ස්පාර්ටන්වරු 300 දෙනාගේ වික්‍රමය

Zack Snyder විසින් 2007 දී නිපදවන ලද 300 චිත්‍රපටය ඔබ නරඹා ඇතිවා විය යුතු ය. එම චිත්‍රපටයට පාදක වන්නේ පුරාතනයේ සිදු වූ තර්මෝපයිලේ හි සටනයි. චිත්‍රපටයේ ඉතිහාසයේ සඳහන් දෑට වඩා යම් යම් කොටස් එකතු වී ඇති නමුත්, සාමාන්‍යයෙන් බොහෝ ඓතිහාසික සිද්ධි මුල්කරගත් චිත්‍රපට වල සිදුවන්නේ එයයි. මෙම සටනේ ග්‍රීකවරුන්ගේ නායකයා වන්නේ ස්පාර්ටා හි ලියෝනයිඩස් ය. ලියෝනයිඩස් රජු යනු කව්ද? තර්මෝපයිලේ හි සටනේ සිදුවූයේ කුමක්ද? මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ එයයි.

ග්‍රීක ඉතිහාසඥයෙක් වූ හෙරඩෝටස්ට අනුව ලියෝනයිඩස් යනු ඇලෙක්සැන්ඩ්‍රිඩස් රජුගේ පළමු බිරිඳට දාව උපන් දරුවෙකි. බිරිඳගේ නම සදහන් නොවුව ද ඇය රජුගේ ඥාතියෙකි. ලියෝනයිඩස් පළමු දරුවා නොවන අතර ඔහුගේ උපතට පෙර රජුගේ දෙවන බිරිඳ ක්ලියෝමෙනස් නම් දරුවාව වැදුවා ය. ඉන්පසු රජුගේ පළමු බිරිඳට ඩෝරියස් නම් දරුවා උපන්නේ ය. ඔහු ලියෝනයිඩස්ගේ වැඩිමහල් සොයුරා ය. ඩෝරියස් ඉපදී වැඩිකල් නොගොස් පළමු බිරිඳ ලියෝනයිඩස් ව ගැබ් ගත්තාය. ඒත් සමඟම ඇයට ක්ලියොම්බ්‍රොටස් නම් දරුවෙකු ද උපන්නේ ය. හෙරඩෝටස් පවසන අන්දමට ලියෝනයිඩස් සහ ක්ලියොම්බ්‍රොටස් නිවුන්නු යැයි ද මත පවතී.ලියෝනයිඩස්ට ස්පාර්ටා හි කිරුළ හිමි වූයේ ක්‍රි.පූ. 489 දී ය. රජුගේ තුන්වෙනි පුත්‍රයා වූ නිසා ලියෝනයිඩස්ට රජකම පිළිබඳ අදහසක් ඇති කර ගැනීමට නොහැකි විය. ඇලෙක්සැන්ඩ්‍රිඩස් රජු මියගිය පසු වැඩිමහල් පුත්‍රයා වූ ක්ලියෝමෙනස් ස්පාර්ටා හි රජකමට පත් විය. එනමුත් රජතුමා පිරිමි දරුවෙකු නොලබා මිය ගියේ ය. ඉන්පසු වැඩිමහල් පුත්‍රයා වූ ඩෝරියස් සිසිලිහි සටනක දී මියගියේ ය. එමනිසා ජීවත්ව සිටින දරුවන් අතරින් වැඩිමහල් පුත්‍රයා ලෙස ලියෝනයිඩස්ට රජකම හිමි විය. ලියෝනයිඩස් තම වැඩිමහල් සොයුරා වූ ක්ලියෝමෙනස්ගේ දියණිය වූ ගෝර්ගෝ විවාහ කර ගත්තේ ය.

ලියෝනයිඩස් රජු (www.ancient-origins.net)

ලියෝනයිඩස් ඉදිරියේ තිබුනේ පහසු කටයුත්තක් නොවේ. වසර කිහිපයකට පෙර පළමුවන ඩේරියස් රජු යටතේ පර්සියන්වරු ග්‍රීසිය ආක්‍රමණය කළෝ ය. ඒ, අයෝනියාහි පර්සියන් පාලනය පැවති කාලයේ පර්සියානු පාලනයට විරුද්ධව කැරලි ගැසීමට ඇතැන්ස් හා ඉරේට්‍රියා යන පෞර රාජ්‍යයන් සහය දුන් බැවින්, එම රාජ්‍යයන්ට පාඩමක් ඉගැන්වීමටය. ක්‍රි.පූ. 490 දී මැරතන් හි මෙම සටනෙන් ඇතැන්ස් පෞර රාජ්‍යයට ජයග්‍රහණය අත් විය. එනමුත් වැඩිකල් නොගොස් ඩේරියස් රජු තම සියලු බලය යොදා නැවත පහර දීමට සැලසුම් කළේ ය. එහෙත් ඩේරියස් රජු ග්‍රීසියට පහර දීමට ඉක්මන් වූයේ නැත. මන්ද, ඒ වන විට පර්සියානු අධිරාජ්‍යයේ යම් යම් කොටස් වල කැරලි කෝලහාල ඇතිව තිබූ බැවිනි.

ක්‍රි.පූ. 486 පමණ වන විට ඩේරියස් රජු යුද්ධයක් අතරතුර මිය ගියේ ය. එමනිසා ඔහුගේ පුත්‍රයා වූ  සර්ක්සීස් රජකමට පත් විය. තම පියාගේ පරාජයට පලිය ගැනීමට ඉටා සිටි මේ පුත්‍රයා තම හමුදාව දිනෙන් දින ශක්තිමත් කිරීමට වග බලාගත්තේ ය. ක්‍රි.පු. 480 පමණ වන විට ඔහු සුවිශාල හමුදාවක් සාදා ගත්තේය. එහි එකසිය පනස් දහසක් (150,000) මිනිසුන් හා නැව් 600 ක් අඩංගු විය. ක්‍රි.පූ. 480 අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල මොහු ග්‍රීසියට විරුද්ධව යුධ ප්‍රකාශ කලේ ය. තර්මෝපයිලේ හි සටන ලෙස හදුන්වන්නේ මෙයයි.තර්මෝපයිලේ හි සටන යනු ග්‍රීසිය වෙත පර්සියන්වරුන්ගේ දෙවන ආක්‍රමණයේදී සිදුවූ සුප්‍රකටම සටන වූ අතර පුරාතන යුරෝපා ඉතිහාසයේ සිදුවූ සුප්‍රකටම සටන් වලින් එකකි. අන් සටන් මෙන් නොව මෙහිදී ග්‍රීකයන්ට අත් වූයේ පරාජයකි. මෙහිදී ග්‍රීක පෞර රාජ්‍යයන්ගේ ඉතා කුඩා හමුදාව මෙහෙය වූ ස්පාර්ටාහි ලියෝනයිඩස් ගේ ක්‍රියාකලාපය කැපී පෙනුනි.මෙම සටන සිදුවූයේ මධ්‍යම ග්‍රීසියේ කඳු හා මුහුද අතර පටු තීරයක් වූ තර්මෝපයිලේ හිදීය. ග්‍රීකයන්ගේ පැත්තේ සිටි ස්පාර්ටන්වරු 300 දෙනා ඉතා ප්‍රසිද්ධ වුවද ග්‍රීක පාර්ශවයේ සිටියේ ඔවුන් පමණක් නොවේ. ග්‍රීකයන්ගේ පැත්තේ අනෙක් ග්‍රීක පෞර රාජ්‍යයන් වල යුධ භටයන් ද සිටියේ ය. හෙරඩෝටස් පවසන අන්දමට එහි ග්‍රීකවරුන් 5000ක් පමණ සිට ඇත. වර්තමාන සොයාගැනීම් අනුව සම්පූර්ණ ග්‍රීක බලඇණිය සෙබළුන් 20000 කින් පමණ සමන්විත විය.ලියෝනයිඩස් යුද්ධයට යාමට පෙර ඔරකල්, එනම් අනාගතවක්තෘවරිය, පැවසුවේ ඔහු යුද්ධයේ දී මියයන බවයි. එමනිසා ඔහු යුද්ධය සඳහා ස්පාර්ටන්වරුන් අතරින් දරුවන් සිටින පිරිමින් තෝරාගත්තේ ය. ඒ යුද්ධයෙන් පසු ඔවුන් මියගියහොත් පවුල ඉදිරියට ගෙන යාමට දරුවන්ට හැකි වන නිසා ය. පර්සියානුවන්ට එරෙහිව යුද්ධයේදී මූලිකත්වය ස්පාර්ටා පෞර රාජ්‍යයට හිමිවූයේ පෙරදී ඔවුන් යුද්ධ වලදී දැක්වූ දක්ෂතාව හේතුකොටගෙන ය.ග්‍රීකයන් ග්‍රීසියේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පටු පෙදෙසක් ආරක්ෂා කිරීම සඳහා යොදාගත්තේ ය. මෙම පෙදෙස තර්මෝපයිලේ ලෙස හැදින්වේ. මෙය ග්‍රීසියට උතුරින් පැමිණෙන මාර්ග වලින් එකකි.පර්සියන්වරු පැමිණ කඳවුරු ගසා යුද්ධයෙන් තොරව දින කිහිපයක් සිටියේ ය. මේ අතරතුර පර්සියන්වරුන්ගේ රජු වූ සර්ක්සීස් පුද්ගලයෙක්ව රහසිගතව පිටත් කරේ ග්‍රීකයන්ගේ යුද්ධයට සූදානම්ව සිටින ස්ථානය දැනගැනීම සඳහාය. ඔහු නැවත රජු වෙත පැමිණ පැවසූ  දෙයින් රජු පුදුමයට පත් විය. එනම් ඉදිරියේ මාර්ගය හරස් කොට බැඳි තාප්පය ඉදිරිපිට ස්පාර්ටන්වරු 300 දෙනෙක් ව්‍යායාම් කරමින් යුද්ධයට සූදානම්ව සිටින බවයි. එම ස්පාර්ටන්වරු ඉතාමත් නිර්භීත බවත් ඔවුන් මියයන තෙක් සටනට සූදානම් බව ද පැවසුවේ ය.

තර්මෝපයිලේ සටන සිදුවූ ස්ථානය දැක්වෙන සිතියමක්. (www.ancient.au)

ඉතා සංයමයෙන් ඉවසා සිටි පර්සියන්වරු අවසානයේ පහර දීම ආරම්භ කලේ ය. ග්‍රීකවරු මාර්ගය අවහිර කරමින් තිබූ තාප්පය පිටුපස සිට පර්සියන්වරුන්ට පහර දෙමින් තම ස්ථානය සුරක්ෂිත කළෝ ය. මෙම මාර්ගය තරමක් පටු වීම හේතුවෙන් පර්සියන්වරු අති විශාල ප්‍රමාණයක් සිටිය ද ඔවුන්ට එකවර ග්‍රීකයන්ට පහර දීමට නොහැකි විය. මෙය ග්‍රීකයන්ට ඉතා වාසිදායක විය. ග්‍රීකයන්ගේ හිස් ආවරණ, යුධ ඇඳුම් ආදිය ඉතාමත් ශක්තිමත් ද්‍රව්‍ය වලින් තනා තිබූ අතර පර්සියන්වරුන්ගේ එසේ නොවිනි. ග්‍රීකයන්ගේ යුධ ඇදුම් පමණක් නොව අවි ආයුධ ද පර්සියන්වරුන්ට වඩා දියුණු විය. ග්‍රීකයන්ගේ හෙල්ලවල් ඉතා දිගු වූයෙන් පර්සියන්වරු ලඟට පැමිණීමට පෙරම ඔවුන්ට පහර දී මරා දැමීමට ග්‍රීකයන්ට හැකිවිය.ස්පාර්ටන්වරු මේ අතරතුර යුධ උපක්‍රම බොහොමයක් භාවිතා කළෝ ය. එයින් එකක් නම් පර්සියන්වරුන්ට භියවී පලා යනවා යැයි පෙන්වා පර්සියන්වරු රවටා එකවර හැරී පහර දීමයි. මෙම උපක්‍රමයෙන් ස්පාර්ටන්වරුන්ට පර්සියන්වරු ඉතා විශාල ප්‍රමාණයක් මරණයට පත් කිරීමට හැකිවිය.මෙසේ දින දෙකක් ගතවිය. පර්සියන්වරුන්ට ඉතා කුඩා ග්‍රීක හමුදාව පරාජය කිරීමට නොහැකි විය. එපමණක් නොව මේ වන විට අති විශාල පර්සියන්වරු ප්‍රමාණයක් ඉතා කුඩා ග්‍රීක හමුදාව විසින් මරණයට පත් කර තිබිණි. මේ අතරතුර ග්‍රීකයන්ගේ වාසනාව කනපිට හැරීමේ සිද්ධියක් සිදු වුනි. එනම් ග්‍රීකයෙක් පර්සියානු රජුට ග්‍රීක හමුදාවේ රහස් පවසා කළ පාවාදීමයි.

සටනේදී භාවිතා වූ ආයුධ කොටස් (www.study.com)

තර්මෝපයිලේ හි මාර්ගයට උඩින් කඳු අතරින් අප්‍රකට මාර්ගයක් පැවතිණි. මෙම මාර්ගය දැන සිටියේ සාමාන්‍ය ග්‍රීක ජනතාව පමණි. මෙම මාර්ගයෙන් ගොස් ග්‍රීක හමුදාව පහරදෙන ස්ථානයට වටින් ගොස් ඔවුන්ගේ පිටුපසට පැමිණීමට හැකිවේ. එසේ කළ විට ග්‍රීක හමුදාව ඉදිරියෙන් හා පසුපසින් කොටු වීම නියත විය.අඳුර වැටුනු පසු පර්සියන් රජු තම හොඳම සොල්දාදුවන් පිරිසක් රහස් මාර්ගයෙන් ග්‍රීකයන්ව කොටු කිරීමට යැව්වේ ය. තුන්වෙනි දින හිමිදිරිය වන විට තමන් පාවාදීමකට ලක්ව ඇති බව ග්‍රීකයන්ට අවබෝධ විය. තත්ත්වය කෙසේ වුවත් අවසානය තෙක් සටන් කිරීමට ග්‍රීක හමුදාවේ නායකයා වූ ලියෝනයිඩස් තීරණය කළේ ය. ඒ, මෙම සටන තමන් පරාජය වන බව හොඳාකාරව දැන දැනය. තත්ත්වය මෙසේ වන විට තම සඟයන්ට ඔහු පැවසුවේ හැකි අයුරින් පලා යන ලෙසයි. එසේ නමුත් ස්පාර්ටන්වරු පවසා සිටියේ ඔවුන් අවසානය තෙක් ලියෝනයිඩස් සමඟ සටන් කරන බවයි.ඉන්පසු ස්පාර්ටන්වරුන් පලා යාම ප්‍රතික්ෂේප කළ අනෙක් සුලු ග්‍රීක පිරිසත් සමඟ මාර්ග බාධකය වෙත ගියේ ය. මෙම ග්‍රීකයන් තම උපරිමයෙන් යුධ වැදුනු අතර පර්සියන්වරු අති විශාල ප්‍රමාණයක් මරණයට පත් විය. ග්‍රීකයන්ගේ අවි ආයුධ කැඩුණු විට ඔවුන් අතින් හා දත්වලින් පහර දුන් බව හෙරඩෝටස් පවසයි. මුහුණට මුහුණලා සටන් කර ජයග්‍රහණය ලබා ගත නොහැකි බව දැනගත් පර්සියන්වරු හී මගින් ඈත සිට පහර දී ග්‍රීකයන්ව සමූලඝාතනය කරන ලදී.

සටන දැක්වෙන කැටයමක් (www.discovergreece.com)

ලියෝනයිඩස් රජු මියගියේ හී වැදීමෙන් බව සදහන් ය. යුද්ධයකින් පරාජය වන සතුරාට ගෞරවාන්විතව සැලකීම පර්සියන්වරුන්ගේ සිරිත විය. එනමුත් මෙම පරාජයෙන් ඉතා කෝප වූ සර්ක්සීස් ලියෝනයිඩස් ගේ හිස කඳෙන් වෙන්කර කඳ කුරුසිපත් කරන ලෙස අණ කලේ ය.ස්පාර්ටන්වරුන් සහ අනෙක් ග්‍රීක සෙබළුන් මියයන තෙක් සටන් කළේ ය. තර්මෝපයිලේ හි සටන පර්සියන්වරු ජයග්‍රහණය කළ ද ඔවුන්ට ග්‍රීසිය අල්ලා ගැනීමට නොහැකි විය. ස්පාර්ටන්වරුන්ගේ මෙම අප්‍රතිහත ධෛර්යය අනෙක් ග්‍රීක හමුදා උත්තේජනය කලේ ය.

පර්සියන්වරුන්ට විරුද්ධව ග්‍රීකයන්ගේ මූලික ආරක්ෂිත වීමට සැලැස්ම සකස් කරන ලද්දේ ඇතීනියානු දේශපාලනඥයෙක් හා හමුදාපති කෙනෙකු වූ තෙමිස්ටොකල්ස් විසිනි. තර්මෝපයිලේ හි සටන් වැදිය යුතු ස්ථානය තීරණය කළේ ද ඔහුය. සමස්ථයක් ගත් කල තර්මෝපයිලේ හි සටනේ සුවිශේෂීම තීරණයක් වන්නේ මෙයයි.ග්‍රීකයන්ව එ‍ෆියල්ටීස් නම් පුද්ගලයෙක් පාවාදුන් බව ඉහත සදහන් කරන ලදී. මොහු තම මව්බිම පාවාදුන්නේ මුදල් හා දීමනා බලාපොරොත්තුවෙනි. කඳු අතරින් දිවෙන මාර්ගය පිළිබඳ ලියෝනයිඩස් දැන සිටි අතර ඔහු ෆොසියන්වරු 1000ක් එම මාර්ගය රැකවල් කිරීමට මුල සිට යොදා තිබිණි. එනමුත් ඔවුන් එතනින් ගියේ තම මව්බිම වූ ෆොසිස් පහර දීමට ලක්ව ඇති බව යන සාවද්‍ය තොරතුර නිසාවෙනි.තමන් යුද්ධයෙන් පරාජය වන බව දැනගත් ලියෝනයිඩස් ග්‍රීක හමුදාවට හැකි අයුරින් පැන යාමට අවසර දෙන ලද නමුත්, අවසානය තෙක් සටන් කිරීමට ස්පාර්ටන්වරු 300ක්, තෙස්පියවරු 700ක්, තීබන්වරු 400ක් තීරණය කලේ ය. තර්මෝපයිලේ හි සටනේ අවසානය තෙක් සටන් කිරීමට රැඳුනේ 300 දෙනෙක් පමණක් නොව 1400කට ආසන්න පිරිසකි.

මූලාශ්‍ර :

1)British Museum වෙබ් අඩවිය

2)Ancient Greece ( paragon book)

3)The Histories ( John M. Marincola )

-කවරයේ පින්තූරය : තර්මෝපයිලේ සටන දැක්වෙන චිත්‍රයක්. ( Jacques-Louis David, 1814.)

Related Articles