සංඝ සටන් ඇවිලුණු අක්කර පන්සීයේ අභයගිරිය

අනුරාධපුරයට යන ඔබ දකින අභයගිරිය දාගැබ විශාලත්වයෙන් දෙවැනි වන්නේ ජේතවනාරාමයට  පමණයි. අටමස්ථානයේ විහාරාරාම අතරින් වැඩිම බිමක පැතිරුණු විශාලතම විහාරය වන්නේ ද අභයගිරිය යි. ඔබ අක්කර 500ක් පුරා විහිදුණු අභයගිරියේ සියලුම නටබුන් ස්මාරක නැරඹුවහොත් ඒ සදහා අඩුම වශයෙන් දින දෙකක්වත්  ගතවනු ඇති. එතරම් විශාල අභයගිරිය ආරාම සංකීර්ණය අනුරාධපුර යුගයේ දී කෙතරම් නම් හැලහැප්පීම් වුණු, භික්ෂු ගැටුම් හටගත් තැනක් ද? මේ ලිපිය කියවා අවසන් කරන විට ඒ ගැන දළ අදහසක් ඔබට ලබා ගැනීමට හැකිවේවි.

නම හැදුණු හැටි

දාගැබ නටබුන් වී වන ලැහැබක්ව පැවති අයුරු ccftv.wordpress.com

ජනප්‍රිය මතවාදය නම් මේ දාගැබ ක්‍රි. පූ. පළමුවැනි සියවසේ ඉදිකළ වට්ඨගාමිණි අභය හෙවත් වළගම්බා රජු (ක්‍රි. පූ.  89-77) සතුරන්ට බියෙන් පලායන විට, එය උපහාසයට ලක්කරමින් මහා කළු සිංහලයා බයේ පලායන බව පැවසූ ගිරි නම් නිගණ්ඨයාගේ නමේ කොටසක් සහ තමාගේ නමේ කොටසක් එක්කර අභයගිරිය නම දුන් බව යි. නමුත් මහාචාර්ය ටී. ජී. කුලතුංග පවසන්නේ තමා විනාශ කිරීමට උත්සාහ කළ සතුරකුගේ නමින් මහ දාගැබක් නම් කිරීම සිදුවිය නොහැකි බව යි. කඳු ගැටයක් ආශ්‍රිතව ඉදිකළ ආරාම ගිරි යන්නෙන් හඳුන්වා තිබෙනවා. තරමක උස්බිමක සහ ගල්පර්වත ආශ්‍රිත පරිසරයක තැනූ දාගැබ ඒ නිසා අභයගිරි  නම් වූ බව යි ඔහු කියන්නේ. අනෙක් දාගැබ්වලට වඩා ගල්පර්වත‍, ලෙන් ආදිය අදත් අපට මෙහි වනගතව පවතින අයුරු දැකගත හැකියි.

සංඝ භේදයට මුල් වූ විහාරය

දාගැබ හිමිදිරියක – Kusumsiri Wijayawardhana

වලගම්බා රජු තමා තැනවූ දාගැබ පූජා කළේ, සතුරන්ගෙන් බේරී සැඟව සිටි කාලයේ තමන්ට උදව් කළ කුපික්කල තිස්ස හාමුදුරුවන්ට යි. එය ලංකා ඉතිහාසයේ භික්ෂු නමකට පෞද්ගලිකව රජෙක්  කළ ප්‍රථම ආරාම පූජාව යි. මේ වැඩේ ගැන එකල අනුරාධපුරයේ බලවත්ව සිටි මහා විහාරයේ නායක හාමුදුරුවරු කැමැත්තක් දැක්වූයේ නැහැ. පෞද්ගලිකව දාගැබ් පුජාව පිළිගැනීම නිසා කුපික්කල හාමුදුරුවන්ට එරෙහිව මහා විහාරය කටයුතු කළා.  කුපික්කල හාමුදුරුවන්ට නායක හිමිවරු එරෙහිවීම ගැන මහා විහාරයේ භික්ෂුන් පිරිසක් කැමති වුණේ නැහැ. භික්ෂුන් වහන්සේ අතර මතගැටුම් ඇතිවුණා. එවකට පැවති එකම නිකාය වූ මහා විහාර නිකාය දෙකට කැඩුණා. මහා විහාරයේ භික්ෂුන් 500ක් අභයගිරි විහාරයට ඇවිත් නැවතුණා. අභයගිරි පාර්ශ්වය නමින් අලුත් නිකායක් බිහිවුණා.

මහායාන චාරිත්‍රයක් වූ අභිෂේකය සිදුකළ අභිෂේක මණ්ඩපය – Kusumsiri Wijayawardhana  

බැතිමතුන් මේ විහාර දෙකෙන් තමන් කැමති පරිදි විහාරය තෝරාගෙන යන්න පටන් ගත්තා. මහාවිහාරය පිරිසිදු ථෙරවාද ධර්මය ආරක්ෂා කරද්දී අභයගිරිය ථෙරවාද මහායාන දෙකම හදාරන්නට වුණු බව ඉතිහාසයේ සදහන් වෙනවා. වලගම්බා රජ සමයේම ධම්මරුචි නම් මහායාන නිකායක ඉගැන්වීම් අභයගිරියේ පටන් ගත්තා. ඊට පසු වෝහාරික තිස්ස (ක්‍රි. ව. 214-236) රජ කාලයේ වෛතුල්‍යවාදය නම් මහායාන චින්තනයක් මෙහි පැමිණියා. පසුව ගෝඨාභය( ක්‍රි. ව. 253-266) රජ්ජුරුවෝ වෛතුල්‍යවාදීන් 60 දෙනෙකු රටින් පිටුවහල් කොට ඒ පොත්පත් පුළුස්සා දැම්මා. පසුව මහසෙන් රජුගේ (ක්‍රි. ව. 270-304) කාලයේ දී සංඝමිත්‍ර නම් භික්ෂුව පැමිණ යළිත් මාහායානය මෙහි ප්‍රචලිත කළා. මහසෙන් රජු භික්ෂුවගේ කීම අසා මහාවිහාර ගොඩනැගිලි විනාශ කරවා ඒ විහාර බිමේ උඳු වපුරා තිබෙනවා. ඒ අවස්ථාවේ මහා විහාර භික්ෂුන් අනුරාධපුරයෙන් පලා ගිය බව මහාවංශය සදහන් කරනවා.

ජාත්‍යන්තර ධර්ම අධ්‍යාපනයක්

සංඝාරාම ගොඩනැගිල්ලක්- – Kusumsiri Wijayawardhana

චීන ජාතික පාහියන් භික්ෂුව අභයගිරියට පැමිණියේ ධර්මය අධ්‍යයනය කරන්න යි. ඒ, ක්‍රි. ව. 411-413 කාලයේ දී යි. එකල භික්ෂුන් වහන්සේ 5000ක් මෙහි වැඩ විසූ බව පාහියන් සදහන් කරනවා. පසුව කාශ්මීරයේ ගුණවර්මන් රජු මෙහි පැමිණ පැවිදි වී තිබෙනවා. දේවසරා භික්ෂුණිය මෙහෙණි උපසම්පදාව චීනයට රැගෙන ගියෙත් අභයගිරියේ සිට යි. චීනයට ලංකාවෙන් බුදු පිළිමයක් ප්‍රථම වරට අරන් ගියෙත් අභයගිරිවාසී නන්ද හාමුදුරුවෝ යි. අභයගිරිය වර්ධනය වී භික්ෂු සංඛ්‍යාව ඉහළ යන විට විහාරය ආයතන හතරක් යටතේ විහාරය සංවිධානය වී තිබුණා. ඒ උත්තරමූල, වහදුමූල, කපාරාමූල, මහනෙත්පාමුල වශයෙන්. මේ සංඝ ආයතනවලට අයත් ගොඩනැගිලි සිය ගණනක් දාගැබ වටා නටබුන් වශයෙන් ඔබට දැකගැනීමට පුලුවන්. විදේශීය භික්ෂුන් විශාල වශයෙන් මේවායේ ධර්මය අධ්‍යයනය කළ බවට සාධක හමුවී තිබෙනවා.

දළදා පෙරහර

සදකඩ පහණ සහ වැලිමළුව-  Kusumsiri Wijayawardhana

කිත්තිරිමෙවන් රජ දවස තමයි දළදා වහන්සේ මෙරටට වැඩම කළේ. එවිට දළදා භාරකාරත්වය පැවරුණේ ද අභයගිරි විහාරයට යි.

ඉක්බිති සම්පූර්ණ සිත් ඇති රජ තෙමේ නව ලක්ෂයක් දන විසදා දළදා මහ පෙරහර කෙළේය. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙනගොස් ඒ දන්ත ධාතුවට පූජා කරවයි නියෝග කළේය.

(මහාවංශය- 57 පරිච්ඡේදය)

රාජ අනුග්‍රහය

වලගම්බා රජුගෙන් පසු පළමුවන ගජබාහු, මහාචූලී මහාතිස්ස, කණිට්ඨතිස්ස, වෝහාරිකතිස්ස, මහසෙන්, ධාතුසේන, මිත්තසේන. පොළොන්නරුවේ පළමුවන පරාක්‍රමබාහු වාගේ රජවරුන් රාශියක් මේ විහාර සංවර්ධනයට දායක වුණා.

අභයගිරියේ විශාලත්වය

දාගැබ් මළුව වටා පිහිටි ප්‍රාකාරය- Kusumsiri Wijayawardhana

පාහියන් හිමි පවසන්නේ හතරවන සියවස වන විට දාගැබේ උස අඩි 400ක් වූ බව යි. එය රනින් සහ රිදියෙන් අලංකාර කර තිබුණු බව ද උන්වහන්සේ පවසනවා. අනුරාධපුර යුගයේ අවසන් කාලයේ සොළී ආක්‍රමණයෙන් විනාශ වූ දාගැබ පළමුවන පරාක්‍රමබාහු රජු නැවතත් අඩි 245ක් උස්කර බදවා තිබෙනවා. අද අපි දකින දාගැබේ උසත් අඩි 245 යි. විෂ්කම්භය අඩි 310 යි.

ගල්පුවරු ඇතිරූ සමචතුරස්‍රකාර සලපතල මළුව එක් පැත්තක් අඩි 585ක් දිගයි. එය අක්කර අටක් පුරා පැතිර තිබෙනවා. වැලිමළුවත් සමග විශාලත්වය අක්කර 14ක්. අභයගිරි විහාරයට අයත් භූමි ප්‍රදේශය අක්කර 500ක පැතිර තිබෙනවා.

වනගත වූ මහ දාගැබ‍

දාගැබේ සංරක්ෂණය ආරම්භ වූ කාලයේ- Wikipedia.org

රාජධානියට එල්ලවූ සතුරු උවදුරු නිසා අගනුවර රජරටින් නිරිතදිග කලාපයට සංක්‍රමණය වුණා. පරාක්‍රමබහු රජුගේ ප්‍රතිසංස්කරණයෙන් පසුව දාගැබ නැවතත් වනගත වී ගියා. අනුරාධපුර දාගැබ් අතරින් කොත්කැරැල්ල ආරක්ෂා වී තිබෙන එකම දාගැබ අභයගිරිය යි. ඉංග්‍රීසි යටත් විජිත සමයේ යළිත් මෙම නටබුන් ගැන අවධානය යොමු වෙනවා. එස්. එම්. බරෝස් 1885 දී දාගැබේ උතුරු වාහල්කඩ ශුද්ධ කළ බව සදහන් කරනවා. බරෝස් මණ්ඩපය නමින් හඳුන්වන ගොඩනැගිල්ල ද ඔහු විසින් පාදාගෙන සංරක්ෂණය කළ එකක්. ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් 1890 දී කඩාවැටී තිබූ දාගැබේ උපරිභාගය නැවතත් ගොඩනගා තිබෙනවා. ජේම්ස් ස්මිදර් තම කෘතියේ (Architectural remains- Anuradhapura) මේ දාගැබ සහ එහි නටබුන් ගැන සැලසුම් රාශියක් ඇතුළත් කරනවා.

නැවත මෙහි භික්ෂු වාසයක් ආරම්භ වූයේ 1909 ජූනි මාසයේ දී යි. හොරණින් පැමිණි කඩුකේ ධම්මාරාම හිමියන් තාවකාලික සංඝාවාසයක් තනාගෙන දාගැබ අවට එළිපෙහෙලි කරනවා. 1912 දී කඩිහාරේ ගුණරතන හිමි පොල්අතු සෙවිලි කළ සංඝාවාසයක පදිංචි වී විහාරය දියුණු කිරීම ආරම්භ කළා. ඩබ්ලිව්. ඒ. බැස්ටියන් සමාගම දුන් ආධාර මුදලින් සංඝාවාසයක් ගොඩනැගීම ද සිදුවුණා. 1965 දී ගුණරතන හිමියන් අපවත් වුණා. ඊට පසු පෙරිමියන්කුලමේ උපතිස්ස හිමි විහාරාධිපති වුණා. වත්මන් විහාරාධිපති ධූරය දරන්නේ කල්ලන්චියේ රතනසිරි නාහිමියි.

යළි පිළිසකර වෙයි

සංරක්ෂණ කටයුතු කරමින්- ccftv.wordpress.com

1980 දශකය වනතෙක් අභයගිරිය පැවතුණේ ගර්භය වසාගත් වන ලැහැබක් ලෙස යි. සලපතල මළුව, ප්‍රාකාර හා වාහල්කඩ සියල්ලත් නටබුන්ව පැවතුණා.

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කළේ 1980 ඔක්තෝබර් 3 දා යි. දාගැබ, සලපතල මළුව, වැලිමළුව, අවට ප්‍රාකාර, දාගැබ් ප්‍රවේශ අවට නටබුන් සංඝාරාම පාදා 1987 දී සංරක්ෂණය ආරම්භ කළා. දාගැබ සංරක්ෂණයට රු. මිලියන 5000ක් පමණ වැයවී තිබෙනවා.  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය ඒ සදහා උපදෙස් සපයනවා. 2015 දී දාගැබ සහ මළුවේ සංරක්ෂණ කටයුතු අවසන් වුණා. අවට ගොඩනැගිලි හා පොකුණු ආදියේ සංරක්ෂණ කටයුතු දශක හතරක් තිස්සේ  තවමත් සිදුවෙනවා.

ලැබුණු පුරාවස්තු ප්‍රදර්ශනයට කෞතුකාගාරයක් ද පවත්වාගෙන යනවා. පුරාණ සිරිපතුල් ගල්, අෂ්ටමංගල පාත්‍රය, තඹ උළු, හුණුගල් බුද්ධ ප්‍රතිමා, වර්ණාලිප්ත උළු ඇතුළු පුරාවස්තු රාශියක් එහිදී දැකගත හැකියි.

පොකුණු

ඇත් පොකුණ- Kusumsiri Wijayawardhana

අක්කර 14ක් විශාල දාගැබ් මළුවට වැටෙන විශාල වර්ෂා ජලය ප්‍රමාණය එකතු කර ගැනීමට දොරටු හතර සමීපයේ පොකුණු හතරක් ඉදිකර තිබෙනවා. ඒ එක් පොකුණක් සංඝාරාම ගොඩනැගිල්ල අසල දී අදත් දැකගත හැකියි. අනෙක් පොකුණු තුන නටබුන් වී පවතිනවා. ඒවාට අමතරව මේ ආරාම භූමියේ පමණක් පොකුණු 64ක් පිහිටා තිබෙනවා. ඒ අතරින් විශාලම පොකුණ ඇත්පොකුණ යි. එහි ජල ධාරිතාව ඝන අඩි 375000ක්. එය අනුරාධපුරයේ විශාලම පොකුණ යි.

දිඝපාෂාණ වැටිය‍

දීඝ පාෂාණ ලෙන් – Kusumsiri Wijayawardhana

අභයගිරියට යන හුගදෙනෙක් නොයන අපූරු ස්ථානයක්. මේ වනගත නිස්කලංක භූමිය භාවනානුයෝගී භික්ෂුන් යොදාගන්නට ඇති බව පෙනෙනවා. ගල්ලෙන් 9ක් මෙහි තිබෙනවා. ඉන් එකක ක්‍රි. පූ. 1 සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂර කොටා තිබෙනවා.

සංඝාරාම ගොඩනැගිලි

වනගත ආරාම නටබුන්- Kusumsiri Wijayawardhana

පංචාවාස ආරාම සංකීර්ණ ගොඩනැගිලි 30ක් ද අභයගිරියේ දැකගත හැකි වෙනවා. මෙම ගොඩනැගිලිවල සනීපාරක්ෂක ක්‍රමවේද ඉහළ මට්ටමක පැවත තිබෙනවා. අලංකාර කැසිකිලි ගල්, උණුපැන් ස්නානය කළ ඡන්තාඝර ආදියෙන් ඒ බව හෙළිවෙනවා. දාන ශාලාවේ විශාල බත්ඔරුවක් ද ව්‍යංජන ඔරුවක්ද දැකගත හැකියි. බත්ඔරුව පාත්‍ර 5000ක ධාරිතාවයකින් යුක්ත යි.

අභයගිරියේ උපෝසථඝරය වූ රත්න ප්‍රාසාදය මහල් කිහිපයකින් යුත් ගොඩනැගිල්ලක්. ශෛලමය වේදිකාවක් මත ඉදිකළ එහි අද දැකගත හැක්කේ විශාල ගල්කුලුනු  පමණ යි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මුරගල පිහිටා තිබෙන්නෙත් රත්න ප්‍රාසාදයේ යි. එය 8 වන සියවසට අයත් නිර්මාණයක්.

රන් කහවනු කම්හල

බරෝස් මණ්ඩපය- Kusumsiri Wijayawardhana

දාගැබට නුදුරින් පිහිටි මෙම ස්ථානයේ 1994 දී කැණීම් කිරීමේ දී කාසි නිෂ්පාදන කම්හලක නටබුන් හමුවුණා. ලංකාවේ කාසි නිෂ්පාදන ස්ථානයක් හමුවුණේ ප්‍රථම වරට යි. කාසි නිෂ්පාදන තාක්ෂණය ගැන ඉන් කරුණු රැසක් හෙළිදරව් වුණා. රන් ඵලක  ද රන් කහවනු හා කහවනු කොටස් ද මෙහිදී ලැබුණා. කහවනු නිපදවීමට යොදාගත් මැටි අච්චුද මෙහි ලැබුණු පුරාවස්තු අතර තිබෙනවා. කෝව තැන්පත් කළ උදුන්ද එහි තිබුණා. මෙම කම්හලෙන් ලැබුණු පුරාවස්තු අතර අෂ්ටමංගල ලෝකඩ පාත්‍රය විශේෂිත යි.

දමිළ ගෘහපතීන්ගේ සෙල්ලිපිය

දමිළ ගෘහපතීන්ගේ මණ්ඩපය- Kusumsiri Wijayawardhana

අභයගිරියට නුදුරින් පර්වතයක කොටා තිබූ මෙම සෙල්ලිපිය 1939 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් සොයාගත්තා. අනුරාධපුර ද්‍රවිඩ ගෘහපතින්ගේ ලිපිය ලෙස එය නම් කළා. පර්වතය කපා මට්ටම් කර ආසන වශයෙන් සකසා තිබෙනවා. එය ඉදිරිපස මණ්ඩපයක් තැනීමට අවශ්‍ය දැව කණු සිටුවීමට කැපූ සිදුරු දැකගත හැකියි. එය දමිළ ගෘහපතීන්ගේ මණ්ඩපය ලෙස හදුන්වනවා. පුරාණයේ දීත් දෙමළ ජාතික භික්ෂුන් වහන්සේ සිටි බව මින් හෙළිවෙනවා.

සෙල්ලිපිය මෙසේය:

 ඉලුබරත දමෙඩ ශමණෙ කරිතෙ ගහපතිකන පශදෙ

අර්ථය:  ඉලුබරත ද්‍රවිඩ භික්ෂුන් වහන්සේ විසින් කරවන ලද දුවිඩ ගෘහපතින්ගේ ප්‍රාසාදය යි. (කඹුරුපිටියේ වනරතන නාහිමි අභිස්තව සංත්‍රහය, 126 පිට)

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

මහාවංශය ප්‍රථම භාගය ශ්‍රී සුමංගල- බටුවන්තුඩාව සංස්කරණය

පූජනීය අටමස්ථානය- කුසුම්සිරි විජයවර්ධන‍

අනුරාධපුර අටමස්ථානය, උක්කුබණ්ඩා කරුණානන්ද‍

අභයගිරිය- ටී. ජී. කුලතුංග

 

COVER: අභයගිරි දාගැබ - Kusumsiri Wijayawardhana

Related Articles