Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිදහසෙන් පසු භාවිතා කළ 50 නෝට්ටු

1951 වසරේ දී මහ බැංකුව දෙවන එළිසබෙත් රැජිණගේ රුව සටහන් වුණු නෝට්ටු කාණ්ඩයක් නිකුත් කරනු ලැබුවා. එම නෝට්ටු කාණ්ඩයේ මුල්ම වරට රුපියල් 50ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් අඩංගු වුණා. එලෙස කරළියට පැමිණි රුපියල් 50 නෝට්ටුව 1952-2011 කාල සමය තුළ විවිධ තේමාවන් යටතේ මුද්‍රණය වුණා. එදා සිට අද දක්වා එකිනෙකට වෙනස් රුපියල් 50 මුදල් නෝට්ටු 9ක් නිකුත් කර තිබෙනවා.

මෙරට භාවිතා කළ 1000 නෝට්ටු, 500 නෝට්ටු , සහ 100 නෝට්ටු පිළිබඳව අපි මීට පෙර ලිපිවලින් කතා කළ නිසා මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අප රට තුළ භාවිතා කළ 50 නෝට්ටු ගැන යි.

1952 වසරේ දී මුල්ම වරට නිකුත් කළ රුපියල් 50 නෝට්ටුව 

1952 වසරේ ජූනි 3 වැනිදා ලංකා මහ බැංකුව මුල්ම වරට රුපියල් 50ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් නිකුත් කරනු ලැබුවා. එම නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන, සහ මහ බැංකු අධිපති ජෝන් එක්ස්ටර් යන අයගේ අත්සන් සහිතව යි. එම නෝට්ටුව ඉන් පසුව 1954 වසරේ මැයි 12 වැනිදා යළි නිකුත් කරනු ලැබුවා. ඒ, මුදල් අමාත්‍ය ඔලිවර් ගුණතිලක සහ මහ බැංකු අධිපති එන්. යූ. ජයවර්ධන යන අයගේ අත්සන් සහිතව යි. එම මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ දම් වර්ණය වැඩිපුර දක්නට ලැබෙනවා. තව ද එහි වම් පස දෙවන එළිසබෙත් රැජිණගේ රුව මුද්‍රණය කර තිබෙන ආකාරය දැකිය හැකියි.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ නිල් වර්ණය වැඩිවශයෙන් දක්නට ලැබෙනවා. එසේම එහි අනුරාධපුර බිසෝ මාලිගයේ සඳකඩ පහන මුද්‍රණය කර තිබෙනවා. 

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

1956 වසරේ දී නිකුත් කළ රුපියල් 50 නෝට්ටුව

1956 වසරේ ජූලි 30 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කළේ මුදල් අමාත්‍ය ස්ටැන්ලි ද සොයිසා සහ මහ බැංකු අධිපති ඒ. ජී. රණසිංහ යන අයගේ අත්සන් සහිතව යි. ඉන් පසුව මෙම මුදල් නෝට්ටුව විවිධ සංශෝධන සහිතව අවස්ථාවන් දෙකක දී යළි නිකුත් කළා.

1) දිනය- 1958/4/9

    මුදල් අමාත්‍යවරයා- ස්ටැන්ලි ද සොයිසා

    මහ බැංකුවේ අධිපති- ඒ. ජී. රණසිංහ

2) දිනය- 1958/11/7

    මුදල් අමාත්‍යවරයා- ස්ටැන්ලි ද සොයිසා

    මහ බැංකුවේ අධිපති- ඒ. ජී. රණසිංහ

3) දිනය- 1959/9/11

    මුදල් අමාත්‍යවරයා- ස්ටැන්ලි ද සොයිසා

    මහ බැංකුවේ අධිපති- ඩබ්ලිව් රාජපතිරණ

එලෙස නිකුත් කරන ලද රුපියල් 50ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ දම් වර්ණය වැඩිපුර දක්නට ලැබෙනවා. එසේම එකල භාවිතා කළ රාජ්‍ය ලාංඡනය එහි මුද්‍රණය කර තිබෙන ආකාරය දැකිය හැකියි.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

1952 වසරේ දී මුද්‍රණය කළ රුපියල් 50 නෝට්ටුවේ පිටුපස කොටසට සමාන යි. නමුත් මෙහි ශ්‍රී ලංකා මහ බැංකුව සහ රුපියල් 50 යන ඒවා සිංහල භාෂාවෙන් සටහන් කර තිබෙනවා. 

1961 වසරේ දී නිකුත් කළ රුපියල් 50 නෝට්ටුව

1961 වසරේ නොවැම්බර් 12 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කළේ මුදල් අමාත්‍ය ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක සහ මහ බැංකු අධිපති ඩබ්ලිව් රාජපතිරණ යන අයගේ අත්සන් සහිතව යි. ඉන් පසුව මෙම මුදල් නෝට්ටුව විවිධ සංශෝධන සහිතව අවස්ථාවන් දෙකක දී යළි නිකුත් කළේ මෙසේ යි.

1) දිනය- 1963/6/5

    මුදල් අමාත්‍යවරයා- ටී.බී ඉලංගරත්න

    මහ බැංකුවේ අධිපති- ඩබ්ලිව් රාජපතිරණ

2) දිනය- 1964/6/12

    මුදල් අමාත්‍යවරයා- ඇන්.ඇම් පෙරේරා 

    මහ බැංකුවේ අධිපති- ඩබ්ලිව් රාජපතිරණ

3) දිනය- 1965/4/6

    මුදල් අමාත්‍යවරයා- යූ. බී. වන්නිනායක

    මහ බැංකුවේ අධිපති- ඩබ්ලිව් රාජපතිරණ

එලෙස නිකුත් කරන ලද රුපියල් 50ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ දම්  වර්ණය වැඩිපුර දක්නට ලැබෙනවා. එසේම එහි නැසීගිය සොලමන් ඩයස් බණ්ඩාරනායක අගමැතිවරයාගේ රුව මුද්‍රණය කර තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

1956 වසරේ දී මුද්‍රණය කළ රුපියල් 50 නෝට්ටුවේ පිටුපස කොටසට සමාන යි. නමුත් මෙහි බෝඩරයේ උඩ සහ යට ශ්‍රී ලංකා මහ බැංකුව ලෙසින් කුඩාවට මුද්‍රණය කොට තිබෙනවා. එසේම බිසෝ මාලිගයේ සඳකඩ පහන වම් පසට වන්නට මුද්‍රණය කර ඇති ආකාරය දක්නට ලැබෙනවා.

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

1967 වසරේ දී නිකුත් වූ රුපියල් 50 නෝට්ටුව 

1966 වසරේ මාර්තු 7 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍ය යූ. බී. වන්නිනායක සහ මහ බැංකු අධිපති ඩබ්ලිව් රාජපතිරණ යන අයගේ අත්සන් සහිතව යි. ඉන් පසුව මෙම මුදල් නෝට්ටුව විවිධ සංශෝධන සහිතව යළි නිකුත් කළේ මෙසේ යි.

1) දිනය- 1968/1/10

    මුදල් අමාත්‍යවරයා- යූ. බී. වන්නිනායක

    මහ බැංකුවේ අධිපති- විලියම් තෙන්නකෝන් 

එලෙස නිකුත් කරන ලද රුපියල් 50ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ දම් වර්ණය වැඩිපුර  දක්නට ලැබෙනවා. එසේම පොළොන්නරුවේ පිහිටා තිබෙන පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාවයැ යි අනුමාන කරන ප්‍රතිමාවේ රූපයක් මෙහි මුද්‍රණය කර තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

1961 වසරේ දී මුද්‍රණය කළ රුපියල් 50 නෝට්ටුවේ පිටුපස කොටසට සමාන යි. 

1974 වසරේ දී නිකුත් කළ රුපියල් 50 නෝට්ටුව 

1974 වසරේ අගෝස්තු  27 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 50ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් නිකුත් කරනු ලැබුවා. එම නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍ය ඇන්. ඇම්. පෙරේරා, සහ මහ බැංකු අධිපති හර්බට් තෙන්නකෝන් යන අයගේ අත්සන් සහිතව යි. එම මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේවල් අඩංගු වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ දම් සහ කොළ යන වර්ණයන් වැඩිපුර දක්නට ලැබෙනවා. එසේම එහි දකුණු පසින් නැසීගිය සොලමන් බණ්ඩාරනායක අගමැතිවරයාගේ රුව මුද්‍රණය කර තිබෙන ආකාරය දැකිය හැකියි. 

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ දම් වර්ණය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එසේම තේ වත්තක්, මැද තිබෙන තේ කර්මාන්ත ශාලාවක රූපයක් එහි මුද්‍රණය කර තිබෙනවා. තව ද එහි හිස් අවකාශයේ ශ්‍රී ලංකා මහ බැංකුව යන නාමය කුඩාවට සටහන් කර ඇති ආකාරය දැකිය හැකියි.

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

1979 වසරේ දී නිකුත් කළ රුපියල් 50 නෝට්ටුව

1979 වසරේ මාර්තු 26 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කළේ මුදල් අමාත්‍ය රොනී ද මැල් සහ මහ බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රම් යන අයගේ අත්සන් සහිතව යි. එම මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේවල් දක්නට ලැබුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ වර්ණ රැසක් දක්නට ලැබෙනවා. නිල්, දුඹුරු, කළු, කොළ, රතු වැනි වර්ණයන් ඒ අතරට අයත් වනවා. එසේම හෙළ වනසරා නම් සමනලයා, වත රතු මල් කොහා නම් පක්ෂියා, මකුල්ල නම් ආයුර්වේදීය ශාකය, මෙහි මුද්‍රණය කර තිබෙනවා. එසේම පසුබිමින් වැවක හිරු බැසයන දර්ශනයක් දැකිය හැකියි. එලෙස මුද්‍රණය කර තිබෙන රූප අසලින්ම එවායේ විද්‍යාත්මක නාමයන් සටහන් කර තිබීම සුවිශේෂී සිදුවීම ලෙස සැලකිය හැකියි.

පසුපස කොටස 

නෝට්ටුවේ පසුපස කොටසේ නිල්, ඔලිව් කොළ, රතු-දුඹුරු, කළු  වැනි වර්ණයන් දක්නට ලැබෙනවා. එසේම හබන් කුකුළන් දෙදෙනෙකු මුද්‍රණය කර තිබෙනවා. එසේම දිය නා ගසක්, වෙසක් උඩවැඩියා ශාකයක් සහ පිනුම් කටුස්සෙකු මුද්‍රණය කර තිබෙන ආකාරය දක්නට ලැබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස කොටස්  (ebay)

1982 වසරේ දී නිකුත් කළ රුපියල් 50 නෝට්ටුව 

1982 වසරේ ජනවාරි 1 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුල්ම වරට රුපියල් 50ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් නිකුත් කෙරුනා. එම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍ය රොනී ද මැල්, සහ මහ බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රම් යන අයගේ අත්සන් සහිතව යි. එම මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ ඇතුළත් වුණා. 

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ ප්‍රධාන වශයෙන් නිල්සහ තැඹිලි වර්ණ අඩංගු වනවා. ඊට අමතරව රතු  සහ දුඹුරු  යන වර්ණයන් දැකිය හැකියි. එසේම මෙහි කැළණි විහාරයේ රූපයක් මුද්‍රණය කර තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ තැඹිලි, කොළ, සහ නිල් යන වර්ණයන් දක්නට ලැබෙනවා. එසේම එහි මැද පොළොන්නරුවේ ලංකාතිලක විහාරයේ රූපයක්  මුද්‍රණය කර තිබෙනවා. 

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

1991 වසරේ දී නිකුත් වූ රුපියල් 50 නෝට්ටුව 

1991 වසරේ ජනවාරි 1 වැනිදා මෙම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ ඩී.බී විජේතුංග සහ එච්. එන්. එස්. කරුණාතිලක යන අයගේ අත්සන් සහිතව යි. ලාංකිකයන් අතර වඩාත්ම ජනප්‍රිය වුණු රුපියල් 50 නෝට්ටුව ලෙසින් සැලකෙන මෙය විවිධ සංශෝධන සහිතව අවස්ථාවන් කිහිපයක දී යළි නිකුත් කළේ මෙසේ යි.

1) දිනය- 1992/7/1

    මුදල් අමාත්‍යවරයා- ඩී. බී. විජේතුංග

    මහ බැංකුවේ අධිපති- එච්. බී. දිසානායක

2) දිනය- 1995/11/15

    මුදල් අමාත්‍යවරයා- චන්ද්‍රිකා කුමාරතුංග

    මහ බැංකුවේ අධිපති- ඒ. එස්. ජයවර්ධන

3) දිනය- 2001/12/12

    මුදල් අමාත්‍යවරයා- කේ. එන්. චොක්සි 

    මහ බැංකුවේ අධිපති- ඒ. එස්. ජයවර්ධන

4) දිනය- 2004/4/10

    මුදල් අමාත්‍යවරයා- සරත් අමුණුගම  

    මහ බැංකුවේ අධිපති- ඒ. එස්. ජයවර්ධන

5) දිනය- 2004/7/1

    මුදල් අමාත්‍යවරයා- සරත් අමුණුගම 

    මහ බැංකුවේ අධිපති- සුනිල් මෙන්ඩිස් 

6) දිනය- 2006/7/3

    මුදල් අමාත්‍යවරයා- මහින්ද රාජපක්ෂ 

    මහ බැංකුවේ අධිපති- අජිත් නිවාඩ් කබ්රාල් 

එලෙස නිකුත් කරන ලද රුපියල් 50ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේවල් අඩංගු වුණා.

ඉදිරිපස කොටස  

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටසේ තැඹිලි, දුඹුරු, සහ නිල් යන වර්ණ දක්නට ලැබෙනවා. එසේම එහි නිත්තවෙල ගුණයා නම් නර්තන ශිල්පියාගේ උඩුකය රුව මුද්‍රණය කර තිබෙනවා.

නෝට්ටුවේ ඉදිරිපස කොටස (lakdiva.org)

පසුපස කොටස 

මුදල් නෝට්ටුවේ පසුපස කොටසේ තැඹිලි, කොළ, සහ නිල් යන වර්ණ දක්නට ලැබෙනවා. එසේම මෙහි ජේතවනාරාමය, ථූපාරාමය, කඩු කස්තාන, සහ සේසතක්  මුද්‍රණය කර තිබෙනවා. 

නෝට්ටුවේ පසුපස කොටස (lakdiva.org)

2011 වසරේ දී නිකුත් කළ රුපියල් 50 නෝට්ටුව 

දැනට බහුලවම භාවිතා වන මෙම මුදල් නෝට්ටුව නිකුත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ සහ අජිත් නිවාඩ් කබ්රාල් යන අයගේ අත්සන් සහිතව යි. මෙය 2011 වසරේ පෙබරවාරි 4 නිකුත් වුණත් එහි දිනය සටහන්ව තිබුණේ 2010 ජනවාරි 1 ලෙස යි. ඉන් අනතුරුව මෙම නෝට්ටුව අවස්ථාවන් කිහිපයක දී යළි නිකුත් කළේ මෙසේ යි.

1) දිනය- 2015/2/4

    මුදල් අමාත්‍යවරයා- රවී කරුණානායක  

    මහ බැංකුවේ අධිපති- අර්ජුන් මහේන්ද්‍රන් 

2) දිනය- 2016/7/4

    මුදල් අමාත්‍යවරයා- රවී කරුණානායක  

    මහ බැංකුවේ අධිපති- ඉන්ද්‍රජිත් කුමාරස්වාමි 

3) දිනය- 2019/1/28

    මුදල් අමාත්‍යවරයා- මංගල සමරවීර  

    මහ බැංකුවේ අධිපති- ඉන්ද්‍රජිත් කුමාරස්වාමි 

4) දිනය- 2019/12/24

    මුදල් අමාත්‍යවරයා- මහින්ද රාජපක්ෂ 

    මහ බැංකුවේ අධිපති- ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් 

එලෙස නිකුත් කරන ලද රුපියල් 50ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස පහත සඳහන් දේ දැකිය හැකියි.

ඉදිරිපස කොටස  

මනම්පිටියේ ඉදිකළ නව පාලම සතු ඊට පසෙකින් දුම්රිය මාර්ගය එක්ව ගමන් කරන්නා වූ පැරණි පාලම කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින් ද ඊට පසුබිමින් ශ්‍රී ලංකාවේ පැරණි ආරුක්කු දුම්රිය පාලම ද දැක්වෙයි. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අනු මැසිමාරා නමැති පක්ෂියා ද නෝට්ටුවේ වම්පස පහළට වන්නට පිටනිල් කොළයා නමැති සමනලයා ද මුද්‍රණය කර තිබෙනවා.

පසුපස කොටස 

නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් වඩිග පටුන නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙර වාදන ශිල්පියෙක් ද දක්නට ලැබෙනවා. එසේම  ඉහළ දකුණු කෙළවරෙහි පුන් කලස සහිත මුරගලක් සහ දකුණුපස දිගට තනි ලියවැලක් ද මුද්‍රණය කර තිබෙනවා. 

නෝට්ටුවේ ඉදිරිපස සහ පසුපස (Amazon)

කවරයේ ඡායාරූපය- 1979 වසරේ දී නිකුත් කළ රුපියල් 50 නෝට්ටුවේ මුහුණත (lakdiva.org)

මූලාශ්‍රයයන්- cbsl.gov.lk

Related Articles