සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තෙවන මහා මැතිවරණය පැවැත්වුණේ 2000 වසරේ දී යි. පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය කරට කර සිටි අවස්ථාවක පැවති එම මහා මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වුණා. 1994 මහා මැතිවරණයට සාපේක්ෂව අඩු ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් වාර්තා වුණු මෙම මහා මැතිවරණයේ දී වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයින් පිළිබඳව තොරතුරු මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරනවා. 

2000 මහා මැතිවරණයේ දිස්ත්‍රික්කය අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 

2000 මහා මැතිවරණයේ දී දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වුණේ 75.62%ක් ලෙස යි. පහත දැක්වෙන්නේ එක් එක් දිස්ත්‍රික්කය තුළ දී වාර්තා වුණු ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත යි. 

1) කොළඹ දිස්ත්‍රික්කය- 1,053,644 (76.04%)      2) ගම්පහ දිස්ත්‍රික්කය- 999,099 (79.71%)

3) කළුතර දිස්ත්‍රික්කය- 570,254 (81.73%)          4) මහනුවර දිස්ත්‍රික්කය- 646,676 (79.59%)

5) මාතලේ දිස්ත්‍රික්කය- 233,816 (79.89%)         6) නුවරඑළිය දිස්ත්‍රික්කය- 335,955 (82.86%)

7) ගාල්ල දිස්ත්‍රික්කය- 551,142 (81.22%)           8) මාතර දිස්ත්‍රික්කය- 415,895 (79.27%)

9) හම්බන්තොට දිස්ත්‍රික්කය- 289,942 (80.53%) 10) යාපනය දිස්ත්‍රික්කය- 132,733 (21.32%)

11) වන්නි දිස්ත්‍රික්කය- 89,797 (42.13%)            12) මඩකලපුව දිස්ත්‍රික්කය- 197,646 (71.74%)

13) දිගාමඩුල්ල දිස්ත්‍රික්කය -283,321 (80.36%)   14) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- 141,772 (68.52%)

15) කුරුණෑගල දිස්ත්‍රික්කය- 796,378 (79.05%)   16) පුත්තලම දිස්ත්‍රික්කය- 301,739 (73.15%)

17) අනුරාධපුර දිස්ත්‍රික්කය- 371,143 (78.52%)    18) පොළොන්නරුව දිස්ත්‍රික්කය- 187,940 (81.91%)

19) බදුල්ල දිස්ත්‍රික්කය- 389,203 (81.84%)          20) මොණරාගල දිස්ත්‍රික්කය- 197,519 (83.01%)

21) රත්නපුර දිස්ත්‍රික්කය- 509,073 (83.50%)       22) කෑගල්ල දිස්ත්‍රික්කය- 434,140 (79.62%)

වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයෝ 

2000 මහා මැතිවරණයේ දී මනාප 150,000ට වඩා ලබාගත් අපේක්ෂකයන් 5 දෙනෙකු හමුවනවා. එම  අපේක්ෂකයන්ගෙන් බහුතරයක් පාර්ලිමේන්තුවට පිවිසුණේ ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරමින්. පහත දැක්වෙන්නේ වැඩිම මනාප ලබාගෙන 2000 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත් වුණු එම මහජන නියෝජිතයන් පිළිබඳව තොරතුරු යි.

රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 363,668

රනිල් වික්‍රමසිංහ මුල්ම වරට පාර්ලිමේන්තුවට පිවිසුණේ 1977 වසරේ පැවති මහා මැතිවරණයේ දී බියගම ආසනය ජයග්‍රහණය කරමින්. ඉන් අනතුරුව 1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කළ රනිල් වික්‍රමසිංහ මනාප 86,477ක් ලබාගැනීමට සමත් වුණා. 1994 මහා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොළඹ දිස්ත්‍රික්කයට සංක්‍රමණය වුණු රනිල් වික්‍රමසිංහ මනාප 291,194ක් ලබාගත්තේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා වෙමින්. එම වසරේ දී ම සිදුවුණු ගාමිණී දිසානායකගේ වියෝවෙන් පසුව පක්ෂ නායකත්වයට පත් වුණු රනිල්, විපක්ෂ නායක නතතුරත් දරනු ලැබුවා. ඉන්පසුව එළඹුණු 2000 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් සටනට පිවිසි රනිල්, මනාප 363,668ක් ලබාගැනීමට සමත් වුණා.

රනිල් වික්‍රමසිංහ (gettyimages)

කරූ ජයසූරිය (එක්සත් ජාතික පක්ෂය)- මනාප 237,387

1997 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ දී මනාප 47,350ක් ලබාගත් කරූ ජයසූරිය, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වුණා. 1999 වසර වන තුරු එම තනතුරේ රාජකාරි කළ කරූ ජයසූරිය, 1999 පළාත් සභා මැතිවරණයේ දී බස්නාහිර පළාත් සභාවට තේරී පත් වුණේ මනාප 250,179ක් ලබාගනිමින්. ඉන් වසරකට පසුව පැවති 2000 මහා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්  සටන් බිමට පිවිසි කරූ ජයසූරිය, මනාප 237,387ක් ලබාගැනීමට සමත් වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉහළම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා වෙමින්.

කරූ ජයසූරිය (gettyimages)

සුසිල් ප්‍රේමජයන්ත (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 165,905

1991 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ දී සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ උප නගරාධිපති වශයෙන් තේරී පත් වුණා. ඉන්පසුව, 1993 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී බස්නාහිර පළාත් සභාවට තේරී පත් වුණු සුසිල් ප්‍රේමජයන්ත 1995 වසරේ දී මහ ඇමති ධූරයේ වැඩ භාරගනු ලැබුවා. යළි 1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දීත් මනාප 162,415ක් ලබාගෙන බස්නාහිර මහ ඇමතිවරයා ලෙස තේරී පත් වුණු මොහු, 2000 වසරේ පැවති මහා මැතිවරණයේ දී තරග බිමට පිවිසියේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්. එහි දී මනාප 165,905ක් ලබාගත් සුසිල්, එම මහා මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් දිවයිනෙන්ම වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වුණා.

සුසිල් ප්‍රේමජයන්ත (gettyimages)

කෙහෙලිය රඹුක්වැල්ල (එක්සත් ජාතික පක්ෂය)- මනාප 154,403

1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී මනාප 141,552ක් ලබාගනිමින් මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස තේරී පත් වුණේ කෙහෙලිය රඹුක්වැල්ල යි. ඉන් වසරකට පමණ පසුව එනම්, 2000 වසරේ පැවති මහා මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග බිමට පිවිසි කෙහෙලිය රඹුක්වැල්ල මනාප 154,403ක් ලබාගැනීමට සමත් වුණා.

 කෙහෙලිය රඹුක්වැල්ල (gettyimages)

අනුරුද්ධ රත්වත්තේ (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 152,511

1970 සහ 1977 මහා මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සෙංකඩගල ආසනයට තරග කළ අනුරුද්ධ රත්වත්තේ පාර්ලිමේන්තුව පිවිසීමට අවස්ථාවක් උදාකර ගත්තේ නැහැ. නමුත්, 1989 මහා මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි අනුරුද්ධ රත්වත්තේ, 1994 මහා මැතිවරණයේ දී මනාප 92,644ක් ලබගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව 2000 වසරේ පැවති මහා මැතිවරණයේ දීත් මනාප 152,511ක් ලබාගත් අනුරුද්ධ රත්වත්තේ මහනුවර පොදුජන එක්සත් පෙරමුණු ලැයිස්තුවේ පළමු ස්ථානය දිනාගත්තා.

අනුරුද්ධ රත්වත්තේ (gettyimages)

කවරයේ ඡායාරූපය- රනිල් වික්‍රමසිංහ (gettyimages)

මූලාශ්‍රය- මහා මැතිවරණ ප්‍රතිඵල (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)