Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මියගිය සැමියා වෙනුවෙන් රැජිනක් ඉදි කළ අපූරු කලා නිර්මාණය

අපට ඉතිහාසයේ වැඩිපුරම අසන්නට ලැබෙන්නේ පුරුෂ පාර්ශවය විසින් තම භාර්යාවන් හෝ පෙම්වතියන් සිහි වීම වෙනුවෙන් කළ ඉදිකිරීම් ගැනයි. කාන්තාවක් විසින් ඇගේ සැමියා වෙනුවෙන් ඉදි කළ ස්මාරක හෝ වෙනත් කලා නිර්මාණ ගැන අහන්න ලැබෙන අවස්ථා ඉතාමත් විරලයි. මේ ලිපියෙන් කියන්න සූදානම් වෙන්නෙ රැජිනක් විසින් තම මියගිය සැමියාට ගෞරවයක් ලෙස ඉදි කළ අපූර්ව නිර්මාණයක් වන Rani ki vav භූගත පොකුණ ගැනයි.

Rani ki vav

Rani ki vav පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාටන් නම් නගරයේ සරස්වතී නදියේ ඉවුර ආසන්නයේ යි. Rani යන්නෙහි අදහස රැජින යන්නයි. Vav යන්නෙහි අර්ථය stepwell යන්නයි. Rani ki vav, නැත්නම් Queen’s stepwell ලෙස හඳුන්වන මේ සුන්දර නිර්මාණය ගැන වැඩිදුර තොරතුරු කියවන්න කලින් “stepwell” ලෙස හැඳින්වෙන්නේ කුමක්ද කියා බලමු.

Stepwells

පියගැට පෙළක් බැස වතුරට ළඟා විය හැකි ලෙස නිර්මාණය කළ පොකුණු හෝ ළිං ගැන ඔබ අසා තිබෙනවාද. මේවා Stepwells ලෙස හැඳින්වෙනවා. බටහිර ඉන්දියාවේ බහුලව දැකගත හැකි Stepwells, මට්ටම් කිහිපයකින් නිර්මාණය කර ඇති අතර මේවායේ ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ ජලය ගබඩා කිරීමයි. සෘතු අනුව වෙනස් වන ජල උපයෝජ්‍යතාවය සාර්ථකව හසුරුවා ගැනීමට මෙම ඉදිකිරීම් නිර්මාණය කර තිබෙනවා. මෙම පොකුණු හෝ ළිං වල විශේෂත්වය වන්නේ ඒවා පිරිසිදු කර නඩත්තු කර ගැනීමට පහසු වීම සහ ජලය හිඟ කාල වලදීත් මිනිසුන්ට ඉතා පහසුවෙන් භූගත ජලය වෙත ළඟා විය හැකි වීමයි.

භූගත පොකුණකින් ජලය ගෙන ඒමට යන අයුරු (tripsavvy)

උදයමතී රැජින

උදයමතී රැජින විසින් මෙම භූගත පොකුණ නිර්මාණය කර ඇති බවට ‍ක්‍රිස්තු පූර්ව 1304 දී “මෙරුතංග සූරි” විසින් රචිත “ප්‍රබන්ධ චින්තාමණි”යේ සඳහන් වෙනවා. ඇය, ක්‍රිස්තු වර්ෂ 1050දී පමණ ඇරඹුණු සොලංකි රාජ වංශයේ ආරම්භක රජු වන පළමු බිම්දේව් (ක්‍රි.ව. 1022 – 1063) ගේ මෙහෙසිය යි. උදයමතී රැජින විසින් Rani ki vav භූගත පොකුණ නිර්මාණය කරවා තිබෙන්නේ බිම්දේව් රජු මියගිය පසු ඔහු සිහිපත් කිරීමටයි. 1063 සිට 1068 අතර කාලය තුළදී Maru-Gujarat වාස්තු විද්‍යා ශෛලිය අනුගමනය කරමින් මෙය නිර්මාණය කර තිබෙනවා.

Rani ki vav (Gujarat tourism)

අභ්‍යන්තරය

මට්ටම් 7කින් යුතු Rani ki vav භූගත පොකුණ පොළොව යටට අඩි 90ක ගැඹුරකින් යුක්තයි. අධික වර්ෂාව නිසා ඇති වන පාංශු ඛාදනය වළක්වා ගැනීමට මෙහි පොළොව මට්ටමේ පිහිටි මළුව මටසිළුටු බැස්මක් ඇතිව නිර්මාණය කර තිබෙනවා. මෙම මට්ටම් හතෙහි මණ්ඩප 4ක් නිර්මාණය කර ඇති අයුරු දැකිය හැකියි.  මෙම මට්ටම් අතරින් ගැඹුරුම මට්ටම වන්නේ සිව් වැන්නයි. එය සෘජුකෝණාශ්‍රාකාර ටැංකියකට විවෘත වෙනවා. මෙම ටැංකිය මීටර 23ක ගැඹුරකින් , මීටර 9.5ක දිගකින් සහ මීටර 9.4ක පළලකින් යුක්තයි.

පොළොව මට්ටමේ පිහිටි මළුව මටසිළුටු බැස්මක් ඇතිව නිර්මාණය කර ඇති ආකාරය (Bernard Gagnon)

මෙහි පියගැට පෙළෙහි අවසන් පඩියට පහළින් කුඩා ගේට්ටුවක් පිහිටා ඇති අතර එය කිලෝමීටර 30ක දිගකින් යුත් උමඟකට විවෘත වෙනවා. දැනට මෙම උමඟ මඩ සහ ගල් වලින් අවහිර වී තිබෙනවා. මෙම උමඟ විවෘත වන්නේ පාටන් ආසන්නයේ පිහිටි සිද්පූර් නගරයටයි. මෙය හදිසි අවස්ථාවකදී පලා යාම සඳහා භාවිතා කළ හැකි ලෙසයි නිර්මාණය කර තිබෙන්නේ.

සියුම්ව නිර්මාණය කර ඇති කැටයම් (Famous places in india)

ශිල්පීය නිපුණත්වය

WanderCrazy

Rani ki vav හුදෙක් ජලය සංචිත කළ හැකි ආකාරයට නිම කළ ඉදිකිරීමක් පමණක් නොවෙයි. මෙයින් පෙන්වන ශිල්පීය නිපුණතාව ඉතාම විශිෂ්ට වන අතර මෙය ගුජරාට් ප්‍රාන්තයේ ඇති විශිෂ්ටම භූගත පොකුණ ලෙස සැලකෙනවා. අපූරු ලෙස අවකාශය කළමනාකරණය කරමින් සැරසිලි, මූර්ති, කැටයම් සහ නිර්මිත රූප ද සමඟ සෞන්දර්යාත්මක වටිනාකමක් ඇතිව නිර්මාණය වූ මෙම භූගත පොකුණ මිනිසාගේ නිර්මාණශීලීත්වයත් වාස්තු විද්‍යාත්මක නිපුණත්වයත් නිරූපණය කරන අනගි උදාහරණයක්. එහි මූලික ආකෘතිය සහ නිර්මාණය කර ඇති ආකාරය තවමත් ඉතා පහසුවෙන් හඳුනාගත හැකියි.

පෑටෝලා වියමන් රටා කැටයම් කර ඇති අයුරු (WanderCrazy)

මෙහි ප්‍රධාන මූර්ති 500ක් සහ අවශේෂ මූර්ති 1000ක් පමණ තිබෙනවා. දහස් ගණනක් වූ එම ආගමික සහ මිථ්‍යා කතාවල ආභාසය ඇති සුන්දර කැටයම් සහ මූර්ති අතරින් බහුතරය විෂ්ණු දෙවියන් නිරූපණය කරනවා. ආරක්ෂාව සහ රැකවරණයට අධිපති වන විෂ්ණු දෙවියන්ගේ අවතාර රැසක (කල්කි, රාමා, ක්‍රිෂ්ණා, නර්සිං, වාමන් සහ වාරහි) කැටයම් මෙහි දැකිය හැකියි.

නිර්මිත රූප (Prayash Giria)

විශේෂත්වය

මිනිසා විසින් මතු ප්‍රයෝජනය උදෙසා පොළව අභ්‍යන්තරයේ නිර්මාණය කරන ලද ජල සංචිත අතරින් Rani ki vav සුවිශේෂ වන්නේ එයට භාවිතා කළ තාක්ෂණය, කලාත්මක බව සහ ඉන් ගොඩනැගුණු චමත්කාරය නිසයි. මෙය ගොඩනගන කාලය, මිනිසුන් විසින් ජල සංචිත (ජල ටැංකි වැනි) පොදුවේ භුක්ති විඳි යුගයක් වුණා. ඒ කාලය උල්පත් ජලය ගබඩා කර තබා ප්‍රයෝජනයට ගැනීම ප්‍රමුඛව තිබූ අවධියක්. එම අවධියේදී පොකුණ අවට ප්‍රදේශයේ ඖෂධ පැළෑටි රැසක් තිබූ බවත් මේ නිසා පොකුණේ ජලය පරිභෝජනය ලෙඩ රෝග රැසක් සුව වීමට ඉවහල් වූ බවත් සඳහන්. මීට වසර 50ක 60කට පමණ ඉහත මෑත අතීතයේදී පවා මෙම ඖෂධ පැළ තිබූ බව පැවසෙනවා. ඔවුන් මෙම පොකුණ ජලයේ පවිත්‍රතාව සමරන පූජනීය ස්ථානයක් ලෙස සලකා පුද සත්කාරද කර තිබෙන බවයි පැවසෙන්නේ. මෙහි විශිෂ්ටත්වයට හේතු වන අනෙක් කාරණා වන්නේ එය පිහිටි ස්ථානය සහ වටපිටාව, නිර්මාණ සැලසුම, ශිල්ප කෞශල්‍යය, ගොඩනැංවීමට භාවිතා කර ඇති ද්‍රව්‍යමය දෑ ඉතා උසස් මට්ටමක පැවතීම ආදියයි.

නිර්මිත රූප (Bernard Gagnon )

ආරක්ෂාව සහ කළමනාකරණ පද්ධතිය

1958 නිකුත් කර ඇති පුරාණ ස්මාරක සහ පුරාවිද්‍යාත්මක භූමි පිළිබඳ පනත යටතේ Rani ki vav භූගත පොකුණ ජාතික වැදගත්කමක් ඇති පැරණි ස්මාරකයක් ලෙස ආරක්ෂා කරන අතර 2014 ජූනි 22 වැනිදා මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් බවටද නම් කෙරුණා. පොකුණේ සිට මීටර 100ක දුරක ප්‍රදේශය ඉදිකිරීම් වලින් තොර කලාපයක් ලෙස නම් කර තිබෙන නිසා ඕනෑම නුසුදුසු ඉදි කිරීමකින් මේ වෙත සිදු විය හැකි හානිය වළක්වනවා.

කවරයේ පින්තූරය – tripsavvy

මූලාශ්‍ර

http://www.dailymotion.com

https://www.holidify.com

http://whc.unesco.org

https://www.atlasobscura.com

http://hotelgardenpatan.com

Related Articles