Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චෙකොස්ලොවැකියාව සාමකාමී ව දෙකඩ කළ ‘වෙල්වට් දික්කසාදය’

වර්ෂයක අවසානය සනිටුහන් කරන දෙසැම්බර් 31 වැනිදා මුළු ලෝකයට ම වැදගත් දිනයක්. විවිධ උත්සව, ප්‍රිය සාද, සංගීත වැඩසටහන් සහ නව අවුරුද්ද ලබන මොහොතේ පවත්වන ගිනිකෙළි සංදර්ශන වැනි විවිධ අංග නිසා එදින නොනිදන රාත්‍රියක් ලෙසයි ගෙවී යන්නේ. ගෙවුණු වර්ෂය තුළ මිනිසෙක් පුද්ගලික ව සහ ජාතියක් ලෙස මුහුණ දුන් සිදුවීම් මෙනෙහි කිරීමටත් මේ දිනය යොදා ගන්නවා. ඒ වාගේ ම නව වසරේ බලාපොරොත්තු සහ අනාගත සැලසුම් ගැන හැඟීම් මාත්‍රයක් හෝ මෙදින ඇති වීමත් අපට වලක්වා ගන්න බැහැ.

“දෙසැම්බර් 31” යනු අතීතයට අයත් සිතිවිලි සහ අනාගතය කුළු ගන්වන සිතිවිලි අතිපිහිත වන හරි අපූරු දිනයක්. චෙක් ජාතිකයන්ට සහ ස්ලොවැක් ජාතිකයන්ටත් ඒ අපූර්වත්වය එලෙසින් ම දැනෙනවා ඇති. ඔවුන් ලෝකයේ අන් සියලු ජාතීන්ට වඩා විශේෂ වූ සිදුවීමක් මෙදින මෙනෙහි කරනවා. ඒ වෙල්වට් දික්කසාදය යි. අතීතයට අයත් ඒ සිදුවීම අරබයා ඔවුන් ගේ සිත් තුළ උපදින සිතිවිලිවල ස්වභාවය කෙබඳු ද?

චෙක් ජනරජයේ සහ ස්ලොවැකියාවේ පිහිටීම – www.yeyeagency.com

විජාතිකයන් ලෙස අවදි වූ නව වසර

“එතන තියෙන්නේ ස්ලොවැකියාව. නමුත්, අපට එය එකම භූමිය වගේ දැනෙන ස්ථානයක්.”

චෙක් ජනරජය සහ ස්ලොවැකියාව යම් දුරක් දක්වා වෙන් කරමින් ගලා යන මොරාවා නදියේ හිමෙන් වැසුණු ඉවුරු දෙස බලමින් ෆිලිප් ස්වචෙක්, අතීතය මෙනෙහි කළා.

“අපි නිතරම් ගංඟාවේ ස්ලොවැකියාවට අයිති කොටසේ එහා මෙහා යාත්‍රා කරනවා. අපිට නිල අවසරයක් අවශ්‍ය නැහැ. එහෙම අවසරයක් අපිට කවදාවත් අවශ්‍ය නොවේවි කියලත් මං බලාපොරොත්තු වෙනවා.”

බෙදී වෙන් වී ගිය ද ෆිලිප්ට අනුව නම් කිසිවක් වෙනස් වී නැහැ – www.bbc.com

ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය බිඳ වැටීමේ ප්‍රතිපලයක් ලෙස 1918 ඔක්තෝබර් මස 28 වැනි දින චෙකෝස්ලොවැකියාව බිහිවුණා. දශක හතකට වැඩි කාලයක් චෙක් ජාතිකයන් සහ ස්ලොවැක් ජාතිකයන් ඒකීය රටක් තුළ ජීවත් වුවත්, 1992 දෙසැම්බර් 31 වැනිදා ඔවුන් වෙන් වීමට තීරණය කළා. ඒ අනුව උදා වූ නව වසරේ දී (1993 ජනවා‍රි 01) ලෝකයට අලුත් ස්වාධීන රාජ්‍ය දෙකක් දායාද වුණා.

අවබෝධාත්මක වෙන්වීමක්

ලෝක ඉතිහාසයේ බොහෝ අවස්ථාවල රටක් දෙකඩ වන්නේ ලේ වැගිරීම්, ජාතීන් අතර නොසන්සිඳෙන අර්බුද සහ දිගුකාලීන දේශපාලන විරසක නිර්මාණය කරමින්. ඒ හුරු පුරුදු ඉතිහාසය වෙනස් කළ ජාතීන් දෙකක් ලෙස චෙක්වරුන් සහ ස්ලොවැක්වරුන් හැඳින්විය හැකි යි. චෙකොස්ලොවැකියාව සාමකාමී විප්ලවයකින් දෙකඩ වීම ඊට හේතුව යි.

පැරණි චෙකොස්ලොවැකියාව – www.britannica.com

ඇතැමුන් එය විප්ලවයකටත් වඩා අවබෝධයෙන් සිදු වූ “දික්කසාදයක්” ලෙස හඳුන්වනවා. කරුණු අවබෝධ කොටගෙන සාමකාමී ලෙස වෙන් වී ගිය බැවින්, කලකට පෙර එක වහලක් යට සිටි මේ ජාතීන්, අද වනවිට එකිනෙකා හොඳින් තේරුම්ගත් යහළුවන් බවට පත් වෙලා.

චෙකොස්ලොවැකියා රාජ්‍යය දෙකඩ වනවිට ෆිලිප් ස්වචෙක්, යන්තම් එකොළොස් හැවිරිදි වියේ පසු වූ දරුවෙක්. ඔහුට එම සිදුවීම මතකයේ තිබුණත්, ෆිලිප් සමඟ එකට ජීවත් වූ ස්ලොවැක්වරුන් එක රැයකින් විජාතිකයන් බවට පත්වීමේ ව්‍යාකූලත්වය නම් දැන් මතකයට නොනැඟේවි.

“මට අනුව නම් හැමදෙයක් ම ඒ විදිහට ම තිබුණා. යහළුවන්, භාෂාව, මේ හැමදෙයක් ම එක හා සමාන යි.”

දික්කසාදයට බලපෑ විප්ලවය

1989 යනු නැඟෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් පාලනය දෙදරා ගිය වර්ෂයක්. පෝලන්ත සහයෝගීතා ව්‍යාපාරයේ කූටප්‍රාප්තිය, හංගේරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම, හංගේරියා-ඔස්ට්‍රියා දේශසීමාව විවෘත කිරීමෙන් පසු නිදහස සොයා යන නැඟෙනහිර ජර්මානුවන් ගේ සංක්‍රමණය, ඉන් වැදගත් සිදුවීම් කිහිපයක් ලෙස දැක්විය හැකි යි. අසල්වැසි රටවල කුමන අන්දමේ විපර්යාසයක් සිදු වුවත්, චෙකොස්ලොවැකියාව තුළ සැලකිය යුතු යමක් සිදු වුණේ නැහැ. ඒ වනවිට චෙකොස්ලොවැකියාවේ පාලනය සිදු කළෙත් කොමියුනිස්ට්වාදීන්. 

වෙල්වට් විප්ලවය අතරතුර ප්‍රාග් නුවර වීදි ජනයා ගෙන් පිරී ඉතිරී ගිය අයුරු – time.com

1989 නොවැම්බර් 16 වැනිදා සිසුන් පිරිසක් චෙකොස්ලොවැකියාවේ බ්‍රැටිස්ලාවා නගරය (අද ස්ලොවැකියාවට අයත්) වෙත රැස්වී සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වූවා. ඊළඟ දවසේ දී බලධාරීන් අනුමත කළ ශිෂ්‍ය පාගමනක් ප්‍රාග් නගරයට (අද චෙක් ජනරජයට අයත්) පැමිණි අතර, ජර්මානු ආක්‍රමණිකයන් පිරිසක් ප්‍රාග් හි සිදු කළ ශිෂ්‍ය මර්ධනයක 50 වැනි සංවත්සරය සැමරීම එහි අරමුණ වුණා. එය උපායශීලි එක්රැස් වීමක්. සිසුන්ට සත්‍ය වශයෙන් ම වුවමනා වූයේ පවත්නා කොමියුනිස්ට් පාලන තන්ත්‍රය විවේචනය කිරීමට යි. ඒ අනුව නැඟෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් විරෝධී රැල්ල චෙකොස්ලොවැකියාවටත් කඩා වැදුණා.

දෙනුවර ම එක හඬකින්!

ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් ශිෂ්‍යයෝ බ්‍රැටිස්ලාවා සහ ප්‍රාග් හි වීදි අත්පත් කරගත් අතර, එහි දී ඔවුන්ට පොලිසියේ ප්‍රචණ්ඩත්වයටත් මුහුණ දීමට සිදු වුණා. කෙසේ නමුත්, විප්ලවය අතරතුර මරණ කිසිවක් සිදු නොවූ බව පැවසෙනවා. විප්ලවය හැකිතාක් සාමකාමී සහ මෘදු අන්දමින් සිදුකර ගෙන යෑමේ ප්‍රයත්නය නිසා එයට “වෙල්වට් විප්ලවය” යන නාමය පටබැඳුණා.

ශිෂ්‍ය විරෝධතාකරුවන් වැලැක්වීමට සැරසෙන පොලිසිය – www.expats.cz

පොලිස් මර්දනය නොතකා විරෝධතා රැල්ල වෙනත් නගර කරා පැතිර ගිය බැවින්, එය ජාතික මට්ටමේ විප්ලවයක් බවට පත් වීමට වැඩි දිනක් ගත වුණේ නැහැ.

රඟහල්වල වැඩ කළ සේවකයන් වැඩ වර්ජන ක්‍රියාත්මක කරමින් ඔවුන් ගේ වේදිකා මහජන සාකච්ඡා සඳහා ලබා දුන්නේ මේ අතරතුර යි. ඉන් ජනයා දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළත් අතිශයින් සාර්ථක වුණා.

වක්ලාව් හවෙල් කොමියුනිස්ට් පාලනයෙන් මිදුණු චෙකොස්ලොවැකියාවේ ජනපති වූ පසු ප්‍රීති උත්සව පවා පැවැත්වුණා – www.bbc.com

වෙල්වට් විප්ලවයේ අවසාන ප්‍රතිපලය ලෙස 1989 නොවැම්බර් 28 වැනිදා චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ඉල්ලා අස් වූ අතර, දෙසැම්බර් 10 වැනිදා සිට කොමියුනිස්ට් විරෝධී රජයක් බලයට පත් වුණා. දෙසැම්බර් 29 වැනිදා වක්ලාව් හවෙල්, බලයට පත් වූයේ චෙකොස්ලොවැකියාවේ අවසාන ජනාධිපතිවරයා වශයෙන්.

එක ම නිවසක්, කාමර දෙකක්

ඒකාධිකාරී කොමියුනිස්ට් පාලනය අවසාන වූ පසු චෙකොස්ලොවැකියානුවන් ගේ චින්තනයටත් නිදහසක් ලැබුණා. ඒ අනුව එරට ජන සමාජය තුළ පැවතුණු, එහෙත්, යටපත් වී තිබූ එක්තරා කරුණක් ගැඹුරු බෙදුම් රේඛාවක් ආකාරයෙන් ඉස්මතු වුණා. ඒ චෙකොස්ලොවැකියාව සම්බන්ධයෙන් චෙක් ජාතිකයන් සහ ස්ලොවැක් ජාතිකයන් අතර තිබූ ආකල්පමය වෙනස යි.

දෙපාර්ශවයට ම “චෙකොස්ලොවැකියාව” නමැති ඒකකය රැක ගැනීමට අවශ්‍ය වුව ද ඉතිහාසයේ සිට පැවත එන සිත් රිදවීම් සහ කලකිරීම් හේතුවෙන් ජාතීන් දෙකම තමාට ම අනන්‍ය වූ ප්‍රතිසංස්කරණයක් කෙරෙහි ආශාව දැක්වූවා. ඒ හැඟීම එකම නිවසේ කාමර දෙකක රාත්‍රිය ගත කිරීමට කැමැත්ත දක්වන විවාහක යුවළක් බඳු යි.

1989 නොවැම්බර් 17 වන දින ප්‍රාග් හි පැවති විරෝධතා රැලියක් අතරතුර සිසුන් විසින් වක්ලාව් හවෙල් ගේ පෝස්ටර් වලින් ආවරණය කර ඇති ට්‍රෑම් රථයක් වට කරගත් අයුරු – www.bbc.com

මේ කාලවකවානුවේ දී ස්ලොවැක් ජාතිකයන් ගේ ජාතිකවාදී හැඟීම් ද තියුණු වෙමින් පැවතුණා. “චෙකොස්ලොවැකියාව” නම් ගෘහයේ තනි කාමරයක් වෙන්කර ගන්නවා වෙනුවට තමාට ම කියා නව නිවසක් අයත් කර ගැනීම දක්වා ඒ ජාතිකවාදී හැඟීම් වර්ධනය වුණා.

මේ අතර චෙක් ජාතිකයන් “චෙකොස්ලොවැක්වාදය” වැලඳ ගෙන සිටියා. ඔවුන්ට වෙන ම රාජ්‍යයක විශාල අවශ්‍යතාවක් තිබුණේ නැහැ. සන්ධීය රාජ්‍යය තුළ චෙක් ජාතිකයන් ගේ වරප්‍රසාදිත තත්ත්වය සාපේක්ෂ ව ඉහළ මට්ටමක පැවතුණු බැවින්, චෙකොස්ලොවැකියාව වශයෙන් රාජ්‍යය පවත්වා ගැනීමේ අපේක්ෂාවක් චෙක් ජාතිකයන් තුළ තිබුණා.

දශක හතක පසුගාමී හැඟීම්

1918 වර්ෂයේ සිට ම ස්ලොවැක්වරු “චෙකොස්ලොවැකියාව” යන සංකල්පයට සම්පූර්ණයෙන් ම අනුගත වුණේ නැහැ. සංවර්ධිත ලක්ෂණ වැඩි වශයෙන් කේන්ද්‍රගත වූ ප්‍රාග් නුවර පරිපාලනය තම ඉරණම තීරණය කරනවා වැනි පසුගාමී හැඟීමකින් ස්ලොවැක්වරුන් මේ දශක හත පුරාවට ම ජීවත් වුණා.

ස්ලොවැක් ජාතිකයන් ගේ එදිනෙදා ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය වන ආර්ථික ශක්තිය වැඩි වශයෙන් ප්‍රාග් පරිපාලනයෙන් සම්ප්‍රේෂණය වූ අතර, එහි ප්‍රතිලාභත් ස්ලොවැක්වරුන් භුක්ති වින්දා. කෙසේ නමුත්, එය මදිපුංචිකමක් ආකාරයෙන් ඔවුන්ට නොදැනුණා නොවෙයි.

ප්‍රාග් නුවර පැවති කොමියුනිස්ට් විරෝධී උද්ඝෝෂණ – gettyimages.com

 1992 වනවිට ස්ලොවැක් කලාපයේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය, චෙක් කලාපයට සාපේක්ෂ ව හතරෙන් තුනකට ආසන්න අගයකට ළඟා වී තිබුණා. ප්‍රාග් නුවරට කේන්ද්‍රගත වූ දේශපාලනයේ ඇති දූෂිත ස්වභාවය නිසා චෙකොස්ලොවැකියානු ආර්ථිකයට ස්ලොවැක්වරුන් දක්වන දායකත්වය එතරම් ඉස්මතු වුණේ නැහැ. මේ ගැටලුව චෙක් ජාතිකයන්ට දැනුණේ තරමක් වෙනස් ආකාරයකින්. දුප්පත් සහ බැලූ බැල්මට අකෘතඥ වූ සිය අසල්වාසියා ගේ (ස්ලොවැක්වරු) ආර්ථික සහ කලාපීය සංවර්ධනය වෙනුවෙන් තමාගේ ම සාක්කුවලින් මුදල් අදිනවා වැනි හැඟීමක් චෙක් ජාතිකයන්ට ඇති වුණා.

වේදනාවක් වුවත්, එක්වීමක් නැහැ

චෙකොස්ලොවැකියාව යනු 20 වැනි සියවසේ සිදු වූ දේශපාලන, සමාජීය සහ ආර්ථික පෙරළිවලට වැඩි වශයෙන් මුහුණ දුන් රටක්. එබැවින්, ඉහත විස්තර කළ “ජාතීන් අතර නොගැළපීම” ප්‍රබල ව ඉස්මතු කර ගැනීමට තරම් චෙකොස්ලොවැකියාවට ඉතිහාසයෙන් ඉස්පාසුවක් ලැබුණේ නැහැ.

කොමියුනිස්ට් පාලනය බිඳ වැටුණු වහාම ඒ නොගැළපීම ඉස්මතු වූ අතර, තවදුරටත් සන්ධීය රාජ්‍යයක් ලෙස චෙකොස්ලොවැකියාව පවත්වා ගෙන යෑමටත් ශක්තියක් තිබුණේ නැහැ. ඒ අනුව සාමකාමී පිළිවෙතක් අනුගමනය කරමින් 1993 ජනවාරි 01 වැනිදා සිට ස්ලොවැකියාව සහ චෙක් ජනරජය යන ස්වාධීන පාලන තන්ත්‍ර ස්ථාපිත කෙරුණා.

චෙක් ජනරජය සහ ස්ලොවැකියාව වෙන් වන දේශ සීමා කොටසක් – hungarytoday.hu

බිඳ වැටුණු රාජ්‍යයක අවශේෂ වුව ද යුරෝපා කලාපයේ අනෙකුත් රටවලට වඩා සමීප අසල්වැසියන් ලෙස චෙක් ජනරජය සහ ස්ලොවැකියාව හැඳින්විය හැකි යි. විටෙක චෙකොස්ලොවැකියාවේ බිඳ වැටීම ජාතීන් දෙකට ම පරාජිත හැඟීම් ඇති කරන ආකාරයේ අතීත මතකයක් ලෙස දැනෙන අවස්ථා තිබෙනවා. නමුත්, යළි එක්විමේ අපේක්ෂාවක් ඔවුන්ට නැහැ. දික්කසාද වුවත්, වෛරී හැඟීම්වලින් තොර, එකිනෙකාට ගරු කරන මිනිසුන් දෙදෙනකු ආකාරයෙන් අද චෙක් ජනරජය සහ ස්ලොවැකියාව අනාගතයට මුහුණ දෙනවා.

නැවතත් වර්තමානයට

පසුගිය දෙසැම්බර් 31 වැනිදා වෙල්වට් දික්කසාදයේ තිස්වැනි අවුරුද්ද සනිටුහන් වුණා. දැන් ඒ සිදුවීම චෙක් ජනරජයේ සහ ස්ලොවැකියාවේ වැඩිහිටියන්ට නැවත නැවත ස්මරණය කළ හැකි නොස්ටැල්ජි‍යාවක් බඳු යි.

මිරොස්ලාව් මිලෝටා – www.bbc.com

“මට ඒ නව අවුරුදු උදාව (1992) හොඳට මතක යි. අපි චෙකොස්ලොවැක් ගීතයේ චෙක් භාෂා කොටස සහ ස්ලොවැක් භාෂා කොටස යන දෙක ම ගායනා කළා. ඒක හරි හැඟීම්බර අවස්ථාවක්. එතැන් පටන් අපි ගායනා කරන්නේ අපිට උරුම භාගය විතරක් බව අපිට වැටහුණා. ගීතය විතරක් නෙවෙයි, අනෙක් හැමදේ ම බෙදෙන්නේ කොහොමද කියලා අපිට අදහසක් තිබුණේ නැහැ.”

42 හැවිරිදි මිරොස්ලාව් මිලෝටා, අතීතය සිහිපත් කළේ එලෙසින්.

සියල්ල බෙදී ගියත්, අදත් ඔවුන් හොඳම මිතුරන්.

කවරයේ ඡායාරූපය: චෙකොස්ලොවැකියාවේ දෙකඩ වීම සාමකාමී ක්‍රියාවලියක් ඔස්සේ සිදු වුණා.
https://capx.co
මූලාශ්‍ර:
czech-presidency.consilium.europa.eu
www.bbc.com
Kafkadesk.org
www.history.com
www.britannica.com

Related Articles