ලෝක ඉතිහාසය වෙනස් කළ සටන් 5ක්

දරුණු ලෙස යුද සංග්‍රාම ඇවිළෙන කාල පරිච්ඡේදයක දී යුද බිමේ ඈත කෙළවරක සතුරු කණ්ඩායම් ද්විත්වයක් අතර ඇති වන සටනක් ඇතැම් විටෙක ඉතිහාස පොතට එක් නොවන තරම්. නමුත් තවත් විටෙක එවැනි නොවැදගත් සටනක් සමස්ත ලෝකයේ ම ඉතිහාසය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වූ අවස්ථාවන් ද ලෝක ඉතිහාසයේ දුර්ලභ නැහැ. එසේ ලෝකය වෙනස් මඟකට යොමු කරමින් වීර කාව්‍යයන් රචනා කිරීමට පවා පසුබිම සැකසූ ඓතිහාසික සටන් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

මැරතන් හි සටන

පර්සියානුවන්ගේ 1 වැනි ග්‍රීක ආක්‍රමණයට එරෙහි ව ක්‍රි. පූ. 490 දී ඊශානදිග ඇටිකා ප්‍රදේශයේ මැරතන් තැනිතලාවේ දී පැවති ‘මැරතන් හි සටන’ ග්‍රීක-පර්සියානු යුද ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්. ඇකිමනීඩ් හෙවත් 1 වැනි පර්සියානු අධිරාජ්‍යයේ 4 වැනි පාලකයා වූ ශ්‍රේෂ්ඨ ඩාරියස් රජු විසින් 20,000ක පාබල සේනාවක් සහ අශ්වාරෝහක හමුදාවක් රැගත් යුද නෞකා සමූහයක් ග්‍රීසිය ආක්‍රමණය කිරීමට සඳහා එවීමට හේතු වී ඇත්තේ පුරාණ ග්‍රීක වැසියන්, පර්සියානුවන්ට එරෙහි ව කැරලි ගසන ලද අයෝනියානුවන්ට සහාය දැක්වීම යි.

(© Wikimedia Commons) ලූක්-ඔලිවියර් මර්සන් විසින් සිතුවම් කරන ලද ‘ෆීඩීපීඩීස් විසින් ග්‍රීක ජයග්‍රහණය පිළිබඳ පණිවිඩය ඇතන්ස් නුවරට රැගෙන යාම’

පර්සියානුවන් හා සටන් වැදීමට ග්‍රීක ජාතිකයින්ට දැවැන්ත හමුදාවක් නොපැවතිය ද ඔවුන් පලා යන තෙක් පර්සියානුවන්ට එළවා එළවා පහර දුන් බව යි ඉතිහාසයේ සඳහන් වන්නේ. ග්‍රීක ඉතිහාසඥ හෙරෝඩටස් වාර්තා කර ඇත්තේ මැරතන් හි සටනේ දී පර්සියානුවන් 6,000ක් පමණ සහ ග්‍රීක සටන්කාමීන් 200ක් පමණ දරුණු ලෙස මරා දමන්නට ඇති බව යි. පුරාවෘත්තයන්ට අනුව ග්‍රීක ජාතිකයන්ගේ ජයග්‍රහණය පිළිබඳ පණිවිඩය මැරතන් හි සිට ඇතන්ස් නුවර දක්වා රැගෙන ගොස් ඇත්තේ ෆීඩීපීඩීස් නම් පණිවිඩකරුවා විසින්. කි. මී. 40 (සැතපුම් 25)ක පමණ දුරක් දුවගෙන ගොස් පණිවිඩය ලබා දුන් ඔහු, අධික වෙහෙස හේතුවෙන් එතැන ම මියගොස් ඇති අතර, නූතන ‘මැරතන් තරග’ සඳහා පසුබිම සපයන ලද්දේ ෆීඩීපීඩීස්ගේ දිගු දුර ධාවනය බව සැලකෙනවා.

කැජමාකා හි සටන

1532 නොවැම්බර් 15 හෝ 16 වැනි දා ස්පාඤ්ඤ ජාතික යටත් විජිතවාදියෙකු වූ ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ විසින් වත්මන් පේරු රාජ්‍ය ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ ඉන්කා අධිරාජ්‍යයට අයත් කැජමාකා නුවර දී අවසන් ඉන්කා අධිරාජ්‍යයා වූ ඇටවල්පාට සැඟ වී සිට පහර දී තිබෙනවා. එයින් පසු ව ස්පාඤ්ඤ හමුදාවන් විසින් දහස් ගණනක් වූ නිරායුධ ඉන්කා රදලයින් ව ඝාතනය කර ඇත්තේ ‘කැජමාකා හි සටන’ සඳහා මංපෙත් විවර කරමින්. එහි අවසන් ප්‍රතිඵලය වුණේ ස්පාඤ්ඤ හමුදාවන් ජයග්‍රහණය කිරීම සහ ඉන්කා අධිරාජ්‍යය බිඳ වැටීම යි.

(© Pedro Cieza de León / Linkgua Ediciones) ජුවාන් ලපියානි විසින් සිතුවම් කරන ලද ‘ඇටවල්පා අධිරාජ්‍යයාට අල්ලා ගැනීම’

මාස ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ චරපුරුෂ සේවයෙන් පසු ව ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ විසින් කැජමාකා චතුරස්‍රයට පැමිණෙන ලෙස ඇටවල්පා අධිරාජ්‍යයාට ආරාධනා කර තිබෙනවා. හොඳ හිත පෙන්වීමේ අරමුණෙන් අධිරාජ්‍යයා සහ 80,000ක් වූ ඉන්කා රදලයින්, නිරායුධ ව පැමිණ ඇති අතර සැඟ වී සිටි ස්පාඤ්ඤ හමුදාවන්ට ඔවුන් ව යටත් කරගෙන ඇත්තේ එහි දී යි. ස්පාඤ්ඤ හමුදාවන් සමග සිටි පූජකයෙකු ඇටවල්පා අධිරාජ්‍යයාට බයිබලයක් ලබා දී ක්‍රිස්තියානි දහම වැලඳ ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා තිබෙනවා. අධිරාජ්‍යයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුට සහ ඉන්කා රදලයින්ට පහර දෙන ලද ස්පාඤ්ඤ හමුදාවන්, පසු ව ඔවුන් ව ඝාතනය කරන ලද බව යි වාර්තා වන්නේ.

හේස්ටින්ග්ස් හි සටන

1066 ඔක්තෝබර් 14 වැනි දා එංගලන්තයේ හේස්ටින්ග්ස් නුවර අසබඩ පිහිටි සෙන්ලැක් කන්දේ දී නෝමන්ඩි ජාතික ආක්‍රමණිකයෙකු වූ ‘විලියම් නම් යටත් කර ගන්නා’ (William the Conqueror) විසින් එංගලන්තයේ අවසන් ඇන්ග්ලෝ-සැක්සන් පාලකයා වූ 2 වැනි හැරල්ඩ් රජු ව පරාජය කර මරණයට පත් කරන්නේ එංගලන්තය යටත් කර ගැනීම සඳහා වූ නෝමන්ඩි ජාතිකයන් සටන් මාලාවේ ඇරඹුම සනිටුහන් කරමින්. එංගලන්තය තුළ නෝමන්ඩි ජාතික රජවරුන්ගේ පාලනය සඳහා පමණක් නොව දැවැන්ත සංස්කෘතික වෙනසක් සඳහා ද ‘හේස්ටින්ග්ස් හි සටන’ පදනම සැපයූ බව පැවසීමේ වරදක් නැහැ.

(© Wikimedia Commons) ඇන්ග්ලෝ-සැක්සන් හමුදාවන්ට පහර දෙන නෝමන්ඩි භටයින්

2 වැනි හැරල්ඩ් රජුට පෙර එංගලන්තයේ පාලනය කටයුතු මෙහෙය වූ ‘එඩ්වඩ් නම් වරද පිළිගන්නා’ (Edward the Confessor) විසින් 1051 දී ඉංග්‍රීසි කිරුළ විලියම්ට ලබා දීමට පොරොන්දු වුව ද, මියයන මොහොතේ දී තම අදහස වෙනස් කර ගත් ඔහු, ඒ වෙනුවට නව රජු ලෙස හැරල්ඩ් ගොඩ්වින්සන් නම් බලවත් එර්ල්වරයා ව පත් කර තිබෙනවා. එයින් දැඩි කෝපයට පත් විලියම්, 2 වැනි හැරල්ඩ් රජු ව පරාජයට පත් කර 1066 නත්තල් දිනයේ දී 1 වැනි විලියම් නමින් එංගලන්තයේ නව රජු ලෙස කිරුළු පැලඳූ බව යි ඉතිහාසයේ සඳහන් වන්නේ.

ඔලියන්ස් නුවර වැටලීම

(© Jean-Jacques Scherrer) ආක් හි ජොඈන්, ඔලියන්ස් නුවර බලා පැමිණීම

මාස 8කට ආසන්න කාලයක් (1428 ඔක්තෝබර් සිට 1429 මැයි දක්වා) එංගලන්ත හමුදාවන් විසින් වටලාගෙන සිටි ප්‍රංශයේ ඔලියන්ස් නුවර, යළිත් වරක් ජයග්‍රාහී ලෙස ප්‍රංශ වැසියන්ට හිමි වුණේ එවකට 17 හැවිරිදි වියේ පසු වූ ආක් හි ජොඈන්ගේ (Joan of Arc) උපායශීලී ක්‍රියාකලාපය හේතුවෙන් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. 1337 සිට 1453 දක්වා එංගලන්තය සහ ප්‍රංශය අතර පැවති සිය අවුරුදු යුද්ධය (Hundred Years’ War) වෙනුවෙන් සටන් වැදීමට තීරණය කළ ගොවි යෞවනියක් වූ ආක් හි ජොඈන්, ඔලියන්ස් නුවර බලා පැමිණ නිර්භය ව ඉංග්‍රීසි යුද භටයින් හා සටන් වැදුණු බව යි ඉතිහාසයේ සඳහන් වන්නේ. එසේ ම සියවස් ගණනාවක ඉංග්‍රීසි පාලනයෙන් ප්‍රංශය මුදවා ගැනීමට හේතු වී ඇත්තේ ද ‘ඔලියන්ස් නුවර වැටලීම’ ප්‍රංශ හමුදාවන් විසින් ජය ගැනීම යි.

ටුවර්ස් හි සටන

(© Charles de Steuben) චාල්ස් මාටල්ගේ නායකත්වය යටතේ ෆ්‍රෑන්ක් හමුදාවන්

732 දී ස්පාඤ්ඤයේ යෝනක සේනාධිපතියෙකු සහ කෝඩොබා හි මුස්ලිම් ආණ්ඩුකාරවරයා වූ අබ්ද් අල්-රහ්මන් ඉබ්න් අබ්ද් අල්ලා අල්-ඝෆීකි, බටහිර පිරනීස් කඳුවැටිය තරණය කර ප්‍රංශයේ ටුවර්ස් නුවර බලා ළඟා වුණේ යුරෝපා මහද්වීපයේ බලය අල්ලා ගැනීමේ අරමුණෙන්. නමුත් චාල්ස් මාටල් නම් ෆ්‍රෑන්ක් ජාතික ආදිපාදවරයාගේ නායකත්වයෙන් යුතු හමුදාවක්, දිගින් දිගටම යෝනක හමුදාවට පහර දී ඇති අතර, අවසානයේ දී ඔවුන්ගේ නායකයා ව අල්ලාගෙන මරණයට පත් කර තිබෙනවා. ෆ්‍රෑන්ක් හමුදාවන් විසින් ජයග්‍රහණය කරන ලද ‘ටුවර්ස් හි සටන’ හේතුවෙන් ඉස්ලාම් දහම යුරෝපා මහද්වීපය තුළ ව්‍යප්ත වීම අඩාළ වුණා. බොහෝ විද්වතුන්ගේ මතය වන්නේ එය එසේ සිදුනොවුණා නම් වර්තමානයේ දී ඉස්ලාම් දහම, යුරෝපා මහද්වීපයේ ප්‍රධාන ආගම ලෙස වැජඹෙනු ඇති බව යි.

කවරයේ පින්තූරය: © Pinterest

Related Articles