ඉස්ලාම් සහ චීන අධිරාජ්‍යයන් අතර තීරණාත්මක ගැටුම- ටලස් සංග්‍රාමය​

ක්‍රි.ව​. 8 වන සියවසේ දී ඉස්ලාමීය අධිරාජ්‍යය (එවකට උමයියාඩ් කලිෆාතය​) මෙන්ම චීන අධිරාජ්‍යය ද (එවකට ටැංග් රාජවංශය​) මධ්‍යම ආසියාව දෙසට ව්‍යාප්ත වෙමින් තිබුණා. ක්‍රි. ව​. 750 දී උමයියාඩ් කලිෆාතයෙහි ඇති වූ කැරැල්ලක් මඟින් එම රාජ්‍යය පෙරළා දමා අබු අල්-අබ්බාස් අල් සෆා බලයට පත් වූයේ අබසිඩ් කලිෆාතය (Abbasid Caliphate) පිහිටුවමින්. නව කලිෆ්වරයා තම යටත් ප්‍රදේශයන් හි බලය තහවුරු කරගැනීමේ කටයුතු ඇරඹුවා. එහි දී ඔහුගේ සේනා සහ ටැංග් රාජවංශයේ සේනා මධ්‍යම ආසියාවේ දී ගැටුණා. ඓතිහාසික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙය ටලස් සංග්‍රාමය (Battle of Talas) ලෙස හඳුන්වනු ලබනවා.

ටලස් සංග්‍රාමයට ඉතිහාසයේ අනෙකුත් ප්‍රධාන සටන් සමග සැසඳීමේ දී විශාල අවධානයක් යොමු වන්නේ නැහැ. ඇත්තෙන්ම මෙම අධිරාජ්‍යයන් දෙකෙහි ම ඈත කෙළවරවල සිදු වූ මෙම සටනට ඒවායේ පාලකයින් සම්බන්ධ වූයේ නැහැ. මේ සටන ඇත්තෙන්ම දේශසීමා ගැටුමක් ලෙස හඳුන්වන්න පිළිවන්. නමුත්, සාමාන්‍ය දේශසීමා ගැටුමක් මෙන් නොව​, ටල්ස් සංග්‍රාමය විසින් කල් පවතින ප්‍රතිඵල ඇතිකළ බව කිව හැකියි.

ටැංග් රාජවංශය සහ උමයියාඩ් කලිෆාතය

ටැංග් රාජවංශය චීනයෙහි බලයට පත් වූයේ ක්‍රි.ව​. 618 දී යි. මීළඟ දශක කිහිපයේ දී ඔවුන් උතුරු සහ බටහිර දෙසට ව්‍යාප්ත වුණා. වත්මන් මොන්ගෝලියාව ආශ්‍රිත ප්‍රදේශයේ වූ නැගෙනහිර තුර්කික් කාගනේටයත්, ඊට බටහිරින් වූ බටහිර තුර්කික් කාගනේටයත් අල්ලාගත් ඔවුන් ඉන්පසු කාලයේ දී ටෂ්කෙන්ට් සහ ෆර්ගානා ප්‍රදේශ ආසන්නයටම බලය පැතිරෙව්වා. මේ අනුව ක්‍රි.ව​. 715 වෙද්දී ටැංග් රාජවංශය, හන් රාජවංශයෙන් පසු බිහි වූ විශාලම සහ ප්‍රබලම චීන රාජ්‍යය බවට පත් වුණා.

ටැංග් රාජවංශය ක්‍රි.ව​. 700 දී (Wikimedia Commons)

මේ අතර​, ක්‍රි.ව​. 632 දී සිදු වූ මහම්මත්තුමාගේ මරණින් පසු ඉස්ලාමීය සේනාංක සිය බලය අරාබියෙන් ඔබ්බට පැතිරෙව්වා. මහම්මත්තුමාගේ මරණින් පසුව බිහි වූ පළමු ඉස්ලාමීය කලිෆාතය වූ රශිදුන් කලිෆාතය විසින් බිසන්ටියන් අධිරාජ්‍යය යුද්ධයේ දී පරාජය කර සසනිඩ් අධිරාජ්‍යය (වර්තමාන ඉරානය එකල පාලනය කළේ සසනිඩ්වරුන් විසින්) සම්පූර්ණයෙන් ම අල්ලාගත්තා. ක්‍රි.ව​. 661 දී පිහිටවුණ උමයියාඩ් කලිෆාතය විසින් බටහිර ආසියාව දෙසට වූ ඉස්ලාමීය බලපෑම තවදුරටත් ව්‍යාප්ත කළා. මේ අනුව ටැංග් අධිරාජ්‍යය සහ ඉස්ලාමීය අධිරාජ්‍යය විසින් ඉපැරණි සේද මාවත පාලනය කෙරෙන තැනට පැමිණියා. මෙම රාජ්‍යයන් දෙක වෙන් කෙරෙමින් පැවතියේ ටෂ්කෙන්ට් සහ ෆර්ගානා ප්‍රදේශයන් දෙකයි.

අබසිඩ් කලිෆාතය ක්‍රි.ව​. 850 දී (Wikimedia Commons)

මුල් කාලීන සටන්

ක්‍රි.ව​. 715 දී ටැංග් රාජවංශය සහ උමයියාඩ් කලිෆාතය ෆර්ගානා ආශ්‍රිත ප්‍රදේශයේ දී පළමු වරට ගැටුණා. මෙහිදී, කාලයක් තිස්සේ ටැංග් රාජවංශයේ නැගීම පිළිබඳ අවධානයෙන් සිටි ටිබෙට් අධිරාජ්‍යයේ සහාය උමයියාඩ් කලිෆාතය වෙත ලැබුණා. ඒ “තමාගේ සතුරාගේ සතුරා තමාගේ මිතුරාය” යන සංකල්පය අනුව යි. මෙම පළමු සටනින් ටැංග් සේනාංක ජයගත්තා. ක්‍රි.ව​. 717 දී ටැංග් රාජවංශය විසින් කර්ලුක් තුර්කි ගෝත්‍රික කුලී හමුදාවක් උමයියාඩ් සේනාංකවලට එරෙහිව එව්වා. එහි දී ද උමයියාඩ්වරුන් පරාජය වුණා.

උමයියාඩ් කලිෆාතය මීළඟ දශක කිහිපයේ දී අභ්‍යන්තර වියවුල් හේතුවෙන් තරමක් අස්ථාවරව පැවතියා. මෙකල ටැංග් රාජවංශයෙහි බටහිර ප්‍රදේශයේ හමුදා නායකයා වූ ගාඕ ශියැංග්‍ෂී, ක්‍රි.ව​. 747 දී ගිල්ගිට් නගරයට එරෙහි හමුදා මෙහෙයුමක් දියත් කළා. මෙම නගරය ටිබෙටයේ මිත්‍ර රාජ්‍යයක් වුණා. මෙම සටන ඉතා ඉක්මණින් ටැංග් හමුදා විසින් ජයග්‍රහණය කෙරුණා. මේ අනුව ගිල්ගිට් අවට සුළු පාලකයන් ද ටැංග් රාජවංශයෙහි අවනත රාජ්‍යයන් (vassal states) බවට පත් වුණා.

ක්‍රි.ව​. 750 දී අභිනව අබසිඩ් කලිෆාතය සහ ටැංග් රාජවංශය අතර විශාල ගැටුමකට මාර්ගය විවර වුණා. ඊට මග පාදන ලද්දේ ටෂ්කෙන්ට් සහ ෆර්ගානා අතර ගැටුම යි. ෆර්ගානා නගරය ටැංග් රාජවංශයෙන් ආධාර ඉල්ලා සිටි අතර​, ක්‍රි.ව​. 750 දී ගාඕ ශියැංග්‍ෂී ටෂ්කෙන්ට් අල්ලාගත්තා. ටෂ්කෙන්ට් පාලකයින් අරාබීන්ගේ ආධාර ඉල්ලා සිටියා. මේ අනුව සියාඩ් ඉබන් සලිහ් විසින් මෙහෙයවන ලද මුස්ලිම් සේනාංක ටලස් නදිය දිගේ ටෂ්කෙන්ට් දෙසට පැමිණෙන්නට වුණා.

ටලස් නදිය ආශ්‍රිත ප්‍රදේශය (UNEP)

මේ අවස්ථාවේ ගාඕ, ටෂ්කෙන්ට් ප්‍රදේශයෙන් පසුබැස්සා. ඔහුගේ අරමුණ වූයේ සිය මිතුරන් වූ කර්ලුක් ගෝත්‍රිකයන් සමග එක් වී, අබසිඩ් සේනාංකවලට මුහුණ දීම යි. සියාඩ්ගේ සේනාංක ගාඕ ලුහුබැඳ ගියා. ටලස් නදිය දිගේ ඉදිරියට ගිය සියාඩ්ට ගාඕ මුණගැසුණේ වර්තමාන කසක්ස්ථාන – කිර්ගීසියා දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශයක දී බව යි සඳහන් වන්නේ.

ටලස් සටන

ටලස් සටන පිළිබඳ ඓතිහාසික මූලාශ්‍ර විවිධ දේ පවසනවා. ඉස්ලාමීය මීලාශ්‍ර අනුව දෙපාර්ශවයම 100,000 ක පිරිස් ශක්තියකින් වූ අතර චීන මූලාශ්‍ර අනුව ඉස්ලාමීය හමුදා 200,000ක් ද ටැංග් හමුදා 30,000ක් ද සටනෙහි යෙදී තිබෙනවා. නමුත්, මේ කිසිදු මූලාශ්‍රයක් විශ්වාස කිරීම පහසු නැහැ. විශේෂයෙන්ම චීන මූලාශ්‍රයන් විසින් ප්‍රතිවාදී සේනාවේ පිරිස් බලය අතිශයෝක්තියට නගා ඇතැ යි සිතිය හැකියි. ඉස්ලාමීය හමුදාවට ටිබෙටයෙන් පැමිණි ආධාරක සේනා ද දායක වූයේ යයි සිතිය හැකි අතර, චීන සේනාව සමග කර්ලුක් තුර්කි ගෝත්‍රයේ සේනා සිටිය බව දැක්වෙනවා. නමුත්, කර්ලුක් තුර්කි අශ්වාරෝහකයන් මෙම සටනට කෙසේ දායක වූයේ ද යන්න පිළිබඳ මත දෙකක් තිබෙනවා.

ටල්ස් සටනට සහභාගී වූවන් පිළිබඳ සිතියමක් (Wikimedia Commons)

සටන සිදු වූ ආකාරය පිළිබඳ වන පළමු විස්තර වාර්තාව අනුව සටනෙහි මුල් දින තුනේ දී දෙපාර්ශවය මුහුණට මුහුණ සටන් වැදුණු අතර කර්ලුක් ගෝත්‍රිකයන් ද ටැංග් හමුදාව පාර්ශවයෙන් සටන් වැදුණා. සිව් වන දිනයේ දී කර්ලුක් ගෝත්‍රික අසරුවන් ටැංග් සේනාංක වෙත එක් පසෙකින් පහර දීමට වූයේ සිය පක්ෂපාතිත්වය වෙනස් කරමින්. ටැංග් හමුදාවේ පරාජයට මෙය හේතු වුණා.

සටන පිළිබඳ අනෙක් වාර්තාව අනුව මුල් දින කිහිපයේ දී දෙපාර්ශවය එකිනෙකා හා සටන් නොකර මුහුණට මුහුණ සිටියා. දෙපාර්ශවයටම ජයග්‍රහණය පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් වූයේ නැහැ. මේ අතර ටලස් ගඟෙන් අනෙක්පස කර්ලුක් අසරුවන් බලා සිටියා. එක් අවස්ථාවක ඔවුන් නදිය තරණය කර චීන සේනාවෙහි එක් පසෙකට පහර දුන් අතර, එම අවස්ථාවේම ඉස්ලාමීය සේනා සිය ප්‍රහාරය දියත් කර ටැංග් සේනාංක විනාශ කළා.

සටනෙහි ප්‍රතිඵල

සටන අවසන් වූ වහා විශාල ප්‍රතිඵලයක් දිස් වූයේ නැහැ. ටැංග් රාජවංශය විසින් මෙම ප්‍රදේශයට අමතර හමුදා එවා අරාබි ආක්‍රමණය පාලනය කළා. නමුත්, ක්‍රි.ව​. 755 දී ටැංග් රාජවංශයට විශාල කැරැල්ලකට මුහුණ දීමට සිද්ධ වුණා. ඒ සමගම ඔවුනට බටහිර දෙස වූ බලය ගිලිහුණා. මේ අතර අබසිඩ් කලිෆාතයට ද මෙම ප්‍රදේශයේ ප්‍රබල බලයක් ස්ථාපිත කිරීමට හැකි වූයේ නැහැ.

මෙම සටනේ දිගු කාලීන බලපෑම් බොහෝකොටම ආගමික වුණා. එක් අතකින් තුර්කික් ගෝත්‍ර වෙත ඉස්ලාමය ළඟාවීම මෙහි වැදගත් ප්‍රතිඵලයක්. මෙම සටනින් සියවස් කිහිපයකට පසු බටහිරදිගට එල්ල වූ තුර්කික් ආක්‍රමණවල මූල බීජය සැපයුණේ එතැනින්.

අනෙක් අතට මෙම ප්‍රදේශයේ බුද්ධාගම සතු වූ බලපෑම තවත් අඩු වීමට ටලස් සටන හේතු වුණා. ඒ සමගම ඉන් දියාව සහ චීනය අතර ඍජු ගොඩබිම් මාර්ගයක් නොමැති තත්ත්වයක් ඇති වූ අතර, දෙරටෙහි බුද්ධාගමෙහි ස්වභාවය වෙනස් වීම ද එම නිසා ඉක්මන් වුණා.

තවද​, චීන ජාතිකයන්ගේ රහසක් වූ කඩදාසි නිෂ්පාදනය කිරීමේ දැනුම අරාබීන්ට දැන ගැනීමට ලැබුණේ ටල්ස් සංග්‍රාමයෙන් පසුව බව කියනු ලබන අතර, පසුව එම තාක්ෂණය බටහිරට ද පැතිරුණා.

Related Articles