Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පළමු ලෝක යුද්ධයේ ඇමරිකානු හමුදාවේ සුනඛ සැරයන්වරයා – ස්ටබී

පළමු ලෝක යුද්ධය සමයේ ඇමරිකානු පාබල හමුදාවේ සේවය කල නිර්භීත හමුදා සැරයන්වරයෙක් ගැනයි අද අපි කියන්න යන්නේ. හැබැයි මේ සැරයන්වරයා මනුෂ්‍යයෙක් නම් නෙවේ. සාජන්ට් ස්ටබී කියලා හදුන්වන මේ නිර්භීත සුනඛයා එතෙක් මෙතෙක් ලෝක හමුදා ඉතිහාසයේ සැරයන් පදවිය දක්වා උසස් වීම් ලබා ගත් එකම හමුදා සුනඛයා ලෙස හදුන්වනවා.

පළමු ලෝක යුද්ධයේ  බටහිර යුධ පෙරමුණේ  ඇමරිකානු සෙබළුන් හා එක්ව සතුරු පාර්ශවයට එරෙහිව කරට කර සටන් කළ සාජන්ට් ස්ටබී වැඩිම පදක්කම් ප්‍රමාණයක් හිමි කරගත් යුධ සුනඛයා ලෙසත් වාර්තා තබා තිබෙනවා.

අයිතිකරුවෙක් නොමැති බලු පැටියා

දෙවන ලෝක යුද්ධ කාලය වන තුරු ඇමරිකානු හමුදාව සතුව නිවැරදි යුධ සුනඛයෙක් තෝරා ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් නොතිබුණු අතර ස්ටබීත් පළමු ලෝක යුධ සමයේ ඇමරිකානු පාබල හමුදාවට එකතු වෙන්නේ නියමිත බඳවා ගැනීමේ ක්‍රමයකින් නොවේ.

1917 වසරේදී කෝප්‍රල් රොබට් කොන්රෝයි (Corporal Robert Conroy) නම් ඇමරිකානු පාබල හමුදාවේ 102 වන පාබල රෙජිමේන්තුවට අයත්  සොල්දාදුවෙක් “යේල් විශ්වවිද්‍යාලයේ” (Yale University) යුධ පුහුණු පාඨමාලාවක් හදාරනවා. එම කාලය අතරතුරයි ඔහුට අයිතිකරුවෙක් නොමැති ඉතා කෙටි වලිගයක් සහිත කුඩා බලු පැටවා මුණ ගැහෙන්නේ. ස්ටබී ලෙස මෙම පැටවාට නම තබන්නේ කෝප්‍රල් රොබට් විසින්. රොබට් සමඟ මිත්‍ර වීම හේතුවෙන් ස්ටබී නිතර නිතර පුහුණු කදවුරට ඒමට පටන් ගන්නවා.

102 වැනි ඇමරිකානු පාබල රෙජිමේන්තුවට ආධුනික භටයෙක් ලෙස

සාජන්ට් ස්ටබී (All That Is Interesting)

හමුදා පුහුණු කඳවුරට සතුන්ට ඇතුල් වීම තහනම් වූවත් කඳවුරේ අණදෙන නිලධාරියා විසින් ස්ටබීට කඳවුර තුළ සැරිසැරීමට අවසර ලබා දෙනවා. හමුදා සෙබළුන් සමඟ ශාරීරික අභ්‍යාස, හමුදා ආචාර කිරීම් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නා ස්ටබී ඉහළ නිලතල දරන හමුදා නිළධාරින්ට ආචාර කරන්නේ තම දකුණු පාදය දකුණු ඇහි බැම දක්වා ගෙන “සැලියුට්” කිරීමෙන්.

ඉතා ක්‍රියාකාරී සුනඛයෙක් වූ ස්ටබී ඉතා ඉක්මනින් සොල්දාදුවන් හා කරට කර පුහුණු වීම් වල යෙදෙනවා. තවද ස්ටබී නම් සුරතලා හමුදා සොල්දාදුවන්ගේ චිත්ත ශක්තිය ඉහළ නංවා ඔවුන් සතුටෙන් තැබීමට සමත් වෙනවා.

ගල් අගුරු තුළ සැඟවී යුධ පෙරමුණට

ස්ටබී උසස් හමුදා නිළධාරියෙක් සමඟ (SOFREP.com)

පුහුණුව අවසාන වීමෙන් අනතුරුව 102 වන පාබල හමුදා කණ්ඩායම ප්‍රංශයේ යුධ පෙරමුණට කැඳවනවා. මේ සඳහා ඔවුන් පිටත් වන්නේ නාවික හමුදාවට අයත් යාත්‍රාවකින්. නැවට සතුන් ඇතුළු කිරීම තහනම් වූ බැවින් කෝප්‍රල් රොබට් විසින් මේ සඳහා අපූරු උපක්‍රමයක් අනුගමනය කරනවා. ඒ, නැවේ ගල් අගුරු ඇති ස්ථානයේ ස්ටබී සඟවා තැබීමයි. නැව දියත් වීමෙන් අනතුරුව ඉන් ඉවතට පැමිණෙන ස්ටබී නැවේ කපිතාන්වරයා ඇතුළු නිළධාරීන්ට ආචාර කිරීම හේතුවෙන් එහි සිටි සියළු දෙනාගේ ආදරය ස්ටබී වෙත හිමිවෙනවා. ඒ සමඟම මේ හුරු බුහුටි සුනඛ සොල්දාදුවාට නැවේ යාත්‍රා කිරීමේ අවසර හිමි වෙනවා.

විෂ වායු ප්‍රහාරයකට ලක්වීම

1918 පෙබරවාරි 5 වන දින ප්‍රංශයේ යුධ පෙරමුණට ලඟා වෙන 102 වන පාබල කණ්ඩායමට අයත් ස්ටබී ඉතා ඉක්මනින් රයිෆල් වෙඩි තැබීම් හා බර අවි වලින් සිදුකරන පහර දීම් සඳහා අනුගත වෙනවා. මෙම වකවානුවේදී ජර්මානුවන් විසින් විෂ වායු ප්‍රහාර දැඩි ලෙස එල්ල කල සමයක් වූ අතර ස්ටබීද විෂ වායු ප්‍රහාරයකට ලක් වී රෝහල් ගත කරනු ලබනවා.

යුධ භූමියේදී කල සේවය

පළමු විෂ වායු ප්‍රහාරයෙන් පසුව නැවත සුව වෙන ස්ටබී ඉන් පසුව විෂ වායු ප්‍රහාරයක් කලින් හදුනා ගැනීමේ ඉවෙන් යුතු වෙනවා. තවද ගෑස් ප්‍රහාර වලින් බේරීමේ පුහුණුවක්ද ලබනවා. ස්ටබීට විෂ වායු ප්‍රහාර වලින් මිදීමට මුහුණු ආවරණයක් සැකසීම සදහා රොබට් උත්සාහ කරන නමුත් ස්ටබීගේ පැතලි නාසය හේතුවෙන් එය පැළදීමට හැකියාව ලැබෙන්නේ නෑ.

නැවතත් යුධ පෙරමුණට යන ස්ටබීට විෂ වායු ප්‍රහාර එල්ල කිරීමට පෙර එම අවස්ථාවෙන් මිදී යාමට හැකියාව ලැබෙනවා. ජර්මානුවන් බොහෝ විට විෂ වායු ප්‍රහාර එල්ල කරන ලද්දේ හිමිදිරි උදෑසනයි. ඒ වන විට කණ්ඩායමේ සියළුම ඇමරිකානු සොල්දාදුවන් නින්දේ පසුවන බව ජර්මානුවන් දැනගෙන සිටිනවා. මෙවැනි බොහෝ අවස්ථාවලදී ස්ටබී, ඉතා විශාල ශබ්දයකින් බිරීම මගින් හා සොල්දාදුවන්ගේ කකුල් වලින් ඇදීම මගින් ඔවුන් නින්දෙන් අවදි කරනවා.

තවද යුධ භූමියේ පිහිටීම මැනවින් වටහාගෙන සිටි ස්ටබී, විෂ වායු ප්‍රහාරයන්ගෙන් බේරීම සඳහා ආරක්‍ෂිත ප්‍රදේශ කරා යෑමට සොල්දාදුවන්ට මග පෙන්වනවා. මේ වීර ක්‍රියා හේතුවෙන් ස්ටබී 1918 වසරේ තම හමුදා දිවියේ පළමු උසස්වීම වන පළමු පන්තියේ සෙබළ තනතුර ලබා ගන්නවා.

ස්ටබීට ජර්මානුවන්ගේ ෂෙල් වෙඩි ඇමරිකානු භටයන් සිටින ස්ථාන වලට වැටීමට පෙර හදුනාගැනීමට හැකියාව ලැබුණු අතර ඒ මගින් විශාල භට පිරිසකගේ දිවි බේරා ගැනීමට හැකියාව ලැබෙනවා.

සොල්දාදුවන් කතා කරන භාෂාව තුළින් සතුරු මිතුරු පාර්ශව හදුනාගැනීමේ හැකියාව ස්ටබීට තිබුණු  අතර ඔහු විසින් ඉංග්‍රීසි භාෂාව කතා කරන සොල්දාදුවන් තුවාල ලබා සිටින විට එම සොල්දාදුවන් සතුරන්ගෙන් ආරක්ෂා කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සහය දක්වනවා.

ජර්මානු ඔත්තුකරුවෙක් ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීම

කෝප්‍රල් රොබට් සමඟ (Funnyjunk)

යුධ පෙරමුණේ ඔත්තු බැලීමට පැමිණි ජර්මානු ඔත්තුකරුවෙකු අල්ලා ගැනීමට ස්ටබීට හැකියාව ලැබෙන්නේ මේ අතරතුරයි. ස්ටබී විසින් ඔත්තුකරුවාගේ පාදය වැරෙන් සපාගෙන සිටි අතර කෝප්‍රල් රොබට් පැමිණ එම ඔත්තුකරුවා අත්අඩංගුවට ගනු ලබනවා.

මේ නිර්භීත ක්‍රියාව හේතුවෙන් ඇමරිකානු පාබල හමුදා ප්‍රධානින් විසින් ස්ටබීව  සාජන් තනතුර දක්වා උසස් කරනු ලබනවා. සාජන්ට්වරයෙක් වූ ලොව පළමු හා එකම සුනඛයා වන්නේ ස්ටබීයි.

දෙවනවරට ප්‍රහාරයට ලක්වීම හා විශ්‍රාම ගැනීම

ආචාර පෙළපාලියක (Lapham’s Quarterly)

1918 වසරේදී නැවතත් ප්‍රහාරයකට ලක් වී බරපතළ තුවාල ලබන ස්ටබී ශල්‍ය කර්මයකට පවා ලක් කරනවා.  සුව වූ පසුව ස්ටබීව යුධ පෙරමුණෙන් ඉවත් කර විශ්‍රාම යැවීමට ඇමරිකානු පාබල හමුදා නිළධාරීන් විසින් කටයුතු කරනවා.

ඒ වන විට ස්ටබී සටන් 17කදී සටන් පෙරමුණ නියෝජනය කල සොල්දාදුවෙක් ලෙස සටහන් වී තිබෙනවා. එම සටන් වලදී දැක්වූ වීරත්වය හේතුවෙන් ඇමරිකානු වැසියන්ගේ නොමඳ ප්‍රසංශාවද ස්ටබී හට හිමිවෙනවා.

විශ්‍රාම ගැනීමෙන් පසුව දෙවරක්ම වයිට් හවුස් හිදී ජනාධිපති වුඩ්රෝ විල්සන් (Woodrow Wilson) මුණ ගැසුණු අතර විශාල ආචාර පෙළපාලි රැසකටද ස්ටබී තම දායකත්වය ලබා දෙනවා.

ස්ටබී ලැබූ පදක්කම්

ස්මිත්සොනියන් ජාතික කෞතුකාගාරයේ (pinterest.com)

ස්ටබී පදක්කම් විශාල ප්‍රමාණයක් ලබා ගත් අතර එම පදක්කම් අතරට  Service Stripes, Yankee Division YD Patch, French Medal, 1st Annual American Legion Convention Medal, New Haven WW1 Veterans Medal, Republic of France Grande War Medal, St Mihiel Campaign Medal, Purple Heart හා Chateau Thierry Campaign Medal යන පදක්කම් අයත් වෙනවා. මෙම පදක්කම් සියල්ල පලදීම සඳහා ඇමරිකානු හමුදාව විසින් ස්ටබීට ඇදුමක් නිර්මාණය කර ලබා දෙනවා.

ඇමරිකානු වැසියන්ගේ ආදරයට ලක් වූ මෙම නිර්භීත සාජන්ට්වරයා 1926 වසරේදී මරණයට පත් වන්නේ වයස අවුරුදු 9ක හෝ 10ක තම දිවිය අවසන් කරමින්. අද වන විට ඇමරිකාවේ ස්මිත්සොනියන් ජාතික කෞතුකාගාරයේ (Smithsonian National Museum of American History) ස්ටබීව සිහිවටනයක් ලෙස ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.

කවරයේ ජායාරූපය – inkrethink.blogspot.com

Related Articles