Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය

2009 වසරේ දී පකිස්ථානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එහිදී මාරාන්තික අත්දැකීමකට මුහුණ දෙනවා. ඒ 2009 වසරේ මාර්තු මස තුන් වන දා යි. එදින, ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැගත් බස් රථය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණය අසලට ළඟා වන විටම ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් 12 දෙනෙක් පමණ බස් රථය ඉදිරියට පැන ප්‍රහාරයක් එල්ල කරනවා. මෙම ප්‍රහාරයෙන් කණ්ඩායමේ ආරක්ෂාවට සිටි පකිස්ථානු පොලිස් නිලධාරීන් හය දෙනෙකු මරණයට පත්වෙන අතර තවත් සිවිල් වැසියන් දෙදෙනකු ද මරණයට පත් වෙනවා.

වාසනාවකට මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එකදු ක්‍රීඩකයෙකු හෝ මරණීය තුවාල නොලබන අතර 6 දෙනකු තුවාල ලබනවා. මීට අමතරව කණ්ඩායම සමග ගමන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්යයමණ්ඩලයේ දෙදෙනක් ද සුළු තුවාල ලබනවා.

පකිස්ථානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ අනෙක් රටවල්

ගඩාෆි ක්‍රීඩාංගණය (Sportsmatik)

පකිස්ථානය තුළ මුස්ලිම් අන්තවාදී සන්නද්ධ සංවිධාන ක්‍රියාත්මක වෙන බැවින් එරට සංචාරය කිරීම ලෝකයේ අනෙකුත් ක්‍රිකට් කණ්ඩායම් විසින් ප්‍රතික්ෂේප කරනවා. එය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනු දෙයක් විය.

2002 වසරේ දී එරට සංචාරය කළ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටි හෝටලය අසලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වෙනවා. මෙම ප්‍රහාරයත් සමග ඕස්ට්‍රේලියාව ද පාකිස්ථානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරනවා. ඉන්දියා-පකිස්ථාන විරසකය හා 2008 වසරේ ඉන්දියාවේ සිදු වූ මුම්බායි ප්‍රහාරය හේතුවෙන් ඉන්දියානු කණ්ඩායම ද පකිස්ථානු සංචාර අවලංගු කරනවා.

2009 වසරේ මෙම ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපතිවරයෙකුට සලසන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබාදීමට පකිස්ථානය පොරොන්දු වෙනවා.

බස් රථයට එල්ල වූ දරුණු ප්‍රහාරය

ප්‍රහාරයට ලක් වූ බස් රථය (Dawn)

එදින උදෑසන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැගත් බස් රථය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයට පැමිණෙන තෙක් ආයුධ සන්නද්ධ ප්‍රහාරකයන් 12 දෙනෙක් ක්‍රීඩාංගණය අසල නිදහස් චතුරස්‍ර පෙදෙසේ සැඟවී සිටිනවා.  ඒ අසලින් වාහන පෙළ ගමන් කරනවාත් සමග ප්‍රහාරය ආරම්භ වෙනවා.

ත්‍රස්තවාදීන් පළමුවෙන්ම ප්‍රහාර එල්ල කරන්නේ බස් රථයේ ටයර්වලට යි. අනතුරුව රොකට් ලෝන්චර් ප්‍රහාරයක් ද බස් රථය වෙත එල්ල කරන නමුත් එය වාසනාවකට මෙන් බස් රථයට නොවදින අතර අසල තිබූ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරවා දමනවා. ප්‍රහාරකයන් විසින් ග්‍රෙනේඩ් කිහිපයක් බස් රථය යටට විසි කළ නමුත් ඒවා පුපුරා යාමට ප්‍රථමව බස් රථය එම ස්ථානයෙන් ඉවතට ධාවනය කිරීමට රියදුරු සමත් වෙනවා.

ත්‍රස්තයන්ට එරෙහිව පකිස්ථාන් පොලිසිය ද ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බැවින් ගැටුම විනාඩි 2ක් පමණ පැවැත්වෙනවා. ප්‍රහාරය අවසන් වූ පසුව පකිස්ථානු පොලිස් නිලධාරීන් 6 දෙනක් ද සිවිල් වැසියන් 2ක් ද මිය ගොස් ඇති බවට වාර්තා වෙනවා.

ත්‍රස්තයන් විසින් ප්‍රහාරය සඳහා AK-47 ගිනි අවි භාවිතා කර තිබූ අතර ඊට අමතරව RPG ප්‍රහාර හා ග්‍රෙනේඩ් ප්‍රහාර ද එල්ල කර තිබෙනවා.

මෙම අවස්ථාවේ බස් රථයේ රියදුරු ඉතා නිර්භීතව රථය ධාවනය කළ බැවින් ක්‍රීඩකයන්ගේ ජීවිත බේරුණු බව සදහන්. ඒ හේතුවෙන් පසු කාලයක දී එම පකිස්ථාන ජාතික රියදුරු මෙරටට ගෙන්වා, බුහුමන් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා රජය කටයුතු කරනවා.

තුවාල ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

ක්‍රීඩකයන් ගුවන් මඟින් ආරක්‍ෂිත ස්ථානයකට (Dawn)

කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන හා උප නායක කුමාර් සංගක්කාර ප්‍රහාරය හේතුවෙන් සුළු තුවාල ලබනවා. මීට අමතරව තිලාන් සමරවීර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, චමින්ද වාස් හා සුරංග ලක්මාල් ද තුවාල ලබනවා.

ප්‍රහාරයත් සමග අනෙකුත් ක්‍රීඩකයන්ට වඩා තුවාල ලබා සිටි තරංග පරණවිතාන හා තිලාන් සමරවීර යන ක්‍රීඩකයන් දෙදෙනා වහාම රෝහල් ගත කරනවා. තිලාන්ගේ පාදය සිදුරු කරගෙන වෙඩි උණ්ඩයක් කිඳා බැස තිබූ තර තරංගගේ පපු ප්‍රදේශය සිදුරු කරමින් මූනිස්සමක් අභ්‍යන්තරයට කිදා බැස තිබෙනවා.

පපු ප්‍රදේශයට උණ්ඩයක් ඇතුළු වූ පසු එය පිට ප්‍රදේශයෙන් ඉවත්ව ගියේ දැයි යන්න තමන් පිට අතගා බැලූ බවත් එය අභ්‍යන්තරයේ නැවතී ඇති බව තමන් දැනගත් බවත් තරංග පසුව පවසනවා. තිලාන්ගේ පාදයේ වූ මූනිස්සම ඉවත් කිරීමට ශල්‍යකර්මයක් සිදු කරන අතර ඉන් මාස හතරකින් පමණ ඔහු සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයන් රැගත් බස් රථය පසු පසින් විනිසුරන් රැගත් වෑන් රථයක් ගමන් ගන්නවා. එයට ද ප්‍රහාරය එල්ල වෙන අතර එම රථයේ රියදුරු මරණයට පත්වෙනවා. එහි ගමන් ගත් එක් විනිසුරුවරයෙක් තුවාල ලබනවා.

සැක කිරීම්

තුවාල ලැබූ තරංග පරණවිතාන (abc.net.au)

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්ථානයේ මෙන්ම ඉන්දියාවේ ද තහනම් කර ඇති අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් වන ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වෙන ලෂ්කර්-ඉ-තයිබා සංවිධානයට චෝදනා එල්ල වෙනවා.

මෙම සංවිධානයට අමතරව පාකිස්ථානය විසින් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය ද සැකයට ලක් කරනවා. එම සමය ශ්‍රී ලංකාවේ හතරවන ඊලාම් යුද්ධය පැවති කාලය වූ බැවින් ප්‍රහාරය සඳහා LTTE සංවිධානයේ සම්බන්ධතාවයක් ඇත්දැ යි විමර්ශනයට ලක් කෙරෙනවා.

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ප්‍රහාරය සඳහා වගකිව යුතු පුද්ගලයන් කිහිපයක් අත්අඩංගුවට ගැනීමට පකිස්ථානු පොලිසිය සමත්වෙනවා.

කෙසේ නමුත් මේ සම්න්ධව විධිමත් පරීක්ෂණයක් මෙරට දී නොපැවැත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන අර්ජුන රණතුංග පවසා තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු නැවත වරක් පාකිස්ථානයට

ප්‍රහාරයෙන් මියගිය නිලධාරීන්ව සිහිපත් කිරීම (The New York Times)

මෙම ප්‍රහාරයෙන් පසු පකිස්ථානයේ සංචාරය කිරීම බොහෝ රටවල් විසින් ප්‍රතික්ෂේප කරනවා. නමුත් ශ්‍රී ලංකා රජය හා පකිස්තාන රජය අන්‍යයන් පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරන බවත්, පකිස්තානය ක්‍රිකට් ලෝකයේ හුදෙකලා නොකළ යුතු බවත් ශ්‍රී ලංකා රජය පවසනවා.

වසර ගණනාවක් තිස්සේ උතුරේ පැවති යුද්ධ කාල සීමාවේ දී බොහෝ රටවල ක්‍රිකට් කණ්ඩායම් මෙරට සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරන සමයක පාකිස්ථානය ශ්‍රී ලංකාව හුදෙකලා නොකළ බව ද සදහන් කරනවා.

ඒ අනුව ලාහෝර් ප්‍රහාරයෙන් වසර අටකට පසුව විස්සයි විස්ස තරගයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවතත් පකිස්ථානය බලා පිටත් වෙනවා. මෙම සංචාරයේ පූර්ණ ආරක්ෂාව සඳහා පකිස්ථානු රජය වග වී සිටි නමුත් බොහෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඒ සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කරනවා.

කවරයේ පින්තූරය: ESPN Cricinfo

මූලාශ්‍රයයන්:

dawn.com

bbc.com

theguardian.com

nytimes.com

2009 වසරේ දී පකිස්ථානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා.

Related Articles