ඔවුන් මැතිවරණ සටන මෙහෙයවන අතරතුර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තවත් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වෙනවා. ඒ 1994 වසරේ ඔක්තෝම්බර් 24 වන දා එක්සත් ජාතික පක්ෂයේ තොටළඟ මැතිවරණ රැළියට මරාගෙන මැරෙන LTTE  ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීම යි. එම ප්‍රහාරය හේතුවෙන් ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක මරණයට පත් වෙනවා. 

ජනාධිපතිවරණයට ඉතාමත් ආසන්නව සිදු වූ මෙම ඝාතනය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රබල අර්බුදයකට මුහුණ පානවා. විවිධ සාකච්ජා ගැටළු හා අර්බුද හමුවේ අවසානයේ දී පක්ෂයේ විකල්ප අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වෙන්නේ ගාමිණි දිසානායකගේ බිරිඳ වන වජිරා ශ්‍රීමති දිසානායක යි. දේශපාලනය සඳහා එතරම් පළපුරුදු නොවූ ආධුනික ශ්‍රීමති දිසානායක ඉදිරිපත් වීමත් සමග පොදු ජන පෙරමුණේ ජන්ද ප්‍රතිශතය තවත් ඉහළ ගිය බව දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දෙනවා.

වාර්තාගත ජන්ද ප්‍රතිඵලය 

දිස්ත්‍රික් සියල්ලේම ජයග්‍රහණය පොදුජන එක්සත් පෙරමුණට (1.bp.blogspot.com)

මෙම මැතිවරණයේ දී පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක ලබාගත් ජන්ද ප්‍රතිශතය අදටත් බිඳ හෙළිය නොහැකි වාර්තාවක් බවට පත් වී තිබෙනවා. ඇයගේ ජන්ද ප්‍රමාණය හතළිස් හත්ලක්ෂ අනු දෙදහස් පහක් (4709205) වූ අතර එය ප්‍රකාශිත ජන්ද ප්‍රමාණයෙන් 62.28% ලෙස සටහන් වෙනවා. දෙවන තැනට පත් වූ ශ්‍රීමතී දිසානායක ලබාගන්නේ ජන්ද විසිහත් ලක්ෂ පහළොස්දහස් දෙසිය අසූ තුනක් (2715283) පමණ යි. එය ප්‍රකාශිත ජන්ද ප්‍රමාණයෙන් 35.91%ක්. තෙවන ස්ථානය හඩ්සන් සමරසිංහ ද හතරවන ස්ථානය හරිස්චන්ද්‍ර විජේතුංග ද දිනාගනු ලබනවා. 

මැතිවරණ දිස්ත්‍රික්ක 22 තුළම ජනාධිපතිවරණ ජන්ද විමසීම සිදු වූ අතර මෙහි විශේෂත්වය වන්නේ සෑම දිස්ත්‍රික්කයකම ප්‍රකාශිත ජන්ද ප්‍රමාණයෙන් ඉහළම ජන්ද ප්‍රතිශතයක් පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකාව ලබාගෙන තිබීම යි. එක්සත් ජාතික පක්ෂයට කිසිදු දිස්ත්‍රික්කයක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ. මෙම මැතිවරණයේ තවත් විශේෂත්වයක් වන්නේ යාපනය හා වන්නි දිස්ත්‍රික්කවල ජන්දය ප්‍රකාශ කිරීම ඉතාමත්ම අඩු වශයෙන් සිදු වීම යි. ඊට ප්‍රධානම හේතුව වන්නේ එම දිස්ත්‍රික්කවල වැඩි කොටසක් LTTE ත්‍රස්ත ග්‍රහණයේ පැවතීම යි.

මුලාශ්‍රයයන්:

ශ්‍රී ලංකා දේශපාලනයේ මෑතකාලීන ප්‍රවණතා - ඩබ්. ජයවර්ධන 

elections.gov.lk

Related Articles